English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


‘දෙමළ පිබිදීම’, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව..!

සුගිය 24 වනදා යාපනයේ පැවැති ‘දෙමළ පිබිදීම’ නම් මහජන උද්ඝෝෂනය සිංහල ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය කළේ නැත. හරියට දකුණේ පැවැත්වෙන රටටම බලපාන දේශපාලන අවස්ථා දෙමළ ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය නොකරන පරිදිය.

යාපනයේ නිවසක තිබී සොයාගත් කල් ඉකුත්වූ දිවි නසා ගන්නා බෝම්බ කබාය සහ අනෙක් අවි ආයුධ සම්බන්ධයෙන් සති ගණන් කතා කළ සිංහල ජනමාධ්‍ය දෙමළ පිබිදීම උද්ඝෝෂණය ගැන එක දවසක් හෝ හරියාකරව කතා කළේ නැත.

එය නිසි ආකාරව ආවරණය නොකරන ලද නමුත් එය හෙලා දකිමින් විවිධ දේශපාලනඥයින් කරන තර්ජනයන් දැන් කොළඹ මාධ්‍යන්හි සුලභය.

ප්‍රශ්ණය උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසින් නායකත්වය දුන් සහ දෙමළ මහජන සභාව විසින් සංවිධානය කළ එකී ‘දෙමළ පිබිදීම’ සමඟ අප එකඟ වන්නේද නැත්ද නොවේ. වැදගත්කම ඇත්තේ එම උද්ඝෝෂණය විසින් සංකේතවත් කළ දේශපාලන පණිවිඩයේය.

එකී ‘දෙමළ පිබිදීමට’ දහස් ගණනාවක් ජනයා සහභාගි වූහ. රාජපක්ෂ පිරිවරේ උද්ඝෝෂනවලදී මෙන් ඔවුන්ට නොමිලයේ බස් සහ බොන්නට අරක්කු සපයා තිබුණේ නැත. සංවිධායකයින්ට අනුව පහලොස් දහසක් තරම් ජනයා ඊට සහභාගි වූහ. ජායාරූප මගින් දැක්වෙන පරිදි ‘දෙමළ පිබිදීම’ පා ගමනට සහ රැළියට දැවැන්ත ජනපිරිසක් සහභාගි වූ බව සැකයෙන් තොරය.

එය මෑත කාලයෙහි යාපනයේ පැවැති විශාලතම මහජන උද්ඝෝෂණය විය හැක.

මෙම උද්ඝෝෂණයට ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සහභාගි නොවූ අතර තමන් මෙම ව්‍යාපාරයට සම්බන්ධ නැති බව පුන පුනා කීවේය. දෙමළ ජාතික සන්ධානයේ මතය වන්නේ මෙවැනි උද්ඝෝෂණ මගින් ආණ්ඩුව සමඟ එක්ව දේශපාලන විසඳුමක් ලබා ගැනීමට තමන් දරන ප්‍රයත්නය අඩාල විය හැකි බවය.

මෙම උද්ඝෝෂනයේ පෙරමුණෙහි විග්නේශවරන් සිටියද එහි සංයුතිය විවිධය. දකුණේ ආණ්ඩු කෙරෙහි විශ්වාසයක් නොතබන සහ අවසාන විග්‍රහයේදී උතුරු නැගෙනහිර දෙමළ ජනයාට වෙනම රටක් අපේක්ෂා කරන දේශීය සහ ඩයස්පෝරා දෙමළ බලවේගයන් මෙම උද්ඝෝෂණයේ අයිතිකරුවන් ලෙස පෙනී සිටියද ඊට සහභාගි වූ ජනයා එම මතයම දරන්නේද යන්න සැක සහිතය.

මෙකී සම්මුතිවිරෝධී බලවේගයන් පසුගිය මහා මැතිවරණයේදී සම්පන්දන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික සන්ධානය හමුවේ අන්ත පරාජයකට පත් වූහ. එසේ නමුත් දෙවසරක් තුලදී උතුරු දෙමළ ප්‍රජාවෙහි සැළකිය යුතු පිළිගැනීමක් අල්ලා ගැනීමට ඔවුන් සමත් වී තිබේ. මෙම දෙස්-විදෙස් බලවේගයන් මෙරට දෙමළ ප්‍රජාවෙහි ප්‍රධාන බලපෑම් කණ්ඩායම බවට පත් වුවහොත් එම වර්ධනය මෙරට ජනවාර්ගික ප්‍රශ්ණය යළි ගැටුම්කාරී මාවතකට ගෙන යෑමට සමත් වීමට ඉඩ නැතුවා නොවේ.

පසුගිය දින ගණනාව පුරා සිංහල දේශපාලනඥයින් විසින් ස්වකීය සිංහල කම පෙන්වීම පිණිස ‘දෙමළ පිබිදීම’ උද්ඝෝෂණයට සහ එහි මතුපිට නායකත්වය වූ මහ ඇමැති විග්නේශ්වරන්ට බැටදීම ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව පත්කර ගත්හ. ආණ්ඩුවේ මැති ඇමැතිවරු ගණනාවක්ද එවැනි තර්ජනාත්මක කතා පැවැත්වූහ.

මෙම තර්ජනාත්මක පිළිතුරු දීමේ දේශපාලනය විසින් අප විසින් ‘දෙමළ පිබිදීම’ අරභයා විමසා බැලිය යුතු මූලික ප්‍රශ්ණය යටපත් කරයි. එනම් වත්මන් ආණ්ඩුව ගෙන ඒමට සියයට සියයක්ම සහාය ලබා දුන් දෙමළ ප්‍රජාව අතරින් දෙවසරක් තුළදී මෙවැනි ව්‍යාපාරයක් ගොඩ නැගි ආවේ මන්ද යන ප්‍රශ්ණයයි.


පිංතුරය - අන්තර්ජාලයෙන්

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී මෙරට දෙමළ ජනයාගේ සමස්ත ජන්දයම වාගේ ජනාධිපති සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් සහතික කිරීමට සමත් විය. එසේ නමුත් දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද මූලික එදිනෙදා ඉල්ලීම් කිසිවක් ඉටු කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ නැත. එම ඉල්ලීම් අප කවුරුත් දන්නා ඒවාය. එනම් යුද හමුදාව විසින් අල්ලා ගන්නා ලද දෙමළ ජනයාගේ ඉඩම් ආපසු ලබාදීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, පෙර පාසල් යනාදියේ සිට බත් කඩ සහ හෝටල් දක්වා වූ ව්‍යාපාරයන් පවත්වා ගෙන යෑම ඇතුලු උතුරු නැගෙනහිර සිවිල් කාර්යන්ගෙන් යුද හමුදාව ඉවත් කිරීම, දෙමළ ජනයාගේ රැස්වීමේ අයිතියට යුද හා පොලිස් ඇගිළි ගැසීම් වැළැක්වීම, ධීවරයින්ට පණවා ඇති තහනම් ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළක්විමේ පනත අහෝසි කිරීම යනාදිය වේ. යුද සමයේ සිදුවූ මානව හිමිකම් කෙළසීම් පිළිබඳ ගවේශණයක් සහ දේශපාලන විසදුමක් ලබා ගැනීමට අමතරව ඇතුළු ඉහත කී අයිතීන් දිනා දෙන බවට දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණයේදී ද ශපථ කරන ලදී.

එසේ නමුත් එම කිසිදු ඉල්ලීමක් නිසි පරිදි ඉටු කිරීමට කතා පැවැත්වීම හැරුණ විට ආණ්ඩුව පියවර ගත්තේ නැත. එවැනි තත්වයක් යටතේ පවා දෙමළ ජාතික සන්ධානය එළුවාගේ අහවල් එක වැටෙන තුරු පස්සෙන් යන්නා සේ සිටිනවා විනා මහජන දේශපාලනයකට ගමන් කළේ නැත.

වඩාත් කණගාටුව කාරණය වන්නේ එකී සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමට දකුණේ බහුතර සිවිල් සමාජ කණ්ඩායම්ද අසමත්ව සිටීමයි. මෙයට සති කිහිපයකට පෙර මහත් ප්‍රසිද්ධියක් ඇතිව ජනාධිපතිවරයා හමු වූ කොළඹ සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් අතර දෙමළ ජනයා සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් නොවීම අදහා ගත නොහැකි තරමේ කාරණයක් විය. අඩුම වශයෙන් ඔවුන් ත්‍ර.වැ.ප. අහෝසි කරන සේ හෝ දෙමළ ජනයාගේ ඉඩම් ආපසු ලබා දෙන ලෙස හෝ ඉල්ලා තිබුණේ නැත.

මාස හයක් ඇතුළත විසි පස් වසරක් පුරා අවතැන්ව සිටින යාපනයේ ජනපිරිසක් පසුගිය දෙසැම්බරයේදී හමුවූ ජනාධිපතිවරයා සංවේදී ලෙස කතා කරමින් සය මසක් ඇතුළත ඔවුන්ගේ මුල් ඉඩම් ලබා දෙන බවට පෙරොන්දු විය. පසු ගිය ජූනියේදී මාය හය ඉක්ම ගියේ කිසිදු ප්‍රගතියකින් තොරවය. ප්‍රමාදය ගැන ජනාධිපතිවරයාගේ කාර්යාලය කිසිදු හේතු දැක්වීමක් කළේ ද නැත. පොරොන්දුව බොරුවක් බවට පත් විය. මේ එක උදාහරණයක් පමණි.

උතුරු නැගෙනහිර යුද හමුදාව විසින් පන්සල් සහ බුද්ධ ප්‍රතිමා ගොඩ නැගීමේ අවසානයක් ද නැත. කිළිනොච්චියේ සිට ඉරණමඩු කරා යන විනාඩි 20ක ගමනේදී එක දිගට සැතපුම් ගණන් දිග හමුදා කදවුරු තුනක්ම හමුවෙයි. ඉරණමඩු කොවිලේ භූමිය හරස් කරමින් යුද හමුදාව තාප්පයක් බැන්දේ අගෝස්තු මුල් සතියේය. මා එය දෑසින් දුටුවෙමි. ඒ කොවිලට අයත්ව තිබූ දැන් හමුදාව අල්ලාගෙන සිටින භුමියේ බුද්ධ ප්‍රතිමාවක් තැනීම පිණිසය. මුලතිව් හි තැනෙන පන්සලක් සාධරණය කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර කුරේ කතා කළේය. උතුරු නැගෙනහිර පෙදෙස්හි සිහංල බෞද්ධ සංස්කෘතික නියෝජිතයා බවට යුද හමුදාව පත්ව තිබේ.

‘දෙමළ පිබිදීම’ නමින් යාපනයේ පැවැති මහජන ව්‍යාපාරය අප තේරුම් ගත යුත්තේ එම පසුබිම තුළය.

ආණ්ඩුව දෙමළ ජනයාගේ එදිනෙදා ඉල්ලීම් පවා පැහැර හරිමින් සිටින විට එම ජනයා වීදි බසින්නේ නැතිව වෙන මොනවා කරන්නද?

ආණ්ඩුව දිගටම දෙමළ ජනයා මුලා කිරීමට යන්නේයැයි හැඟීමක් මෙරට සහ විදෙස්ගත දෙමළ ජනයා අතර ඇති වෙමින් තිබේ. එවැනි අදහසක් ඇතිවීමම බරපතල අනතුරු හැඟවීමකි. එහි විපාකය වනු ඇත්තේ ආණ්ඩුවේ අනියම් සගයකු යැයි පෙනෙන්නට ඇති දෙමළ ජාතික සන්ධානය දුර්වල වී එතැන වඩා රැඩිකල් සහ සමහර විට අන්තවාදී පිරිස් විසින් අල්ලා ගැනීමය. එවැනි වර්ධනයක් විසින් දකුණේ අන්තවාදය ශක්තිමත් කැරෙනු ඇති අතර අවසානයේදී එහි වාසිය භීෂක රාජපක්ෂවරුන් සතු වනු ඇත.

නරකම වර්ධනය විය හැක්කේ ප්‍රභාකරන්ගේ සහායෙන් රාජපක්ෂ බලයට පැමිණි 2005 යළි පාදූර්භූත වීමයි.

එනම් දකුණේ රාජපක්ෂ සහ උතුරේ විග්නේශ්වරන් අනියමින් එක්වී සාධනීය වෙනසක් සඳහා ඇති මේ ඓතිහාසික අවස්ථාව පරජය කරනු ලැබීමය‍. එවැනි වර්ධනයට ඇති ඉඩ අඩු නමුත් එය සිදු වනු ඇතැයි උපකල්පනය කිරීම වරදක් නොවනු ඇත.

දෙමළ ජනයාගේ හදිසි ඉල්ලීම් වහාම ඉටු කිරීමට ආණ්ඩුව පියවර නොගතහොත් වර්ධනය වනු ඇත්තේ විශ්වාසය නොව අවිශ්වාසයයි. ගැටුමකට මුල පිරෙන්නේ එතැනිනි.

  සුනන්ද දේශප්‍රිය


-  මෙලනි






2016-09-30
Advertisement

Find us on Facebook