English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසිය තුළ දී ම මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සංස්කෘතිය අහෝසි කරමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පෙත්සමක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට හසලක පොලීසියට ගිය මහියංගන ප‍්‍රදේශයේ හිරු රූපවාහිනී මාධ්‍යවේදී රංජිත් කරුණාවීරට, පෙත්සම්කරුවන් විසින් පොලීසිය තුළ දී ම තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම සහ පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් පක්‍ෂග‍්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ද මාධ්‍යවේදියාගේ ජීවිතාරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මාධ්‍යයක පළ වූ පුවතක් නිවැරදි නොවුණා වුව ද එය අපරාධයක් නොවන හෙයින් පොලීසියට ඒ සම්බන්ධයෙන් ගත හැකි සාධාරණ ක්‍රියාමාර්ග කවරේදැයි ප‍්‍රශ්න කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පුවත පළකළ මාධ්‍ය ආයතනයෙන් අවශ්‍යනම් විමසීමක් කිරීම වෙනුවට මාධ්‍යවේදියාට හිරිහැර සිදුවන ආකාරයේ පසුබිමක් නිර්මාණය කිරීම ගැන කණගාටුව පළ කරයි.
 
බලපත‍්‍ර නීති උල්ලංඝණය කරමින්, මහවැලි ගඟ හරහා ඇති මහියංගනය වේරගංතොට පාලමට හානි සිදු විය හැකි ආකාරයෙන් වැලි ගොඩ දැමීම අදාල පුවතින් අනාවරණය කොට තිබිණ. බැකෝ යන්ත‍්‍ර හා ට‍්‍රැක්ටර් මහවැලි ගඟ තුළට ඇතුල් කර වැලි ගොඩ දමන දර්ශන පුවතට ඇතුළත්ය. පාලමට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් දෙදෙනෙකුගෙන් ලබා ගත් ප‍්‍රකාශ ද පුවතට ඇතුළත්ය. අදාල පුවත පළවීමෙන් පසුව වැලි ගොඩ දමන්නන්ගේ සංවිධාන එකතුවක් විසින් තමන්ගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පළ කිරීමට එරෙහිව පෙත්සමක් හසලක පොලීසියට ඉදිරිපත් කර ඇති අතර, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු විසින් ඒ සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට පොලීසියට පැමිණෙන ලෙස පුවත ඉදිරිපත් කර ඇති මාධ්‍යවේදී කරුණාජීවට දන්වා ඇත.


 
තවත් මාධ්‍යවේදී මිතුරන් කිහිප දෙනෙකු ද සමඟ සැප්තැම්බර් 27 වැනිදා හසලක පොලීසියට ගිය මාධ්‍යවේදී කරුණාවීර පමණක් කටඋත්තර දීම සඳහා ඇතුල් කර ගෙන ඇති අතර, වැලි ගොඩ දමන්නන් විස්සකට වැඩි පිරිසක් ඇතුල් කර ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මාධ්‍යවේදියා වට කරගෙන අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මරණ තර්ජන කළ ද අදාල කටයුත්ත භාරව සිටි උප පොලිස් පරීක්‍ෂකවරයා හෝ පොලීසියේ කිසිවෙක් එය වැළැක්වීමට කටයුතු කර නැත. මේ අවස්ථාවේ ඇතුල් වීමට අවසර නොලද අනෙක් මාධ්‍යවේදීන් බලහත්කාරයෙන් ඇතුල් වී කරුණාවීර මාධ්‍යවේදියා බේරාගෙන පිටතට ගෙන ගොස් ඇත.
 
තමා වෙනුවෙන් පොලීසිය අපක්‍ෂපාතීව කටයුතු නොකිරීම සහ වැලි ගොඩ දමන්නන් විසින් මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කරුණාවීර මහියංගනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අතර පුවත පළවීමෙන් පසු මාධ්‍යයට තොරතුරු දුන් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු පවත්වා ගෙන ගිය ගඩොල් වැඩ පොළ රාත්‍රියේ විනාශ කර දමා ඇත. අනෙක් පුද්ගලයා ගම හැරගොස් සැඟ වී සිටින බව වාර්තා වේ. මේ සිදුවීම්වලින් පෙනී යන්නේ බලවත් වැලි ව්‍යාපාරිකයන්ට යටත්ව පොලීසිය අපක්‍ෂපාතීව ක්‍රියා නොකරන බව හා මාධ්‍යවේදියාගේ ආරක්‍ෂාවට ද තර්ජනයක් සිදු වී ඇති ආකාරයයි. 
 
මාධ්‍යයට අදාල සිදුවීමක දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ යුතු අතර, විශේෂයෙන් පොලිස් ස්ථාන තුළදී ම මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමට හැකි ආකාරයෙන් පොලීසිය පක්‍ෂග‍්‍රාහීව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කොට නිසි ක‍්‍රියා මාර්ග ගත යුතුය. එමෙන්ම මාධ්‍යයට තොරතුරු දුන් පුද්ගලයන්ගේ ජීවිත හා දේපොළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද, මාධ්‍යවේදියාට ඇති ජීවිත අනතුර සම්බන්ධයෙන් ද සුවිශේෂ අවධානයක් යොමු කොට කටයුතු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

-  මෙලනි





2016-09-30
Advertisement

Find us on Facebook