English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කෛරාටකයෙකුට ආත්මය පාවාදුන් නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ දෛවය සහ යුක්තිය !

වත් පැය කිහිපයකින් මෙරට ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් නඩුවිභාගයක් ආරම්භ වීමට නියමිතය. ඒ අනුව,  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්  කරනු ලැබූ  පැමිණිල්ලකට අනුව අධිචෝදනා ලැබූ සැකකරුවන් රැසක් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. එනම්, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්‍ෂක අමාත්‍යාංශයක සේවය කළ ලේකම්වරයෙකු, විශ්‍රාමික නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු සහ විශ්‍රාමික යුධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. මෙය රණවිරුවන් දඩයමක් ලෙස හුවා දක්වමින් රටේ සැලකිය යුතු පිරිසක් අතර අමූලික අසත්‍යයක් ප්‍රචාරය කළ හැකිය. එසේම සැබෑ කාරණය යට ගසා තම මූල්‍ය බලය පෙන්වා රටේ ජනතාවට කළ අපරාධය වසා දැමීමට උත්සහ කළ හැකිය. නමුත්, ස්වභාව ධර්මය කිසිඳු ලෙසකින් මොවුන්ට අනුකම්පා නොකරනු ඇත. එය ඉතාම සෙමින් නමුත් නිශ්චිත සහ ස්ථීර ලෙස ස්වභාවික නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

තණ්හාය ජායතී ශෝකෝ හී කදිම නිරූපණයක් මෙම සැකකරුවන් සිදු කළ කටයුතු වලින් පෙනේ. මාළිගා තනා ඇත. සිතු පරිදි විය හියදම් කිරීම සඳහා වත්කම් උපයාගෙන ඇත. අනෙකා තලාපෙලා දැමීම  සඳහා තම බලය භාවිතා කොට ඇත. ඇතැමුන් ආචාර්යය උපාධිද ලබා ඇත. එනමුත් යළි තම ජීවිතයේ කිසිඳු දිනක කිසිම මිළකට ලබා ගත නොහැකි වෘත්තීමය ගරුත්වය මෙන්ම ආත්මාභිමානය සහමුලින්ම පාහේ අහිමි කරගෙන ඇත. එය වසා ගැනීම සඳහා ව්‍යාජ සිනහව සහ තම මූල්‍යය බලය භාවිතා කළ හැකි නමුදු, දෙවියන් වහන්සේ ඉදිරියේ පව් ක්‍ෂමා කළ පමණින් තම හෘදසාක්ෂියෙන්  නිදහස් විය  නොහැකිය.

ෆයෝදෝර් දොස්ටෝව්ස්කිගේ වඩාත් ප්‍රකට නවකතාවක් වන කර්මජෝව් සහෝදරයින් හි එන “විශිෂ්ඨ විචාරකයා” ( ද ගරෑන්ඩ් ඉන්කියුසිටර්) නමැති පද්‍යය ගැන අපි බොහෝ දෙනෙකු දන්නෙමු. එහිදී ලේඛකයා මානව සංහතියට සත්‍යය උදා කර දීම සඳහා ජේසු තුමන් කළ සේවය පල්ලිය විසින් අපහරණ කළ ආකාරය පැහැදිලි කරනු ලබයි. හැකි තරම් බොරු කරමින්, තම තත්වය රැක ගැනීම සඳහා තමන්ගේ සගයින් කිසිඳු හිරිකිතයක් නොමැතිව පවා දෙමින්, පසුව සුදනන් සේ දෙවියන් වහන්සේ ඉදිරියේ සමාව අයැදීම එදා මෙන්ම අදත් සුලභ කාරණයකි.

ඇවන්ට් ගාඩ් සමාගම මෙරට නාවික හමුදාවේ සේවය කුණු කොල්ලයට දමමින් එහි අභිමානය විනාශ කරන විට මසකට ලැබෙන මූල්‍යය වත්කම් සහ අනෙකුත් දීමනා හමුවේ, එම ආයතනයේ හිටපු ප්‍රධානීන්, ගැටිස්සියන් මෙන් හැසිරුණු ආකාරය ඉතා අප්‍රසන්නය. ඊට රටේ ආරක්‍ෂක අමාත්‍යාංශය බාරව සිටි ලේකම්වරයාද ඉහළින් සම්බන්ධ වෙමින් අදාළ මේජර්වරයාගේ මුදල් හමුවේ රටේ මූලික සදාචාරත්මක පිළිවෙල ඝාතනය කරනු ලබන්නේය. ඒ සඳහා තමන්ට රිසි සේ මෙහෙයවිය හැකි අතිරේක ලේකම් වරුන් භාවිතා කොට නීතිය තමන්ට අවශ්‍යය ආකාරයෙන් නවන්නේය. එසේම අදාළ සමාගමේ ප්‍රධානියා එහි සේවයට ගිය නාවික හමුදාපතිවරුන්ට, “…මේ කොමාන්ඩර් පරයෝ…” යැයි ශුද්ධ සිංහලෙන් අමතනු ලැබූ අවස්ථා තිබු බව වාර්තා වේ. ඔහුගේ මුදල් කතා කළේ එලෙසය. එය අනාගතයේ කතා කරන්නේද එසේය.

හෙට පැවැත්වීමට නියමිත නඩු විභාගයේදී මුදල් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බව අදාළ ආයතනයේ ප්‍රධානියා වන විශ්‍රාමික මේජර්වරයා සියලුම දෙනාට වියදම් වන මුදල් සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී ඇත. ඒ අනුව තමන්ට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍යය පිරිස් එකතු කර ගැනීමේ ප්‍රධාන වැඩපිළිවෙලක අදාළ චූදිත  පුද්ගලයින් මේ වන විට නිරත වී සිටිති.

මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කළ පරිදි අදාළ මෙජර්වරයා  හැකි උපරිමයෙන් තම මුදල් වියදම් කොට ඔහුට එරෙහිව මතුවන සියලුම විරෝධයන් යටපත් කොට වත්මන් නාවික හමුදාපතිවරයා සහ අනෙකුත් රටට හිතැති පාර්ශවයන් සිදුකළ සේවය හෑල්ලුවට ලක් කොට ඇත. මේ වන විට නාවික හමුදාපතිවරයාට සහ අනෙකුත් පාර්ශවයන් වලට එරෙහිව සියුම් වැඩපිළිවෙලක් ක්‍රමයෙන් මෝදු වෙමින් පවතින අතර එහි මූලික අරමුණ ගොඩ නැගූ යහපත් දෑ කඩාබිඳ දැමීම විය හැකිය. එබැවින්, සුන්දර වෙස්මුහුණුවලින් වසා ගෙන රඟන  මෙම නළුවන් කළ අපරාධ වලට යුක්තිය පසිඳලිය යුත්තේ විවිධ දේශපාලන චරිත වල ආශාවන් සංසිඳුවීමට වඩා රටේ නීතිමය ව්‍යුහය ශක්තිමත් කිරීමටය.

මෙවැනි කෛරාටකයින්ට රටේ සම්පත් මංකොල්ල කෑමට ඇති අවස්ථා අහිමි කිරීම  සැබෑ දේශප්‍රේමී කටයුත්තක් වේ. තම ව්‍යාපාරය ලංකාවේ කරගෙන යෑමට නොහැකි තැන ශීෂෙල් , මොරිසි වැනි රටවල් වලට මාරු කළේද යන්න මෙරට රාජ්‍යය ඔත්තු සේවාවන් විසින් සොයාගත යුතු කාරණයක් වේ. මෙම වංචාව විසින් සමස්ථ රටට කළ හානිය ඉතා ප්‍රභල බැවින්, මෙහිදී රටේ නායකත්වය යුක්තිය වෙනුවෙන් ඍජුව සහ ස්වාධීනව පෙනී සිටීම ඉතාම තීරණාත්මක වේ. එවිට “රණවිරු දඩයම” යැයි ඇතැම් දේශපාලනඥයින් රටේ ජනතාවට දෙන ගිනි ගෙඩිවල සැබෑ ස්වරූපය  තේරුම්කර දීමට අවස්ථාව උදා වනු ඇත.

                      

රටට නව ආයෝජකයින් ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම් වැදගත් වන්නේ ව්‍යාපාර කටයුතු සඳහා රට තුළ ශක්තිමත් වැඩපිළිවෙලක් තිබෙන බව ක්‍රියාවෙන් පෙන්වීමය. ඒ වෙනුවට, කෙනෙකු ජනාධිපති ධූරයට ඉල්ලන්නේ නැතැයි කියා “තමිල්චෙල්වන් සිනහවෙන්” මාධ්‍යය ඉදිරියේ පෙනී සිටීමෙන්  පසු එය විශ්වාසයේ තබා ඔහු සමග සම්මුතියකට  ගියහොත් සිදුවන්නේ රෑ වැටුණු වලේ දවල් වැටීමටය. වැදගත් වන්නේ නීතිය නිසි පරිදි ඉටුකිරීම මිස හුදු වදන් ගැන විශ්වාසය තබා යුතුකම් පැහැරහැරීම නොවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත පිරිසකට ගතු කියමින් , ලංකාව අනාරක්ෂිත රටක් යැයි එහි වර්තාවක සටන් කරගෙන එය අවභාවිතා කොට තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කළ කෛරාටකයෙකු,  ඔහු හමුවේ තම මවට මෙන් ගරුකළ යුතු ආයතනය මෙන්ම තමන්ගේ ආත්මය පාවාදුන් නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු, මෙන්ම අනාගත ජනාධිපති වීමට සිහින දකින සිහින කුමාරයා ඇතුළු තවත් කිහිප දෙනෙකු, හෙට දිනයේ මෙරටට ඉගැන්වීමට යන පාඩම රටේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව අවධාරණය කළ යුතු වේ.

මෙතරම් ලජ්ජා නැති වැඩකින් පසු තවත් මොන හොරකම්ද? තවත් මොන සමාවක්ද?

     නිලන්ත ඉලංගමුව


                                     උපුටා ගැනීම - Sri Lanka Guardian 

                                                          -  මෙලනි





2016-09-29
Advertisement

Find us on Facebook