English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මළ සිරුරු වළදන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය
මෙරට මෙන්ම අන් බොහෝ රටවලද ජනමාධ්‍යයෙහි පවත්නා පිළිකාවක් වන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය දැන් යළි සාකච්ජාවට පැමිණ තිබේ. ඒ රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිරුර පසුගිය 27දා යළි පරීක්ෂා කිරීම පිණිස ගොඩ ගත් අවස්ථාවෙහි එහි රැස්වූ සමහර ජනමාධ්‍ය ජායරූප ශිල්පීන්ගේ දුරාචාර හැසිරීම නිසාය.

ලසන්ත වික්‍රමතුංගගේ දරුවන් සිය පියාගේ වසර හතකට පසු ගොඩ ගැනෙන මළ සිරුර ජනමාධ්‍ය මගින් ආවරණය නොකරන ලෙස ඉල්ලා සිට තිබුණි. එස සහමුලින්ම සාධාරණ සහ මානුෂීය ඉල්ලීමකි. දිරා ගිය මළ සිරුරක් රෑප ගත කිරීමෙන් ජනමාධ්‍ය ලබන වාසිය කුමක්ද? ජායාරූප ශිල්පියකුට එවැනි අවස්ථාවක් නිරෑපනය කැරෙන මළ සිරුරට අදාළ නැති නිර්මානාත්මක ජායාරූපයක් ගැනීමට පුලුවන් විය යුතුය. එසේත් නැත්නම් ලසන්ත සම්බන්ධ වෙනත් ජායාරූපයක් පළ කරන්නට ද පුලුවන්කම තිබුණි.

එහෙත් එහි රැස්වූ ජායාරූප ශිල්පීහු තමන්ට ගොඩ ගැනෙන සිරුර ආවරණය කරන්නට අවශ්‍ය බවට තර්ක කළහ. කවරකු හෝ ඩ්‍රෝන කැමරාවක් අහසට යවා එම අවස්ථාව ජායාරූප ගත කිරීමට උත්සාහ කළේය. තවත් ජායාරූප ශිල්පියෙක් කනත්තේ වැටෙහි නැග එම ජායාරූප ගැනීමට මාන බැලුවේය.

මේ කුමක් නිසාද? ජනමාධ්‍ය සදාචාරය හා මිනිස්කම ගැන තඹ දොයිතුවකවත් නොසළකන නිසාය. අනෙකාගේ වේදනාව හැම විටම තමන්ගේ ජායාරූපය විය යුතුයැයි කල්පනා කරන නිසාය. නැත්නම් තමන්ට ඕනෑම අයකුගේ පුද්ගලික ජීවිතයට එබී බැලීමට අහවල් අයිතියක් ඇතැයි සිතා සිටින නිසා ය. කණගාටුවකට මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද කරුණූ සොයා බැලීමකින් තොරව එකී දුරාචාර මාධ්‍යවේදය සඳහා අයිතිය ඉල්ලමින් ප්‍රකාශයක් ද නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විශේෂයෙන්ම රෑපවාහිනී මාධ්‍ය අවමඟුල් අවස්ථාවන්හිදී අතිශය වේදනාවෙන් සිටින ඥාතීන්ට කැමරා හරවා ප්‍රශ්ණ අසන්නේ ද මෙම දුරාචාර මාධ්‍යවේදය නිසාය. අනෙකාගේ දුක සහ වේදනාව මුදල් බවට පත්කර ගැනීම මෙම මාධ්‍යවේදයේ දුෂ්ඨ ළකුණකි.

ජනමාධ්‍ය විශේෂයෙන්ම අපරාධ සහ ඝාතන ආවරණ මාධ්‍ය ධාරාව විසින් මාධ්‍යවේදියා අමානුෂික බවට පත් කරවන්නේ යැයි කියනු ලැබේ. එවැනි අවස්ථා මානව හැගීමකින් තොරව යාන්ත්‍රිකව වාර්තා කිරීමට ජනමාධ්‍යවේදීහු විශේෂයෙන්ම ජායාරූප ශිල්පීහු පෙළඹෙති. එවැනි සිදුවීම් වාර්තාකරණය සම්බන්ධයෙන් ඇති ජනමාධ්‍ය මඟපෙන්වීම් අප රට තුළ භාවිත වන්නේ නැත.

ජනමාධ්‍ය සහ ආචාර ධර්ම පිළිබඳව සිංහල සහ දෙමළ බසින් කැරෙන විධිමත් සහ නූතන සංවාද විවාදයන්හි අඩුව මෙරට සමාජ දේශපාලන කතිකාවෙහි මහත් දුබලතාවයකි.

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩ නැගීම ආවරණය කිරීමට බලය ඉල්ලූ ජනමාධ්‍යවේදීන් විසින් දැන්වත් කල්පනා කළ යුතු ප්‍රශ්ණයක් තිබේ. එනම් එළෙස ගොඩ ගැනුනේ සිය පියාගේ හෝ සහෝදරයකුගේ හෝ සිරුරක් නම් තමා එම අවස්ථාව ආවරණය කරන්නේ කෙසේද යන්නයි.

තමා උපමා කොට අනුන් ගැන කල්පනා කරන්නැයි අප කොතරම් නම් අසා ඇත්තෙමුද? මෙවැනි අවස්ථාවන්හිදී ජනමාධ්‍යවේදීන් වන අප පළමුවෙන්ම අසා ගත යුතු ප්‍රශ්ණය එයයි.

  සුනන්ද දේශප්‍රිය


ඡායාරූපය  - Lankadeepa

-  මෙලනි





2016-09-29
Advertisement

Find us on Facebook