English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ නිසා අපේ මානව හිමිකම් කැඩෙනවා – හර්මන් කුමාර
"දැන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට නියමිතව ඇත. එහිදී අපට ඇති ප්‍රධාන ප්‍රශ්නය ජනතාවට තිබුණ මූලික සහන හෝ අවම සහන අහිමි වන තත්ත්වයකට අප එකඟ වෙනවාද නැද්ද යන්නයි. අපටත් වඩා දුප්පත් රටක් වන නේපාලය පවා මිනිසුන්ට ජීවත් වීමට තිබෙන අයිතිය, ආහාර ස්වෛරීත්වයට ඇති අයිතිය, මහ පොළොවේ සම්පත් භාවිතය පිළිබඳව ජනතාවට තිබෙන අයිතිය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන්ම පිළිගෙන ඇත. ජනතාවට තම අධ්‍යාපනය, ආහාර, භූමිය, ජලය, සෞඛ්‍යය පිළිබඳව යම් ආකාරයකට නීත්‍යනුකූල පිළිගැනීමක් ඇති කරන්නට නම් මේ කාරණය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීම අවශ්‍ය වෙයි."


පිංතුරය - මෙලනි මනෙල් පෙරේරා

සැප්තැම්බර් මස 15 වෙනිදා, විදියේ විරෝධය සහ නිදහසේ වේදිකාව විසින් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි සාකච්ඡාවක් පැවති අතර, එහිදි ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මෙන්ම ලෝක ධීවර සම්මේලනයේ නිත්‍ය නියෝජිත හර්මන් කුමාර විසින් මෙම අදහස් පළකළේය.

ඔහුගේ අදහස් දැක්වීම 2016 සැප්තැම්බර් 25 වන දින රාවය සමබිම තීරුවේ පලවී තිබු අතර, ජයනි අබේසේකර විසින් එම ලිපිය සම්පාදනය කර තිබුණි.

"නව ලිබරල් ආර්ථීක ක්‍රමයක් තුළ රජයක් බොහෝ විට උත්සාහ ගන්නේ ජනතාවට තිබෙන මූලික සහන හැකිතාක් අවම කරන්නටය. ඒ සහන හෝ සහනාධාර සීමා කිරීමට සිදුවන්නේ එක්කෝ රජයට දරන්නට බැරි ආර්ථීක ක්‍රියාවලියක් තුළ ඒවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිසා විය හැකිය; නැතහොත්, රජය විසින් අනුගමනය කරන ක්‍රියාවලින් සඳහා ලබා ගත යුතු ආධාර පිළිබඳව අදාළ යම් කොන්දේසි හෝ එකඟතාවන් හෝ නිර්දේශ හේතුවෙන් හෝ විය හැකිය."

"දැන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට නියමිතව ඇත. එහිදී අපට ඇති ප්‍රධාන ප්‍රශ්නය ජනතාවට තිබුණ මූලික සහන හෝ අවම සහන අහිමි වන තත්ත්වයකට අප එකඟ වෙනවාද නැද්ද යන්නයි. අපටත් වඩා දුප්පත් රටක් වන නේපාලය පවා මිනිසුන්ට ජීවත් වීමට තිබෙන අයිතිය, ආහාර ස්වෛරීත්වයට ඇති අයිතිය, මහ පොළොවේ සම්පත් භාවිතය පිළිබඳව ජනතාවට තිබෙන අයිතිය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන්ම පිළිගෙන ඇත. ජනතාවට තම අධ්‍යාපනය, ආහාර, භූමිය, ජලය, සෞඛ්‍යය පිළිබඳව යම් ආකාරයකට නීත්‍යනුකූල පිළිගැනීමක් ඇති කරන්නට නම් මේ කාරණය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීම අවශ්‍ය වෙයි."

"මිනිසුන් විසින් ඉල්ලා සිටින අවම ජීවත්වීමේ ඉඩකඩ ලබා නොදීමත් රජයේ සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ වුවකි. මේ ක්‍රියාවලියේදී අප සිටින්නේ අපදාපාත්‍රී නැත්නම් අනතුරාසන්න (vulnerable) කණ්ඩායම් සමගය. ඔවුන් නීතිය ඉදිරියට ගොස් තමන්ට සිදුවෙන අසාධාරණය, පීඩනය සම්බන්ධයෙන් යම් කිසි මැදිහත් වීමක් කරන්නේ කෙසේද යන්න වැදගත්ය."

"මේ ජනතාවට වෙනත් ජීවන මාර්ග නැත. ආදායම් මාර්ගද නැත. ඔවුන් සතු එකම ධනය මේ ජලය, භූමිය, මහමුහුද යන සම්පත් ය.  අපි අපේ අවධානය යොමු කරන්නේ ඒවාට ඇති අයිතිවාසිකම පිළිගනිමින් එය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කරගන්නේ කෙසේද යන්න සම්බන්ධවය."

"තමන්ගේ ඉඩම් අහිමි කරන ලද පානම ප්‍රදේශයේ මිනිස්සු ගිනි තබා ගෙන මැරෙන්නට පවා සූදානමින් සිටිති. මේ ඉඩම් ජනතාවට නොදී හිරකරගෙන සිටින්නේ වර්තමාන ආණ්ඩුවේ ආර්ථීක වැඩපිළිවෙළ නිසාය. අපට මේ ආර්ථීක වැඩපිළිවෙළ ගැන කතා නොකර මානව හිමිකම් ගැන කතා කරන්නට  නොහැකිය. අද එසේ කතා නොකළහොත් අපට සිදුවන්නේ ඒ මිනිසුන් අතුරුදන්කරන විට හෝ වෙඩි තබා ඝාතනය කරන විට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කඩවීම ගැන කතා කරන්නටය. නිදසුනක් ලෙස කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රොෂේන් චානක අරගල කළේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙනි. අපි තාමත් රොෂේන්ගේ අරගලයේ නිරතව සිටිමු. මිනිසුන් නැගී සිටින්නේ තම අයිතිවාසිකම් වෙනුවෙනි. ඒවා අයිතිවාසිකම් ලෙස පිළිගන්නේ නැතිනම් අපිට සිද්ධ වෙන්නේ සමාජ බලවේගයක් හැටියට මේ අයිතීන් ඉල්ලා සටන් කරන්නටය."

"වර්තමානයේ ණය බර වැඩි ය යන කරුණ මත ණය බර අඩු කරන තැනකට යාමට ආණ්ඩුව තම වියදම් අඩු කරනු ඇතැයි මම විශ්වාස නොකරමි. දැනට යෝජනා කර ඇති ජාතික භෞතික සංවර්ධන සැලසුමේ වැඩ සියල්ලම කරන්නේ ණය මුදල් මගිනි. එහි ඇති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට, ආර්ථීක කලාප, ගුවන් තොටුපල, අධිවේගී මාර්ග, වරාය සෑදීමට තව තවත් ණය මුදල් ලබා ගත යුතුය. නමුත් දැනටමත් ඒ සැලසුම අනුව වැඩ ආරම්භ කර ඇත. මේ වන විටත් කොළඹ සහ ත්‍රිකුණාමලය නගර ආශ්‍රිත ප්‍රදේශ මෙගාපොලිස් හෙවත් මහා නගර සෑදීම වෙනුවෙන් සකස් වෙමින් පවතියි. මේ තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව ජනතා නැගිටීම් සිදු වනු ඇති අතර ඒ සමගම පුද්ගලයන් අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම් වැඩි වැඩියෙන් සිදුවෙනු ඇත. ඒ නිසා අපේ ඉඩම්, වතුර සහ පරිසරයට තිබෙන බලපෑම ගැන සාධාරණය ඉටුකරන ලෙස අධිකරණයට ගොස් අභියෝග කිරීමට අපට සිදු වනු ඇත. ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට ඒවා අධිකරණ මගින් බලාත්මක කරගැනීමට අවශ්‍ය ඉඩ කඩ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුළත් කරගැනීමට අප අරගල කළ යුත්තේ එබැවිනි."


-  මෙලනි



2016-09-29
Advertisement

Find us on Facebook