English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව අභියෝගය භාර ගැනීමට සැරසෙයි !

නොවැම්බරයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට කලින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ නායකයෝ කියමින් සිටිති. ජනමත විචාරණයක අනුමැතියත් අවශ්‍ය කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජනමත විචාරණයක් පවත්වා ඉන් පරාජය වුවහොත් එය ආණ්ඩුවේ අවසානය වනු ඇත. ‘මහජන අදහස් විමසීමේ කමිටුවේ’ සභාපති ලාල් විජේනායක පසුගිය සතියේ ප‍්‍රකාශයක් කෙළේය. එනම්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක විවිධ අංග පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු අනුකාරක සභා හයෙන් පහක්ම තමන්ගේ වාර්තා මේ වන විට අවසන් කොට ඇති බවයි. අගමැතිවරයා විසින් පත්කරන ලද 19 දෙනෙකුගෙන් සමන්විත ‘මහජන නියෝජන කමිටුව’ මගින් අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළ කරුණු ගැන ජනතා අදහස් විමසා බැලීමේ විශේෂ ප‍්‍රයත්නයක් ගන්නා ලදි. මේ කමිටුව ඉදිරියේ දැක්වූ සෑම අදහසක්ම සැළකිල්ලට ගන්නා බව, එහි සභාපති ලාල් විජේනායක සපථ කොට සිටියේය.

සීමිත කාලයක් තිස්සේ වුවත්, මහජන අදහස් දැන ගැනීම සඳහා කටයුතු කරන ලද මේ අවස්ථාව ශ‍්‍රී ලංකාවේ නව ආරක් පෙන්නුම් කරයි. මීට කලින් අප සකසා ගත් ව්‍යවස්ථා දෙකම, එනම් 1972 සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණු ආණ්ඩුවත්, 1978 ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවත් ගෙනා අළුත් ව්‍යවස්ථා සකස් වුණේ ඉහළ සිට පහළටයි. කිහිප දෙනෙකු පමණක් ඒ සඳහා සහභාගී වූ අතර ඔවුන් බොහෝ විට දේශපාලඥයන් සහ නීතිඥයන්ගෙන් සමන්විත විය. ජනතාවගේ අදහස් උදහස් නොවිමසා ඔවුහූ බරපතල තීන්දු ගත්හ.

1972 ව්‍යවස්ථාව සකස් කළ අයවළුන් අධිකරණය ආණ්ඩුවේ විධායකයට යට කිරීමට තීරණය කළ අතර, ඒ නිසා ආණ්ඩුකරණයේ තිබිය යුතු සංවරණ සහ තුලන ක‍්‍රියාවලිය පිළිබඳ න්‍යාය සෝදාපාළු විය. රට අධිකාරීවාදී දිසාවකට ගෙන ගිය ඒ බරපතල තීන්දුව ගැනීමේදී එදා පාලකයන් ජනතාවගේ අදහස් විමසා බැලූවේ නැත. එය ආපස්සට හැරවීම පටන්ගෙන ඇත්තේ දැන් ය.

1978 ව්‍යවස්ථාව සකස් කළ අයවළුන් සුපිරි බලයක් විධායක ජනාධිපති ධුරයට පැවරීමට තීන්දු කළ අතර, ඊට කලින් එනම් 1972 දී පටන් ගත් අධිකාරීවාදී පාලන ගමන එයින් තවත් ජවසම්පන්න විය. එය කෙළේද, ජනතා අනුමැතියක් නොගෙනයි.

එදා මෙන් නොව, අද ආණ්ඩුව ජනතාවගේ අදහස් සොයා බලයි. මේ අදහස් විමසීමේ ක‍්‍රියාවලිය තුළ ඇති ගැඹුර සහ දිග පළල පිළිබඳ ඇතැම් විවේචන මතු කෙරේ. ඒ සඳහා ලබා දුන් මාස හයක කාල සීමාව කෙටි වැඩි ය. අදහස් විමසීමේ ක‍්‍රියාවලියක් දියත් කොට ඇති බව බොහෝ දෙනා දැන සිටියේ නැත. මේ නිසා ඒ ක‍්‍රියාවලියට සහභාගී වූ හැම මට්ටමකම පිරිස සීමා විය. මේ ක‍්‍රියාවලියට නිසි ප‍්‍රචාරණයක් ලබා දුන්නේ නැත. එනිසා එම කමිටුවේ සාමාජිකයන්ට බොහෝ විට සිදු වුණේ තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා හරහා අදහස් දැක්වීම සඳහා මිනිසුන් සහභාගී කරවා ගැනීමටයි. ආණ්ඩුවෙන් මේ සඳහා වෙන් කළ සම්පත්ද සීමා සහිත විය. එසේ වතුදු, මේ කමිටුව සඳහා පත් කරන ලද සෑම කෙනෙකුම එය අර්ථවත් ක‍්‍රියාවලියක් බවට පත්කර ගැනීමට වගබලා ගත්තේය.

ජනතාව නොමග යැවීම

‘මහජන නියෝජන කමිටුව’ මගින් ප‍්‍රකාශයට පත්කරන ලද පිටු 200 ට වැඩි වාර්තාව, ඉතා සරළව සහ පැහැදිළිව ලියන ලද්දකි. නීතිමය යෙදුම් අධ්‍යයනය කරමින් කාලය කා දැමීමට කැමති නැති ඕනෑම කෙනෙකුට එම වාර්තාව පහසුවෙන් තේරුම්ගත හැකි වන ආකාරයෙන් ලියා තිබේ. ලාංකීය ජනතාව අතර බෙදීම් ඇති කොට තිබෙන විවාදාපන්න දේශපාලන ප‍්‍රශ්න ගැන මූලික තේමාවන් එම වාර්තාව තුළ ඉදිරිපත් කෙරේ. එපමණක් නොව, ඒ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම කමිටුවේ ඒ ඒ සාමාජිකයා දරණ අදහසත්, පාරදෘෂ්‍ය භාවය සඳහා, එහි දක්වා තිබේ. සාමාජිකයන් අතරේ පවතින වෙනස් මතිමතාන්තර නිසා තනි නිර්දේශයක් ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවල ඔවුන් වෙන වෙනම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. බොහෝ විට ඒවා එකිනෙකට පටහැනි ය. එකම කරුණක් අරභයා එවැනි නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කිරීමේ අභිලාෂය වන්නේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට බලය පැවරෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඒ ඒ ප‍්‍රශ්නය පිළිබඳව ජනතාව අතරේ ඇති විවිධ පැතිකඩ දැක ගැනීමට අවස්ථාව සලසා දීමයි.

එවැනි සන්දර්භයක් තුළ, වාර්තාව තුළ ඉදිරිපත් කොට ඇති ඇතැම් සාමාජිකයන්ගේ අදහස් පමණක් අල්ලාගෙන, අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසෙන්නේ එම අදහස්වලින් බව, ඒකාබද්ධ විපක්ෂය කියා සිටීම අවාසනාවන්ත ය. උදාහරණයක් වශයෙන්, වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට දී ඇති ප‍්‍රමුඛ ස්ථානය පිළිබඳ ප‍්‍රශ්නය හෝ රාජ්‍යයේ ඒකීය භාවය පිළිබඳ ප‍්‍රශ්නය හෝ උතුරු පලාත් සභාව සහ නැගෙනහිර පලාත් සභාව එකට යා කිරීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් එකී නියෝජන කමිටුව නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කෙළේය. මන්ද යත්, එම ගැටළුවලට අදාළ තනි එකඟතාවක් ඇති කර ගැනීමට ඔවුන් අසමත් වූ බැවිනි. එසේම, තමන් ඉදිරියට පැමිණි අයවළුන් ඉදිරිපත් කළ විවිධ අදහස් උදහස්ද වාර්තාව තුළ ඉදිරිපත් කෙරුණි. එපමණක් නොව, තනි නිර්දේශයක් ඉදිරිපත් කළ නොහැකි වූ විට, වෙන වෙනම නිර්දේශ ඉදිරිපත් කළ ඒ ඒ අයවළුන්ගේ නම් පවා එහි දැක්වුණි. ඒ අනුව, මේ වාර්තාවෙන් තමන් භාරගත යුත්තේ කුමන නිර්දේශයන්ද, එසේ නැතහොත් ඒ සියල්ලට වෙනස් දෙයක් තමන් තෝරා ගන්නේද යන්න පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඉතිරි කොට තිබේ.

එම වාර්තාව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් සාමාජිකයන් සදාචාර-විරෝධී ආකාරයෙන් අර්ථ දක්වනු ලැබේ. ඒ අනුව, වර්තමාන ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලැබී ඇති ස්ථානය ඉවත් කිරීමටත්, රාජ්‍යයේ ඒකීය භාවය අහෝසි කිරීමට සහ උතුරු නැගෙනහිර දෙපළාත් එක් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ඔවුහූ චෝදනා කරති. තමන් වෙත ලැබුණු ඇතැම් නියෝජනයන් මත රැුඳෙමින් එවැනි යෝජනා කිහිපයක් කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකු තමන්ගේ නිර්දේශ වශයෙන් ඉදිරිපත් කොට ඇති බව සැබෑවක් මුත්, ඒ නිසාම එම අදහස සමස්ත වාර්තාවෙන් නිර්දේශ කොට ඇතැයි හෝ කමිටු සාමාජිකයන් බහුතරයකගේ අදහස එය වේ යැයි කීම හෝ මුසාවකි. ඇත්තෙන්ම කමිටුවේ බහුතර මතය වුණේ, අඛණ්ඩත්වය සහ වෙනස අතර මධ්‍යස්ථ ස්ථාවරයකි.

නිවැරදි වෙලාව

ඒකාබද්ධ විපක්ෂයේ සදොස් ප‍්‍රචාරණයට ප‍්‍රතික‍්‍රියා දැක්වීමට ආණ්ඩුව ප‍්‍රමාද වීම හේතුවෙන්, එම කමිටු වාර්තාවේ නිර්දේශ ආණ්ඩුව විසින් නොසළකා හැරීමට ඉඩ ඇතැයි යන සැකයක් මතුව තිබේ. මේ මහජන නියෝජන කමිටු වාර්තාව පිළිබඳව මෙතෙක් මහජනයා දැනුම්වත් කිරීමේ ප‍්‍රමාණවත් ව්‍යාපාරයක් ගොඩනැගී නැත. රටේ ජනතාව තුළ විවිධ අදහස් ඇති මුත්, අන්‍යොන්‍ය පිළිගැනීමක්ද අවශ්‍ය කරන විවාදාත්මක ප‍්‍රශ්න පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැදගත් අවස්ථාවක් මේ අනුව මගහැරී යා හැක. මහජන නියෝජන වාර්තාව හුදෙක් අන්තර් වාර්ගික ප‍්‍රශ්නවලට අදාළ කරුණු ගැන පමණක් සාකච්ඡුා කෙරෙන්නක් නොවන අතර, කාන්තාවන් සඳහා වෙන් විය යුතු විශේෂ නියෝජනය, ලිංගික සුළුතරයන්ගේ අයිතීන් සහ ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් ආදී තවත් බොහෝ දේ සාකච්ඡාවට ලක් කෙරෙන්නකි. එම ප‍්‍රශ්න පිළිබඳව සමස්තයක් වශයෙන් සමාජය දරණ අදහස්, නිදහස්කාමී අදහස්වල සිට මර්දනකාරී අදහස් දක්වා වන පුළුල් පරාසයක් මේ වාර්තාව තුළ භජනය කෙරෙන නිසා, එය ඉතා විශිෂ්ඨ අධ්‍යාපනික මෙවලමක් වශයෙන් පාවිච්චියට ගත හැකි වන්නේය.

මේ කර්තව්‍යය භාර ගන්නා ඇතැම් පුද්ගලයෝ සිටිති. ආණ්ඩුකරණයේ පැවතිය යුතු ලෞකික සහ ෆෙඩරල් ස්වභාවය ගැන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුගිය දා අදහස් ප‍්‍රකාශ කොට තිබුණි. මේ අදහස් ඈ පළ කෙළේ, ඇය නායකත්වය දෙන ‘ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියාව පිළිබඳ කාර්යාංශය’ මගින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී ය. ඈ සමග, ජාතික සහජීවන අමාත්‍ය මනෝ ගනේෂන් සහ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම භාරව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයම්පති වික‍්‍රමරත්නත් අදහස් දැක්වූහ. අර්ධ-ෆෙඩරල් දකුණු අප‍්‍රිකාව සහ ෆෙඩරල් නයිජීරියාව වැනි වාර්ගික වශයෙන් බෙදුණු සමාජයන් තුළ ප‍්‍රයෝජනවත් විය හැක්කේ, බලය බෙදාහදා ගැනීමේ ෆෙඩරල් මාදිලියක් බව හිටපු ජනාධිපතිවරිය කියා සිටියාය. එසේම ඉන්දියාව උදාහරණයට ගනිමින්, ව්‍යවස්ථාවක් ලෞකික වීමේ ඇති වැදගත් කමත් ඈ පෙන්වා දුන්නාය. ඇගේ අදහස් සමග සභාව එකඟ වූ බවක් පෙනෙන්ට තිබුණි. මන්ද යත්, ප‍්‍රශ්න ඇසීමේ වාරයේදී එය ඉතා සජීවී ආකාරයක් මිස ප‍්‍රහාරක ආකාරයක් නොගත් බැවිනි.

අනිත් අන්තයේ සිටින, ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙකු වන අන්ත ජාතිකවාදි විමල් වීරවංශ එක් මහ නායක හිමිවරයෙකුගෙන් බැනුම් ඇසූ බවත් වාර්තා විය. අළුත් ව්‍යවස්ථාව රටේ ඒකීය භාවයට තර්ජනයක් වෙතැයි ඔහු කී අවස්ථාවේ, රට බෙදන කිසි දෙයක් ව්‍යවස්ථාවට ඇතුළත් නොකරන බවට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද තමාට සහතික වී ඇති බව මල්වතු පාර්ශ්වයෙන් මහ නායක පූජ්‍ය තිබ්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඔහුට පෙන්වා දී තිබේ. නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කරන හෙයින් ඒ පිළිබඳව අනවශ්‍ය සේ කලබල නොවන්නැයි උන්වහන්සේ ඔහුටත් ඔහුගේ සගයන්ටත් එහිදී කියා තිබේ. මේ කරුණුවලින් පෙන්නුම් කරන්නේ, නිවැරදිව සිතිය හැකි සදාචාරවත් පිරිස් යම් විසඳුමක් සොයා ගැනීම කෙරෙහි තත්පර වන බවකි. ඒ නිසා මේ පණිවිඩය ජනතාවට අතරට ගෙන යා යුතු කාලය මෙයයි. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන්ගෙන් උරුම කර ගත් දේශපාලනික ප‍්‍රශ්න ඉබේ විසඳී නොයන බවත්, ඒ සඳහා වැඩ කළ යුතුව ඇති බවත්, ඒ සඳහා වඩාත් උචිත අවස්ථාව මෙය වන බවත්, අවසාන වශයෙන් කිව යුතුය.

ආචාර්ය ජෙහාන් පෙරේරා

(2016 සැප්තැම්බර් 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Government Gets Prepared to Take Up the Gauntlet නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


-  මෙලනි





2016-09-26
Advertisement

Find us on Facebook