English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කොමාවක් වන මතට සහ මත් කුඩට තියන තිත !

පන්සිල් පද පහෙන් එකක් වන මත්පැන් නොබීමට ගිවිස ගැනීමට පොරොන්දු වූ එනම් පන්සිල් පද නොකී සිංහල බෞද්ධයකු නැත. පාසල් යන සමයෙහි අපි දිනපතාම ඒ ගිවිස ගැනීම කළෙමු. එකළ බෞද්ධ ගාතා ඇසුණේ උදෑසන රේඩ්යෝවෙන් පමණි. දැන් දවස පුරා ජවාරම් කරන සියළු ගුවන් විදුලි ආයතන උදයට පමනක් නොව රෑ යාමයට ද බණ ප්‍රචාරය කරති. එකළ හන්දි ගානේ බුදු පිළිම හෝ අසූ අට රියන් පිළිම තිබුණේ ද නැත. එමෙන්ම ලවුඩ්ස් පීකර වලින් හන්දි ගැනේ බණ කිව්වේද නැත. ලක්ෂයේ පිච්ච මල් පුජා හෝ සති පතා කොහේ හෝ බෝධි පූජා තිබුණේ ද නැත. මේ අනුව අද මේ සසිරිබර සිරි ලංකාවේ බෞද්ධකම තරම් දොරේ ගලා යන වෙනත් ඇදහීමක් නැත.

බෞද්ධකම පෙන්වීමට පාවිච්චි කරන තවත් සරුව පිත්තලයක් නම් අමද්‍යප ව්‍යාපාරය පටන් ගැනීමය. සිගරට් බීමෙන් මිනිස්සු මැරෙති. මද්‍යසාර පමණට වැඩියෙන් ගැනීමෙන්ද මිනිස්සු මැරෙති. පමණ ඉක්මවා මත් කුඩු ගැසීමෙන්ද මැරෙති. නොමැරී ද මැරෙති. ඒ සියල්ල ඇත්තය. එහෙත් අමද්‍යප විරයින් නොඅසන ප්‍රශ්ණය නම් පන්සිල් පද වලින් එපා කියත්දීත් සෞඛයට අයහපත් බව දැන දැනමත් මිනිස්සු බොන්නේත් සහ සිගරට් ගංජා යනාදිය උරන්නේත් මන්ද යන ප්‍රශ්ණයයි.

අප යුක්තිය පුවත්පත පවත්වාගෙන ගිය කාලයේ සිංහල බෞද්ධාගමේ මුදුන්මල්කඩ වන භික්ෂූන් පවා රහමෙරට ආසා කරන බවට නිශ්චිත සාක්ෂි තිබුණි.

අප තරුණ කාලයේද අමද්‍යප ව්‍යාපාර තිබුණි. නමුත් ඒවායේ ලොක්කෝ හොඳට බීවෝය. බීපු නැති අයත් ඉඳ හිට සිටින්නට ඇත. හරියට වර්ථමාන ජනාධිපතිතුමා වාගේය‍. අද මෙරට අමද්‍යප ව්‍යාපාරයේ ලොක්කා මෛත්‍රීපාල සිරිසේනය. එතුමාගේ අමද්‍යප ව්‍යාපාරයට සහාය දෙන අනෙක් දේශපාලනඥයින් වැඩි දෙනෙක් ද කන බොන අය බව අපි අත්දැකීමෙන්ම දනිමු.

ඊට පෙර මෙරට අමද්‍යප ලොක්කා වූයේ මහින්ද රාජපක්ෂය. මා දන්නා මහින්ද රාජපක්ෂ නම් කන බොන දේශපාලනඥයෙකි. එනමුත් මතට තිත මහා සදාචාර ව්‍යාපාරය පටන් ගත්තේ ඔහුය. එහෙත් අරලිය ගහ මන්දිරයේ යන එන අයට බොන්න විස්කි පවා තිබුණි. පාරේ බොන එක නතර කළේ ඔහුය. දැන් ප්‍රසිද්ධියේ බීම තහනම්ය.

දැන් වත්මන් ජනාධිපතිතුමා මතට පමණක් නොව මත්කුඩටද තිත තියන දැවැන්ත අමද්‍යප ව්‍යාපාරයක් දැන් දියත් කර තිබේ. මේ අමද්‍යප ව්‍යාපාරයේ විධි ක්‍රමය සහ බුදුන්ගේ දවස සිට හික්ෂුන් විසින් ගෙන ගිය විධි ක්‍රමයේ වෙනසක් නැත. එනම් දේශණ පැවැත්වීමයි.

දේශන පැවැත්වීමට අමතරව කරන්නේ නීත්‍යානුකූල මද්‍යපැන්වලට අහස උසට බදු ගැහීමය. සෑම අයවැයකින්ම සාදාචාරයේ නාමයෙන් සිගරට් සහ මත්පැන් බදු වැඩි කරන්නේ රජයේ වියදම පියවා ගැනීමට මිස අප වැනි ජනයාට ඇති ආදරයක් නිසා නොවේ. බදු ඉහළ දැමීම නිසා සිගරට් හෝ මත්පැන් අලෙවිය පහත වැටී නැත. අමද්‍යප කට්ටිය ඒ ඇයි කියා විමසා බලා තිබේද?
රා බීම අනාදිමත් කාලයක් මෙරට පවත්නා දෙයකි. මානව වර්ගයා මානසික වෙනසක් පිනිස මත්වීමට ලොල් වීම කවරකුගේ හෝ කුමන්ත්‍රණයක් නිසා ඇති වූවක් නොව මානව සමාජ පරිනාමයේ ප්‍රතිපලයකි. මත්පැන් ශිෂ්ටාචාරය තරම්ම පැරනිය.

මා වසරින් අඩක් පමණ දැන් ජීවත්වන ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සුපිරි වෙළද සැල්වල පමණක් නොව කුඩා කඩවලද මත්පැන් විකිනීමට තිබේ. ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීමට කිසිදු තහනමක් නැත. බියර් කෑන් හයක්ම ස්විස් ප්‍රෑන්ක් තුනකට මිලට ගත හැකිය. මිල අධික නැති වයින්ද තිබේ. එසේ නමුත් බීමත්ව පාරේ යනෙන කෙනෙක් නැති තරම්ය. පමණ දැන බීමට හැම දෙනාටම පුරුද්දක් ඇති සෙයකි.

ඊටත් වඩා වැදගත් කරුණ නම් බාල, තරුණ සහ වැඩි මහල් යන සෑම දෙනාටම මත්පැන් පානය නොකර විනෝදවීමට සහ සමානුයෝජානය සඳහා බොහෝ ඉඩ ප්‍රස්තා ජිනීවා නගර සභාව විසින් පවත්වා ගෙන යැමය. මා නතර වී සිටින තැන සිට මීටර සියයක් දෙසීයක් කුමන දිසාවකට ගියද එවැනි පහසුකම් තිබේ. මහජන උද්‍යාන එකානෙකට යා වන තරමට නගරය පුරා තිබේ. පාපන්දු පිටි, රොද මත කැරෙන විවිධ ක්‍රීඩා සඳහා පිටි, උන්චිල්ලා, යනාදිය හැම තැනකමය. යෞවනයින්ට ගංජා උරනු වෙනුවට කණ්ඩායම් ගැසී විනෝද විය හැකි තැන් එමට ය.

ඉතිං අමද්‍යප වීරයින් එක පෝලිමට රජ කරන අපේ රටේ හැටි කොහොමද? අප කුරුනෑගල යකල්ලෙහි පදිංවියට ගිය 1990 ගණන් මුලදී අපේ නිවස ඉදිරිපිට වූ පොදු පර්චස් 20හි අත්පන්දු පිටියක් පවත්වා ගෙන ගියෙමු. ඊට මීටර 300ක් පමණ දුරින් පිහිටි දේවසරණ සංවර්ධන කේන්ද්‍රෙයහි තවත් අත් පන්දු පිටියක් තිබුණි. ඒ දෙකෙහිම ක්‍රීඩා කරන්නට තරම් තරුණ පිරිස් සවස් යාමයන්හි රුස්වූහ. ඒ කාලයේදීම අප ආ ගිය ගමක් වූ මඩහපොළද ඉතා සරු අත්පන්දු පිටියක් තිබුණා පමණක් නොව ජාතික පිලට ක්‍රීඩා කල ක්‍රීඩකයෙක්ද එගම සිටියේය.

අද මේ එක අත් පන්දු පිටියක්වත් නැත. ක්‍රීඩාශීලී තරුණ ජනයාට කුමක්වීද? අමද්‍යප වීරයින් මේ ප්‍රශ්ණ විමසිය නොයුතුද?

පසුගිය අගෝස්තුවෙහි සය අව්රුදු පුතකු සමඟ විනෝදයට පාපන්දු ක්‍රීඩා කරන්නට තැනක් සොයමින් තලංගම සිට ගාලු මුදදොර දක්වා ත්‍රී වීලයෙන් ත්‍රී වීලයට මාරු වූ අපට සිදු වුයේ බෝලය බැගයෙන් පිටටවත් නොගෙන හැරී ඒමටය. අප මුලින් පාර්ලිමේන්තු පිටියට ගියෙමු. එහි හමුදාව තණකොළ වවා ඇති බැවින් එයට ගොඩවීම පවා තහනම් විය. ගොඨාභය රාජපක්ෂ විසින් දියවන්නාව අසළ නිමවන ලද කිසිදු තැනක ක්‍රීඩාවකට අවකාශයක් නොවීය‍. පාර්ලිමේන්තුව වටා කැරකී යන අතර වාරයේ ත්‍රී රෝද රියදුරු කීවේ උබේසේකර පුර තිබූ ක්‍රීඩංගනයද දැන් අබලන්ව ප්‍රයෝජනයට ගත නොහැකි බවයි. අප ගිය සමහර තැන්හි අනවසරයෙන් ඇතුළුවීම තහනම් විය. විහරමහා දේවී උයනෙහි ගල් පෑදී තිබූ බැවින් එතැනින්ද විසි වීමු.

සාමාන්‍ය පවුල්හි යෞවනයින්ට ක්‍රීඩා කිරීමට සහ රංචු ගැසී විනෝදවීමට අනුබල දෙන වටපිටාවක් නැති තැන ලෙහෙසිම විනෝදය වන්නේ මුල්ලකට වී ගංජා ඉරීමවීම පුදුමයක්ද?

මෙරට ජනයාට විනෝදවීමට සහ ක්‍රීඩා කිරීමට පහසුකම් නැත්තේ ඒ සඳහා වියදම් කිරීමට මුදල් නැති නිසා නොවේ. ඒ සඳහා මූලිකත්වයක් සහ උවමනාවක් නැති නිසාය. මුදල් නැත්නම් කෝටි සිය ගණන් දී පාවිච්චි කල නොහැකි ගොඩනැඟිලි ඇමැති කාර්යාල ලෙස ගන්නේ කෙසේද? මැති ඇමැතියන්ට මිලියන ගණනින් යාන වාහන ලබා දෙන්නේ කෙසේද? දේශපාලනඥයින් රංචු රංචු ලොව වටා යන්නේ කෙසේද?

කොළඹ පාමංකඩ වැල්ලවත්ත රෙදි මෝල වසා දැමූ කළ මානව හිතවාදී දේශපාලනයයක් වී නම් එහි තැනිය යුතු වූයේ මහජන උද්‍යානයකි. ඒ වෙනුවට එය ජවාරමකට දෙන ලදී. වැලිකඩ සිර ගෙදර ඉවත් කරනු ලබන්නේ නම් එහි ද තැනිය යුත්තේ මහජන උද්‍යානයකි. අහෝ එයද දැනටමත් ජාවරමකට දෙන බව කියනු ලැබේ.

සෑම දෙයක්ම ලාභ ලැබීමේ ජාවාරම් කෝණයෙන් බලන දේශපාලනයකට මතට සහ මත්කුඩට තිත යනු තවත් දේශපාලන ජාවාරමක් මිස මානව හිතවාදී අධ්‍යාශයක් විය හැකිද?

තවද බොන්නේ ඇයිද කියා විමසන්නේ නැතිව බීම නතර කිරීම මායාවකි.

අමද්‍යප මහත්වරුනි, කල්පනා කර බලන්න.

සුනන්ද දේශප්‍රිය


-  මෙලනි






2016-09-23
Advertisement

Find us on Facebook