English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සංවිධානත්, මානව හිමිකම් කොමිසමත් එක්ව ගමන් කළ යුතුයි-මානව හිමිකම් කොමසාරිස්


ශ‍්‍රි ලංකා සමාජය තුළ සාමය රැකීමටත් ආරක්‍ෂාව සැපයීමටත් නීතිය හා ස්ථායීතාව පවත්වාගෙන යාමටත් මුලීක වගකිම දැරිය යුතු රාජ්‍ය ආයතනය වන ”ශ‍්‍රි ලංකා පොලීසියේ අවම බලය” පාවිච්චි කිරීම පිළිබඳව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබු මහජන විනිශ්චය සභාව, විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව අද, අගෝස්තු 07වන දා, කොළඹ, මරදාන සමාජය හා සාමයීක කේන්ද්‍රයේ දී පැවැත්විය.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් මෙවැනි මහජන සභාවක් සුදානම්කර තිබීම පිළිබඳව සිය අදහස් දැක්වීමේදි ප‍්‍රසාදය පළකල මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස් ප‍්‍රතිභා මහනාමහේවා මහතා, නීති පද්ධති තිබුණ ද සිවිල් සංවිධාන විසින් මෙවැනි මහජන සහභාගීත්ව ක‍්‍රියාකාරකම් තවදුරටත් සිදුකළ යුතු බවත් එවැනි දේ තුළින් පොලීසිය අවම බලය වැරදි ලෙසට භාවිතා කිරිම වැළැක්විමට බලපෑමක් ඇතිකළ හැකි බවත් පැවසීය.

එමෙන්ම, එවැනි ක‍්‍රියාකාරකම් සඳහා මානව හිමිකම් කොමිසම සහය ලබාදෙන බවත් සිවිල් සංවිධානත් මානව හිමිකම් කොමිසමත් එක්ව ඉදිරියට ගමන් කළ යුතු බව කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළේය.

”මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කළ හැක්කේ නිර්දේශ පමණයි. නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසට නියෝග නිකුත් කරන්නට මානව හිමිකම් කොමිසමට බලයක් නැහැ.” යනුවෙන් ප‍්‍රකාශ කළ කොමසාරිස්වරයා ”පසුගිය කාලයේදි පොලිස් වෙඩිතැබීම් වලින් සිදුවුණු මරණ 48ක් පිළිබඳව අපි පරීක්‍ෂණ පවත්වා තිබෙනවා. ඒ අතරින් වෙඩිතැබීම් ගණනාවක් නීති විරෝධී බවටත් අපි නිර්දේශකර තිබෙනවා. නමුත් අපිට දිය හැක්කේ නිර්දේශ පමණයි.” යැයි සඳහන් කළේය.

මැතදි දිවුලපිටිය පොලිස් වෙඩි තැබිමෙන් මිය ගිය කැළුම් සුබසිංහගේ මව වන ලීලා පතිරණ ද, ගම්පහ පොලිස් අත්අඩංගුවේදි මිය ගිය සුරේන් කින්සන් ගේ මිත්තණිය වන එස් පී කින්සන් ද , පාදුක්ක පොලිස් අත්අඩංගුවේ සිටියදී දඬුගම් ඔයේ ගිලී මිය ගිය වර්ණකුලසූරිය සුසන්තගේ සොහොයුරිය වන චමිලා වර්ණකුලසූරිය ද කටුණායක වෙළෙඳ කළාප උද්ඝෝෂණය මර්දනයේදි පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් ශානකගේ මව වන මේරි ස්වර්ණකාන්ති ද මහජන විනිශ්චය සභාවේ වින්දිත අත්දැකීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ගනිමින් සිය දරුවන් හා සොහොයුරන් පිළිබඳව පොලිසියේ බලපෑම මත අත්දකින්නට වුණු අමිහිරි අත්දැකිම් සභාවට ඉදිරිපත් කරනු ලැබිණි.

මහජන විනිශ්චය සභාව ආමන්ත‍්‍රණය කරමින් මනෝ ගනේෂන්, අසාද් සාලි, මුජිබර් රහුමාන්, උදුල් පේ‍්‍රමරත්න, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ ගරු ෂත්‍යවේල් පියතුමා අදහස් ප‍්‍රකාශ කළේය.

රයිට් ටු ලයිෆ් ආයතනයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ පොලීසියේ අවම බලය පරික්‍ෂා කළ හැකි මහේස්ත‍්‍රාත්වරයා , අධිකරණ වෛද්‍ය නිළධාරියා වැනි අය සිය තනතුරේ වගකිම නිසි ලෙස ඉටු නොකිරීම මෙම අර්බුදයට දැඩි දායකත්වයක් සපයා ඇති බවයි.

මහජන විනිශ්චය සභාවේ සාමාජිකයෙකු ලෙසට කටයුතු කළ නීතිඥ ලක්ෂාන් ඩයස් යෝජනාවන් දෙකක් සභාවට ඉදිරිපත් කරමින් , මහේස්ත‍්‍රාත්වරුන් සහ අධිකරණ  වෛද්‍ය නිළධාරින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් මානව හිමිකම් කොමිසම විසින් ආරම්භකළ යුතු බවත් පොලිසියේ අවම බලය පාවිච්චි කිරීම තුළ ගම්වල සිදුවන සිද්ධින් පිළිබඳ විමසිලිමත්වන ලෙසටත් එමෙන්ම නිශ්ශබ්දව නොසිට, බිය නොවී ඒවා ඉදිරිපත්කරන ලෙසටත් ඉල්ලා සිටියේය.

මෙම මහජන විනිශ්චය සභාවට පැමිණ අදහස් දක්වන ලෙසට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට සහ ජාතික පොලිස් කොමිසමේ නියෝ්ජිතයෙකු හට ආරාධනා කළ නමුත් ඔවුන් පැමිණියේ නැත.

-MMP




2014-08-07
Advertisement

Find us on Facebook