English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මොකද්ද මේ ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය‘ (OMP) කියන්නේ?

[අතුරුදන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය පිළිබඳව නිතර පැන නගින ගැටළු]

1. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත් කරනු ලබන්නේ කෙසේද?

පනතෙහි සිව් වන වගන්තියට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත වේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මෙම සාමාජිකයන් පත් කරනු ලැබේ. ඒ ය අතුරින් එක් අයෙක් එහි සභාපතිවරයා ලෙස පත් කෙරෙන අතර මෙම පත් වීමද සිදු කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත වේ.

2. ඔවුන් සතු විය යුතු සුදුසුකම් මොනවද?

පනතෙහි 4(2) උප වගන්තිය මේ සම්බන්ධයෙන් අදාල වේ. ඒ අනුව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට පත් කෙරෙන සාමාජිකයන් හත් දෙනා තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ බහු වාර්ගික ස්වරුපය නිරුපනය විය යුතු වේ. එසේම ඊට පත් කෙරෙන සාමාජිකයන් සතුව විමර්ශන පැවැත්වීම පිළිබඳවල මානූෂීය නීතිය සම්බන්ධයෙන්, මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලය සම්බන්ධයෙන් වන කටයුතු පිලිබඳ අවබෝධයක් ඇති ය විය යුතුයි.

3. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සම්බන්ධයෙන් වග කියන්නේ කවුද?

5(3) උප වගන්තියට අනුව මෙම කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එහි සභාපතිවරයා විසින් මෙම කාර්යාලයේ කටයුතු මෙහෙයවමින් කටයුතු කරනු ලබයි. අනෙක් සාමාජිකයන්ට ද පුර්ණ කාලින පදනමක් යටතේ කටයුතු කල හැකිය. ඔවුන්ගේ වැටුප් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. නමුත් පාර්ලිමේන්තුව විසින් මෙම සාමජිකයන් හට පුර්ණ කාලීනව සේවයේ නිරත වීමට තරම් ප්‍රමාණවත් වැටුපක් ලබා දෙනු ඇත්ද යන්න තවමත් ගැටළු සහගතය. කෙසේ වෙතත් අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට එහි සභාපතිවරයා යටතේ කටයුතු කිරීම සඳහා සේවකයන් බඳවා ගත හැකිය.

4. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය ස්වාධීන ආයතනයක් වේද?

අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලය ස්වාධීන ආයතනයක් වේ. පළමුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත සිදු කෙරෙන පත් කිරීම් මගින් ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අපේක්ෂා කර ඇත. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් හත් දෙනා විසින් දේශපාලනිකමය පදනමක් මත එම පත් කිරීම් සිදු නොකරන බවට වග බලා ගැනීම වැදගත් වේ. දෙවනුව මෙම කාර්යාලය සතුව රජයෙන් පරිබාහිරව අරමුදල් සහ විශේෂඥ දැනුම ලබා ගැනීමේ හැකියාව පැවතිය යුතුය. පනත මගින් එසේ පුද්ගලික සංවිධාන හෝ විදේශ රටවල් වලින් ආධාර ලබා ගැනීමේ හැකියාව මෙම කාර්යාලයට ලබා දී ඇත. නමුත් එසේ බාහිරින් ලැබෙන අරමුදල් බාහිර සම්පත් දෙපාර්තමේන්තුව හරහා යැවිය යුතුය. කාර්යාලයට අවශ්‍ය පරිදි විශේෂඥයින් බඳවා ගැනීම සඳහා ද පනත මගින් අවකාශය ලබා දී තිබේ. තෙවනුව කාර්යාලයේ කටයුතු වලදී ප්‍රමාණවත් පරිදි අන්තර්ජාතික මැදිහත් වීම අවශ්‍ය වේ. පනත මගින් මෙම මැදිහත් වීමට බාධා පමුණුවා නැත (ප්‍රශ්න අංක 13 බලන්න) එබැවින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම සඳහා මෙම කාර්යාලය මගින් අන්තර්ජාතික විමර්ශන නිලධාරීන් සහ විශේෂඥයින් බඳවා ගත යුතුය. මෙම කරුණු ත්‍රිත්වය සාක්ෂාත් කර ගත හොත් අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට ස්වාධීනව කටයුතු කල හැකිවේ.

5. වින්දිතයන්ගේ පවුල් වලට අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයේ කටයුතු වලදී යම් කාර්යභාරයක් පැවරී ඇත්ද?

4 වන වගන්තියට අනුව වින්දිතයන්ගේ පවුල් වල සාමාජිකයන් කිහිපදෙනෙකු අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හැකියාව ඇත. මිට අමතරව 11(ඉ) උප වගන්තියට අනුව මෙම කාර්යාලයේ කටයුතු සහ පරිපාලනය පහසු කර ගැනීම සඳහා වින්දිතයනේගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සමන්විත කමිටු සහ ඒකක පිහිටුවා ගැනීමට අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට බලය ඇත. ඒ අනුව මෙම කාර්යාලයේ කටයුතු අධීක්ෂණය කරමින් එම කටයුතු සාර්ථක කර ගැනීමට දායක වීම සඳහා අතුරුදන් වූ තැනැත්තන් ගේ පවුල් වල සාමාජිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමේ හැකියාව එම කාර්යාලය සතු වේ.

6. අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයට ප්‍රමාණවත් තරම් මුල්‍ය ප්‍රතිපාදන ලැබේද?

දහ නව වන වගන්තියට අනුව මෙම කාර්යාලයට ප්‍රමාණවත් තරම් මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජයට වගකීමක් පවරා ඇත. එහි සාමාජිකයන්ට වැටුප් ගෙවීමද මීට ඇතුලත් වේ. මෙම අරමුදල් ඒකාබද්ධ අරමුදලෙන් වෙන් වන අතර පාර්ලිමේන්තුවෙන් අනුමත කල යුතු වේ. එසේම අන්තර්ජාතික ප්‍රදාන, ලැබීම් සහ පරිත්‍යාග පිළිගැනීම ඇතුළුව ස්වාධීනව අරමුදල් රැස් කිරීමේ හැකියාවද එය සතුව ඇත. එහෙත් ඉහත සඳහන් ආකාරයට මෙම අරමුදල් බාහිර සම්පත් දෙපාර්තමේන්තුව හරහා ලබා ගත යුතු වේ.

7. මෙම කාර්යාලයෙහි අනු කොටස් තිබේද?

පනතෙහි 3 වන කොටසට අනුව මෙම කාර්යාලයෙහි ප්‍රධාන ලේඛම් කාර්යාලයක්, විමර්ශන ඒකකයක් සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකයක් යනාදී වශයෙන් කොටස් 3ක් ඇත. 16 වන වගන්තියට අනුව ලේඛම් කාර්යාලයේ වගකීම වන්නේ අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ පරිපාලන කටයුතු කළමනාකරණය කිරීමයි. පනතේ 17 වන වගන්තියට අනුව මෙම කාර්යාලයේ විමර්ශන ඒකකයේ වගකීම වන්නේ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවා ඔවුන් සොයා ගැනීමයි. එසේම අතුරුදන් වූ පුද්ගලයන් පිලිබඳ තොරතුරු පැහැදිලි කරගැනීමටත් ඔවුන් සිටිනා ස්ථාන පිළිබඳව තොරතුරු සොයා ගැනීමටත් මෙම ඒකකය විසින් සහය ලබා දෙනු ඇත. පනතේ 18 වන වගන්තියෙන් ප්පැහැදිලි වන පරිදි වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකය විසින් වින්දිතයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ වින්දිතයන්ගේ, සාක්ෂිකරුවන්ගේ සහ මෙම කාර්යාලය සමග කටයුතු කරන අතුරුදන් වූ තැනැත්තන් ගේ ඥාතීන්ගේ ගැටළු වලට පිළිතුරු සැපයීම සිදු කරනු ලබයි. 

8. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කල හැක්කේ කාටද?

12(අ)උප වගන්තිය යටතේ අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් හෝ වෙනත් ඕනෑම අයෙකුගෙන් හෝ ආයතනයකින් පැමිණිලි ලබා ගත හැකිය. 27 වන වගන්තිය ‘අතුරුදන් වූ පුද්ගලයෙක්‘ යන්න ඉතා පුළුල්ව අර්ථකතනය කර ඇත. ඒ අනුව එම නිර්වචනයට බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කල අය මෙන්ම උතුරේ සහ නැගෙනහිර යුද සමයේ අතුරුදන් වූ තැනැත්තන් හෝ දේශපාලන සහ සමාජීය නොසන්සුන්කාරී කාල රාමු තුලදී අතුරුදන් වූ සෑම පුද්ගලයෙක්ම ඇතුලත් වේ.

අතුරුදන් වූ පුද්ගලයෙක් යන්න නීතිමය වශයෙන් නිර්වචනය කර ඇත්තේ යමෙකුගේ ඉරණම සහ ඔහු සිටිනා තැනක් සාධාරණ ලෙස නොදන්නා බවට විශ්වාස කරනු ලබන්න වුද ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදන් වූ බවට සාධාරණ ලෙස විශ්වාස කරන්නා වුද,

– උතුර නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ අරගලයේදී හෝ එහි ප්‍රතිපලයක් ලෙස හෝ එම ගැටුම් වලට පසුව ‘‘අතුරුදන් වූ තැනැත්තෙකු” ලෙස හෝ යුද්ධයේදී අතුරුදන් වූ තැනැත්තෙකු ලෙස සලකන තැනැත්තෙකු, ක්‍රියාන්විතයේදී අතුරුදන් වූ සන්නද්ධ හමුදා වල සාමාජිකයෙකු හෝ පොලිසියේ සාමාජිකයෙකු,

– දේශපාලන නොසන්සුන්තාවයක් හෝ සිවිල් කැරලි කෝලහාල හෝ සම්බන්ධයෙන් අතුරුදන් වූ හෝ

– බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජ්‍යාත්‍යන්තර සම්මුතියේ ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම” යනුවෙන් අර්ථ නිරුපනය කර ඇත්තා වුද තැනැත්තෙකු ලෙසයි,

27 වන වගන්තිය යටතේ ‘‘ඥාතීන්” යන්නට අතුරුදන් වූ පුද්ගලයන්ගේ
– කාලත්‍රයා
– දරුවන් (හදා ගත් දරුවන්, නීතිමය විවාහයෙන් පරි බාහිර දරුවන් හෝ සුළු දරුවන්)
– දෙමාපියන් (සුළු මව, සුළු පියා, හදා ගත් දෙමාපියන් ඇතුළුව)
– සහෝදර සහෝදරියන් (පුර්ණ, අර්ධ හෝ දරුකමට හදා ගත්)
– නැන්දනිය, මාමණ්ඩිය, මස්සිනා, නෑනා, ලේලිවරුන්, බෑනාවරුන්
– මුණුබුරන් සහ මිනිබිරියන්/ආච්චි සහ සීයා
ඇතුලත් කර ඇත.

9. මෙම කාර්යාලයට පැමිණිලක් කල යුත්තේ කෙසේද?

12(ඇ) උප වගන්තියට අනුව ලිඛිතව හෝ වාචිකව යන දෙආකාරයෙන් ඕනෑම ආකාරයකට පැමිණිල්ලක් ඉදිරිපත් කල හැකිය. වීඩියෝ මාධ්‍ය භාවිත කරමින් කරන පැමිණිලිද මෙහිදී වලංගු වේ. මෙමගින් දුර බැහැර පෙදෙස් වල සිට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවකාශය සැලසෙනු ඇත. පැමිණිලි ඉදිරිපත් කිරීමේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමේ කොන්දේසිය මත පිහිටා පැමිණිලි ඉදිරිපත් කල හැකිය. එමගින් වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ පුද්ගලික ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

10. මේ වන විටත් වෙනත් අකාරයේ වැඩපිළිවෙලවල් සඳහා ලබා දී ඇති තොරතුරු වලට කුමක් සිදු වේද?

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව වෙනත් ආයතන හෝ විමර්ශන කොමිසම් සහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් මගින් එක්රැස් කර ඇති තොරතුරු සියල්ල ලබා ගෙන ඒ තොරතුරු සියල්ල මධ්‍යම දත්ත ගබඩාවකට ඇතුලත් කර පවත්වා ගෙන යාමේ වගකීම පනතේ 10 වන වගන්තිය මගින් අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට පවරා ඇත. එසේම පෙර පවතී විමර්ශන කොමිසම් වලට ලැබුණු තොරතුරු මත පදනම් ව අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඔවුන් සිටින ස්ථාන පිළිබඳව සෙවීමට පනතේ 12 වන වගන්තිය මගින් මෙම කාර්යාලයට බලය පවරා ඇත.

11. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය මගින් විමර්ශන පවත්වනුයේ කෙසේද?

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේදී අනුගමනය කල යුත්තේ කුමන ආකාරයේ ක්‍රියාපටිපාටියක්ද යන වග තීරණය කිරීමේ හැකියාව මෙම කාර්යාලය සතුව ඇත. කෙසේ වෙතත් පනත මගින් මෙම කාර්යාලය සතු බලතල සහ වගකීම් කිහිපයක් දක්වා ඇත. අතුරුදන් වූ පුද්ගලයෙක් පිලිබඳ පැමිණිල්ලක් මෙම කාර්යාලයට ලැබුණු විට ඒ පුද්ගලයා පිලිබඳ තොරතුරු සෙවීම සඳහා ඕනෑම රාජ්‍ය අධිකරියකින්, නියෝජිතයෙකුගෙන් හෝ නිලධාරියකුගෙන් ඒ සඳහා අවශ්‍ය සහය ඉල්ලා සිටීමේ බලයක් පනත මගින් මෙම කාර්යාලයට ලබා දී ඇත. එසේ සහය ඉල්ලා සිටි විට අදාළ රාජ්‍ය ආයතනය හෝ පුද්ගලයා විසින් අදාළ තොරතුරු සහ ලේඛන කාර්යාලය වෙත ලබා දිය යුතු වේ. එසේම ඕනෑම රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් වරෙන්තුවක් රහිතව පරීක්ෂා කිරීමේ හැකියාවද මෙම කාර්යාලය සතුව පවතී. තවද සැක සහිත සුසානභුමි පරීක්ෂා කිරීම සඳහා අවසර ඉල්ලා සිටීමේ හැකියාවද මෙම කාර්යාලය සතු වේ. එවැනි සුසාන භුමි ප්‍රදේශයක කැනීම් හෝ උත්ඛනන(මෘත ශරීර ගොඩ ගැනීම) කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් කල හැකි අතර මහේස්ත්‍රාත්වරයා විසින් එම කටයුතු සිදු කරන අවස්ථාවේදී මෙම කාර්යාලයේ බලයලත් නිලධාරීන් හට එම කටයුතු නිරීක්ෂණය කල හැකිය. මේ අනුව ගත් කල අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයේ විමර්ශන කටයුතු වලට පහත ක්‍රියාකාරකම් අයත් වේ.

– පසුගිය වාර්තා අධ්‍යයනය කරමින් අතුරුදන් වූ හෝ පැහැරගෙන යාම් වලට ලක් වූ පුද්ගලයන් පිළිබඳව ඇති සටහන් සොයා බැලීම.
– පැහැරගෙන යාම් හෝ අතුරුදන් වීම වලට ලක් වූ පුද්ගලයන් හට සිදු වුයේ කුමක් ද යන්න පිළිබඳව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම.
– පොලිසියේ සහ බන්ධනාගාරයේ වාර්තා පිරික්සමින් අතුරුදන් වූ / පැහැරගෙන යාම් වලට ලක් වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු සෙවීම.
– සමුහ මිනි වලවල් සෙවීම සහ ශේෂ කොටස් හඳුනා ගැනීම.

මෙම වැඩ පිළිවෙල අනුව කටයුතු කිරීම මගින් අතුරුදන් වූ හෝ පැහැරගෙන ගෙන ගොස් ඇති පුද්ගලයන් ජීවත් ව සිටීද අතුරුදන් වී ඇත්ද නැත්නම් මිය ගොස් සිටීද යන්න සහ ඔවුන් සැබවින්ම සිදු වුයේ කුමක්ද යන කරුණු පිළිබඳව තහවුරු කිරීමට හැකි වනු ඇත. විමර්ශන පැවැත්වෙන අතරතුර අදාළ කාර්යාලය මගින් අදාල විමර්ශනයේ තත්වය පිළිබඳව අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් වල ඥාතීන් විටින් විට දැනුවත් කල යුතුය. නමුත් යම් හෙයකින් එසේ ඥාතීන් දැනුවත් කිරීම නිසා විමර්ශන කටයුතු වල බාධා සිදු වේ යයි සැක සහිත නම් එසේ නොකර සිටීමේ හැකියාවද කාර්යාලය සතුව ඇත. මේ බව 13(ඇ) වගන්තියේ සඳහන් වේ. එහෙත් විමර්ශන අවසානයේදී අනිවාර්යෙන්ම අදාළ පුද්ගලයාගේ ඥාතීන් හට එකී විමර්ශනයේ ප්‍රතිපල දැන්විය යුතුය. එහිදී අදාල පුද්ගලයාගේ වර්තමාන තත්වය සහ ඔහුට/ ඇයට සිදු වුයේ කුමක්ද යන කාරණා පිළිබඳව දැනුවත් කල යුතු වේ. නමුත් එසේ කිරීමේදී අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට රහසිගත භාවයේ කොන්දේසිය යටතේ සැපයු තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කාර්යාලය විසින් වග බලා ගත යුතු බව 15(1) උප වගන්තියේ දැක්වේ. අතුරුදන් වූ හෝ පැහැරගෙන ගිය පුද්ගලයා ජීවතුන් අතර සිටී නම් ඔහුගේ/ ඇයගේ එකඟත්වය මත එම පුද්ගලයා එම අවස්ථාව වන විට ජීවත් වන ස්ථානය පිළිබඳව ඔහුගේ/ඇයගේ ඥාතීන්ට දැනුම් දීමේ වගකීමද පනතේ 13(ඈ)(ii) උප වගන්තිය මගින් කාර්යාලට පවරා ඇත.

12. විමර්ශන කටයුතු වලදී පොලිසිය මැදිහත් වේද?

අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලය විසින් සිදු කරනු ලබන විමර්ශන වලට පොලිසිය මැදිහත් වීමක් සාමාන්‍යයෙන් සිදු නොවේ. එහෙත් 12(ඌ) උප වගන්තිය අනුව ‘‘අතුරුදන් වූ පුද්ගලයන්” පිලිබඳව පනතෙහි සපයා ඇති නිර්වචනය යටතට නොවැටෙන අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳව වන පැමිණිලි, පැමිණිලිකරු සමග සාකච්ඡා කොට පොලිසිය වෙත පැවරීමට මෙම කාර්යාලයට බලය ඇත.

13. අන්තර්ජාතික විශේෂඥයින් මෙම විමර්ශන වලට මැදිහත් වේද?

මේ පිළිබඳව පැහැදිලි විස්තර කිරීමක් පනතෙහි ඇතුලත් නොවේ. කෙසේ වෙතත් අන්තර්ජාතික විශේෂඥයින් හට මීට සම්බන්ධ වීමට ක්‍රම දෙකක් ඇත. එකක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මෙම කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාගෙන් එක අයෙකු ලෙස විදේශිකයෙකු පත් කිරීමයි. එහෙත් මේ වන තෙක් කිසිදු ස්වාධීන කොමිසමකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් විදේශිකයෙකු පත් කර නැත. දෙවනුව මෙම කාර්යලය සතුව ඊට අවශ්‍ය වන කාර්යමණ්ඩල සාමජිකයන් බඳවා ගැනීම සඳහා පුළුල් බලතල පනතෙහි 11(ඈ) උප වගන්තිය යටතේ පැවරී ඇති බැවින් කාර්යාලයේ විමර්ශන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන විදේශීය විමර්ශන නිලධාරීන් සහ විශේෂඥයින් බඳවා ගත හැකිය. ප්‍රමාණවත් තරම් විදේශීය විශේෂඥ සහභාගීත්වය තහවුරු කරගැනීම සඳහා වින්දිත කණ්ඩායම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හට රජයට සහ අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට බලපෑම් කල හැකිය.

14. විමර්ශන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කාර්යාලය සතු බලතල මොනවද?

පනතෙහි 12 වන වගන්තිය මෙම කාර්යාලය සතු සියලුම විමර්ශන බලතල පිළිබඳව පැහැදිලි කරයි. ඒ අනුව මෙම කාර්යාලය සතුව පහත විමර්ශන බලතල ඇත.
– අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ගෙන් හෝ වෙනත් අයෙකුගෙන් හෝ වෙනත් ඕනෑම සංවිධානයකින් ලැබෙන පැමිණිලි අදාළ පුද්ගලයා අතුරුදන් වූ කාල සීමාව කුමක් වුවද බාර ගත යුතුය.

– අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට හෝ පෙර පැවතී කොමිසම් වලට ලැබී ඇති අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ පැමිණිලි විමර්ශනය කිරීම.

– ඉතා මෑත කාලීනව සිදු වූ අතුරුදන් වීමේ සිද්ධීන් වලට මුලිකත්වය ලබා දීම. එනම් සැහෙන තරම් සාක්ෂි පවතින සහ පොදු මහජන වැදගත්කමක් සහිත සිද්ධීන් වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.

– ලිඛිත හෝ වාචික ප්‍රකාශ ලබා ගැනීම සහ වීඩියෝ දර්ශන මාධ්‍ය ඇතුළු ආකාර වලින් සාක්ෂිකරුවන් විභාග කිරීම. මෙසේ ලබා ගන්නා ප්‍රකාශ සිවිල් හෝ අපරාධ නීතිමය කටයුතු වලදී වලංගු නොවන බව පනතෙහි සඳහන් වේ.

– ශ්‍රී ලංකාව තුල සිටින ඕනෑම පුද්ගලයෙක් හට ප්‍රකාශ ලබා දීම සඳහා හෝ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා හෙතෙම භාරයේ පවතින වෙනත් දෙයක් ඉදිරිපත් කිරීම සඳහා අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කල හැකිය.

– වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරමින් රහසිත තොරතුරු ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ස්ථාපිත කිරීම.

– යම් මහේත්‍රාත් අධිකරණ බලප්‍රදේශයක් තුල පිහිටි සුසාන භූමියක කැනීම් හෝ උත්ඛනනය (වල දමා ඇති මෘත ශරීර යලි ගොඩ ගැනීම) සිදු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කල හැකිය.

– තොරතුරු සහ ලේඛන ලබා ගැනීම ආදී සහය ලබා ගැනීම සඳහා ඕනෑම රජයේ ආයතනයකින් ඉල්ලීම කල හැකිය.

– අතුරුදන් වූ පුද්ගලයන් රඳවා සිටින්නේයැයි සැක කෙරෙන ස්ථාන වලට වරෙන්තුවක් රහිතව ඇතුළු වීමට සහ ඕනෑම වෙලාවක විමර්ශන සිදු කිරීමට අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ එක් නිශ්චිත නිලධාරියෙක් හට බලය පැවරිය හැකිය.

– යම් විමර්ශනයකට අදාළ සාක්ෂි ඇති යම් සැක කටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු හෝ අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ නිලධාරියෙකු හට බලය පවරමින් වරෙන්තුවක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කල හැකිය.

– පනතෙහි “ අතුරුදන් වූ පුද්ගලයන්” යන නිර්වචනයට අදාළ නොවන ආකාරයේ පැමිණිලි පැමිණිලිකරු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පොලිසිය වෙතට යොමු කිරීම.

– අපරාධ ක්‍රියා සම්බන්ධ සිදුවීම් නීතිය බලාත්මක කරන ආයතන හෝ අභිචෝදක අධිකාරීන් වෙත දැනුම් දීම.

15. අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලය මගින් ලබා ගත හැකි පිළිතුරු මොනවද?

පනතෙහි 13 වන වගන්තිය මීට අදාළ වේ. විමර්ශනයක් අතරතුරදී යම් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය විසින් තහවුරු කරගත් විට ඒ බව දන්වමින් ඥාතීන් වෙත අතුරු වාර්තාවක් නිකුත් කරමින් දැන්විය යුතුය. නමුත් වැඩි දුර විමර්ශන කර ගෙන යාමේදී එකී අතුරු වාර්තාවේ හෝ අවසන් වාර්තාවේ අඩංගු කරුණු අසත්‍ය යයි ඔප්පු වුවහොත් කාර්යාලය මගින් එකී වෙනස ඥාතීන් වෙත දැන්විය යුතුය. එසේම විමර්ශන සිදු කරගෙන යන අතරතුර එකී විමර්ශන වල තත්වය පිළිබඳවද ඥාතීන් දැනුවත් කල යුතුය. යම් හෙයකින් එසේ කරුණු ඉදිරිපත් කිරීම අතුරුදන් වූ පුද්ගලයාගේ සුබ සිද්ධිය උදෙසා කෙරෙන විමර්ශන වලට බාධාවක් යයි හැඟෙන්නේ නම් පමණක් එසේ කිරීමෙන් වැළකී සිටිය හැකිය. විමර්ශනයක් අවසානයේදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව හෝ අතුරුදන් ව ඇති බව දන්වමින් ඥාතීන් වෙත වාර්තාවක් නිකුත් කල යුතු අතර එම වාර්තාවෙහි අදාල පුද්ගලයා අතුරුදන් වූ අයුරු හා ආශ්‍රිත කරුණු මෙන්ම වාර්තාව නිකුත් කරන අවස්තාව වන විට එම පුද්ගලයාට අත් ව ඇති ඉරණම පිළිබඳව සඳහන් කල යුතුය. අතුරුදන් වූ පුද්ගලයා ජීවත් ව සිටින විට සහ අදාළ පුද්ගලයා ජීවත් ව සිටින ස්ථානය පිළිබඳව තොරතුරැ සොයා ගත් විට එකී තොරතුරු අදාළ පුද්ගලයාගේ කැමැත්ත මත ඥාතීන් වෙත ලබා දිය යුතුය.

16. මෙම කාර්යාලය මගින් නිකුත් කරනු ලබන සහතික මොනවද?

අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට සහතික නිකුත් කිරීමේ බලයක් නැත. එහෙත් රෙජිස්ට්‍රා ජනරාල්වරයා හට මරණ සහතිකයක් හෝ අප්‍රාප්ති සහතිකයක් නිකුත් කිරීමට හැකියාව ලබා දෙන්නාවූ ආකාරයේ වාර්තාවක් ලබා දීමේ හැකියාව මෙම කාර්යාලය සතුව ඇත. 13 (1)(අ)(i) උප වගන්තිය යටතේ මෙම කාර්යාලය මගින් අතුරුදන් වූ පුද්ගලයෙක් පිලිබඳ පැමිණිල්ලක් ලබා ගෙන ඇති අවස්ථාවකදී විමර්ශන අරඹමින් අතුරු වාර්තාවක් නිකුත් කල යුතු අතර එම අතුරු වාර්තාව මත පදනම්ව රෙජිස්ට්‍රාවරයා හට අප්‍රාප්තිය පිලිබඳ සහතිකයක් නිකුත් කල හැකිය. 13(1)(අ)(ii) උප වගන්තියට අනුව යම් පුද්ගලයෙක් පිළිබඳව විමර්ශන අවසන් වූ විට එකී විමර්ශනයේ අවසන් සොයා ගැනීම් අනුව අදාළ පුද්ගලයා ජීවතුන් අතර සිටීද නැද්ද තවමත් අතුරුදන් වී සිටීද යන කරුණු පිළිබඳව ඥාතීන් දැනුවත් කල යුතුය. එම වාර්තාව මත පදනම් ව රෙජිස්ට්‍රා ජනරාල්වරයා හට අප්‍රාප්තිය පිළිබඳව හෝ මරණය පිළිබඳව සහතිකයක් නිකුත් කිරීමේ හැකියාව ඇත.

17. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය මගින් ලබා දෙන තීරණය පිළිබඳව සෑහීමකට පත් නොවන අවස්ථාවකදී කල හැක්කේ කුමක්ද?

21 වන වගන්තියට අනුව මෙම කාර්යාලයේ තීරණ අභියෝගයට ලක් කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පමණි. කාර්යාලයේ තීරණයෙන් අගතියට පත් ඥාතීන් වැනි ඕනෑම අයෙක්ට එසේ අභියෝග කල හැකිය. කෙසේ වෙතත් කාර්යාලයේ නිලධාරීන්ට එරෙහිව හෝ කාර්යාලයේ නිල තීරණ වලට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා අභ්‍යන්තර වැඩ පිළිවෙලක් සකස් කර ගැනීමේ හැකියාවද මෙම කාර්යාලය සතුව පවතී.

18. මෙම කාර්යාලය මගින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්නේ කෙසේද?

පනතෙහි 8 වන වගන්තිය මගින් මෙම කාර්යාලය තුල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකයක් පිහිටුවනු ලබයි. මෙම ඒකකයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ වින්දිතයන්ගේ, සාක්ෂිකරුවන්ගේ සහ අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට මුහුණ දීමට සිදු වන ගැටළු වලදී ආරක්ෂාව සැපයීමයි. ඒ අනුව මෙම ඒකකය වෙත වින්දිතයන්, සාක්ෂිකරුවන් සහ අතුරුදන් වූ තැනැත්තන් ගේ පවුල් වල ඥාතීන් හට මනෝ සමාජීය සහය ලබා දීම ඇතුළු සුභ සාධන සේවා සහ පරිපාලනමය සේවා සපැයීම සඳහා පනත මගින් බලය පවරා ඇත. එසේම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය අවස්ථා වලදී නීතිය බලාත්මක කරන වෙනත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ද පනතෙන් අවකාශ සලසා දී තිබේ. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යලය පිලිබඳ පනත හැරුණු කොට ශ්‍රී ලංකාව තුල වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහාම සැකසු නීතියක් පවතී. කෙසේ වෙතත් එම නීතිය අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ කටයුතු වලදී බලාත්මක වීම වලක්වන තාක්ෂණික නීතිමය ගැටළු කිහිපයක් පවතී. මෙම ගැටළු වලට රජය විසින් ඉක්මනින් විසඳුම් ලබා දිය යුතුය.

19. මා විසින් ලබා දෙන තොරතුරු මෙම කාර්යලය විසින් ආරක්ෂා කරනු ලබයිද?

12 (ඇ)(iv ) සහ (v) උප වගන්ති අනුව රහිගත තොරතුරැ ලබා ගැනීමට හෝ මහජනතාවගෙන් ඈත් වූ පුද්ගලික වටපිටාවක් තුල සිට තොරතුරු ලබා ගැනීමට මෙම කාර්යාලය සතුව බලය ඇත. මෙහිදී වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ පුද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමට කාර්යාලයට වගකීමක් පැවරී ඇත. එසේම රහස්‍ය භාවය සුරකීමේ කොන්දේසියට යටත්ව තොරතුරු ලබා ගැනීමටද මෙම කාර්යාලයට හැකියාව ඇත. සිය තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටීමේ හැකියාව මෙමගින් පැමිණිලිකරුවන් වෙත ලබා දී ඇත. එහෙත් කාර්යාලය විසින් සිදු කරනු ලබන විමර්ශනයන්ගේ ප්‍රතිපලයක් ලෙස සොයා ගන්නා තොරතුරු රහස්‍ය තොරතුරු නොවන අතර එම තොරතුරු වල අයිතිය කාර්යාලය සතු වේ. එනම් අවශ්‍ය ඕනෑම විටක අධිකරනයකට හෝ වෙනත් ඕනෑම බලයලත් විමර්ශන අධිකාරියකට රහසිගත භාවයේ කොන්දේසිය මත ලබා ගත් තොරතුරු හැර අනෙක් ඕනෑම තොරතුරක් මෙම කාර්යාලයෙන් ලබා ගත හැකිය.

20. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය විසින් යුක්තිය ඉටු වීම තහවුරු කරයිද?

යුක්තිය ඉටු වීම තහවුරු කිරීම සඳහා කිසිදු වගකීමක් මෙම කාර්යාලය සතු නොවේ. අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයේ විමර්ශන මගින් ලබා ගන්න තොරතුරු කිසිවිටකත් යමෙකුට සිවිල් හෝ අපරාධ වගකීමක් පැවරීමට ඔප්පු කිරීමට යොදා ගත නොහැකි බව පනතේ 13 (2) වගන්තිය අනුව පැහැදිලිව දක්වා තිබේ. එහෙත් 12 (උ)(i) උප වගන්තියට අනුව යම් අවස්තාවක අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ විමර්ශනයක් සඳහා යොමු වන සිද්ධියක අපරාධ වරදක ස්වභාවය දිස්වන්නේ නම් අදාළ අතුරුදන් වූ පුද්ගලයාගේ ඥාතීන් සමග සාකච්ඡා කොට එම වරද පිලිබඳ තොරතුරු අදාළ නෛතික කටයුතු සිදුකරන ආයතන හෝ අභිචෝදක ආයතන වෙත දැනුම් දිය යුතු වේ. මෙයින් අදහස් වන්නේ අතුරුදන්වූවන්ගේ කාර්යාලය මගින් සැක කටයුතු අපරාධ පොලිසියට හෝ යම් අවස්ථාවක විශේෂ අධිකරණයක් හෝ විශේෂ අභිචෝදක කාර්යාලයක් පිහිටවනු ලැබුවහොත් එම විශේෂ අභිචෝදක අධිකාරියට දැනුම් දිය යුතු බවයි. මෙම දැනුම් දීම කිරීමේදී කාර්යාලය විසින් අතුරුදන් වූ පුද්ගලයාගේ සිවිල් තත්වය (නම, වයස සහ ලිංගිකත්වය),ඔහු හෝ ඇය අවසන් වරට දුටු ස්ථානය දිනය සහ වෙලාව යන කරුණු දැනුම් දිය යුතුය. සාක්ෂිකරුවෙක් එකඟත්වය පල කරන අවස්ථාවේදී විමර්ශනයේ කටයුතු සාර්ථකව කර ගෙන යාමේ පහසුව සඳහා අදාළ සාක්ෂිකරුවගේ තොරතුරුද එම අධිකාරිය වෙත ලබා දිය හැකිය. එවිට එම අධිකාරියට අදාළ සාක්ෂිකරුවගේ ප්‍රකාශ ලබා ගෙන එම විමර්ශන කර ගෙන යා හැකි වේ. ඉන් පසුව එම අධිකාරියට අධිකරණය මාර්ගයෙන් අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා සිටීම කල හැකිය . නමුත් එම ඉල්ලීමෙන් රහසිගත භාවයේ කොන්දේසිය මත ලබා ගත් තොරතුරු ඉල්ලා සිටීම කල නොහැක. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද, අතුරුදන් වූ පුද්ගලගේ ඥාතීන්ට ද අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයෙන් රහස්‍ය තොරතුරු හැර අනෙක් තොරතුරු සහ ලේඛන ඉල්ලා සිටීමේ හැකියාව පවතී.

21. මෙම කාර්යාලයෙහි විමර්ශන ප්‍රතිපල පොලිසිය/ නීතිය බලාත්මක කරන ආයතන/ අනෙක් ක්‍රියාවලීන් ආදියට ලබා දෙන්නේද?

පනතේ 12 (ඌ) (i) උප වගන්තියට අනුව යම් සිද්ධියක් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට හෝ අභිචෝදක අධිකාරියකට දැන්වීමේ අවස්තාව අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයට ලබා දී තිබුන ද කාර්යාලය මගින් සිදු කරන විමර්ශනයන්හි අවසාන ප්‍රතිපල අධිකරණයට හෝ අපරාධ පරීක්ෂකයන්ට දැන්වීමට කිසිදු වගකීමක් පනත මගින් කාර්යාලය වෙත පවරා නැත. එහෙත් අතුරුදන් වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් එසේ කරන්නේ නම් ඊට කිසිදු බාධාවක් පනත මගින් පනවා නැත. විමර්ශන අවසානයේ අතුරුදන් වූ පුද්ගලයාගේ තොරතුරු සහ අතුරුදන් වූ වාතාවරණය පිලිබඳ තොරතුරු ඇතුලත් අවසන් වාර්තාවක් කාර්යාලය මගින් ඥාතීන් වෙත ඉදිරිපත් කරනු ලබයි. එම වාර්තාවේ ඇතුලත් තොරතුරු භාවිත කරමින් නීතිය ක්‍රියාත්මක කරන අධිකාරියක පැමිණිල්ලක් කිරීමේ අවස්ථාව එම ඥාතීන් සතුව තිබේ. එසේම එම ඥාතීන්ට හෝ අපරාධ පරීක්ෂකයන් හට අවශ්‍ය ඕනෑම විටක අධිකරණය ඔස්සේ හෝ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද, අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලය මගින් පැවත් වූ විමර්ශනයේ තොරතුරු සියල්ල (රහස්‍ය තොරතුරු හැර) ලබා ගැනීමේ හැකියාව ඇත. එසේ ලබා ගත තොරතුරු යොදා ගනිමින් එම ඥාතීන් හට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක හෝ අභිචෝදක අධිකාරියක නව පැමිණිල්ලක් කිරීම‍ට හෝ ඒ වන විටත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩි දුර කරුණු ලෙස ඉදිරිපත් කිරීමට පුළුවන.

22. වරදකරුවන් විසින් මෙම කාර්යාලයට ලබා දෙන තොරතුරු එකී වරදකරුවන්ට එරෙහිව යොදා ගත හැකිද?

මෙම ගැටලුවට පනත මගින් ඍජු පිළිතුරක් ලබා දෙන්නේ නැත. එහෙත් පෙර සඳහන් කල පරිදි රහස්‍ය භාවයේ කොන්දේසිය මත මෙම කාර්යාලයට සපයනු ලැබූ තොරතුරු කිසිවිටකත් කාර්යාලයෙන් පිටත කිසිවෙකුටත්(අධිකරණයටවත්) මුදා හරිනු නොලැබේ. පනතේ 15 වන වගන්තිය තොරතුරු වල රහස්‍ය භාවය පිළිබඳව සාකච්ඡා කරනු ලබයි. එහෙත් එසේ සපයනු ලැබූ රහස්‍ය තොරතුරු මත පදනම්ව අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලය මගින් වැඩි දුර විමර්ශන පවත්වා ලබා ගන්නා තොරතුරුවලට මුල් තොරතුරේ රහස්‍ය භාවය අදාළ නොවේ. එනම් එසේ දෙවනුව සොයා ගත් තොරතුරු රහස්‍ය තොරතුරු ලෙස නොසැලකේ.

23. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යලය විසින් හානි පුර්ණය තහවුරු කරයිද?

මෙහිදී වන්දි ගෙවීමක් සිදු වේද? වින්දිතයන්ට හෝ අතුරුදන් වූ තැනැත්තන් ගේ පවුල් වල ඥාතීන්ට වන්දි ගෙවීම පිලිබඳ කිසිදු වගකීමක් අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයට පනත මගින් පවරා නැත. එහෙත් අතුරුදන් වූ පුද්ගලයන්ට සහ හෝ ඔවුන්ගේ පවුල් වල ඥාතීන්ට වන්දි ගෙවීම, පරිපාලනමය සහ මනෝ සමාජීය සේවා ඇතුළු සුබ සාධන සේවාවන් සැපයීම ආදී හානි පුර්ණ සේවාවන් සැපයීම සඳහා අදාළ අධිකාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පනතේ 13 (ඊ) සහ (ඔ) (vii ) උප වගන්ති මගින් මෙම කාර්යාලය වෙත ලබා දී ඇත.

24. අන්තර්ජාතික රතු කුරුස සංවිධානයේ භූමිකාව කුමක්ද?

ඕනෑම සංවිධානයක් සමග ගිවිසුමකට එළඹීමේ බලය පනතේ 11 වන වගන්තිය මගින් අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයට පවරා ඇත. මේ යටතේ තොරතුරු ලබා ගැනීමේදී උපකාර ලබා ගැනීම, තාක්ෂණික සහ පුහුණු සහාය ලබා ගැනීම, සහයෝගීතාවය, දත්ත ගබඩා පිහිටුවීම, පුද්ගලික දත්ත සහ රහස්‍ය දත්ත ආරක්ෂා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ගිවිසුම් වලට එළඹිය හැකිය. අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සතුව මේ වන විටත් ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම පිලිබඳ සිද්ධීන් ගැන තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවක් පවතින හෙයින් රතු කුරුස සංවිධානය විසින් එම තොරතුරු හුවමාරු කරගැනීම සඳහා අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලය සමග ගිවිසුමකට එළඹීමේ ඉඩකඩක් පවතී. අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සාමාන්‍යයෙන්, ඔවුන් සතු තොරතුරු නඩු පැවරීමේ කටයුතු සඳහා ලබා දෙන්නේ නැත. එම නිසා බොහෝ විට රතු කුරුස සංවිධානය විසින් ඔවුන් සතු තොරතුරු අතුරුදන් වූ තැනැත්තන් ගේ කාර්යාලයට ලබා දීමට පෙර ශ්‍රී ලංකාව සමග තොරතුරු වල රහස්‍ය භාවය පිලිබඳ ගිවිසුමකටද එළඹෙනු ඇත.

[ මෙම සටහනේ පූර්ණ අයිතිය නීති අධ්‍යනය සදහා වූ දකුණු ආසියානු මධ්‍යස්ථානය සතු වේ. - Copyright ©2016 South Asian Centre for Legal Studies]

ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා



2016-09-22
Advertisement

Find us on Facebook