English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මිථ්‍යාමතික නිවාරණවලින් වැළකීම සහ ඒකාධිපති විසඳුම් පරාජය කිරීම

‘‘… අතීතයෙන් වර්තමානය උපන්නේ කෙසේදැ යි වටහා ගැනීම, වර්තමානය තේරුම් ගැනීමට සේම, බාගෙ විට අනාගතය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමටත් අපට උපකාරී වන්නේය.’’
-එරික් හොබ්ස්බෝන් (ඉතිහාසය පිළිබඳව)

අහස උසට සංවර්ධන අභිලාෂයන් ඇතත්, ශ‍්‍රී ලංකාව තමන්ගේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වැය කරන්නේ, අයවැයෙන් සියයට 1 ට අඩු ප‍්‍රතිශතයකි. මෑතකදී නිමාවට පත්වූ ‘ශ‍්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ සමාජයේ’ 2016 සම්මන්ත‍්‍රණයේදී මේ විෂමතාව අවධාරණය කරන ලදි. එම සම්මන්ත‍්‍රණය අමතමින් මහාචාර්ය අජිත් ද අල්විස් අනතුරු ඇඟවීමක් කෙළේය: ‘‘තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාව නොතකා හැරීම හරහා ශ‍්‍රී ලංකාව සිදු කරගන්නේ බරපතල පාඩුවකි.’’ විද්‍යාව පිළිබඳ මේ විද්වත් සංවාදය ඇරැඹුණේ, ආගමික වතාවත් පිළිබඳ විනාඩි දෙකක වීඩියෝ දර්ශනයකිනි. එය, දේශපාලනීකරණය වූ ආගම සමග ඇති අපේ භයානක පේ‍්‍රම වෘතාන්තය සහ මිථ්‍යා විශ්වාස කරපින්නා ගැනීමට ඇති ලෝලය පිළිබඳ ඛේදනීය-විගඩම සංකේතවත් කෙළේය.

බුදුරජාණන් වහන්සේ සාමඤ්ඤපාල සූත‍්‍රයේදී ජ්‍යොතිෂය සහ බලි තොවිල් වැනි දෑ හඳුන්වන ලද්දේ, ‘තිරශ්චීන කලාවන්’ වශයෙනි. (එවැනි ‘කලාවන්’ ලැයිස්තුවක් ඒ සූත‍්‍රයේ අන්තර්ගත වෙයි: අත බලා ශාස්ත‍්‍ර කීම සහ පේන කීම, ග‍්‍රහයෝග බැලීම සහ සිහින පැහැදිළි කිරීම, රාජ්‍ය නිලධාරීන් සඳහා අනාවැකි කීම, යකුන් පලවා හැරීම සහ ශුභ නැකැත් බැලීම, ජීවිත කාලය පිළිබඳ අනාවැකි කීම සහ දේශපාලනික හෝ ස්වාභාවික සිදුවීම් පිළිබඳ අනාවැකි කීම හා හඳහන් බැලීම ආදිය ඒවාට ඇතුළත් ය). එහෙත් බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු දහම සුරැකී ඇතැයි කියන ශ‍්‍රී ලංකාවේ සිංහල-බෞද්ධයන් ජ්‍යොතිෂ අනාවැකිවලට සලකන්නේ, දේවවාදී ඇදහීම් සහිත මිනිසුන් තම තමන්ගේ දෙවියන් වහන්සේගේ හෝ අනාගත වක්තෘන්ගේ වචනවලට සලකන පූජණීයත්වයෙන්මයි.

විසි එක් වැනි සියවසේ දෙවැනි දශකයේදීත්, බැතිමත් සිංහල-බෞද්ධයන් තමන්ගේ සාමාන්‍ය අවබෝධය පසෙක ලා, සාස්තරකාරයෙකුගේ, යකැදුරෙකුගේ හෝ ‘තිරශ්චීන කලා’ අනුයන යමෙකුගේ නියෝග පිළිපැදීමෙන් ජීවිතක්ෂයට පත්වන අවස්ථා අපට අසන්ට ලැබේ. ඊට මෑතම උදාහරණය සැපයෙන්නේ පිටිසර ගමකින් නොව, නාගරීකරණය වූ පිළියන්දලිනි. හමේ රෝගයකට ප‍්‍රතිකාරයක් වශයෙන් යකැදුරෙකු දුන් කෂායක් පානය කිරීමෙන් මේ පුද්ගලයා මරණයට පත්විය. යකැදුරාව දැන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව නීතිය ඉදිරියට පමුණුවා අධිකරණයක් ඉදිරියේ මෙය විභාගයට ගනිතැයි අපි සිතමු. එසේ වන විට එය, තම ජීවිතය සහ අනාගතය පිළිබඳ කාරණය ‘තිරශ්චීන කලාකාරයන්ට’ භාර කිරීමේ ඇති මුග්ධ භාවය අවබෝධ කර ගැනීමට, අඩු වශයෙන් අපේ වර්තමාන නායකයන් ඇතුළු ඇතැම් ශ‍්‍රී ලාංකිකයන්ටවත් උපකාරී විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ නායකයන්ගෙන් බොහොමයක් ග‍්‍රහයෝගත්, ඒවා අර්ථකථනය කරන්නන්වත් විශ්වාස කළහ. එහෙත් ඒ කිසිවෙකු රාජපක්ෂ තරම් රාජ්‍ය බලය සහ සම්පත් පාවිච්චි කරමින් ජ්‍යොතිෂඥයන්ව කරට ගන්ට හෝ ඔවුන්ව වධ හිංසාවට ලක් කිරීමට හෝ ගියේ නැත. බොහෝ දේශපාලඥයන් ඇතුළු බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතවල ජ්‍යෝතිෂය කවදත් ඉතා වැදගත් සාධකයක් වී තිබෙන බව ඇත්ත. එහෙත්, එය රාජපක්ෂ පාලනය යටතේ තරම් ඊට පෙර කිසි විටෙක, පොදු අවකාශය තුළ ප‍්‍රධාන ස්ථානයක් ගෙන නැත.

තව අවුරුදු දෙකක් තිබියදී ජනාධිපතිවරණයකට යාම සඳහා පමණක් නොව, සුභ මොහොතක් බලා මැතිවරණ කොමසාරිස්වරයාට නාම යෝජනා භාර දීමේ සිට එම මැතිවරණය තුළ ඔහු කළ කී සියලූ දෑ ද බොහෝ කොට තීන්දු කෙරුණේ ජ්‍යොතිෂඥයන්ගේ උපදෙස් අනුවයි. මෙතරම් මිථ්‍යාමතික නැති රටවල ජනමත විචාරණ ආයතන සහ දත්ත විශ්ලේෂක ආයතනවලට හිමි වන ස්ථානය ලංකාවේ මැතිවරණ ව්‍යාපාරය තුළ හිමි වුණේ ජ්‍යොතිෂඥයන්ටයි. උදාහරණයක් වශයෙන්, රජයේ රූපවාහිනිය මැතිවරණ අනාවැකි කියැවීමට ගෙන්වුයේ ජ්‍යොතිෂඥයන්වයි. මේ නිහීන භාවිතය වැඩි කල් නොගොස් පෞද්ගලික රූපවාහිනී නාලිකාවන්ටද බෝ විය.

රාජපක්ෂ පරාජයේ වඩාත් සාධනීය එක් අංගයක් වන්නේ, ජ්‍යොතිෂය පොදු අවකාශයෙන් පෞද්ගලික අවකාශයට යළි තල්ලූ කර දැමීමට හැකි වීමයි. මෑතක පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයත් ඒ නරුම අතීතයට අඩියක් දෙකක් තියන අවස්ථා නැතුවා නොවේ.

වර්තමානය තුළ අතීතය

තමන්ගේ න්‍යාය පත‍්‍රයට නොගැලපෙන අනාවැකියක් කී ජ්‍යොතිෂඥයෙකුව අත්අඩංගුවට ගනිමින් රාජපක්ෂලා ඉතිහාසගත විය. විපක්ෂයට හිතවාදී යැයි සැළකුණු ජ්‍යොතිෂඥයෙකු වූ චන්ද්‍රසිරි බණ්ඩාර එදා පැවති පාලනය ගැන අශුභ අනාවැකියක් කී විට රාජපක්ෂලා ප‍්‍රතිචාර දැක්වූයේ සහාසිකවයි. ඔහුව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගොස් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරන ලදි.

ඉන් පෙර නොවූ විරූ ඒ මර්දනකාරී පියවරෙන් අපේක්ෂා කළ ප‍්‍රතිඵල හැරෙන තැපෑලෙන්ම ආවේය. හිරභාරයෙන් නිදහස් වී චන්ද්‍රසිරි මහතා එළියට ආවේ, ඉතා ආරක්ෂා සහිත, අළුත උපන් රාජපක්ෂවාදියෙකු වශයෙනි. ඒ කෙතෙක්ද යත්, 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂගේ තිරසාර ජයග‍්‍රහණය සපථ කොට සිටි ඔහු, එසේ නොවුණහොත් තමා වෙඩි තියාගෙන මැරෙන බව රූපවාහිනී සජීවී වැඩ සටහනක් හරහා රටට කියා සිටියේය.

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිබඳ අනාවැකියක් කී, වත්මන් ආණ්ඩුව පිළිබඳ විවේචකයෙකු වශයෙන් දන්නා විජිත රෝහණ විජේමුනිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය. (ඔහුගේ විකිපීඩියා පිටුවේ දැක්වෙන පරිදි, ඔහු ප‍්‍රසිද්ධියට පත්වුණේ, හමුදා ආචාර පෙළපාලියකදී තම බයිනෙත්තුවෙන් රජීව් ගාන්ධිට පහර දුන් නැවියා වශයෙනි. පසුව, සිහල උරුමයෙන් ඔහු මැතිවරණයටත් ඉදිරිපත් වුණි). හෙණ ගහන අපරාධ බහුල වශයෙන් සිදුවෙන අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යොතිෂඥයන් පස්සේ මෙසේ පන්නන්නේ, ජ්‍යොතිෂ ප‍්‍රලාප යනු සත්‍යයම මිස වෙන කිසිවක් නොවෙතැයි දේශපාලඥයන් තවමත් විශ්වාස කරන බැවිනි.

වාසනාවට, 2016 යනු 2009 නොවේ. වර්තමාන ආණ්ඩුවත් මිථ්‍යා පිළිසරණ හෝ ඒකාධිපති විසඳුම් කෙරෙහි පෙළඹෙයි. එහෙත්, 2015 ජනවාරි මාසයෙන් පසු ඇති වු වෙනසට ස්තුතිවන්ත වන්නට, එවැනි පිළිසරණ පස්සේ හඹා යාමේ ඉඩකඩ අද හැකිලී තිබේ.

2009 දී එක් ජ්‍යොතිෂඥයකුව අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරන ලදි. 2016 දී අත්අඩංගුවට ගත් අනිත් ජ්‍යොතිෂඥයා කෙළේ, දැනටමත් තමා කටඋත්තරයක් දී ඇති බැවින් තවදුරටත් කරදර කළහොත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටීමයි.

2009 දී අත්අඩංගුවට පත් රාජපක්ෂ-විරෝධී ජ්‍යොතිෂඥයා එළියට එන විට රාජපක්ෂවාදි බැලයෙකු වී තිබුණි. 2016 දී අත්අඩංගුවට පත් ජ්‍යොතිෂඥයා තම දේශපාලන පාට වෙනස් කෙළේ හෝ පොලීසිය පිස්සු වැට්ටූ අදාළ වීඩියෝ පට මකා දැමුවේ හෝ නැත. මේ දෙදෙනා අතර ඒ වෙනසට හේතු වුණේ, 2015 ජනවාරි මාසයේ ඇති වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසයි.

ශ‍්‍රී ලංකාව යනු යහපාලනයේ පාරාදීසයක් නොවේ. එහෙත් නිසැකවම එය කලින් තිබුණාට වඩා එය යහපත් රටකි.

ජගත් සන්තුෂ්ටිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 2013 වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාව යනු මේ මහ පොළොව මත පිහිටි වඩාත් දුක්ඛදායි රටවල්වලින් එකකි. රටවල් 156 ක් අතරින් එදා ශ‍්‍රී ලංකාවට හිමි වුණේ 137 වැනි ස්ථානයයි. 2016 වන විට ශ‍්‍රී ලංකාව ඒ සූචිය තුළ 117 වැනි ස්ථානයට පත්ව වර්ධනය වී සිටී. තව යාමට ඇති දුර බොහෝ ය. එහෙත් දිසාව නිවැරදි ය. ආර්ථිකය හරහට නොසිටියොත්, තව අත්කර ගත හැකි ජයග‍්‍රහණයන් බොහෝ ය.

මිථ්‍යා විශ්වාස කෙරෙහි පූර්ණ භක්තියෙන් සිටි රාජපක්ෂලා විද්‍යාව විශ්වාස කෙළේ නැත. තමන්ගේ ඡන්ද පදනම තුළ ඇති වෙමින් තිබූ අසහනය පිළිබඳ කල්තියා එළිදුටු එක් අනතුරු ඇඟවීමක් ඔවුන් නොසළකා හැරියේ එබැවිනි. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය 2011 දී පැවැත්වූ සමීක්ෂණයකට අනුව, ඉදිරි වසර දෙක තුළ රටේ සාමාන්‍ය ආර්ථික තත්වය වර්ධනය වෙතැයි සිංහලයන්ගෙන් සියයට 70 ක් විශ්වාසය පළ කළහ. එම ආයතනය මගින් 2013 දී කළ සමීක්ෂණයේදී එම විශ්වාසය දරා සිටියේ සිංහලයන්ගෙන් 38.5 ක් පමණි. අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ මොන තරම් ගරාවැටීමක්ද?

ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකිවල එල්ලෙනවා වෙනුවට මෙවැනි වාර්තා පිළිබඳ සැළකිලිමත් වුයේ නම් රාජපක්ෂලා 2015 දී පරාජය නොවන්නටත් ඉඩ තිබුණි.

වැට් බදු පනතේ අත්‍යාවශ්‍ය භාවය ගැන වර්තමාන ආණ්ඩුව අනන්තවත් ප‍්‍රචාරකවාදි වැඩපිළිවෙලවල් දියත් කළ හැක. සාමාන්‍ය ජනතාවට එයින් හානියක් නොවෙතැයි දස අතේ දිව්රා කිව හැක. එහෙත්, බඩුවක් මිළදී ගැනීමේදී හෝ දුරකථන ඇමතුමක් ගැනීමේදී හෝ වෛද්‍යවරයෙකු චැනල් කිරීමේදී පාරිභෝගිකයාට දැනෙන වෙනස, එම ප‍්‍රචාරණයන් නිසා වෙනස් වන්නේ නැත. එවිට ඔවුහූ අපේක්ෂා භංගත්වයට පත්වෙති. හරියට, 2011 සහ 2013 අතර කාලයේදී මෙනි.

මේ ආණ්ඩුවත් වැරදි කළ හැක. එසේ කොට, බලය පවත්වා ගැනීමටත් යම් තාක් හැකි වනු ඇත. එහෙත් රාජපක්ෂලා කළ වැරදිම මොවුනුත් කරන්නේ නම්, අපේ අනාගතය 2015 ජනවාරියේදී අප ගැලවී ආ අතීතයෙන් වෙනස් නොවනු ඇත. පියවර දෙකක් ඉදිරියට ගොස් එක පියවරක් පස්සට තැබුවත්, ඉදිරියට යා හැක. එහෙත් එක පියවරක් පමණක් ඉදිරියට තබා පියවර දෙකක් පස්සට ගියොත් නතර වන්නේ අර කී අතීතයෙන්මයි.

අත නෑර ඉදිරියටම

ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ප‍්‍රතිවාදීව හිලරි ක්ලින්ටන් අත්කර ගෙන සිටි විශාල ජනප‍්‍රියත්වය භයානක අන්දමින් වෑරී යන බව නේට් සිල්වර් ජනමත විචාරණයේදි හෙළි විය. එහිදී, මීට කලකට පෙර ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්ව නියෝජනය ලබා ගැනීම සඳහා හිලරි ක්ලින්ටන්ට ප‍්‍රතිවාදීව සිටි බර්නි සැන්ඩර්ස් එම සතියේදීම, තමාගේ අතීත ප‍්‍රතිවාදිනියගේ සහායට එක පයින් ඉදිරිපත් විය. හිලරි ක්ලින්ටන් පිළිබඳ විශාල ප‍්‍රසාදයක් අද පවා බර්නි සැන්ඩර්ස්ට නැත. එහෙත්, ට‍්‍රම්ප්ව පරාජය කළ හැකි එකම මග හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම බව බර්නි සැන්ඩර්ස් නිගමනය කෙළේය. මෙම මැතිවරණය, තුන්වැනි පාර්ශ්වයක් වෙනුවෙන් ඡන්දය නාස්ති කර ගැනීමට හෝ ඡන්දය නොදා ගෙදරට වී සිටීමට හෝ අවස්ථාවක් නොවන බව, හිලරි ක්ලින්ටන් ගැන අවිශ්වාසයෙන් සිටි තම අනුගාමිකයන් අමතා බර්නි සැන්ඩර්ස් කීය. එකම ගැලවීමකට ඇත්තේ, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව පරාජය කොට හිලරි ක්ලින්ටන්ව ජයග‍්‍රහණය කැරැවීම සඳහා ජනතාව පෙළ ගැස්වීම පමණක් බව ඔහු අවධාරණය කෙළේය.

2015 දී, ශ‍්‍රී ලාංකිකයන් වන අපි, අපේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව පරාජය කෙළෙමු.

රාජපක්ෂ පාලනය යටතේ පැවති දූෂණය, පවුල්වාදය සහ වෙනත් බොහෝ අක‍්‍රමිකතාවන්ගෙන් අප තවමත් ගැලවී නැත. එහෙත්, රාජපක්ෂලාගේ කාලයේ පැවතියාට වඩා යහපත් ආණ්ඩුක‍්‍රරණයක් අද අපට තිබේ.

උදාහරණයක් වශයෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ගන්න. එය, ශ‍්‍රී ලංකාව එතෙක් අත්දැක ඇති වෙනත් ඕනෑම ක‍්‍රියාවලියකට වඩා විවෘත ය. එසේම, පෙර නොවූ විරූ අයුරින් සියල්ලන්ව ඊට ඇතුළත් කර ගැනීමට උත්සුක ය. අළුත් ආණ්ඩුක‍්‍රම සකසා ගැනීමේදී වේවා, පවතින ආණ්ඩුක‍්‍රමයට නව සංශෝධන ගෙන ඒමේදී වේවා, අතීතයේදි අප ක‍්‍රියා කොට ඇත්තේ ඉහළ සිට පහළටයි. එනම්, කළ යුත්තේ කුමක්දැයි නායකයන් විසින් තීරණය කරනු ලැබ, ඔවුන්ගේ නිගමනය ජනතාව මත පැටවීමයි. ඊට ඉඳුරා වෙනස් ආකාරයකින් නව ආණ්ඩුව, අළුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සියල්ලන්ගේ අදහස් විමසා සිටී.

එතෙක් අඳුරේ තෙම්පරාදු වෙමින් තිබූ වැදගත් ප‍්‍රශ්න කිහිපයක්, මේ නව විවෘත භාවය තුළ අද කරළියට විත් තිබේ. එයින් එකක් වන්නේ රාජ්‍යයේ ලෞකික භාවය පිළිබඳ ප‍්‍රශ්නයයි. 1970 දී අමාත්‍ය කොල්වින් ආර්. ද සිල්වාට සංදේශයක් ඉදිරිපත් කරමින් ‘ලංකා හේතුවාදි සංගමය’, ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් උදෙසා ඉදිරිපත් කරන ලද තර්ක, එදාටත් වඩා අදට ගැලපෙයි. ඇත්තෙන්ම, 1972 දී හඳුන්වා දෙන ලද සහ පසුව 1978 දී තවත් ශක්තිමත් කරන ලද, බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය ලබා දීමේ වගන්තිය, මෑත කාලීන ප‍්‍රපංචයකි. ඒ වන තෙක් එවැනි වගන්තියක් අපේ ව්‍යවස්ථාව තුළ තිබුණේ නැත. එසේ වුවද, බුද්ධාගම එදා ආවාට ගියාට තිබුණා නොව, එය මල්ඵල ලා වැඞීමක්ද පෙන්නුම් කෙළේය. මෙහිදී, සාසනයේ සුභසිද්ධිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් මහා පරිනිබ්බාන සූත‍්‍රයේදී බුදුන් වහන්සේ දැක්වූ කොන්දේසි අතරේ කිසි තැනක රාජ්‍ය අනුග‍්‍රහය හෝ විශේෂ ආරක්ෂාවක අවශ්‍යතාවක් පිළිබඳ සඳහනක් නැති බව සඳහන් කිරීම වටනේය.

මෙතෙක් කල් තහනම් මාතෘකාවක් වශයෙන් තිබී දැන් විවෘත භාවය ඔස්සේ කතාබහට ලක්ව ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ, ‘කාන්තා ක‍්‍රියාකාරී ජාලය’ වැනි ප‍්‍රගතිශීලී කණ්ඩායම් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තියට එරෙහිව දක්වන විරෝධයයි.

1951 ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ මේ වගන්තිය යටතේ මුළුමණින් පිළිගැනේ. ඒ අනුව, මුස්ලිම් නොවන ගැහැනුන් සහ ගැහැනු දරුවන් භුක්ති විඳින වැදගත් ව්‍යවස්ථාමය ආරක්ෂාවන් සහ අයිතිවාසිකම් සමහරක් මේ වගන්තිය යටතේ මුස්ලිම් කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට අහිමි කෙරේ.

උදාහරණයක් වශයෙන්, ලංකාවේ තරුණියකගේ විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 16 ක් වෙතත්, අවුරුදු 12 ක් වයසැති මුස්ලිම් ගැහැනු දරුවෙකුව මේ වගන්තිය යටතේ විවාහ කර දිය හැක. ඊටත් වඩා අඩු වයසැති ගැහැනු දරුවෙකුව වුව, මුස්ලිම් විශේෂ අධිකරණයක අවසරය යටතේ විවාහ කර දිය හැක.

මාධ්‍ය වාර්තා කරන අන්දමට, සම්ප‍්‍රදායික මුස්ලිම් දේශපාලනික සහ ආගමික නායකයන් මේ 16 වැනි වගන්තියේ කිසි වෙනසක් ඇති කරනවාට විරුද්ධ ලූ. එහෙත් ළමා විවාහ, අපරාධයක් සේ සළකා නීති පනවා ගත් මුස්ලිම් රටවල් අනන්තවත් තිබේ. (එක්සත් ජාතීන්ගේ මූලාශ‍්‍රවලට අනුව, ඇල්ජීරියාව, බංග්ලාදේශය, ජෝර්දානය, ඉරාකය, මැලේසියාව සහ මොරොක්කෝව යන රටවල ගැහැනියක් විවාහ වීම සඳහා සපිරිය යුතු අවම වයස අවුරුදු 18 කි. ටියුනීසියාවේ එය අවුරුදු 20 කි). මෙය දැන් ලංකාවේ මහජන කතිකාවට ලක්ව තිබේ. ඒ, ජාතීන් බෙදා වෙන් කරන සටන් පාඨයක් වශයෙන් හෝ ජාතිවාදී අපහාසයක් වශයෙන් පාවිච්චි කිරීමට නොව, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ඇති වී තිබෙන විවෘත සංවාදයේ බරසාර මාතෘකාවක් සේ සැළකිල්ලට ගැනීමටයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අළුත් ව්‍යවස්ථාවක් පිළිබඳ බිල්ලෙකු මවා පෑම සඳහා මේ සතියේ මල්වතු මහ නාහිමියන් බැහැදුටුවේය. භීතිකා රෝගය බෝ කරමින්, මතිභ‍්‍රමයට යට නොවන්නැයි, එහිදී උන්වහන්සේ ඔහුට අනුශාසනා කළ බව මාධ්‍ය වාර්තා කෙළේය. මේ දක්වා ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතුව සිදුවන නිසා බිය වීමට කාරණා නැතැයි උන්වහන්සේ ඔහුට පෙන්වා දී තිබේ.

එවැනි අනුශාසනාවන්ට කන්දීම වීරවංශට හුරු පුරුද්දක් නොවේ. ඔහු සහ ඔහුගේ රාජපක්ෂ හාම්පුතුන්ට ලංකාවේ අනාගතයක් ඇත්තේ, ශ‍්‍රී ලංකාව අතීතයේ නරා වළට වැටුණොත් පමණි. යළි බලය ලබා ගැනීමේ රාජපක්ෂ සිහිනය සැබෑ විය හැක්කේ, රටේ ජනතාව මතිභ‍්‍රමයේ සහ භීතිකා රෝගයේ මඩ වළට වැටුණොත් සහ රටේ නායකයන් විද්‍යාව අතහැර, සාමාන්‍ය බුද්ධිය පසෙක ලා, මිථ්‍යාමතික නිවාරණයන්ට ගොදුරු වී, ඒකාධිපති විසඳුම් බදා ගතහොත් පමණි.

තිසරණී ගුණසේකර

(2016 සැප්තැම්බර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Avoiding Superstitious Cures; Defeating Dictatorial Solutions නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

පිංතුරය - අන්තර්ජාලයෙන්

-  මෙලනි





2016-09-22
Advertisement

Find us on Facebook