English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනතාව ආර්ථික සංවර්ධනයේ නාමයෙන් රනිල් ගේ ආඥාදායකත්වය නොඉවසනු ඇත!
ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ජනවාරි 8 නිහඬ විප්ලවය ජයග්‍රහණය කළ ලංකාවේ ජනතාව ආර්ථික සංවර්ධනයේ නාමයෙන් රනිල් ගේ ආඥාදායකත්වය නොඉවසනු ඇත.

             
ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් යනුවෙන් හැන්දින්වෙන අයිතිවාසිකම් සමූහය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කොට එම අයිතිවාසිකම් අධිකරණය මගින් බලාත්මක කරවා ගැනීමට පුරවැසියන්ට අයිතිය තිබිය යුතුද යන්න තරමක විවාද පන්න මාතෘකාවකි.

ජාතික රූපවාහිනිය වෙනුවෙන් මා මහාචාර්ය කුමාර් ඬේවිඞ් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස්  දැක්වූ ඔහු ප්‍රකාශ කළේ , “ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කොට ඒ අයිතිවාසිකම් කඩවීමකදී පුරවැසියාට අධිකරණය මගින් සහනයක් ලබා ගැනීමට ඉඩ තිබිය යුතුය යන යෝජනාව වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ  සමාන්‍ය ජන ජීවිතයට බලපාන අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා වැනි අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව අධිකරණය ඔස්සේ නීති මාර්ගයෙන් අරගලයක් කොට සහනයක් ලබා ගැනීමට ඉඩක් තිබිය යුතු බවයි. එහි ප්‍රතියෝජකයන් පවසන්නේ ආණ්ඩුවක් සතුව පවතින සීමිත සම්පත් ප්‍රමාණය ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි තීරණය කිරීමට ආණ්ඩුවට ඉඩ නොදී, අධිකරණය වැනි පාර්ශ්වයකට ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීමට ඉඩ දීම සාධාරණ නොවන බවයි.” මෙම සාකච්ඡාව සමබිම ඉරිදා සංග්‍රහයේ පළවූ අතර එහි පෙළ ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේද විසුරුවා හැරිණි. මේ සම්බන්ධයෙන් කතිකා අධ්‍යයන කවය වෙනුවෙන් ආචාර්ය කුමුදු කුසුම් කුමාර මෙසේ ප්‍රතිචාර දැක්වීය.      

සුදර්ශණ ගුණවර්ධන 

මහාචාර්ය කුමාර් ඬේවිඞ්ට ආචාර්ය කුමුදු කුසුම් කුමාර ගෙන් පිළිතුරක්

මහාචාර්ය කුමාර් ඬේවිඞ් වර්තමාන දේශපාලන යථාර්ථයට කනක් තබාගෙන තම අදහස් පළ කරන බව පෙනෙයි. ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ දක්වන අදහස් ඊට උදාහරණයකි.

සමාජ- ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කොට ඒ අයිතිවාසිකම් කඩවීමකදී පුරවැසියාට අධිකරණය මගින් සහනයක් ලබා ගැනීමට ඉඩ සැලසීම පාර්ලිමේන්තුව “‍සතුව පවතින සීමිත සම්පත් ප්‍රමාණය ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි තීරණය කිරීමට”‍ සතු බලය අධිකරණයට පැවරීමකැයි යන තර්කය දැනටමත් ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ කරුණු වලට අදාළ නොවන්නේ ද? ඒ මන්ද? සමාජ- ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති රටවල් ඒ සඳහා අධිකරණ සහන ලබා ගැනීම ක්‍රියාත්මක කර ඇත්තේ කෙසේදැයි මෙහිදී සළකා බලා තියෙනවාද?

“‍ලංකාවට තමා තුළට හැරී රට සංවර්ධනය කිරීම නොකළ හැකි බවට මෙම ප්‍රතිපත්තිය මගින් පිළිගනී. එම අදහසට මම සහයෝගය දෙමි”‍ යි කුමාර් ඬේවිඞ් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික පිළිවෙත ගැන කියයි. ලංකාව ඇතුළතට හැරී සංවර්ධනය කිරීම කළ නොහැකි වන්නේ මන්දැයි අප විමිසිය යුතුය. (සංවර්ධනය යන ඉතා පුළුල් අර්ථයක් ඇති කෝකටත් තෛලය බඳු ලිහිල් පදය වෙනුවට මේ කතා කරන්නේ “ආර්ථික වර්ධනය” පිළිබඳ බව සඳහන් කිරීම උචිතය).

කුමාර් ඬේවිඞ්, රනිල් වික්‍රමසිංහ විදේශ රටවල් සමග ගිවිසුම් අත්සන් කිරීමට තම පූර්ණ සහයෝගය පළ කරයි. අප සාකච්ඡා කළ යුතු වන්නේ මෙම ගිවිසුම් ලංකාවට වාසි වෙනවාද? අවාසි වෙනවාද? යන්නයි. ඒ සඳහා අප එම ගිවිසුම්වල කොන්දේසි විමසා බැලිය යුතුය. එසේ නොමැතිව අප ඒවාට සහයෝගය පළ කරන්නේ කෙසේද?

රනිල් ගේ ආර්ථික සැළසුම්වල නිෂ්පාදනය පිළිබඳ අවධාරණයක් නොමැතිකම කුමාර් ඬේවිඞ් විසින් අවධාරණය කරනු ලැබීම වැදගත්ය. මෙය ලංකාවේ ආර්ථික අර්බුදයට ඇති එකම විසඳුම ඉන්දියාව සමග වෙළඳ ගිවිසුම (එට්කා) අත්සන් කිරීම යැයි කියනවාට වඩා විදග්ධ එකකි.

චීනයේ ඩෙං ෂියා ඕ පෙං යටතේ රජය ක්‍රියාකාරීව ආර්ථිකයට මැදිහත් වුනේ එය කොමියුනිස්ට් රාජ්‍යයක් නිසාය. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මග පෙන්වනු ලබන බූර්ෂුවා පාර්ලිමේන්තු දේශපාලන තන්ත්‍රයක් ඇති බහු පක්ෂ දේෂපාලනයක් ඇති රටකි. (බහු පක්ෂ ක්‍රමය මකා ඊනියා සම්මුතිවාදී ආණ්ඩුවක් ගෙන යාමට දැන් ගන්නා උත්සහාය සාර්ථක වේදැයි අපට දැකිය හැක්කේ ඉදිරියටය). ඉතින් අප චීන උදාහරණය සැලකිය යුත්තේ චීනයේ වගේ ඒකාධිපති/ ආඥාදායක වන්න යැයි රනිල්ට කෙරෙන ඇරයුමක් ලෙසින්ද?

අපගේ දේශීය ධනපති පංතිය යැයි කුමාර් ඬේවිඞ් කියන විට අප සළකා බැලිය යුතු වන්නේ අපට ධනේශ්වර ආර්ථික සංවර්ධනය සඳහා කැපවිය හැකි දේශීය ධනේශ්වර පංතියක් සිටීද? යන්න යි. ලංකාවේ සිටින ධන හිමියන් “‍මේ රටේ ආයෝජනය කිරීමට සූදානමක් නැති බව ඉතා පැහැදිලි”‍ යැයි කුමාර් ඬේවිඞ් කියන විට මා ඉහත ඇසූ “‍ලංකාවට ඇතුළතට හැරී සංවර්ධනය කිරීම කළ නොහැකි වන්නේ මන්ද?” යන ප්‍රශ්නයට පිළිතුරක් දීමට ආරම්භය ගැනීමක් වෙයි. ලංකාවේ ධන හිමි පැළැන්තිය කුමාර් ඬේවිඩි කියන පරිදි මුදල් ආයෝජනය කිරීමට මැලිවෙනවාම නොවේ. සිදුවන්නේ ඔවුන් නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කිරීමේ අවදානම ගැනීමට ඉදිරිපත් නොවීමයි. ඒ වෙනුවට ඔවුන් කැමැත්තේ නිෂ්පාදනයට නොව වාණිජ කටයුතු සඳහා මුදල් ආයෝජනය කොට එසේ උපයාගන්නා මුදල් නාස්තිකාර සුඛෝපභෝගී පාරිභෝජනය සඳහා යෙදවීමයි. කුමාර් කියන පරිදි “‍රජය මෙහිදී කුමනාකාරයෙන් හෝ ඉතිරිකිරීමේ අනුපාතය වැඩි කළ යුතු”‍ නම් ඒ සඳහා ඉතිරි කිරීම දිරිගැන්විය යුතුය. නාස්තිකාර පාරිභෝජන රටාවක් දිරිගන්වන අතරේ අඩු පොලී අනුපාත මත ඉදිරි කිරීම දිරිගැන්විය නොහැකිය. නමුත් ඉතිරි කිරීම ඉහළ නැංවූ පමණින්ම ආර්ථික වර්ධනය ඉබේටම ඇති වන්නේද නැත.

ආර්ථිකයට රජය මැදිහත් වීමේ දී චීනයේ ඩෙං ෂියාවෝ පෙංගේ කොමියුනිස්ට් රාජ්‍යයට අමතරව, “සිංගප්පූරුවේ ලී ක්වාන් යු ගේ සහ දකුණු කොරියාවේ රාජ්‍යය මැදිහත් වී, මග පෙන්වා, දිරිගැන්වූ ආකාරය අප අනුගමනය කළ යුතු”‍ යැයි කියන විට අප අමතක නොකළ යුතු දෙයක් නම් මේ සියලු‍ රටවල් විපක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස මර්ධනය කළ තත්ත්වයන් යටතේ රජයේ මෙහෙයවීමෙන් ආර්ථික සංවර්ධනය අත් පත් කර ගත්තේය යන්න යි.

ලංකාවේ එය එසේ කළ හැකි වනු හැකිද යන්න පාලකයන් නුවණැති නම් දෙවරක් සිතා බලනු ඇත.

නරේන්ද්‍ර මෝදිගේ ‘මේක් ඉන් ඉන්දියා‘ (Make in India) යනු ජාත්‍යන්තර නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන ඉන්දියාවේ නිපදවන්නට දිරිගන්වන වැඩපිළිවෙළකි. එවැන්නකි ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවට හැකි වෙතොත් ඒ ඉන්දියාව දැනටමත් දියුණු කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටක් වන නිසා සහ ඉන්දියානු කම්කරු ශ්‍රමය සාපේක්ෂව ලාභ මට්ටමක පවතින නිසාය.

ජේ. ආර්. ජයවර්ධන Let the robber barons come ! යැයි ලංකාව කොල්ල කෑමට ඔනෑම ජාත්‍යන්තර මංකොල්ල කරුවෙකුට මෙහි පැමිණීමට ආරාධනා කොට බොහෝ කළක් ගත වන තුරුත් ආවෘත ආර්ථිකයක් පවත්වා ගත් ඉන්දියාව මෝදි ට පෙරත් අනුගමනය කොට ඇත්තේ තම රටට වාසි වන ආකාරයට විදේශීය ආයෝජන රජය හැසිරවීමයි.

වෙනත් රටවල අත්හදා බලා සාර්ථක වී තිබූ පමණින් මෙම උපාය මාර්ගය ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි වනු ඇතිද?

ලංකාව ඩෙං ෂියාඕ පිං ගේ කොමියුනිස්ට් චීනයවත් ඒකාධිපති/ ආඥාදායක මාවත ගත් ලී ක්වාන් යූ ගේ සිංගප්පූරුව සහ පක් චුං හී ගේ දකුණු කොරියාව වත් නොවේ. බෞද්ධමානවීයවාදය සමග එකට පෑහුණු ඉතා ප්‍රබල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති රටකි.

නිෂ්පාදන, කර්මාන්ත, කෘෂිකාර්මික, කෘෂි සංවර්ධන වැනි ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳ අදහස ඉතා අගනේය. ගැටළුව වන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති මෙහෙයුම කුමක් ද යන්නයි.

රටේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට බදු වැඩි කිරීම අවශ්‍ය නම් දුප්පතා සහ සාමාන්‍ය ජනයා මත බදු පටවද්දී දේශපාලක පංතිය ඒ බදු මුදල් වලින් සියළු සුඛ විහරණ ලබා ගන්නා සහ ධනපතියන්ගෙන් බදු අය නො කරන ක්‍රමයකට එරෙහිව ජනතාව නැගී සිටිනු ඇත.

මහින්ද රාජපක්ෂ ගේ ආඥාදායක මාවතට එරෙහිව ජනවාරි 8 නිහඬ විප්ලවය ජයග්‍රහණය කළ ලංකාවේ ජනතාව ආර්ථික සංවර්ධනයේ නාමයෙන් රනිල් ගේ ආඥාදායකත්වය කොපමණ කල් ඉවසා සිටිනු ඇතිද?

ආචාර්ය කුමුදු කුසුම් කුමාර-කතිකා අධ්‍යයන කවය


උපුටා ගැනීම -  සමබිම

-  මෙලනි





2016-09-21
Advertisement

Find us on Facebook