English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ ප‍්‍රතිසංස්කරණ පටලවා ගත යුත්තේ ඇයි? සරළ විසඳුමකට යමු

අශෝක ඔබේසේකර ලියන ලද ‘‘මැතිවරණ ප‍්‍රතිසංස්කරණ: ‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’ හැර වෙන දෙයක් නැත’’ නැමැති ලිපිය පිළිබඳ අදහසක් දැක්වීමට කැමැත්තෙමි.

මුලින්ම, ශ‍්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ඉතා කුඩා රටක් වන හෙයින් වඩාත් ඵලදායී අන්දමින් මානව සම්පතින් උපරිම පල නෙළා ගත හැකි සරළ මැතිවරණ ක‍්‍රමයක් ඇති කර ගැනීම වැඩදායක ය. අවාසනාවකට මෙන්, දැනටමත් අප යෝධ දේශපාලනිකමය පරිපාලන ව්‍යුහයක බරක් දරාගෙන සිටින්නෙමු. එය අපේ වරදකින් පමණක් සිදු වූ දෙයක් නොවීම වෙනම කාරණයකි. බිම් මට්ටමින් ගත් විට, දේශපාලනීකරණය වූ පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරු 4486 ක් සහ පලාත් සභා මන්ත‍්‍රීවරු 455 ක් අපට සිටිති. මේ පිරමීඩය මුදුනේ තිබෙන පාර්ලිමේන්තුවේ තවත් මන්ත‍්‍රීවරු 225 ක් සිටිති. සෑම පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙන්නෙකුටම එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් සිටී. මෙය ඵලදායී ද? එසේම, මේ සියල්ලටම ඉහළින්, යෝධ ලේකම් කාර්යාලයක් සහිත බලගතු ජනාධිපතිවරයෙක්ද සිටී. වැඩි වන ජනගහනයට විසඳුම වන්නේ, දැනටමත් මහා බරක් වී ඇති කේන්ද්‍රයේ (පාර්ලිමේන්තුවේ) සිටින මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව තවත් වැඩි කිරීම නොව, 4941 ක් වන පරිවාරයේ සිටින පළාත් පාලන සහ පලාත් සභා සාමාජිකයන් සඳහා දැනට වඩා මූල්‍ය ප‍්‍රතිපාදන සපයමින්, බිම් මට්ටමේ ආසන සහ ග‍්‍රාම නිලධාරී වසම්වලට යොමු කොට, ඔවුන්ව බල ගැන්වීමයි. ඒ පදනම තුළ, දැනට පවතින මැතිවරණ ආසන 196 න් සෑම එකකටම සේවය කරන ප‍්‍රාදේශීය දේශපාලඥයන් 25 දෙනෙකු පමණ ඡන්දදායකයාට ලැබෙනු ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වගකීම්

ඒ අනුව, පුළුල් ලෙස විමධ්‍යගත කරන ලද ඉහතින් සඳහන් කළ වර්තමාන දේශපාලනික පරිපාලනමය ව්‍යුහය තුළ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාට පැවරෙන එකම කාර්ය භාරය විය යුත්තේ, රටේ නීති සහ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ අනුමත කිරීම, ජාතික අයවැය සහ මූල්‍ය ප‍්‍රතිපත්ති අනුමත කොට මෙහෙයැවීම සහ ජාතික මට්ටමේ යටිතල ව්‍යාපෘති මෙහෙයැවීමයි. ආසනයේ ඡන්දදායකයන්ගේ ප‍්‍රශ්න සහ අවශ්‍යතාවන්ට යොමු වීම, පරිවාරයේ දේශපාලඥයන්ට හෙවත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන සාමාජිකයන්ට පැවරිය යුතුය. විමධ්‍යගත පරිපාලන ක‍්‍රමයක සැබෑ අභිප‍්‍රාය වන්නේද එයමයි. ‘මනාප ක‍්‍රමය’ අහෝසි කිරීමෙන් පසු ආසනයේ ප‍්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මැදිහත් වීම කොහොමත් අනවශ්‍ය වෙනු ඇත. ඒ තත්වය තුළ, කේන්ද්‍රයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටත් ආසන භාර දීමෙන් එකම කාර්යය දෙදෙනෙකු ලවා කැරැවීම කොහෙත්ම අවශ්‍ය නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිටිය යුත්තේ, ඉහත කී ජාතික වැදගත්කමින් යුත් කටයුතු කෙරෙහි නියැලිය හැකි වන ආකාරයෙන්, දියවන්නාව සමීපයේ ය. අවශ්‍යම නම්, කේන්ද්‍රය මගින් පරිවාරයට සපයනු ලබන ප‍්‍රතිපාදන දිස්ත‍්‍රික් ක‍්‍රියාකාරකම් සඳහා පාවිච්චි කෙරෙන ආකාරය සොයා බැලීමට, ‘දිස්ත‍්‍රික් පරිපාලන කමිටු’ රැස්වීම්වලට ඔවුන්ටත් සහභාගී විය හැකිය.

එසේම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ‘චිට්’ මාර්ගයෙන් අනිසි වාසි ලබා ගනු වස්, දේශපාලඥයන් පස්සේ යන පුරුද්ද දිගටම කරගෙන යාමේ අවශ්‍යතාව, යහපාලන ආණ්ඩුකරණය තුළ මතු නොවන බවත් අප මතක තබා ගත යුතුය. ඇත්ත වශයෙන්ම, මුලින් පැවති දිස්ත‍්‍රික්ක නාම යෝජනා ක‍්‍රමය යටතේ අදහස් කෙරුණේද, මන්ත‍්‍රී ‘චිට්’ ක‍්‍රමය හැකි තාක් අධෛර්යමත් කොට, දූෂණය සහ අල්ලසට මග පාදන අනිසි අනුග‍්‍රහයන් පස්සේ කරක් ගහන දේශපාලන හෙංචයියන්ගෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ව බේරා ගැනීමයි. දැන් අපට අවශ්‍ය කරන්නේ, රාජ්‍ය සේවයේ, පොලීසියේ සහ අධිකරණයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ජනතා හිතකාමී අණපනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ක‍්‍රියාත්මක කිරීමයි. එසේම, මෑතකදී වැටුප් වැඩි කිරීමක්ද ලැබී ඇති හෙයින් රාජ්‍ය යාන්ත‍්‍රණයත් තවත් තිරිහන් විය යුතුව තිබේ.

අනිත් අතට, සැසිවාරවලට සහභාගී වීමේ ප‍්‍රාථමික රාජකාරිය සද්භාවයෙන් ඉටු කරන්නේ මන්ත‍්‍රීවරුන්ගෙන් කීයෙන් කී දෙනාද? ඝනපූරණය නැති කමින් සැසිවාර කල් දැමූ අවස්ථා අනන්තවත් තිබේ. එවැනි තත්වයක් තුළ, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන් සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමක් යුක්ති සහගත කළ හැක්කේ කෙසේද? සාධනීය ප‍්‍රතිලාභවලින් තොරව එසේ වැඩි කරගන්නා සංඛ්‍යාවක් නඩත්තු කිරීම, දැනටමත් බදු බරින් මිරිකී සිටින ජනතාව මත පැටවීම අපරාධයකි. එසේම, මේ කියන මන්ත‍්‍රීවරුන් වසර පහක් වැනි කෙටි කාලයකින් පසු ජීවිත කාලය සඳහාම වන විශ‍්‍රාම වැටුපකට හිමිකම් කියන බවත් අමතක නොකළ යුතුය. එසේ වන්නේ, රාජ්‍ය සේවකයෙකු අවුරුදු 30 ක් හෝ 35 ක් වැනි දීර්ඝ කාලයක් ඒ සඳහා කඹුරන තත්වයක් තුළ ය.

සරළ විසඳුමක්

මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමයක් යටතේ සෑම ආසනයකටම මන්ත‍්‍රීවරයෙකු පත්කර ගැනෙන මුවාවෙන් තමන්ගේ ‘ගොඩ’ වැඩි කර ගැනීමට මානබලන පටු දේශපාලඥයන්ගේ ප‍්‍රයත්නයන් හෙලාදකින අතරේම, බදු ගෙවන්නන් සහ ස්වෛරී ඡන්දදායකයන් වශයෙන්, වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සංඛ්‍යාව වැඩි කර නොගෙන, පහත සඳහන් සරළ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

1. මනාප ක‍්‍රමය අහෝසි කොට සුපුරුදු පරිදි මහ මැතිවරණ පැවැත්වීම.
2. යම් පක්ෂයක් හෝ සන්ධානයක ලකුණ යටතේ මුළු රටෙන්ම ලබා ගත් ඡන්ද එකතු කොට ගණන් ගැනීම.
3. මැතිවරණයකදී පාවිච්චි කරන ලද මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව තුළ, එකිනෙක පක්ෂය/සන්ධානය ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය ගණන් ගැනීම.
4. ඒ ඡුන්ද ප‍්‍රතිශතයට අනුකූලව, (දැනට පවතින මන්ත‍්‍රී සංඛ්‍යාව වන 225 න්) ඒ ඒ පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව පැවරීම.

ඉහත කී පියවර 4 ඔස්සේ, රට පුරා පාවිච්චි කෙරෙන සෑම ඡන්දයක්ම එක හා සමානව ගණන් ගැනෙන අතර, එකිනෙක පක්ෂය/සන්ධානය මගින් ලබා ගන්නා මුළු ඡන්ද ප‍්‍රතිශතයට සමානුපාතික මන්ත‍්‍රී සංඛ්‍යාවක් ඒ ඒ පක්ෂයට හිමි වනු ලැබේ. පාර්ලිමේන්තුවක ජනතා නියෝජනයේ වඩාත් සාධාරණ, නිවැරදි සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය වන්නේ එයයි. මෙහි වැදගත්ම ලක්ෂණය වන්නේ, සමස්ත රටම එක කොට්ඨාශයක් වශයෙන් සළකනු ලැබීමයි. මේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ව අප තෝරා ගන්නේ මුළු රටටම අණපනත් පනවන මධ්‍යම පාර්ලිමේන්තුව සඳහා වන බැවින් එම ක‍්‍රමය මුළුමණින් තාර්කික වන්නේය. මේ නිසා සීමා නිර්ණය පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නොනගින අතර, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ අනුමත කර ගැනීමෙන් පසු අදාළ මැතිවරණ පැවැත්වීමටද හැකි වනු ඇත.

ඉහත ක‍්‍රමය වර්තමාන පාර්ලිමේන්තු සංඛ්‍යාව මත ක‍්‍රියාත්මක වනු ඇත්තේ මෙසේය:

පක්ෂ/සන්ධාන ලාංඡනය
1. මුළු රටෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව
2. මුළු රටෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවේ ප‍්‍රතිශතය
3. ඒ අනුව හිමි විය යුතු උපරිම ආසන සංඛ්‍යාව
4. (අ) 5,400,000 – සියයට 45 යි. ඒ අනුව ආසන 101 යි.
(ආ) 5,100,000 – සියයට 42.5 යි. ඒ අනුව ආසන 96 යි.
(ඇ) 900,000 – සියයට 7.5 යි. ඒ අනුව ආසන 17 යි.
(ඈ) 400,000 – සියයට 3.3 යි. ඒ අනුව ආසන 07 යි.
(ඉ) 200,000 – සියයට 1.7 යි. ඒ අනුව ආසන 04 යි.
මුළු ඡන්ද සංඛ්‍යාව: 12,000,000 යි. මුළු ආසන සංඛ්‍යාව 225 යි.

(සටහන: කුඩා පක්ෂත් තමන්ගේ ඡන්ද ප‍්‍රතිශතයට අනුව ආසන ලබා ගනු ඇත. එහෙත් පුංචි පක්ෂ පතුරු පැටව් ගැසීම අධෛර්යමත් කළ යුත්තේ නම්, යම් පක්ෂයක් සුදුසු භාවය ලැබීමේ අවම ප‍්‍රතිශතය සියයට 2 ක් කළ හැකිය. ඉන් පසු එම පක්ෂ ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය අතහැර ඉතිරි පක්ෂ අතරේ ආසන සංඛ්‍යාව බෙදා හැරිය හැකිය).

ඊළඟ පියවර වන්නේ, ඉහත කී ආසන 225 සඳහා සුදුසු මන්ත‍්‍රීවරුන් හඳුනා ගැනීමයි. මේ 225 දෙනාගේ සුදුසුකම් සොයා බැලීම මිලියන 12 ක් වන ඡන්දදායකයන්ට පැවරීම නිරර්ථක ය. ඒ වගකීම පැවරිය යුත්තේ අදාළ පක්ෂයට ය. දැනටත්, දිස්ත‍්‍රික් මට්ටමින් මේ නියෝජිතයන් නම් කිරීමේ බලය ඇත්තේ, පිළිවෙලක් නැති නිර්ණායක යටතේ වුවත්, අදාළ පක්ෂවලටයි.

තෝරා ගැනීමේ ක‍්‍රියාවලියත්, ඒ සඳහා වන ප‍්‍රබල නිර්ණායකත් සකසා ගත යුතුව ඇත්තේය. පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලදුව, සියලූ ප‍්‍රධාන පක්ෂ විසින් පිළිගනු ලැබූ ‘නාම යෝජනා සඳහා වන ආචාර ධර්ම පද්ධතිය’ වැනි දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන වැඩ පිළිවෙලක්, කුමන මැතිවරණ ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසයක වුව සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. අපේ අදහසේ හැටියට, මන්ත‍්‍රීවරුන් පක්ෂ මාරු කිරීමේ ජඩ ක‍්‍රමය ඉවරයක් කිරීමේ වගන්තියකුත්, මේ ප‍්‍රතිසංස්කරණ තුළට අඩංගු විය යුතුය. කෙසේ වෙතත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවෙන්ම ඊට පිළියම් සැපයීම වඩාත් යෝග්‍ය ය. ඒ නිසා මේ කියන ක‍්‍රමය යටතේ ඉදිරිපත් කෙරෙන පුද්ගලයන්, රටටත්, ඡන්දදායකයාටත් සෑහීමට පත්විය හැකි ආකාරයෙන් ස්වකීය පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශනය ක‍්‍රියාවට නැංවිය හැකි, වඩාත් කාර්යක්ෂම, වඩාත් විශ්වාසවන්ත සහ වඩාත් යෝග්‍ය අයවලූන් වන බවට වගබලා ගැනීම ඒ ඒ පක්ෂයට පැවරෙන්නේය.

මෙහිදී, වර්තමානයේ ක‍්‍රියාත්මක වන 29 දෙනාගේ ජාතික ලැයිස්තුව අවලංගු කොට, ඒ අයවලූන් පක්ෂයේ ප‍්‍රධාන ලැයිස්තුවට ඇතුළත් කළ යුතුව තිබේ. එවිට, හැම පක්ෂ ලැයිස්තුවක්ම, දිස්ත‍්‍රික් පදනම යටතේ සුදුසුකම් මත තෝරා ගැනෙන ‘ජාතික ලැයිස්තුවක්’ බවට පත්වනු ඇත. මේ අනුව, සෑම පක්ෂයකටම, මුළු රටටම අදාළ 225 දෙනෙකුගේ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකි වෙතත්, කුඩා පක්ෂවලට එය කළ නොහැකි වීමේ ඉඩක් තිබේ. යමෙකුගේ මරණයක් හෝ වෙනත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇති විය හැකි තත්වයකට මුහුණදීම සඳහා සෑම දිස්ත‍්‍රික්කයක් සඳහාම අමතර නියෝජිතයන් 3 දෙනෙකු ඒ ඒ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පහළින් නම් කළ හැකි බවට අපි යෝජනා කරමු.

දිස්ත‍්‍රික්කයට අදාළ පක්ෂ නාම යෝජනා සකස් කිරීමේදී සුදුසුකම්වලට මුල් තැන දෙන්නේ නම්, තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේදී එය ඡන්දදායකයාට මහත් පහසුවක් වනු ඇත. එසේම පක්ෂයකටත් තම සුදුසුකම් ලැයිස්තුව සඳහා පාරදෘෂ්‍ය භාවයකින් යුතුව වඩාත් සුදුස්සන් තෝරා ගැනීමට එවිට සිදු වන්නේය. මනාප ක‍්‍රමය යටතේ පවා ජනතා විමුක්ති පෙරමුණ ඒ ක‍්‍රමය අනුගමනය කළ බව මෙහිදී පෙන්වා දිය යුතුය.

කෙසේ වෙතත්, ඡන්දදායකයාගේ විනිශ්චය සඳහා වඩාත් තීරණාත්මක විය යුත්තේ, ‘පක්ෂ වැඩපිළිවෙලයි’. එය, දීප ව්‍යාප්ත ජාතික ලැයිස්තුව සමග ඡන්දදායකයන් අතර කල් තියා බෙදා හැරිය යුත්තේය. ඡන්දය තීරණය කෙරෙන ලියවිල්ල ‘පක්ෂ වැඩපිළිවෙල’ වන නිසා, එය නීතිමය වශයෙන් ක‍්‍රියාත්මක කළ හැකි වන ආකාරයෙන් මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ඇති කළ යුතුය.

ඉහත කී නිර්දේශ මේ ලියුම්කරු විසින් ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව’ වෙත ඉදිරිපත් කරන ලදි. එවැනි කමිටුවක් පත්කිරීම, ආණ්ඩුව ගත් නිවැරදි පියවරක් වශයෙන් දැකිය හැකිය. එහිදී ඉදිරිපත් වූ අදහස් මාධ්‍ය තුළද වාර්තා කෙරුණි. අපේ අදහසේ හැටියට, මෙකී වාර්තාව ‘පාර්ලිමේන්තු ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කමිටුවේ’ මූලික අවධානයට යොමු විය යුතුව තිබේ. හේතුව, ජනතාව ස්වෛරී වන බැවිනි. ආණ්ඩුව යනු ජනතාව සඳහා ජනතාව විසින් පත්කර ගන්නා එකක් බැවිනි.

අවංක, කාර්යක්ෂම, විනීත, ආචාරශීලී සහ සදාචාරමය වශයෙන් පොහොසත් වෘත්තිකයන් 225 දෙනෙකු රට ගැන සිතා පාර්ලිමේන්තුවට පත්කර යැවීමට ජනතාවට හැකි වන්නේ, ඒ ඒ පක්ෂ සහ සන්ධානත් තමන්ගේ නියෝජිත නාම යෝජනා, වෘත්තීය භාවයකින් යුත්, ශක්තිමත් සහ විනිවිද පෙනෙන සුළු ක‍්‍රමයක් යටතේ සකසා ගතහොත් බව යළිත් අවධාරණය කළ යුතුව ඇත්තේය.

මැතිවරණ ව්‍යාපාර සඳහා යොදවන අධික වියදම් සහ මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය වැනි අශෝක ඔබේසේකර පෙන්වා දී ඇති ප‍්‍රශ්නත් මේ ක‍්‍රමය යටතේ නිරවුල් කර ගත හැකි බව කිව යුතුය.

මෙය, අපේ දේශපාලන සංස්කෘතියට අත්‍යාවශ්‍ය වන ‘සුසමාදර්ශී වෙනසකි’. යහපාලන ක‍්‍රමය යටතේ, රටේ සහ ජනතාවගේ යහපැවැත්ම නැමැති පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ‘එදිරිවාදී ස්ථාවරයක්’ වෙනුවට, ‘සම්මුතිවාදී සම්බන්ධතාවක්’ මත දෙපාර්ශ්වයක් හෝ ඊට වැඩි පිරිසක් කටයුතු කෙරෙන පසුබිමක් දැනටත් ගොඩනැගී ඇති බව පෙනේ. එවැනි තත්වයක් තුළ, ‘එල්ලෙන පාර්ලිමේන්තුවක්’ සහ ‘ස්ථාවර ආණ්ඩුවක්’ වැනි යෙදුම් අර්ථ විරහිත අවනාමයන් බවට පත්වනු ඇත.

සමානුපාතික ක‍්‍රමය කැබිනට් මණ්ඩලයටත්

අවසාන වශයෙන්, කැබිනට් මණ්ඩලයේ ඇමති පදවිත් ඉහත කී සමානුපාතික ක‍්‍රමය අනුව සකස් විය යුතු බවට අපි යෝජනා කරමු. එවිට ස්වෛරී ඡන්දදායකයා සේම, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂත් ආණ්ඩුකරණයේ සෑම මට්ටමකින්ම සහභාගී කර ගත හැකි වන අතර ඒ මගින් සැබෑ ‘ජනතා ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හැකි වනු ඇත. තවද, දැනට ජාත්‍යන්තරකරණයට ලක්ව ඇති ‘13 ප්ලස්’ ප‍්‍රශ්නයටත් ඒ මගින් විසඳුම සැපයෙනු ඇත.

වෙනත් රටවලටත් ආදර්ශයක් විය හැකි සරළ, සාධාරණ, අපක්ෂපාතී සහ ඵලදායී ආණ්ඩුකරණයක් සහතික කෙරෙන ඉහත කී මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්නැයි, මේ රටේ සාධාරණ පුරවැසියන්ගෙන්, සිවිල් සංවිධානවලින් සහ දේශපාලඥයන්ගෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු.


                                                  බර්නාඞ් ප‍්‍රනාන්දු

(2016 සැප්තැම්බර් 10 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Why Complicate Electoral Reforms? Let Us Go for a Simple Solution නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි



2016-09-19
Advertisement

Find us on Facebook