English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රටේ දිශානතිය වෙනස් කරන්න සිවිල් සංවිධානවල දායකත්වය අත්‍යවශ්‍යයි - මාර්තු 12 - මන්ත‍්‍රිනිය
පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න

"අපේ රටට පිරිසිදු දේශපාලනඥයෝ් අවශ්‍යයි. ටී ෂර්ට්, තොප්පි අරක්කු සහ වාහන ප‍්‍රමාණයට අපේ මිනිස්සු රැල්ලට යනවා. අරක්කු හා මුදල් එක්ක කරන දේශපාලනයට පෞද්ගලීකව මුහුණ දෙන කෙනෙක් මම. මේක මට වෙනස් කරන්න  ඕනේ. මම දැක්කේ මාර්තු 12 කියන්නේ ඒ වෙනස ඇතිකරන්න උත්සාහා ගන්න ව්‍යාපාරයක් විධියටයි, ඒ නිසා මට හිතුනා මේකට එකතු වෙන්න  ඕනේ කියලා." එසේ ප‍්‍රකාශ කරන්නේ රටේ දිශානතිය වෙනස් කරන්න දේශපාලන ක්‍ෂේත‍්‍රයට පිවිසි මාතලේ දිස්ත‍්‍රික්කයේ ලග්ගල පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න ය.


යහපාලන රජය බලයට ගෙනෙන්නට සිවිල් සමාජ සංවිධාන විශාල කාර්යභාරයක් සිදුකළ බව ද පවසන මන්ත‍්‍රිනි රෝහිණි කුමාරි, රටේ දිශානතිය වෙනස් කරන්න ද මෙකී සිවිල් සමාජ සංවිධානවල දායකත්වය අත්‍යවශ්‍යයැයි සමබිම විශේෂ අතිරේකයේ සම්මුඛ සාකච්ඡවකට අදහස් දක්වමින් ප‍්‍රකාශ කරයිි.  
 
"පිරිසිදු දේශපාලනයක් සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ" නිර්නායකවලට එකඟ වෙමින් අත්සන් තැබු එක්සත් ජාතික පක්‍ෂයේ මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න සමඟ සමබිම "අයැම් ෆෝ ක්ලීන් පොලිටික්ස්" අතිරේකය සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකා මනෝරි කලූගම්පිටිය විසින් සිදුකළ සම්මුඛ සාකච්ජාවේදි ඇය ඉදිරිපත් කළ අදහස්වලින් උපුටා ගනු ලැබු අදහස් කිහිපයක් පහත දැක්වෙයි. (ජායාරූප ද සමඟින්)
දේශපාලනයේදී සිවිල් සමාජ සංවිධාන සමග නිරන්තර ගනුදෙනුවක් සිදු කිරීමට සිදු වෙනවා. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන කරන මැදිහත් වීම ගැන මොකද හිතන්නේ?
ඒ ගොල්ලන්ගේ මැදිහත් වීම අවශ්‍යයමයි. අපි දන්නවා මේ යහපාලන රජය බලයට ගේන්න සිවිල් සමාජ සංවිධාන ලොකු කාර්යභාරයක් කළා. ඒ නිසා සිවිල් සමාජ සංවිධානවල මැදිහත් වීම අවශ්‍යයයි. නමුත් ඒ හැමෝම සද්භාවයෙන් කටයුතු කරන්න ඕන. අපි දන්නවා සිවිල් සමාජ සංවිධාන බොහොමයකට ආධාර ලැබෙන්නේ වෙනත් රටවල්වලින්. ඒ නිසා සිවිල් සමාජ සංවිධාන තමන්ගේ ආර්ථික වාසි පමණක් නෙවෙයි බැලිය යුත්තේ. දේශපාලනඥයෝ වගේම ඔවුනුත් ජනතාවට වගවිය යුතුයි. කොහොම වුණත් මේ රටේ දිශානතිය වෙනස් කරන්න ඔවුන්ගේ දායකත්වය අත්‍යවශ්‍යයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ගැන ඔබේ අදහස මොකක්ද?
ඇත්තටම දැන් වෙනසක් තියෙනවා. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වෙන්න ප්‍රධානම හේතුව පටු දේශපාලන වාසි. අද මාධ්‍යය කොච්චර නිදහසක් භුක්ති විඳිනවද? වෙන එකක් ඕන නැහැ රාජ්‍ය නාට්‍යය උළෙලේ මීට කලින් බෝඞ් අරන් ස්ටේජ් එකට නගින්න පුළුවන් වුණාද? එදා කවුරුහරි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අත්වින්දොත් සුදු වෑන් එකකින් ගෙනිච්චා කියන්න තමයි වෙන්නේ. මම කියන්නේ නැහැ සියයට සීයක්ම අපි දැන් ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් ඉදිරියට එන්න තියෙන අණ පනත් එක්ක, විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනතත් එක්ක මේ රටේ අයිතිවාසිකම් පැත්තෙන් විශාල පෙරළියක් සිදු වෙන්න නියමිතයි.
ජාතික ප්‍රශ්නය අපි අවුරුදු ගණනාවක් තිස්සේ අත්දකින ඛේදවාචකයක්. ජාතීන් අතර සංහිඳියාව ඇතිකරමින් ඒ ප්‍රශ්නය විසඳන්න සාධනීය පියවර මේ රජයෙන් අරන් තියෙනවා කියල ඔබ හිතනවද?
ඔව්, මේ වෙනකොට ජාතීන් අතර සංහිඳියාවක් ඇති කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. උතුරටයි දකුණටයි කියල වෙනසක් නැහැ. පහුගිය දිනක යාපනය විශ්වවිද්‍යාලයේ උඩරට නැටුමක් නැටුවා කියල ගැටුමක් ඇති වුණා. පෙරේදා මාතලේ කතරගම දේවාලයේ තේරු උත්සවය. ඒකට මමත් දිගම්බරන් ඇමතිතුමත් සහභාගි වුණා. ඒ තේරු උත්සවේ ඉස්සෙල්ලාම ගියේ උඩරට නැටුම්. ඊට පස්සෙ තමයි එයාලගේ සංස්කෘතියට අදාළ නැටුම් ගියේ. හරිම ලස්සනයි. අන්න ඒ තැනට අපේ රට එන්න ඕන. මේක අපි උතුරටත් ගෙනියන්න ඕන. මම එතනදි කිවුවා මේකනේ වෙන්න ඕන කියලා. මාතලෙත් ද්‍රවිඩ ජනතාව ඉන්නවා. එහෙනම් අපි තේරුව අදින්න නොදී ඉන්න ඕන.
මාර්තු 12 ව්‍යාපාරයට ඔබ සම්බන්ධ වුණේ ඇයි?
අද මේ රටේ දේශපාලනඥයෝ යන දිශානතිය වැරදියි. දේශපාලනය කරද්දි ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන කෙනෙක් විදිහට පිරිසිදු දේශපාලනඥයෝ අපට අවශ්‍යයයි කියලා මට හිතුණා. බෙදන ටී ෂර්ට්, තොප්පි, අරක්කු, වාහන ප්‍රමාණයට අපේ ජනතාව රැල්ලට යනවා. අරක්කු සහ මුදල් එක්ක කරන දේශපාලනයට පෞද්ගලිකව මුහුණ දෙන කෙනෙක් මම. ඒ තුළ මම හිතුවා මේක වෙනස් කරන්න හදන ව්‍යාපාරයක් තමයි මාර්තු 12 ව්‍යාපාරය කියලා. ඒ නිසා මේකට එකතු වෙන්න ඕන කියන හැඟීම තමයි මට තිබුණේ.

මනෝරි කලූගම්පිටිය - මන්ත‍්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න

අනාගතයේදී මාර්තු 12 ව්‍යාපාරය හරහා පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සමාජයට යම් බලපෑමක් කරන්න පුළුවන් මොන විදිහටද?
සමාජයට බලපෑමක් කරන්න නම් යන්න ඕන බිම් මට්ටමට. මේක උඩ ඉඳන් පහළට එන්න ඕන එකක් නෙවෙයි. පහළ වෙනස් කළොත් උඩ වෙනස් වෙයි. දේශපාලනඥයා කියන ගහ හැදෙන්නේ ඡන්දදායකයා කියන මුල් ටිකෙන්. ඡන්දදායකයා කියන මුල් ටික මේ ගහ පෝෂණය නොකළොත් මේ ගහ මැරෙනවා. ඒ අය ඡන්දය දුන්නොත් තමයි මේ අය පාර්ලිමේන්තුවට හෝ දේශපාලනයට එන්නේ. අපි ඡන්දදායකයාගේ බුද්ධිකලම්බනයක් කළ යුතුයි මෙන්න මෙහෙම අය තමයි පාර්ලිමේන්තුවට හෝ දේශපාලනයට ගන්න ඕන කියල. කවුරු හරි මොනවා හරි පගාවල් දීගෙන එනවා නම් ඒගොල්ලෝ අයින් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි රජයේ නිලධාරීන් සම්බන්ධයෙනුත් ජනතාව අවදිවෙන්න ඕන. එතනදි සාමාන්‍ය මිනිස්සු බයයි රජයේ නිලධාරීන්ට එරෙහිව කතා කරන්න. පහුගිය දවසක මම කරපු කතාවක් නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු මාත් එක්ක තරහාවෙලා. මම එතනදි පැහැදිලිවම කිවුවේ “මහජන සේවකයෝ වගේම රජයේ සේවකයොත් ජනතාවගෙන් පඩි ලබන මිනිස්සු හැටියට පාට කණ්ණාඩි ගලවලා වැඩ කරන්න ඕන” කියලයි. ඒකෙ වැරැද්දක් තියෙනවද? දැන් ඔය ඉන්න ප්‍රාදේශීය ලේකම් මහත්වරුන්ට සහතිකයක් දෙන්න පුළුවන්ද ගමේ ඉන්න සමෘද්ධි නියාමකවරයා මධ්‍යස්ථව වැඩ කරනවා කියල. කෘෂි පර්යේෂණ නිලධාරී නැතිනම් ගොවි නියාමකයා ස්වාධීනව පක්ෂ භේදයක් නැතුව වැඩ කරනවා කියල කියන්න පුළුවන්ද? ග්‍රාම සේවක ගැන එහෙම සහතිකයක් දෙන්න පුළුවන්ද? මොකද පහුගිය කාලේ මේ චරිත තුන කියන්නේ දේශපාලන චරිත. අපි කාටවත් ඒක නැහැ කියන්න බැහැ. රජයේ ප්‍රචාරක යාන්ත්‍රණය බිම් මට්ටමේ ඇදගෙන ගියේ මේ තුන්දෙනානේ. මේ තුන් දෙනා මැරිලා ඉපදුණාද? අපි ගම් ඇතුළේ වෙන දේ දකින නිසා තමයි එහෙම කතා කළේ. සමහර ප්‍රාදේශීය ලේකම්වරු පහුගිය කාලේ හිටපු මන්ත්‍රීවරු විසින් පත් කරපු අය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ළඟදියි පත් කළේ. ඒ වනතෙක් දේශපාලන පත්වීම් තමයි කොහොමත් තිබුණේ. ඒ අය තමයි තාමත් වැඩ කරන්නේ. ඒ නිසා අපිට හරි අමාරුයි ගම්වල වැඩ කරන්න. මෙවැනි අතළොස්සක් වන පිරිසගෙන් අපි ප්‍රතිපත්ති හදලා ගෙනිච්චත් ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නැහැ බිම් මට්ටමේදී. ඒ නිසයි මම කියන්නේ පාට කණ්ණාඩි ගලවලා මිනිස්සු වෙනුවෙන් අපි වැඩ කරමු කියල.
දේශපාලන සංස්කෘතියේ සාධනීය වෙනසක් කරන්න ඔබට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද?
මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක ඔස්සේ අපි ගමන් කරනවා නම් මේ රටේ දේශපාලනඥයා කියන කෙනාව වෙනස් කරන්න පුළුවන්. දේශපාලනඥයා පමණක් නෙවෙයි මේ සඳහා රජයේ නිලධාරින්වත් අනුගත කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දේශපාලනය කිරීම කියන්නේ ජනතාවට සේවය කිරීම නම් ඒක රජයේ සේවකයාටත් අදාළයි. මේ දෙගොල්ලන්ම බිම් මට්ටමට බැහැලා පෞද්ගලික අරමුණු නැතිව ජනතාවට සේවය කරන්න ඕන කියන හැඟීම එයාලගේ පපුවට එන්න ඕන. අපි කවුරු කොහොම කියුවත් අපේ රට තියෙන තැන හරි ඛේදනීයයි. සදාචාරාත්මක පැත්තෙන් ගත්තත් ආර්ථිකය අතින් ගත්තත් පහුගිය කාලේ පුරාවට හිටපු හැම නායකයෙක්ම ඒකට වගකියන්න ඕන. යම් යම් අයගේ අත අස්සෙන් රිංගලා ගියපු දේවල් නිසා අපේ රට මේ තැනට වැටිලා තියෙනවා. දැන් අපි එකාවන්ව එකතු වෙලා මේ රට ගොඩගන්න ඕන. එහෙම වැඩ කළොත් තව අවුරුදු දහයකින් පහකින් අපේ රට හොඳ තැනකට ගන්න පුළුවන්. ඒක දේශපාලකයන්ට විතරක්ම කරන්න බැහැ. රාජ්‍ය නිළධාරීනුත් පුරවැසියනුත් එකතු වෙන්න ඕන. එවැනි වෙනසකට බිම් මට්ටමේ ආකල්ප වෙනස් කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕන.

විවිධ මාතෘකා ඔස්සේ සිදුකර ඇති  සමස්ත සම්මුඛ සාකච්ජාව කියැවීමට අවැසි නම් පහත සඳහන් සම්බන්ධතාවයෙන් සමබිම වෙබ් අඩවියට පිවිසෙන්න.

http://www.samabima.com/?p=15541


-    මෙලනි 





2016-09-18
Advertisement

Find us on Facebook