English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ ප‍්‍රතිසංස්කරණ- ‘‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’’ හැර වෙන දෙයක් නැත.


නව මැතිවරණ ක‍්‍රමයක් යෝජනා කිරීම, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ’ සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවකට භාර කිරීමම එම කාරණයේ ඇති වැදගත්කම කියාපායි. මේ කමිටුව ආමන්ත‍්‍රණය කළ යුතු ප‍්‍රධාන ප‍්‍රශ්න තුනක් තිබේ:

1. නව මැතිවරණ ක‍්‍රමයකට පාදක විය යුතු ප‍්‍රතිපත්ති කවරේද?
2. එම ප‍්‍රතිපත්ති මුදුන්පත් කරගත හැක්කේ කුමන මැතිවරණ ක‍්‍රමයකින්ද?
3. මැතිවරණ ක‍්‍රමයකින් විසඳිය නොහැකි ප‍්‍රශ්න කවරේද?

ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇත්තේ, සමානුපාතික අවශ්‍යතාව සමග ඈඳුණු, ආසන නියෝජනය සහිත මැතිවරණ ක‍්‍රමයක් සඳහා බව මම පෙන්නුම් කිරීමට කැමැත්තෙමි. මේ අවශ්‍යතා දෙක නිසියාකාරයෙන් තුලනය කරගත හැකි එකම මග වන්නේ, ද්විත්ව ඡන්ද පත‍්‍රිකාවක් පාවිච්චි කෙරෙන, ‘‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමයක්’’ හරහා පමණි. එසේම, මොන මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ගෙනාවත්, මැතිවරණ ක‍්‍රමයකින් පමණක් සියළු ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව පෙන්වා දීමටත් මම කැමැත්තෙමි.

නව මැතිවරණ ක‍්‍රමයක් තුළ අඩංගු විය යුතු ප‍්‍රශස්ත ප‍්‍රතිපත්ති කවරේද?

මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සංවාදය හරි මැද්දේ තිබෙන්නේ, ‘‘සමානුපාතිකත්වය සඳහා වන යාන්ත‍්‍රණයන් සමග එකට බැඳී, ආසන වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගන්නා මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක්’’ ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් දෙන ලද පොරොන්දුවකි.

මේ ප‍්‍රතිඥාව පසුපස ප‍්‍රධාන ප‍්‍රතිපත්ති දෙකක් තිබේ.

මුලින්ම, ආසන වශයෙන් වෙන වෙනම මන්ත‍්‍රීවරුන් පත්කර ගැනීමෙන්, නියෝජිතයාගේ සහ නියෝජනත්වයේ ගුණාත්මක බව වැඩි වෙයි. මන්ද යත්, අපේක්ෂකයාට ස්වකීය ඡන්ද ව්‍යාපාරය ගෙන යාමට සහ නියෝජනය කිරීමට පැවරෙන භූගෝලීය සීමාව කුඩා වීම නිසා, මැතිවරණ වියදම් අවම මට්ටමක පවත්වා ගනිමින්, වැඩි අවධානයක් යෙදවිය හැකි කුඩා ප‍්‍රදේශයක් භාර වීම නිසා ය.

දෙවැනුව, සමානුපාතිකත්වයේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම තුළ, යම් සාධාරණත්වයක් රැකගත හැකි වනු ඇත. මන්ද යත්, ආසනයක් තරග කොට ජයගත නොහැකි කුඩා පක්ෂවලට, වඩාත් පුළුල් භූගෝලීය සීමාවකදී තමන්ගේ පක්ෂයට ලැබිය හැකි ඡන්ද ප‍්‍රමාණයේ වාසියත් අත්කර ගත හැකි නිසා ය.

මේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළ හැක්කේ කුමන මැතිවරණ ක‍්‍රමයකින්ද?

ආසන නියෝජනත්වයක් ලබා ගැනීමට අවස්ථාව සලසාලන අතරේම, සමස්ත සාමානුපාතිකත්වයේ ප‍්‍රතිඵලයත් අත්කර ගත හැකි එකම ක‍්‍රමය වන්නේ, මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයයි. එම ක‍්‍රමය හඳුන්වන්නේ, ‘‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’’ (එම්.එම්.පී) වශයෙනි. මේ ක‍්‍රමය පවතින ලෝකයේ සෑම රටකම ඡන්දදායකයාට ද්විත්ව ඡන්දයක් හිමි වෙයි.

ද්විත්ව ඡන්දයක් සහිත මිශ‍්‍ර නියෝජන ක‍්‍රමය තුළ, ආසන නියෝජනත්වයේ සහ සමානුපාතිකත්වයේ සංයෝගයක් පවතින නිසා, ඡන්දදායකයාට පුළුල් තේරීමක් සඳහා අවස්ථාව සැලසේ. යම් අපේක්ෂකයෙකු සඳහා ඡන්දය පාවිච්චි කිරීමට අමතරව, මෙවැනි ක‍්‍රමයක් තුළ, ඡන්දදායකයෙකුට යම් පක්ෂයක් සඳහාද ඡන්දය පාවිච්චි කළ හැක. මේ ඡන්ද දෙක, එකිනෙක පෑහීම අනිවාර්ය නැත. උදාහරණයක් වශයෙන්, අදාළ ආසනයේ (කොට්ඨාශයේ) මන්ත‍්‍රී ධුරය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුට ඡන්දය පාවිච්චි කරන අතරේම, පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට අනිත් ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දදායකයාට හැකියාව ලැබේ.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, පාර්ලිමේන්තුවේ අවසාන නියෝජන සංයුතිය තීන්දු කෙරෙන්නේ, පක්ෂයට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය අනුව වීමත්, එම ඡන්ද ප‍්‍රමාණයට සමානුපාතික වන මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් ආසන (කොට්ඨාශ) මට්ටමින් තේරී පත්ව නැති යම් පක්ෂයකට, වෙනම සමානුපාතික අපේක්ෂක ලැයිස්තුවක් හරහා ඒ අඩුව පුරවා ගත හැකි වීමත් ය.

මැතිවරණ ක‍්‍රමයකට විසඳිය නොහැකි ප‍්‍රශ්න කවරේද?

මැතිවරණ ප‍්‍රතිසංස්කරණ පරාසයට අයත් නොවන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර දෙකක් තිබේ. මුලින්ම, ආසන මට්ටමේ නියෝජනයක් ඉල්ලා සිටීම පසුපස පවතින එක කාරණයක් වන්නේ, එවැනි ක‍්‍රමයක් තුළ මැතිවරණ වියදම් අවම කර ගැනීමේ හැකියාවක් ඇති බවට පවතින විශ්වාසයයි. මෙය පෙන්නුම් කිරීම සඳහා බොහෝ දෙනා 1977 ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිවරණ පරාජය සාක්ෂියට ගනිති. එකල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකව සරත්චන්ද්‍ර රාජකරුණා විසින් දොම්පේ ආසනයෙන් පරාජය කරනු ලැබුවේ, ගෙයින් ගෙට ගොස් කරන ලද අවම මැතිවරණ වියදමක් සහිත ඡන්ද ව්‍යාපාරයක් හරහා ය.

මෙය සැබෑවක් විය හැකි නමුත්, ‘‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’’ යටතේ වුව, සෑම ඡන්දාපේක්ෂකයෙකුම බලන්නේ ජයග‍්‍රහණය කිරීමට බැවින්, දැන් ඊට වඩා අඩු භූගෝලීය සීමාවක් තුළ, කලින් සේම අධික මැතිවරණ වියදමක් දැරීමට කෙනෙකු පෙළඹීම නව මැතිවරණ ක‍්‍රමය තුළ නතර කළ නොහැක. උදාහරණයක් වශයෙන් වක‍්‍රාකාරයෙන් ඡන්ද මිළදී ගැනීමේ විවිධ ප‍්‍රයෝග සඳහා විශාල මුදලක් වියදම් කිරීමට බැරි කමක් නැත. මෙවැනි ප‍්‍රශ්නයක්, උපරිම මැතිවරණ වියදම් පිළිබඳ රෙගුලාසි ඇති කිරීමෙන් මිස, මැතිවරණ ප‍්‍රතිසංස්කරණවලින් පමණක් විසඳිය හැකි නොවේ.

දෙවැනුව, මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය මැතිවරණ ප‍්‍රතිසංස්කරණ තුළින් මැඩලිය නොහැක. මනාප ක‍්‍රමය නැති කිරීම නිසා එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර හටගන්නා ප‍්‍රචණ්ඩත්වය අවම විය හැකි වෙතත්, පක්ෂ අතරේ ඇති විය හැකි ප‍්‍රචණ්ඩත්වය ඒ මගින් නතර වන්නේ නැත. තවත් විදිහකින් කිවහොත්, මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය යනු, නීතිය හා සාමය පිළිබඳ ප‍්‍රශ්නයකි. එය, මැතිවරණ ප‍්‍රතිසංස්කරණයකින් අත්කර ගත හැක්කක් නොවේ.

ඉදිරියට යාම

‘ට‍්‍රාන්සපෙරන්සි ඉන්ටර්නැෂනල්’ ලංකා ශාඛාව, ඡන්ද දෙකකින් සමන්විත, මේ කියන ‘‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’’ පිළිබඳ හැඳින්වීමක් සහ එහි ඇති වැදගත්කම, ඉහත කී සියලූ කමිටු සාමාජිකයන්ට ඉදිරිපත් කොට තිබේ.

මේ ද්විත්ව ඡන්දයක් සහිත ‘‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’’ භාර නොගන්නේ නම්, ආසන නියෝජනය සහ සමානුපාතිකත්ව නියෝජනය තුලනය කර ගන්නේ කෙසේදැයි, මේ කමිටු සාමාජිකයන් පෙන්වා දිය යුතුව තිබේ. එසේම, යෝජනාවලියේ පූර්විකාව තුළ, පැහැදිළිව සඳහන් විය යුතු තවත් කරුණක් තිබේ. එනම්, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ යනු කෝකටත් තෛලයක් නොවන බවයි. එය වනාහී, ගරා වැටෙන දේශපාලනික ප‍්‍රමිතීන් පිළිබඳව ඇති වී තිබෙන ජනතා කණස්සල්ල සමනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන බොහෝ පියවරයන්ගෙන් එකක් පමණි.

අශෝක ඔබේසේකර

(2016 සැප්තැම්බර් 9 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Electoral Reform- MMP the Only Game in Town නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි



2016-09-16
Advertisement

Find us on Facebook