English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්!

ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිම සඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් අත්සන් බා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක් යවා තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් පලවේ.

ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිම සඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු.

පළමුව මෙය රටපුරා ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව වෙත මේ සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා නැවත ඉස්මතු කිරිමක් පමණක් බව අපි අවධාරණය කරමු. මෙම යෝජනා මහජන නියෝජන කමිටුවේ වාර්තාවේ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ (විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ මඟ පෙන්වීමේ මූලධර්ම, පරම අයිතිවාසිකම්/මූලික අයිතිවාසිකම් පනත, රාජ්‍ය මූල්‍ය සහ ඉඩම් සංවර්ධනය හා පරිසරය සම්බන්ධ පරිච්ඡේදයන්හි) සවිස්තරාත්මක නිර්දේශයන් මගින් පැහැදිළිව ඉදිරිපත් කර ඇත.

දෙවනුව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු ඉතිහාසය තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය වැනි ක්ෂේත‍්‍රයන් සඳහා රජයේ මැදිහත්වීම පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අත්දැකීම් ගොනු කර ගත යුතු අතර, ඒ මගින් නිදහස, ගරුත්වය, යහ පැවත්ම සහ මානව ආරක්ෂාව සඳහා පදනම් වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන බව තහවුරු කළ යුතුය. වර්තමාන මූල්‍ය හා වෙළෙද ප‍්‍රතිපත්තින් මගින් ද, යුද්ධය හා නැවත ගොඩනැංවීමට හා සංවර්ධනයට අදාලව යුද්ධයෙන් පසු සිදුකරන ලද ක‍්‍රියාවලින් මගින් ද, සිදු කර තිබෙන සමාජ හා කලාපීය අසමානතාවයන් හා අස්ථීරත්වයන් උග‍්‍ර කරවීම, සමාජ ප‍්‍රතිපත්තීන් දුර්වල කරවීම හා ඒවායේ සමාජ, ආර්ථික හා පාරිසරික පිරිවැය අප අත්දකින මෙවන් මොහොතක මෙය ඉතා වැදගත් වේ.

තෙවනුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අ) සාධාරණ හා ප‍්‍රාදේශිය වශයෙන් සමබර වූ තිරසාර සංවර්ධනය තුළින් ව්‍යාපි යුක්තිය සහතික කිරීම සඳහා වන රජයේ වගකීම් නියම කළ යුතු බවත්, සහ ආ) මෙවැනි වගකීම් සම්බන්ධයෙන් පුරවැසියන්ට හිමිකම් කීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් බලාත්මක කිරීමට පිහිටාධාර ලබාදිය යුතු බවත් අපි අවධාරණය කරමු. මෙය ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතාන්ත‍්‍රික පමණක් නොව සමාජවාදී ජනරජයක් යන කියමන හා හරය සමඟ එකඟ වේ. එමෙන්ම. මෙය ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට රජයේ පාර්ශ්වය වශයෙන් ශ‍්‍රී ලංකාවේ බැඳීම් සමඟද, තිරසාර සංවර්ධනය ඉලක්ක ලගා කර ගැනීම සඳහා රජයේ කැපවීම සමඟද එකඟ වේ.

සිව්වෙනුව. විශේෂයෙන් අධ්‍යාපනය. සෞඛ්‍ය, ආහාර, ජලය, ප‍්‍රමාණවත් නිවාස, සමාජ ආරක්ෂාව, ජීවත්විමට සරිලන වැටුපක්, යෝග්‍ය සහ ආරක්ෂිත රැකියාවක්, බලාත්කාර පහකිරීම්වලින් නිදහස්වීම, සහ ආරක්ෂිත, පිරිසිදු සහ යහපත් පරිසරයකට අදාළ වන්නා වූ ආර්ථික සහ සමාජ හිමිකම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් පනතින් හෝ මූලික අයිතිවාසිකම් වශයෙන්, නීත්‍යානුකූලව බලගැන්වීම සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ මෙහෙයුම් කමිටුවේන් අපි ඉල්ලා සිටිමු. සිවිල් හා දේශපාලන නිදහස පමණක් හඳුනාගන්නා අයිතිවාසිකම් පනතක් හෝ මූලික අයිතිවාසිකම් පරිච්චේදයක් අයිතිවාසිකම් සහ හිමිකම්වල නොබෙදිය හැකි අනෝන්‍ය වශයෙන් එකට බැඳුණු ස්වභාවය උල්ලංඝණය කරනවා පමණක් නොව රටෙහි ජනගහනයෙන් විශාල කොටසකගේ යහපැවැත්ම සහ ආරක්ෂාව බරපතල ලෙස අන්තරාවට පත්කරයි.

ආර්ථික සහ සමාජ හිමිකම්වල නීතිමය බලගැන්වීම මගින් ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා නීතියේ මැදිහත්වීමට අනවශ්‍ය ආකාරයෙ ඉඩක් ලබාදෙන බවටත්, විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලය අනවශ්‍ය ලෙස සීමා කරන බවටත් ඔප්පු කිරිම සඳහා සාක්ෂි කිසිවක් නොමැති බව අපි ඉස්මතු කොට දක්වමු. ඒ වෙනුවට, එය සමාජ හා ආර්ථික ප‍්‍රතිපත්තියේ පරමාර්ථ සහ ප‍්‍රතිඵල කෙරෙහි වඩා ඉහළ වගවීමකට හේතු විය හැකිය.

පස්වෙනුව, ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර සහ ප‍්‍රාදේශීයව පවතින පීඩාවන්, ව්‍යාපි අයුක්තිය සහ විෂමතාවය ආමන්ත‍්‍රණය කිරීමට අසමත් වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් යුක්තිය සහ සාමය පිළිබඳ පදනම් ආරක්ෂා කරනු නොලබන අතර අනාගත ගැටුමක බීජ වපුරන බව අපි අවධාරණය කරමු. දේශපාලන සමානාත්මතාව සමග සමාජ ආර්ථික විෂමතාව ආමන්ත‍්‍රණය කිරිමට අසමත් පාලන ක‍්‍රමයක් ස්ථාපිත කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවසානයේදී දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ව්‍යූහයට තර්ජනයකි. මෙය වළක්වමින් සියලූම දෙනාට සිවිල්, දේශපාලන, ආර්ථික සහ සමාජ සාධාරණත්වය සහතික කරන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැංවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ මෙහෙයුම් කමිටුව රාජකාරිමය වශයෙන් බැඳී සිටී.

අවසාන වශයෙන්, මෙම ව්‍යවස්ථාව පුරවැසියන් හා රාජ්‍ය අතර නව සමාජ ගිවිසුමක් විය යුතු බවට බලාපොරොත්තුවක් පුළුල් ජනතා සහභාගිත්වයක් සහිත වූ ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ මහජන නියෝජිත කමිටුවේ දී නැවත නැවතත් තහවුරු වී ඇති බව අපි අවධාරණය කරමු. එම වාර්තාවේ පැහැදිලිව සඳහන් පරිදි මෙම බලාපොරොත්තුව සඳහා පදනම නීත්‍යානුකුලව ස්ථාපිත කරන ලද සමාජ ආර්ථික සාධාරණත්වය හා අයිතිය ව්‍යවස්ථාව තුළ තහවුරු වීමයි. එසේ කිරිමට අසමත්විම මෙම බලාපොරොත්තු පමණක් නොව මහජන නියෝජිත කමිටු ක‍්‍රියාවලිය ද පාවාදීමක් වනු ඇත.

මෙහෙයුම් කමිටුව, අනුකමිටු හය සහ විශේෂඥ මණ්ඩලය ක‍්‍රියාකාරිත්වය සහිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ වර්තමාන අදියර මෙන්ම එහි සමස්ත කාලරාමුව සහ ක‍්‍රියාවලිය විනිවිදභාවයෙන් තොර බව අපි ඉතා අවධාරණයෙන් සඳහන් කරමු. මෙය සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කල යෝජනාවට පටහැනි අතර, එම යෝජනාවෙ අංක 4 සහ 11 විධිවිධානයන්ට අනුව විනිවිදභාවය ස්ථාපිත කිරීමට හෝ අදාල තොරතුුරු මහජනතාවට බෙදා හැරිමට හෝ ප‍්‍රචාරය කිරීමට කිසිදු අර්ථවත් උත්සායක් ගෙන නොමැත.

විනිවිදභාවයේ අඩුපාඩුව සමාජ- ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ අයිතිවාසිකම් සහ හිමිකම් සඳහා අහිතකර ප‍්‍රතිවිපාක ඇති කරවන බවට ඒකාන්තය. එමනිසා, ක‍්‍රියාවලිය තුළ සම්පූර්ණ මට්ටමේ විනිවිදභාවය සහතික කිරීම සඳහා ක්ෂණික ක‍්‍රියාමාර්ග ගන්නා මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ මෙහෙයුම් කමිටුවෙන් අපි ඉල්ලා සිටිමු. සියලූම ඉදිරිපත් කිරීම්, වාර්තා සහ අදහස් විමසීම්වල වාර්තා ජනතාවට ඉදිරිපත් කිරීම සහ මෙසේ සකස්කළ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් අර්ථවත් අධ්‍යයනයකට සහ සාකච්ඡාවකට ජනතාවට ප‍්‍රමාණවත් කාලයක් ලබාදෙන බව සහතික කිරීම මෙයට ඇතුළත් වේ.

ශ‍්‍රි ලංකාව පුරා විහිදි සිටින සමාජ ව්‍යාපාර, වෘත්තීය සමිති, සහ කාන්තා, ජනවාර්ගික, ගොවි, ධීවර, කම්කරු, ආබාධිත පුද්ගලයින්, ලිංගික සුළුතරයින් හා පරිසර අයිතින් ආරක්ෂා කිරිමට කටයුතු කරන සංවිධාන 99 කට අධික සංඛ්‍යාවක් (2016 සැප්තැම්බර් 13 වන විට) විසින් අත්සන් තබා ඇත. එයට අමතරව විද්වතුන්, නීතිඥයින්, ගුරුවරුන්, සමාජ ක‍්‍රියාකාරින්, ලේඛකයින්, මානව හිමිකම් ක‍්‍රියාධරයින්, මාධ්‍යවේදීන් හා වෘත්තිකයින් අති විශාල සංඛ්‍යාවක් ද දැනට මෙම ප‍්‍රකාශනය සඳහා අත්සන් තබා ඇත.


-  මෙලනි





2016-09-16
Advertisement

Find us on Facebook