English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දුමින්ද ඇතුළට; ඊළඟට ?

පසුගිය කාලයේ රටේ බෙහෙවින්ම කතාබහට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයට පත්වූයේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකු මරණ දඬුවමට යටත් කරමිනි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හා ඔහුගේ ආරක්ෂක නිලධාරින් තිදෙනාගේ ඝාතනයට මෙම විත්තිකරුවන් වරදකරුවන් බව පිටු 297 කින් සමන්විත වූ බෙදුණු තීන්දුව මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. හිටපු මන්ත්‍රීවරයාට අදාළව ලබාදුන් මෙම අධිකරණ තීන්දුව විශේෂ වැදගත්කමක් සහිත එකක් වනුයේ කාරණා කිහිපයක් හේතුවෙනි. අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් වන රජයේ කැපවීම ඉන් ප්‍රදර්ශනය වූ අතර ස්වාධීන අධිකරණයක් සම්බන්ධයෙන් වන සාමාජීය විශ්වාසය තහවුරු වීමක් ද මේ තීන්දුව හරහා සිදු විණි. ඕනෑම දහජරා වැඩක් සිදු කර නිල බලයෙන්, ධන බලයෙන් හා සමාජ බලයෙන් එය යටපත් කළ හැකි බවට කාලයක් තිස්සේ මෙරට සමාජය තුළ තහවුරු වී තිබු අදහසක් පුපුරුවා හැරීමක් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්වූ නඩු තීන්දුව හරහා සිදු විණි.

1974 ජන්ම ලාභය ලැබූ අරුමාදුර ලෝරන්ස් රෙ‍ෙමලෝ දුමින්ද සිල්වාගේ නම රට තුළ ප්‍රසිද්ධියට පත්වීම ඇරැඹුණේ නව සහස්‍රකය ඇරැඹීමෙන් පසුව කියා සඳහන් කළොත් එහි වරදක් නොමැති තරම්ය. බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වූ දුමින්ද පාසල් සමයේ ක්‍රීඩාවෙන් ද දක්ෂතා පෙන්වූ නමුත් එය රටේ විශේෂ අවධානයක් හිමි කරගැනීමට තරම් සමත්වූ දක්ෂතාවක් නොවීය.

දුමින්ද රටේ නම කියැවෙන චරිතයක් බවට පත් වූයේ දේශපාලනයට පිවිසීමෙන් අනතුරුවය. දේශපාලනය කිරීම සඳහා දුමින්දගේ තෝරා ගැන්ම වූයේ එක්සත් ජාතික පක්ෂයයි. ප්‍රතිපත්තිවලට වඩා ප්‍රදර්ශන කාමයට තැනක් හිමිවන ලංකා දේශපාලනය තුළ ස්ථාවර වීමට දීර්ඝ කාලයක් දුමින්ද මිඩංගු කළේ නැත. ක්‍රියාකාරීව දේශපාලනයේ නිරත වීම සඳහා අවශ්‍ය, අංග උපාංග දුමින්දට උපතින්ම පිහිටා තිබිණි. ශක්තිමත් මස් ගොබ, පැහැපත් පිරිපුන් සිරුර හා ධනවතකු වීම යන කාරණා අපහසුවකින් තොරව දුමින්දව කෙටි කලකින්ම ජනප්‍රිය දේශපාලනඥයකු බවට පත් කළේය. දුමින්දගේ පියා වන ලාල් සිල්වා කෘෂිකර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන නාමධාරි ආයතනයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් තිබූ ඔහුගේ සොහොයුරා තමන්ගේම කියා මාධ්‍ය ජාලයක් ඇරැඹීමට කටයුතු කරමින් සිටි මොහොතක ක්‍රියාකාරී දේශපාලනය වෙනුවෙන් වූ දුමින්දගේ සම්ප්‍රාප්තිය සිදුවිණි. දුමින්ද පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වූයේ 2004 පළාත් සභා මැතිවරණයටය. ධන බලය, මාධ්‍ය බලය හා ඒ ඔස්සේ ගොඩනැඟුණු සමාජ බලය තුළ පළාත් සභා මැතිවරණයෙන් ගොඩ යෑම දුමින්දට කජු කනවා වැනි වැඩක් විය. ඔහුගේ මනාප අංකය ඉදිරියෙන් ඡන්ද පනස්හය දහස් පන්සිය පනස් නවයක් එවර වැටී තිබු අතර එය එම පළාත් සභා මැතිවරණයේදී එජාප අපේක්ෂකයකු ලැබු වැඩිම ඡන්ද ගණන විය. අත දිග හැර මුදල් වියදම් කරමින් තම ඡන්ද සටනේ නිරත වූ දුමින්දට කොළඹ අගනාගරික සීමාවේ ‘වතු’ ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ ඉහළ පිළිගැනීමක් හිමි ව තිබිණි.

කෙසේ වෙතත් දුමින්ද එජාප දේශපාලනය තුළ දිගු දුරක් ගමන් කළේ නැත. 2007 නොවැම්බර් මාසයේදී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු විය. දුමින්දගේ පිල් මාරුව ගැන එජාප ප්‍රධානියකු මාධ්‍යයට කියා තිබු කථාව මේ ලියුම්කරුට තවම මතකය. තමන්ට එරෙහිව ඇති අපරාධ නඩු ඉවත් කරගැනීමට හා තම සොහොයුරාට අයත්ව තිබූ ඒ වන විට තහනම් කර තිබු ගුවන්විදුලි නාලිකා පහේ බලපත්‍ර යළි ලබා ගැන්ම වෙනුවෙන් දුමින්ද පිල් මාරු කළ බව එම ඉහළ නිලධාරියා එදා මාධ්‍යයට කියා තිබිණි. තිස්සමහාරාම ආසන්නයේ ඇති රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධ ප්‍රවෘත්තිය ජනතාව කැලඹෙන සේ විකාශය කළා යැයි කියමින් ඒ. බී. සී. මාධ්‍ය ජාලයට අයත් ගුවන්විදුලි නාලිකා පහක බලපත්‍ර තහනම් කිරීමට එවකට සිටි පාලනය කටයුතු කළේය. තිස්සගේ කතාව සෑහෙන ඇත්ත එකක් වූයේ දුමින්ද පිල් මාරු කර ටික කාලයකින් යළි එම ගුවන්විදුලි නාලිකා පවත්වාගෙන යෑමට අවශ්‍ය අනුමැතිය හිමි වූ හෙයිනි.

මේ කාලය වන විට තවත් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකට දුමින්දගේ නම ගෑවී තිබිණි. 2004 අගෝස්තු මස 6 වැනි දින රොජර් ඇලන් ෆ්‍රැන්සිස් සහ චමින්ද සුමිත් කුමාර දුනුසිංහව බම්බලපිටියේදී පැහැර ගත් බවට දුමින්දට චෝදනා එල්ල වූ අතර ප්‍රේම සම්බන්ධයකට විරෝධය පෑම එම පැහැර ගැනීමට නිමිත්ත වී තිබිණි. 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් ඇය දූෂණය කළ බවට දුමින්දට 2003 ජුලි 8 වැනිදා චෝදනා එල්ල වූ අතර, එය එදා එක්සත් ජනතා නිදහස් වේදිකාවේ සිටි කථිකයෝ ද කටගැස්මට ගත්හ. 2006 වසරේදී එවකට බස්නාහිර පළාත් සභා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ හෙක්ටර් බෙත්මගේට තලංගමදී පහර දුන් බවට දුමින්දට චෝදනා එල්ල වූ අතර, කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඇමෙරිකානු තරුණියකට හා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂකයන් දෙදෙනකුට පහර දුන් බවට ද ඔහුට තවත් චෝදනා එල්ල වුණි. 2008 ජූලියේදී දුමින්ද සමඟ ළඟ ඇසුරක් පැවැත්වූ නිළියක වූ අනර්කලී ආකර්ෂා ද දුමින්දගෙන් තමන්ට සිදුවූ හිංසා පිළිබඳව කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. මේ අතරින් වඩාත් ආන්දෝලනාත්මක සිදුවීම වූයේ බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බවට එල්ල වූ චෝදනාවයි.

අප ඒ සියල්ල සිහිපත් කළේ දුමින්ද සිල්වාගේ හැසිරීම ගරු කටයුතු මහජන නියෝජිතයකුට තරම් නොවූ බව පෙන්වා දීමටය.

දුමින්දගේ එම හැසිරීම ශිෂ්ට සමාජයක කිසිසේත්ම අනුමත කළ නොහැකි කාරණා වුවද මැතිවරණවලදී ඔහුගේ මනාප ගණන දිනෙන් දින ඉහළ ගියා මිස අඩු වූයේ නැත. එය එක් අතකින් අපේ සමාජය කොතරම් රෝගී එකක් දැයි පෙන්වන කැඩපතක් බඳුය. 2009 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිසිවකුට ගැටලුවක්ව නොපැවැති අතර තිබූ එකම ගැටලුව වූයේ කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ පළමු තැන කාට හිමි වේ ද යන්න පමණි. එම මැතිවරණයේදී දුමින්ද පන්නයේ තවත් “නළුවෙකු”ව නිදහස් සන්ධානය දේශපාලන පොරපිටියට කැඳවා තිබිණි. ඒ තිලංග සුමතිපාලවය. එම මැතිවරණයේදී දුමින්දගේ ප්‍රතිවාදීන් වූයේ එජාප අපේක්ෂකයන් නොව තිලංගය. තියුණු සටනකින් පසු ඉන් ජය ලබා ගැනීමට දුමින්ද සමත් විය. මනාප ඡන්ද 165,128ක් දුමින්ද ලබද්දී තිලංග 159,603ක් ඡන්ද එදා ලබා තිබිණි. ඒ සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ස්ථාවර වීම ඇරැඹු දුමින්ද 2010 මහ මැතිවරණයේදී කොළඹින් මනාප ඡන්ද 146,333ක් ලබා ගැනීමට සමත් විය. එම මැතිවරණයේදී දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත්, චම්පික රණවක යන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සියලු දෙනාම මනාප ඡන්ද අනුව ස්ථානගතව තිබුණේ දුමින්දට පහළිනි. සන්ධාන දේශපාලනය තුළ තහවුරු වීම තුළ තමනට එරෙහිව පැවැති නඩු කිහිපයකින්ම ගැලවීමට දුමින්ද සමත් වූයේ ඒ පිළිබඳව තිබු බර සැහැල්ලු කර ගනිමිනි. ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් එල්ල වී තිබු නඩුව නීතිපති උපදෙස් මත 2010 නොවැම්බර් 18 දින ඉවත් කර ගත් අතර චිත්තවේගී පීඩාවන් මත තවදුරටත් නඩුව ඉදිරියට ගෙන යෑමේ හැකියාවක් වින්දිතයන්ට ඒ බොහෝ තැන්වලදී නොවීය. දුමින්ද ඒ තරමටම රටේ දේශපාලන බලවතකු වී තිබිණි.

දුමින්ද හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රියතමයකු වූ අතර ඒ නිසාම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔහුට සෑහෙන හොඳින් සැලකුවේය. අතිශය බලගතු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රී ධුරයක් හිමිවීම විෂයෙහි දුමින්දට තිබු එකම සුදුසුකම වූයේ ගෝඨාභය සමඟ තිබු සමීප සම්බන්ධතාව පමණි. ගෝඨාභයට දුමින්ද දරුවකු මෙන් විය. එම සම්බන්ධය හා තමන්ට හිමි වූ තනතුර තුළ ආරක්ෂක අංශ, විශේෂයෙන්ම පොලීසිය කෙරෙහි සෑහෙන මැදිහත් වීමට දුමින්දට හැකියාව ලැබුණු බව රහසක් නොවේ. ඒ නිසාම තවත් පිරිසක් ද දුමින්දට කිට්ටු විය. ඒ පාතාල කල්ලි සාමාජිකයෝය. දුමින්දගේ දේශපාලනය තුළ ඔවුන් ප්‍රධාන ආධාරකරුවන් වූ අතර එනිසාම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ යුතුකමක් නිතැතින්ම දුමින්දට පැවරුණි. පාතාල ක්‍රියාකාරිත්වය මර්දනය සඳහා පිහිටුවා තිබු බුද්ධි අංශය එම කටයුත්ත සාර්ථකව සිදු කරද්දී තම හිතවතුන්ට එල්ල වන්නා වූ බලපෑම්වලට එරෙහිව දුමින්ද ප්‍රසිද්ධියේ කටයුතු කළේය.

ඇතැම් අවස්ථාවලදී පාතාල නායකයන් නිදහස් කර ගැනීමට රටේ ඉහළම නායකයාට වුවද කතා කිරීමට කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයා පැකිළුණේ නැත. එකල පාතාල මර්දන ක්‍රියාකාරකම් භාරව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරි සිසිර කුමාර මුත්තෙට්ටුවේගම කිසිවකුගේ බලපෑම් ගණන් නොගන්නා ඍජු එඩිතර නිලධාරියකු වූ අතර ඔහු දුමින්දගේ “කාරුණික” ඉල්ලීම් අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කළේය. දුමින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පසු සමයේ ඔහු ළඟින්ම ආශ්‍රය කළ ඔහුගේ නියෝග දේව වාක්‍ය සේ පිළිපදින ලද පොලිස්පතිවරයා වූයේ මහින්ද බාලසූරියයි. බාලසූරිය දුමින්දගේ අවශ්‍යතා නොපැකිළිව ඉටු කිරීමට කටයුතු කළේය.

දේශපාලනඥයකු ලෙස තමන් සමීපයට පැමිණි පාතාල සාමාජිකයන්ව දුමින්ද පිළිගත්තේ සෙසු සාමාන්‍ය ඡන්දදායකයන් පිළිගන්නා ආකාරයට නොවූ අතර ඔවුන්ට විශේෂ සැලකිලි හිමි විය. එය ප්‍රසිද්ධ කාරණයක් විය.

දුමින්දව කොළොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධුරයට පත් කළේ සෑහෙන කලක් මෙම වගකීම් ඉටු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව ඉන් ඉවත් කරමිනි. 1956 ජනවාරි 26 දා එනම් ඉන්දීය ජනරජ දිනයේ උපන් භාරත කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපන හදාරන සමයේ සිටම දේශපාලන ක්‍රියාකාරිකයෙක් විය. දිවංගත ටී. බී. ඉලංගරත්න සමඟ එක්ව දේශපාලනය කළ භාරත 1988 වසරේ පැවැති පළමු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ජය ලැබුවේය. අනතුරුව 1993 වසරේදී පැවැති පළාත් සභා මැතිවරණය ද ජය ගත් භාරත 1994 වසරේ පැවැති මහ මැතිවරණයේ ජය හිමි කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය. භාරත ද දුමින්ද පන්නයේ දේශපාලන චරිතයක් වුවද 2011 වන විට දුමින්ද ඔහුට වඩා සෑම අතින්ම ගව් ගාණක් ඉදිරියෙන් විය. 2011 වසරේ ඔක්තෝබරයේ පැවැති කොටිකාවත්ත – මුල්ලේරියා ප්‍රාදේශීය සභා ඡන්දයේදී දුමින්දගේ හා භාරතගේ ශක්තිය උරගා බැලුණු සටනක් විය. දුමින්දට අවශ්‍ය වූයේ එම මැතිවරණයේදී ඉහළම මනාප සංඛ්‍යාව තම හිතවතකු වූ සුමුදු රුක්ෂාන් පිංතුට ලබා දීමටය. භාරත පෙනී සිටියේ ප්‍රසන්න සෝලංගආරච්චිගේ ජයග්‍රහණය වෙනුවෙන්ය.

දුමින්දට ඉහළ දේශපාලන බලයක් කොළඹ දිස්ත්‍රික්කයේ තිබුණ ද කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය බල සීමාව ප්‍රදේශයේ බලවත්ව සිටියේ භාරත, සෝලංගආරච්චි ඇතුළු කණ්ඩායමය. ඒ නිසාම ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව තම හිතවතාට ලබා ගැනීමට නම් විශේෂ යමක් කිරීමට දුමින්දලාට බල කරන ලදී. ඡන්ද ප්‍රචාරක සටනේ ආරම්භයේ සිටම සෝලංගආරච්චි තම ප්‍රතිවාදි අපේක්ෂකයාට වඩා ඉදිරියෙන් පසු විය. කෙසේ වෙතත් මැතිවරණ දිනයේ පවා දුමින්ද ඇතුළු කණ්ඩායම තම උත්සාහය අත්හළේ නැත. 2011 වසරේ ඔක්තෝබර් 8 දා මුල්ලේරියා වල්පොළ හන්දියේ සිදුවූ එම අවාසනාවන්ත සිදුවීම එහි කූටප්‍රාප්තිය වූ අතර ඒ පිළිබඳ කතා කිරීමට අප සූදානම් නැත.

දැන් එය මුළු රටම දනී. අප උත්සාහ කළේ දුමින්දට එම අවාසනාවන්ත සිදුවීම කරා රැගෙන ආ සමාජමය සාධක පිළිබඳව කතා කිරීමටය. මුල්ලේරියාවේ එම කූප්‍රකට සිදුවීම දුමින්දට හා ඔහුගේ දේශපාලනයට සෑහෙන අවාසිදායක වූ මුත් ඔහුගේ දේශපාලන ස්වාමින් හා හිතවත්තු ඔහුව එම දුෂ්කර මොහොතේදී තනි නොකළහ. දුමින්දව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පළමුව එහි ළඟා වූ ඉහළ ප්‍රභූන් අතර එවකට සිටි ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ද විය. ශ්‍රීලනිප නායකත්වය සලකනුයේ දුමින්ද පන්නයේ දේශපාලනඥයන්ට වන පණිවිඩය එය පිටතට කාන්දු කළේය. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ දුමින්ද පසුව 2011 නොවැම්බර් සිට වසර 1 1/2ක කාලයක් ප්‍රතිකාර ලැබුවේ ආසියාකරයේ ඇති දියුණුතම රෝහලක් වන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේය. 2013 මාර්තු පස්වැනි දින ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සමයේ දුමින්දගේ ඡායාරූප අධිකරණයට හා මාධ්‍යයට ඉදිරිපත් කළ අතර හිසෙහි කැපුම් තුවාල එහි දක්නට ලැබිණි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබු දුමින්දට 2013 අප්‍රියෙල් 24 දින ඇප හිමි වූ අතර ඉන් දින තුනකට පසු ඔහු රෝහලෙන් පිටව ගියේය. පිටතට පැමිණෙද්දී දුමින්දව පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුනට ආචාර කරමින් දුමින්ද රෝහලෙන් පිටව ගියේය. තුවාල කරා විෂබීජ පැතිරෙතැයි බියෙන් දැඩි ආරක්ෂක තත්ත්වයන් යටතේ ප්‍රතිකාර ලැබූ දුමින්දව පිළිගැනීමට බස් රථ 7, 8 ක විශාල සෙනඟක් එදින නවලෝක රෝහලට පැමිණ තිබිණි.

අධිකරණයට සඳහන් කළ ආකාරයේ තුවාල දුමින්ද වෙතින් එදින දක්නට නොලැබුණු අතර වල්පොළ දී සිදු වූ කූප්‍රකට සිදුවීම හැර අන් සියල්ල ඔහුට බොහෝ හොඳින් මතක තිබිණි. නමුත් සැබැවින්ම දුමින්දට “මතකය” අහිමි වූයේ ඊට බොහෝ කලකට පෙර සිටය. දේශපාලනයේ ඉහළට යෑම ඇරැඹෙත්ම එය සිදුවිණි.

දුමින්ද රෝහල් ගතව සිටියදී නිකුත් වූ ඡායාරූප සමඟ සසඳද්දී සුවය ලැබීම යනු ආශ්චර්යයක්ම විය. එකල පැවැති රජය උත්සාහ කළේ ද ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත්කිරීමටය. දුමින්ද ඊට අවශ්‍ය උදාහරණයක් නිර්මාණය කළේය. රාජපක්ෂ සමයේදී භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්බන්ධයෙන් නීති කටයුතු සිදු වූයේ මන්දගාමීවය. නමුත් යහපාලන වෙනස සිදුවීමත් සමඟ තත්ත්වය සෑහෙන වෙනස් වන්නට විය. නඩු කටයුතු ඉක්මන් වූ අතර නම “සුවපත්” කරගන්නා තෙක් දුමින්දට මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට තරම් ධෛර්යයක් වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ නිදහස් සන්ධාන බලවතුන්ට තිබිණි.

දුමින්ද දැන් සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරයේ B 3 වාට්ටුවේය. බන්ධනාගාරයට රැගෙන ගිය මුල් දිනයේ ඔහුව C 3 වාට්ටුවේ රඳවන ලදී. මරණීය දණ්ඩනය නියම වූවන් රඳවා තබනුයේ එහිය. මේ වන විට හතළිහකට අධික පිරිසක් එහි රඳවා සිටින අතර වෙන් වෙන් සිර කුටි එහි පිහිටා තිබේ. දුමින්ද සමඟ බන්ධනාගාරයට රැගෙන ගිය සෙසු සිවුදෙනාට ඒ මොහොතේම මරණීය දණ්ඩනය හිමි වූවෙකුට ලබා දෙන ඇඳුම් පිරිනැමුමුත්, හිටපු මන්ත්‍රීවරයා කෙළින්ම රැගෙන ගියේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයටය. ඒ දුමින්දගේ බලවත් ඉල්ලීම මතය. එහි පැයක පමණ කාලයක් ගත කළ දුමින්දට අනතුරුව අදාළ ඇඳුම් පිරිනමා ඇත. මරණීය දණ්ඩනය හිමි වූවකු මිනිත්තු 30ක් ව්‍යායාම කටයුතු සඳහා පිටතට රැගෙන එන අතර වැසිකිළි හා ස්නාන පහසුකම් හිර මැදිරිවලම ඇත. එක් හිර මැදිරියක් මීටර් 20ක් පමණ දිගය. මරණීය දණ්ඩනය නියම වූවකු බන්ධනාගාරය තුළදී තමා තීන්දුව ක්‍රියාත්මක වන තෙක් සුදු සරම හා කමිසය ඇඳිය යුතු අතර, අභියාචනාවක් ඉදිරිපත් කළ ද එහි තීන්දුව ලැබෙන තෙක් එවැන්නකුට ඇප ලබා ගත නොහැකිය.

මේ සියල්ල සමඟින් බලන විට අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ දුමින්ද සිල්වාට මෙම දඬුවම දරාගත හැකි ද යන්න ප්‍රශ්නාර්ථයකි. කෙසේ වෙතත් මෙය ඕනෑම කෙනෙකුට හොඳ පාඩම් පොතකි. කුමන තනතුරක් දැරුව ද කළ පව්වලින් පලා යා නොහැකි බවට සජීවි උදාහරණයක් දුමින්ද පෙන්වා ඇත.

රාජපක්ෂ සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී තනතුර වැනි ඉහළ තනතුරු පිරිනමා තිබුණේ මෙවැනි පුද්ගලයන්ටය. අවසාන වශයෙන් අපට සඳහන් කිරීමට ඇත්තේ එක දෙයකි. ඒ භාරතගේ මරණයට ඉටුවූ සාධාරණය, නීතිය ක්‍රියාත්මක වීම, වසිම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, ඇතුළු පසුගිය කාලයේ රටේ කතාබහට ලක්වූ, නිසි අවධානය යොමු නොවූ සෙසු සිදුවීම් සම්බන්ධයෙන් ද වහා විය යුතු බවය.

           චාමර ලක්ෂාන් කුමාර      


-  මෙලනි





2016-09-13
Advertisement

Find us on Facebook