English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය නිරුවත !

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ආණ්ඩුවක ආකල්පය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි ඇති කැපවීමේ බාහිර ස්වරූපය වේ. එනයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ආණ්ඩුව තමන් යටතේ ඇති දැවැන්ත මාධ්‍ය ජාලා පාලනය කරන අන්දම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි ඇති කැපවීමේ මූලික දර්ශකයක් බව නිසැක ය.

මහ ජනයාට තොරතුරු ලබා දෙනු වෙනුවට තමන්ගේම උජාරුව කියාපෑමට මූලිකත්වයක් දෙන පුද්ගලික අංශයේ රෑපවාහිනීයක පුවත් බැලීම අජූව විය. එනිසා අගෝස්තු මාසය අවසාන භාගයේ දී රාජ්‍ය පාලනය යටතේ පවත්නා අයිටීඑන් ප්‍රවෘත්ති බැලීමට පටන් ගත්තේමි. එහි ප්‍රධානියාව සිටියේ මාධ්‍ය හිතවතකු ලෙස නමක් තිබූ සමන් අතාවුදහෙට්ටි ය. දිර්ඝ කාලීන එක්සත් ජාතික පක්ෂ නිලධරයකු වන නමුත් ඔහු කපන මණ්ඩලයේ ප්‍රධානියා වීමෙන් පසු නාට්‍ය සහ චිත්‍රපටි වාරණය අහෝසි වී ගිය පරිද්දෙන් ම ඔහු යටතේ අයිටීඑන් නාලිකාව ද වාරණයෙන් තොරව නිදහස් මාධ්‍ය ආයතනයක් වනු ඇතැයි වැරදි හැගීමක් මා තුල ඇතිවී තිබුණි. අයිටීඑන් ප්‍රවෘත්ති බලන්නට සිතුණේ එනිසා ය.

ඛේදයකි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති දැයි සිතෙන තරමට ම අයිටීඑන් ප්‍රවෘත්ති පක්ෂග්‍රාහී වී තිබුණි. ආණ්ඩුව යනු එක්සත් ජාතික පක්ෂය නොවේ. එජාපය යනු දේශපාලන පක්ෂයකි. අගෝස්තු මාසයේ අවසන් දිනවල එම ප්‍රවෘත්ති පිරී තිබුණේ එජාපයේ සාමාජික ප්‍රවර්ධන වැඩ පිළිවෙළේ උජාරුව කියා පැමෙනි. දේශපාලන පක්ෂයක් සාමාජිකයින් බඳවා ගැනීම එය ජනාධිපති විසින් කළ ද අගමැති විසින් කළ ද ආණ්ඩුවේ කාරියක් නොවේ. එවැනි ක්‍රියා සැළකිය යුත්තේ පක්ෂ දේශපාලන ක්‍රියාකාරකම් ලෙසය. එවැනි සිදුවීම් ද පුවත් බව සෑබෑ ය. එමෙන්ම අනෙක් දේශපාලන පක්ෂ ක්‍රියාකාරිත්වයන් ද එවැනි පුවත්ය. නමුත් අයිටීඑන් පුවත් වූයේ බොහෝ විට ම එජාපයේ පුවත් පමණි. එය ජනතා විමුක්ති පෙරමුණට අදාළ පුවත් වශයෙන් පෙන්වූයේ රාජපක්ෂ විවේනය කැරෙන සහ (ඒ දිනවල) අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට පක්ෂව ඔවුන් විසින් කරන ලද කතා ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය වෙතින් අපේක්ෂා කැරෙන සමාජ, සංස්කෘතික සහ දේශපාලන දැනුවත් කිරීමෙහිලා ආණ්ඩුවේ පාලනය යටතේ පවත්නා ජනමාධ්‍ය දිගින් දිගටම අසමත් වෙමින් තිබේ. ඒවායෙහි නිර්මාණශීලිත්වය කියා දෙයක් නම් ඇත්තේම නැත.

පසුගිය සැප්තැම්බර් 01 සහ 02දා, තෙවසරකට පෙර පැහැර ගත් සිය සැමියා පි‍ළිබඳ නිසි පරීක්ෂණයක් ඉල්ලමින් අනුරාධපුරයේ මවක වන මයුරි ඉනෝකා ගාලු මුවදොර පිටියෙහි සාමකාමී උපවාසයක නිරත වූවා ය. පොලීසිය රාජපක්ෂ කාලයේ දී මෙන්ම ඇය බියගන්වමින් හිරිහැර කළේ ය. ඇයගේ සැමියා අතුරුදහන් කිරීමට පොලීසිය සම්බන්ධ බවට ඍජු සාක්ෂි තිබේ. නමුත් පරීක්ෂණයක් නැත.

ඇයගේ උපවාසය පුද්ගලික අංශයේ මාධ්‍ය විසින් වාර්තා කළ නමුත් රජයේ පාලනය යටතේ පවත්නා කිසිදු මාධ්‍යකට එය පුවතක් වූයේ නැත. උසේන් බෝලට්ගේ නිදි යහන සහ නළු නිළියන්ගේ යට ඇදුම් යනාදිය ගැන ලියන රජයේ පාලනය යටතේ පවත්නා දිනමිණ නම් පත්තරය ඉනෝකාගේ කදුළු ගැන වචනයක්වත් ලිව්වේ නැත.

රාජ්‍ය රූපවාහිනී ආයතන ජනපති සහ අගමැති අතර බෙදා ගැනීමේදී ජනපති යටතට වැටුණූ ‘ජාතික’ රූපවාහිනිය ඊයේ පෙරේදා සිය දිවි නසා ගත් බවට සැක කරන බාලිකාවක එල්ලී සිටින ජායාරුප ඉස්සරහින් සහ පස්සෙන් දෙකෙන් ම රුගෙන පළ කර තිබුණේ මාධ්‍ය සදාචාරය තුට්ටුවකටවත් නොසළකමිනි. සමාජ ජාල මගින් පළ කරන ලද විවේචනයන්ගෙන් පසු එම රූපවාහිනී සංස්ථාවේ මුහුණූ පොතෙහි පළ කර තිබූ අතර එම පින්තූර ඉවත් කරගෙන තිබේ. මෙම දුරාචාර වාර්තාකරණය විසින් පෙන්වන ලද්දේ රූපවාහිනී ලොක්කන්ගේ නොදැනුවත්කම ය.

තමන් යටතේ ඇති දැවැන්ත මාධ්‍ය ජාලා සහමුලින් ම අගතිගාමී ලෙස පවත්වා ගෙන යන ආණ්ඩුවකට තමන්ගේ පාලනයෙන් පිට පවත්නා මාධ්‍ය දෙසට ඇඟිල්ල දිගු කිරීමට අයිතියක් නැත. නමුත් සතිපතා ආණ්ඩුව මාධ්‍යට (වැදි)බණ දෙසයි. ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය නොකරන්නේ පෙනෙන විදිහට සිය දේශපාලන බලය මහජනයා තුරින් ගිලිහෙනු ඇතැයි යන බිය නිසා ය. එසේ නමුත් මැතිවරණ අත්දැකීම් විසින් පෙන්වා දී ඇති සත්‍ය වන්නේ පිරිහීමට ලක්වූ ආණ්ඩුවකට රාජ්‍ය පාලනය යටතේ පවත්නා මාධ්‍ය මගින් කරන දේශපාලන ප්‍රචාරයන් මගින් ගොඩ ඒමට බැරි බව ය. රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පුද්ගලික අංශයේ මාධ්‍ය ද තම අණසක යටතට ගත් ජනාධිපති රාජපක්ෂට සිදු වූ දේ මේ සම්බන්ධ මෑතම උදාහරණය වේ.

කිසිම ආණ්ඩුවක් එක දිගට ජනප්‍රියව පවතින්නේ ද නැති නමුත් මේ ආණ්ඩුව තවම ජනප්‍රියත්වයෙන් එතරම් පිරිහී නැත.එසේ තිබිය දී ත් ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය මේතරම් අගතිගාමී ලෙස පාලනය කරන්නේ නම් ජනප්‍රියත්වය පිරිහෙන්නට පටන්ගත් කළ මාධ්‍ය පාලනය උත්සන්න නොකරනු ඇත් ද? වත්මන් රාජ්‍ය මාධ්‍ය හැසිරීම විසින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මාධ්‍ය දැක්ම ය. එනම් මාධ්‍ය පවත්නා ආණ්ඩුවට පක්ෂග්‍රාහී විය යුතුය යන්න යි.

ශ්‍රී ලංකාවේ හිරගෙවල් සහ ජනමාධ්‍ය ආයතන අතර එතරම් වෙනසක් නැතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය වැදගත් වන්නේ මෙම සන්දර්භය තුළ ය. ඔහු එමගින් අදහස් කර තිබුණේ සිරගතව සිටින පුද්ගලයන් හා සමානව ජනමාධ්‍යවේදීන්ගේ නිදහස අහෝසි කරමින් මාධ්‍ය ආයතන හිමියන් විසින් ඔවුන් පාලනය කරමින් සිටින බව යි.

කතාව ඇත්ත ය. මේ සිරගත කිරීම පුද්ගලික අංශයේ දරුණු මට්ටමින් පවත්වා ගෙන යන්නේ ජාතිවාදී සහ රාජපක්ෂවාදී මාධ්‍ය ආයතනයන් හි පමණක් බව ද කිව යුතුය. සමහර මාධ්‍ය ආයතන හෝ සමහර පුවත්පත් ඒවායේ සේවය කරන මාධ්‍යවේදීන්ට සාපේක්ෂ නිදහසක් දී තිබෙන බව ද ඒ තරමටම ඇත්ත ය. සමස්තයක් ලෙස අද මෙරට මාධ්‍ය පැවැත්ම දෙස බැලූ විට වඩාම දරුණූ ලෙස මාධ්‍යවේදීන් පාලනය කරන්නේ විජේදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරය දරන ආණ්ඩුව විය හැකිය.

ආණ්ඩුවේ පාලනය යටතේ ඇති ජනමාධ්‍යයන් හි සේවය කරන සියළු මාධ්‍යවේදීහු ප්‍රබල ස්වයංවාරණයක් පණවා ගෙන සිටිති. වැල යන අතට මැස්ස ගහනවා හැර අනවශ්‍ය වාර්තා කිරීම් මගින් සිය රුකියාව අනතුරේ නොදමා ගැනීමට ඔවුහු නිසඟයෙන් ම දනිති. නැත්නම් ඔවුන් සමහරකු තමන් සළකා ගන්නේ මාධ්‍යෙව්දීන්ට වඩා වත්මන් ආණ්ඩුවේ පාබළ සොල්දාදුවන් ලෙස ය.

ජනමාධ්‍ය සතු නිදහස උත්පාදනය වන්නේ තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අනුලංඝනීය අයිතියෙනි. පුද්ගලික අංශයේ වුවත් රාජ්‍ය අංශයේ වුවත් සෑම ජනමාධ්‍යක් ම බැදී සිටිය යුතු ප්‍රධාන රීතිය එය වේ. ඉන් අදහස් කැරෙන්නේ කෙටියෙන්, වාර්තාකරණයේ දී සත්‍යට ඇති බැදීම, සෑම පාර්ශවයක් ම ආවරණය කිරීම සහ සාධාරණත්වය ඉටු කිරීම ය.

එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ තමන්ගේම මාධ්‍ය අවශ්‍ය නම් එම අවශ්‍යතා සපුරා ගැනීමෙහි වරදක් නැත. නමුත් මහාජනයාගේ අයිතියක් වන රාජ්‍ය පාලනය යටතේ පවත්නා මාධ්‍ය අගතිගාමී ලෙස යොදා ගැනීම රාජපක්ෂවරුන් විසින් රාජ්‍ය ධනය සහ සම්පත් කොල්ලකෑවාට නොදෙවෙනි වරදක් නොවේ.

රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමෙන් ආණ්ඩුවට දුර්වල වන වෙනුවට සිදුවනු ඇත්තේ එහි විශ්වසනීයත්වය ඉහළ යෑමය. එමගින් එය ජනයා අතර වඩා පිළිගැනීමකට ද ලක්වනු ඇත. නොඑසේව අද පවත්නා ලෙසින් අගතිගාමී අන්දමට ඒවා පවත්වාගෙන යෑමෙන් වනු ඇත්තේ ළකුණු දිගටම කැපීයාමකි.

  සුනන්ද දේශප්‍රිය

-  මෙලනි



2016-09-09
Advertisement

Find us on Facebook