English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ගෝලීයකරණය වැළඳ ගැනීම: ශ‍්‍රී ලංකාවේ තත්ත්වය

ඉන්දියාවේ සහ චීනයේ මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති මෙහි පිහිටුවීම සඳහා ඔවුන්ට ආරාධනා කරමින් ඒ සඳහා විශේෂ ආර්ථික කලාප පිහිටුවනු වස් ඉඩම් අත්කර ගනිමින්, පුළුල් ලෝකය සමග අපේ ආර්ථිකය සංයෝග කිරීම අරමුණු කොට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කළ නව ආර්ථික සැලසුම්වලින් සමහරක් දෙස බලන විට, ලෝකයා සමග කරන ගනුදෙනුව අපට පමණක් වාසිදායක ව්‍යවසායක් විය යුතුය යනුවෙන් මෙතෙක් ගෙන සිටි, ආර්ථික වශයෙන් අතාර්කික, පශ්චාත්-නිදහස් ජාතිකවාදී පූර්ව නිගමනය මත පදනම්ව තිබූ මානසිකත්වයෙන් පැහැදිළි කැඞී වෙන් වීමක් ඇති බවක් පෙන්නුම් කෙරේ. එම මානසිකත්වයට අනුව, අනෙකාගේ වාසිය අපට පාඩුවක් වන අතර, අපේ වාසිය අනෙකාට පාඩුවක් සේ ගැනේ.

නිදහස ලබන විට ශ‍්‍රී ලංකාව සිය කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව, ආර්ථික වශයෙන් සමෘද්ධිමත් තැනක සිටියේ යැයි පාරම්බෑමට අපට හැකියාව තිබුණි. අපේ ජනතාව අනිත් රටවල ජනතාවට වඩා උගත් යැයි ද, ඒ වන විට අපේ උප මහද්වීපයේ ඇතැම් රටවල් පැටලී සිටි ආගමික ආරාවුල්වලින් අප මිදී සිටියේ යැයිද පාරම්බෑමට අපට හැකියාව තිබුණි. එහෙත් වෙළඳාම මගින් සංවර්ධනයට මහා තල්ලූවක් සැපයෙන අවස්ථාව වන විට, ලංකාව ලෝකයාට විවෘත කිරීම පිළිබඳ සැකයක් සේම, අපේ අනන්‍යතාව පිළිබඳ එක්තරා සාංකාවක්ද අප තුළ ඇතිවන්ට විය. ඒ තත්වය තුළ, මෑතක සිට දක්නට ලැබෙන නව ආර්ථික මූලාරම්භයන් තුළින් දක්නට ලැබෙන නව මානසිකත්වය, වඩාත් සමෘද්ධිමත් අනාගතයක බලාපොරොත්තු දල්වයි.

ගෝලීයකරණය හරහා අත්කර ගන්නා ආර්ථික වාසි යළි බෙදී හැරීමේ ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය නොකළොත්, අද රටේ පවතින දේශපාලනික වාතාවරණය ආපසු හැරීමේ අවදානමක් තිබේ. යුරෝපා සංගමයේ සාමාජිකත්වය දැරීම පිළිබඳව මෑතකදී බි‍්‍රතාන්‍යයේ පැවති ජනමත විචාරණයෙන් ලද ප‍්‍රතිඵලය, එක් අනතුරු සංඥාවක් අඟවයි. එනම්, යම් ආර්ථික ප‍්‍රතිපත්තියක් හරහා වාසි ලබන පිරිස් පවා, එම ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහි විය හැකි බවයි. ඔවුන් එසේ කරන්නේ, තමන්ට එම ප‍්‍රතිපත්තිය තුළින් ලැබෙන වාසිය, සමස්තයක් වශයෙන් සමාජයට ලැබෙන වාසියට සමානුපාතික නොවන අසාධාරණ ප‍්‍රමාණයක්ය යන හැඟීම නිසා ය. මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘අවසන් සෙල්ලම’ පිළිබඳ අත්හදාබැලීම් මගින් පෙන්වනු ලබන කාරණය එයයි. අවාසනාව වන්නේ, ගෝලීයකරණයෙන් ලැබෙන වාසිය යළි බෙදා හැරීමේ අසාධාරණය පිළිබඳ මේ අසන්තෝෂය, සිතින් මවා ගත් ශ්‍රේෂ්ඨ අතීතයක් පිළිබඳ මායාවකින් පෙළෙන සරළමතික පිරිස් විසින් ස්වකීය ප‍්‍රයෝජනයට ගනු ලැබීමයි.

අධිරාජ්‍යය බිඳ වැටීමේ පටන් බි‍්‍රතාන්‍යය වඩ වඩාත් සමෘද්ධිමත්ව තිබේ. අධිරාජ්‍යයේ ස්වර්ණමය කාලය තුළ බි‍්‍රතාන්‍යයේ පොදු ජනතාවගේ ආර්ථික අවස්ථා මැඩලී තිබුණත්, ඉංග‍්‍රීසි ජාතිකත්වයේ ආඛ්‍යාන කතිකාව තුළ එම යුගය සැළකුණේ මහත් උත්කර්ෂයෙනි. අතීත ජාතිකකාමය විසින් ආර්ථික සමෘද්ධිය කෙරෙහි ඇති කළ හැකි මන්දගාමීත්වය වටහා ගැනීමට පටන් ගැනුණේ, 20 වැනි සියවසේ දෙවැනි භාගයේ සිටයි. එහෙත් ගෝලීයකරණය තුළ සැලසෙන ඉහත කී වාසි යළි බෙදා හැරීමේ ප‍්‍රශ්නය විසඳා ගැනීම ගැන රාජ්‍යයන් ප‍්‍රමාණවත් පරිද්දෙන් සැළකිලිමත් නොවුණහොත්, පශ්චාත්-යුද කාලීන විසි වැනි සියවසේ දෙවැනි භාගයේ ලද ඉහත කී අවබෝධයෙන් නිසි ඵල නෙළා ගැනීම අසාර්ථක වීමේ අවදානම පවතී.

ශ‍්‍රී ලංකා ආර්ථික ප‍්‍රතිපත්තියේ නව දිසානතිය ගැන යමක් කීමට මා අදහස් කරන්නේ මෙකී වර්ධනයේ විග‍්‍රහාත්මක සන්දර්භය තුළ පිහිටමිනි. විටෙක විවේචනාත්මක ස්වරයක් පළ වෙතොත්, එසේ වන්නේ, අදාළ ප‍්‍රතිපත්ති ප‍්‍රශංසනීය නොවන නිසා නොව, ලැබෙන වාසි සාධාරණ අන්දමින් යළි බෙදා හැරීමේ අවශ්‍යතාව පිළිබඳව අදාළ ප‍්‍රතිපත්ති තුළ නිසි අවධානය යොමු කරවනු පිණිස ය. බි‍්‍රතාන්‍ය ජනමත විචාරණයෙන් ලද ප‍්‍රතිඵලය විග‍්‍රහ කරන විට පෙනී යන එක් කරුණක් තිබේ. එනම්, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ඡන්දය පාවිච්චි කළ බොහෝ දෙනා රටේ වඩාත් දුගී පළාත් නියෝජනය කරන්නන් වන බවයි. දැන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ හේතුවෙන් ආර්ථිකයේ අනාගත දිසානතිය පිළිබඳව පවතින අස්ථාවරත්වය නිසා රටේ ඇති වීමට නියමිත ආර්ථික වර්ධනයේ පසුබෑම ඉදිරියේ මේ ජන කොටසම විඳවනු ඇත. මන්ද යත්, ආර්ථික අවපාතයක් වැඩියෙන් කඩා පාත් වන්නේ දුගී කොටස් මතට වන බැවිනි.

බි‍්‍රතාන්‍ය ජනතාව මෙසේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තීරණය ගැනීමට හේතුව, විදේශිකයන්ගේ සංක‍්‍රමණය යැයි මොන තරම් පුවත්පත් සිරස්තලවලින් කියා සිටියත්, ඉවත් වීමේ තීරණයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ ඇතැමුන් ජීවත්වන පෙදෙස්වල විදේශීය ජනතාවගේ ප‍්‍රතිශතය, රටේ සමස්ත විදේශීය ජන ප‍්‍රතිශතයට වඩා ඉතා පහළ මට්ටමක පවතින ප‍්‍රදේශ බව පෙනේ. එවැනි පෙදෙස්වල වෙසෙන ප‍්‍රජාවන්, රටේ වෙනත් පෙදෙස්වල වෙසෙන ජනතාව සමෘද්ධිමත් වෙද්දී නොසළකා හරිනු ලැබ තිබේ. අවාසනාවකට, ඔවුන්ගේ දුක්ඛිත තත්වයට විසඳුමක්, අතීතයේ තිබුණා යැයි කියන මුත් ජනතාවක් වශයෙන් කිසි දවසක ඔවුන් සතුව නොතිබුණු ස්වකීය ඉරණම පිළිබඳ තීරක ශක්තියක් ගැන අඟවන අතීත ශ‍්‍රී විභූතියක් ගැන කියාපෑමෙන් සොයා ගත හැකි නොවේ.

1870 සිට පළමු ලෝක යුද්ධය ආරම්භ වන 1914 වන තෙක් බි‍්‍රතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයේ ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය වර්ධන අනුපාතිකය, වසරකට සියයට 0.9 ක් වැනි සොච්චමකි. ඔවුන් සතුව පැවති අධිරාජ්‍යය බිඳී විසිරී යාම පටන් ගත් දෙවැනි ලෝක යුද්ධය අවසානයේ පටන්, එනම් 1950-1973 අතර කාලයේ බි‍්‍රතාන්‍යයේ ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය වසරකට සියයට 2.4 දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, 1973 දී තෙල් මිල හතර ගුණයකින් වැඩි වීම නිසා එරට කාර්මික අංශයට මරු පහරක් වැදුණු අතර, ගෙවුම් ශේෂය පිළිබඳ උග‍්‍ර අර්බුදයකට මුහුණදීමටද සිදු වුණි. ඉන් පසු නැවත ආර්ථිකය ගොඩගැනීමේ කාලය තුළ කාර්මික සේවා අංශවල ආරාවුල් වැඩි විය. එසේ තිබියදීත්, අධිරාජ්‍ය ක‍්‍රමය පැවති කාලයේ තිබුණාට වඩා ඉතා වැඩි වර්ධන වේගයක් පවත්වා ගැනීමට බි‍්‍රතාන්‍ය සමත් විය. 1950-1979 කාලය තුළ බි‍්‍රතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය සියයට 2.2 ක් විය. එය, අධිරාජ්‍යවාදී අතීතයේ තිබුණු හිඟන තත්වයට වඩා ඉහළ අගයකි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එළැඹි සමෘද්ධිය, යටත්විජිත මත යැපුණු තත්වය පසෙක ලා, අසල්වැසි රටවල් සමග වෙළඳාම වර්ධනය කර ගැනීමෙන් අත්කර ගත් තත්වයකි. යුරෝපා කලාපයේ ආර්ථිකයන් පොදුවේ ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදුන් 2014 දී පවා, බි‍්‍රතාන්‍ය අපනයනයන්ගෙන් සියයට 45 ක්ම ගියේ යුරෝපා සංගමයටයි. එසේම, බි‍්‍රතාන්‍ය අපනයනයන්ගෙන් අඩක්, යුරෝපා සංගමයට වඩා තරමක් විශාල ‘යුරෝපා ආර්ථික කලාපය’ වෙත ගියේය. මේ අසල්වැසි රටවලින් බි‍්‍රතාන්‍යයට ආනයනය කරන ලද ප‍්‍රමාණය, බි‍්‍රතාන්‍යයට කරන ලද මුළු ආනයනයන්ගෙන් අඩකටත් වැඩි ය.

යුද්ධ කාලයට පෙර පැවති ජාතිකවාදය එදා කර තියාගෙන ගියේ, ඇමරිකානු දේශපාලන විද්‍යාඥ කාල් ඩොයිෂ්ගේ වචනවලින් කිවහොත්, සාමූහික අතීතයක් පිළිබඳ ව්‍යාජ මතකයක් සහ අසල්වැසියන් පිළිබඳ පොදු විරෝධයක් සහිත පිරිසක් විසිනි. එහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ජාතිකවාදය සම්බන්ධයෙන් යුරෝපයේ එතෙක් පැවති ඉපැරණි මනෝ ව්‍යාධිය පසෙක ලා, සියල්ලන්ගේ සමෘද්ධිය සඳහා, එතෙක් සිටි පරම හතුරන් සමග ආර්ථික සහයෝගීතාවකට යාමේ කැමැත්ත ඉස්මත්තට ආවේය. බි‍්‍රතාන්‍ය ජාතික සමාජ-විද්‍යා දාර්ශනික ඉසියා බර්ලින් මෙසේ අපේක්ෂා කොට තිබේ: ‘‘බාගෙ විට, ජාතිකවාදය පිළිබඳ ප‍්‍රපංචය, මැඩලිය නොහැකි ප‍්‍රඥාවේ වර්ධනයත් සමග විනාශ වී යනු ඇත.. එම ප‍්‍රඥාව ජනනය වන්නේ සදාචාරමය අංශයෙන් විය හැකිය. නැත්නම් තාක්ෂණික අංශයෙන් විය හැකිය. එනම්, බුද්ධියේ ජයග‍්‍රහණයක් හෝ භෞතික වර්ධනයේ ජයග‍්‍රහණයක් හෝ ඒ දෙකේම ජයග‍්‍රහණයක් හෝ විය හැකිය. නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතාවල වෙනස්කම් හඳුනා ගනිමින් හෝ සමාජ සමානත්වය වෙනුවෙන් අරගල කරමින් හෝ එය සිදු විය හැකිය.’’ එසේ වතුදු, ජගත් සහයෝගීතාවයේ ප‍්‍රතිලාභ අධිකතර අසමානත්වයකින් බෙදී යාම නිසා, විශේෂයෙන් 1970 දශකයේ සිට, සමානාත්මතාව සඳහා වන අරගලය වෙනුවට ජාතිකවාදයට නැවත හිස එසැවීමට ඉඩ දී තිබේ. යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීමට ගත් තීරණය කියාපාන්නේ එයයි. ජාතික අනන්‍යතා දේශපාලනය විසින් එහිදී ආර්ථික සමෘද්ධියේ දේශපාලනය අභිභවනය කොට ඇත.

ශ‍්‍රී ලංකාවේ නවතම නිර්භය ආර්ථික අත්හදාබැලීම් ඔස්සේ දීර්ඝ කාලීන ප‍්‍රතිඵල උදා කර ගත හැක. එහෙත් එසේ විය හැක්කේ, මහා සාර්ථකත්වයන් සේ වෙස් ගන්වා ඇති අතීත අසාර්ථකත්වයන් පිළිබඳ අතීතකාමයෙන් පෙළෙන පසුගාමී කොටස් විසින් අවුළුවනු ලබන අති-භීතිකාවන්ට යට නොවී සිටියොත් පමණි. ගෝලීයකරණයේ අසාධාරණ බෙදී යාමක් නිසා විශාල ජන කොටස් තුළ ඇති කරන ලද අසන්තෝසය මත යැපීමට ප‍්‍රතිගාමී කොටස්වලට ඉඩ හැරීමේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත්, ඇමරිකානු දේශපාලන කතිකාව විසකුරු කිරීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට අවස්ථාව සැලසීමත්, ලංකාව විසින් සැළකිල්ලට ගත යුතු අනතුරු ඇඟවීම් වන්නේය. ජාතික සමෘද්ධිය යළි බෙදා හැරීමේදී සාධාරණත්වය සහතික කරනු වස් මුළුමණින් වෙළඳ පොළ මත යැපීමට ආණ්ඩුවකට පුළුවන් කමක් නැත. මන්ද යත්, වෙළඳ පොළ බලවේගයන්හි අපාලිත දඩබ්බර ක‍්‍රියාකාරකම් තුළ දුර්වලයා කවදත් කොන් විය හැකි බැවිනි. මේ නිසා ශ‍්‍රී ලංකාව ආරම්භ කොට ඇති උද්‍යෝගීමත් ආර්ථික අත්හදාබැලීම් සාර්ථක වීමට නම්, සාධාරණත්වය පිළිබඳ හැඟීමක් සිත්හි ධාරණය කර ගත යුතු වන්නේය.

උදාහරණයක් වශයෙන් ගතහොත්, චීනයෙන් වේවා, ඉන්දියාවෙන් වේවා, ලංකාවේ ආරම්භ කෙරෙන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කොට ඇති ආර්ථික කලාප තුළ ඔවුන් ස්වකීය ව්‍යාපාර පිහිටුවා ගැනීමේදී සහ පවත්වාගෙන යාමේදී, ඔවුන් එම ව්‍යාපාර පොහොසත් කරගන්නා එකී මහජන අවකාශ පරිහරණය කිරීමේ වියදමින් කොටසක් ඔවුන්ද දැරිය යුතුව තිබේ. විදේශ කර්මාන්ත ලංකාවට පැමිණෙනු ඇත්තේ, ලංකාවේ උගත් ශ‍්‍රම බලකායක වාසිය, භෞතික යටිතල ව්‍යුහයේ ගුණාත්මක භාවය පිළිබඳ තැබිය හැකි විශ්වසනීයත්වයේ වාසිය සහ දේපළ අයිතීන් පිළිබඳ ස්ථාවර නෛතික පද්ධතියක වාසිය උපයෝජනය කර ගැනීමටයි. එසේම, ආයෝජන අධෛර්යමත් නොකෙරෙන ආකාරයෙන් රටේ බදු ක‍්‍රමය සරළ සහ පාරදෘෂ්‍ය භාවයෙන් යුක්ත විය යුතු අතරේම, නව කර්මාන්ත සඳහා ගමේ සම්පත් සූරාකැවෙන බවට හැඟීමක් ඇති නොවිය යුතුය. උදාහරණයක් වශයෙන්, දේශීය සහ විදේශීය සමාගම්වලට ස්වකීය නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා කෘෂිකාර්මික ඉඩම් අත්පත් කර ගැනීමේ චීන මොඩලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට නොගැළපෙන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඉඩම් අත්පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තිය, අතීතයේ පටන් එම ඉඩම් වගා කොට සිටි ජනතාවට සාධාරණ සේ පෙනී යන ප‍්‍රතිපත්තියක් විය යුතුය. සමහර විට එම ඉඩම් ඔවුන් යටතේ ඵලදායී අන්දමින් වගා කොට නොතිබුණා විය හැකිය. එසේ වෙතත්, බලහත්කාරයෙන් තොරව එම ඉඩම් අත්කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් වන අන්දමේ සාධාරණත්වයක් එම ඉඩම් අත්පත් කර ගැනීමේ ප‍්‍රතිපත්තිය තුළ ඇති බව පෙනී යා යුතුය. ‘ටාටා මෝටර්ස්’ සහ ඊට සමගාමී වෙනත් කර්මාන්ත සඳහා පවරනු වස්, ඉන්දියාවේ බටහිර බෙංගාල ප‍්‍රාන්ත ආණ්ඩුව, එකට යාව පිහිටි අක්කර 1000 ක් 2008 දී බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට බැලීය. එම ඉඩම් වගා කරමින් සිටි ගොවියන්ට වන්දි ගෙවීමට නියමිතව තිබූ අතර බොහෝ ඉඩම් ප‍්‍රමාණයක් ප‍්‍රශ්නයකින් තොරව අත්පත් කර ගැනීමට හැකි විය. එහෙත් අක්කර 1000 ඉලක්කය වෙත ළඟා වීම ප‍්‍රශ්නකාරී විය. එවිට ප‍්‍රාන්ත ආණ්ඩුව කෙළේ, 1894 දී සම්මත කරගෙන සිටි යටත්විජිත නීතියක් යටතේ ඉතිරි ඉඩම් අත්පත් කර ගැනීමට බැලීමයි. එම බලහත්කාරය තුළ, වන්දි යෝජනා සම්බන්ධයෙන් තිබූ සාධාරණත්වය පිළිබඳ තාර්කික කතිකාව යටපත් විය. ඉඩම් වාර්තාවල තිබූ බාල ප‍්‍රමිතීන් නිසා විනිවිද භාවය නැති වී ගියේය. ඒ හේතුවෙන්, කෘෂිකර්මය සහ සමාජ අනන්‍යතාවය පිළිබඳ රොමැන්තික කතිකාවක් බවට අවසානයේදී එය පත්විය. ඒ සියල්ලේ ප‍්‍රතිඵලය වුණේ, ඉන් පසුව එළැඹි ප‍්‍රාන්ත මැතිවරණයේදී, අධිකාරීවාදී, බාල සහ ජනතාවාදී පක්ෂයක් බලයට පත්ව, එම ප‍්‍රාන්ත රාජ්‍යය යළි-කාර්මීකරණයට ලක් කිරීමේ අපේක්ෂාව දශක ගණනාවකින් ආපස්සට යාමයි.

මහාචාර්ය එස්. පී. චක‍්‍රවර්ති

(2016 අගෝස්තු 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Embracing Globalisation: The Case of Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


-  මෙලනි




2016-09-09
Advertisement

Find us on Facebook