English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් පහරදීමට යුක්ති සාධාරණයක් කො ??
   
"නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්න. රජයේ නිළධාරින්ටයි, සල්ලි තියෙන මිනිස්සුන්ටයි එක නීතියකුයි, අපි වගේ දුප්පත් මිනිස්සුන්ට තව නීතීයකුයි ක‍්‍රියාත්මක කරන්න පොලීසියට ඉඩදෙන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය ගමේ මිනිස්සුන්ට උදව්කරන දෙපාර්තමේන්තුවක් මිසක් මේ විධියට දුප්පත් මිනිස්සුන්ට තලා පෙළා වධහිංසා කරන ස්ථානයක් නොවිය යුතුයි. නිවරැදි තොරතුරු ඔස්සේ වරදකරුවන් අල්ලා ගන්න" යැයි අටමස් වියැති ගැබක් දරා සිටින පොලිසියෙන් ගුටිකෑ හසිතා කියයි.

පුත්තලම සාලියවැව පොලිිසියේ  ඕ අයි සී ඇතුළු කණ්ඩායමක් විසින් පිස්තෝලයක් පෙන්වා බියගන්වා, කුණුහරුපයෙන් බැන, පහර දී "ගහන්නට පමණක් නොව, මරන්නට ද බලයක් තිබෙනවා යැයි කියමින් තමන්ට පහරදීම සම්බන්ධයෙන් පුත්තලම ඞී අයි ජී කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ පැමිණිලි දමා තිබුණත් කිසිම ප‍්‍රථිචාරයක් , යුක්තියක් ඉටු නොවු බව සාලියවැව පලූගස්සේගම තරුණ ගැබිණි මවක් වු හසිතා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන රසික උදයකුමාර අයිතියට ප‍්‍රකාශ කළේය.

"කාන්තාවකට විශේෂයෙන්ම ගර්භනි මවකට ඉතාම අකාරුණීක අසාධාරණ ලෙසට පහර දීම පොලිස් දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරෙන අද දවසේ මම දැඩි ලෙසට හෙළාදකිනවා. මහජනතාවට ආරක්‍ෂාව සපයන ආයතනයකින් මෙවැනි අමානුෂික ක‍්‍රියාවක් සිදුවිම ඒ කියන්නේ කිසිම සොයා බැලිමකින් තොරව පැමිණ අහිංසක කාන්තාවකට මේ වගේ හිරහැර කිරීම කෙසේවත් අනුමත කරන්න බැහැ. මේ කාන්තාවට යම් කිසි අනතුරක් වුනොත් පොලීසිය වගකීම භාරගන්න  ඕනේ." යැයි සවිස්ත‍්‍රි කාන්තා සංවිධානයේ ජාතික ලේකම් පද්මා පුෂ්ප කාන්ති අයිතියට ප‍්‍රකාශ කළේය.
 

පසුගිය ජූලි මස 23 වෙනිදා රාත‍්‍රි 9.30 ට පමණ තම දියණිය සමඟ නිදාගෙන සිටින විට බලහත්කාරයෙන් නිවසට ඇතුළුවී කෝ උඹේ මිනිහා යැයි කෑගසමින් පොලිස් නිළධාරින් සිව් දෙනෙකු පැමිණ තමන්ට හිරහැර කළ බව පැවසු හසිතා, ඒ අවස්ථාවේදි තමන් තිගැස්සී නිවෙස අසළ තිබෙන ගල්ගොඩක් මත ඇඳ වැටුණු බවත් එහිදි පොලිස් නිළධාරියෙකු විසින් තමන් වෙත පා පහරවල් එල්ල කළ බවත් ඉන් ඇය මහත් සේ පීඩාවට පත්වු බවත් තවමත් ඉතා හොඳ සුවයක් නොමැති බවත් ප‍්‍රකාශ කළේය.  


කාන්තා ශක්ති, කාන්තා සංවිධානයේ සම්බන්ධිකාරිකා රෝහිණී විරසිංහ ද අයිතියට අදහස් දක්වමින් "පොලිසිය ක‍්‍රියාකර ඇති ආකාරය ගැන කථාකරන්න ලැජ්ජයි. ගමක මිනිස්සු ප‍්‍රශ්නයක් වුණාම ඉස්සෙල්ලාම යන්නේ පොලීසියට, එහෙව් පොලිසියක් කැලෑ නිතිය අතට අරගෙන ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට මේ විධියට පහරදීලා හිරිහැර කරනවානම් ඒ පොලීසිය ගැන විශ්වාස කරන්න බැහැ. ඇරත් ජනාධිපතිතුමා ගේ නමත් විකුණනවා. ඒක තවත් වැරැද්දක්. මේ ක‍්‍රියාව තුළින් දුප්පතාට සිදුවන අසාධාරණය නීතියක් නැතිකම පොලීසියේ බලය ඉතාම දුෂිත ලෙසට පාවිච්චි කිරීම, මැර බලය යොදා ගැනීම යනාදි සියල්ලම එළිදරව්වෙනවා." යැයි පැවසීය.   

එමෙන්ම පහර කැමට ලක්වු මෙම ගැබිණි මාතාව සම්පුර්ණ වෛද්‍ය පරික්‍ෂණයකට ද භාජනය කළ යුතු යැයි පැවසු රෝහිණී විරසිංහ, ඇයට පොලිස් නිළධාරින්ගෙන් සිදුවු මානසික හා ශාරිරික පීඩාව වෙනුවෙන් මානව හිමිකම් අනුව යුක්තිය ඉෂ්ට විය යුතු යැයි ද වරද කළ පොලිස් නිළධාරින් හට දඬුවම් පැමිණවිය යුතු යැයි ද කීහ.



"පිස්තෝලේ සාක්කුවෙ තියෙන්නේ. උඹලව කුඩුවෙන්න මට වෙඩි තියන්න පුළුවන්. අපිට ඒ වගේ නීතියක් තියෙන්නෙ. ජනාධිපතිතුමා  ඕඩර්දීලා තියෙන්නෙ එහෙම තමයි. අපිට ඔය මානව හිමිකම් වලින්, උසාවියෙන් ඔය ලොකු ලොකු තැන්වලින් අපිට වැඩක් නැහැ. අපි කරන්නේ අපේ නීතිය අපිට  ඕනෙ විධියට.” කියා සාලියවැව පොලිසියේ  ඕ අයි සී මහත්තයා සිය සාක්කුවේ තිබු පිස්තෝලයක් එළියට ගනිමින් තමන්ට පරුෂ වචනයෙන් බැන්නේ යැයි හසිතා පැවසීය.

ජුලි 23 දා සිට 26 තෙක් පුත්තලම මුලික රෝහලේ ප‍්‍රථිකාර ගත් හසිතා 26 වෙනිදා පුත්තලම ඩි අයි ජී කාර්යාලයට ගොස් පහරදීම පිළිබඳව පැමිණිල්ලක් දැමු බවත් ඊට කිසිම ප‍්‍රථිචාරයක් නොලැබුණු බවත් යළිත් අගෝස්තු මස 09 වෙනිදා කොළඹ මානව හිමිකම් කාර්යලයට ගොස් පැමිණිල්ලක් දැමු බවත් ඊට ද මේවන තෙක් පිළිතුරු නොමැති බවත් ප‍්‍රකාශ කළේය.

නිසි තොරතුරු රහිතව, නීති විරෝධී මත්පැන් අලෙවිකරන පුද්ගලයෙකු සොයා පැමිණ, සාලියවැව පොලීසියේ  ඕ අයි සී මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් නිරපරාදේ තමන්ගේ බිරිඳට පහරදීම ඉතාම ශෝචනීය බවයි රසික උදයකුමාර පැවසුවේ.

සටහන සහ පිංතුර - මෙලනි මානෙල් පෙරේරා




2016-09-04
Advertisement

Find us on Facebook