English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගොර්කිගේ අම්මා, තිමූර් ලෙන් සහ අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය

“තිමූර් ලෙන්” හෙවත් “තමර්ලේන්” යනු ජෙන්ගිස් ඛාන්ගෙන් පසු බිහිවුණු බිහිසුණුම මොංගෝලියානු රණශූරයාය. වසර 50ක් මහපොළොව ලෙයින් තෙත්කරමින් මහා අධිරාජ්‍යයක් ගොඩ නැගූ මේ දරුණු පාලකයා සොයා එක් දිනක් ස්ත්‍රියක් පැමිණියාය. ඇය තිමූර් අධිරාජ්‍යයාට අභියෝගයක් කළාය. ඒ තම ආදරණීය පුත්‍රයා සොයා දෙන ලෙසය.

                                                     පිංතුරෂෙහාන් ගුණසේකර 

"මගේ පුතා තරම් දක්ෂ, ලස්සන ළමයෙක් මුළු ලෝකෙම හිටියෙ නැහැ. සරාසෙන් මුහුදු කොල්ලකාරයෝ අපේ වෙරළට ගොඩ බහින කොට මගේ පුතාට අවුරුදු හයයි. උන් මගේ පියාවත්, ස්වමි පුරුෂයාවත් ඇතුළු බොහෝ දෙනෙකු මරා දැම්මා. උන් මගේ පුතා අරගෙන ගියා. අවුරුදු හතරක් තිස්සේ මම පුතා හොයමින් ලෝකෙ හැමතැනම ඇවිදිනවා. දැන් මගේ පුතා ඉන්නේ තමුන්නාන්සේ ළඟයි. බයසේත් සුල්තාන් මුහුදු කොල්ලකාරයන්ව යටත් කර ගත්තා. දැන් තමුන්නාන්සේ බයසේත් සුල්තාන්ව යටත් කරගෙන ඔහුගේ සියළු වස්තුව පැහැරගත්තා. තමුන්නාන්සේ දැනගන්න ඕන මගේ පුතා කොහෙද ඉන්නේ කියලා. දැන් තමුන්නාන්සේ මට මගේ පුතා ආපහු දෙන්න ඕන. ”‍

බිහිසුණු තිමූර් ලෙන් අධිරාජ්‍යයාගේ කූඩාරමෙහි ඔහු පාමුල රැඳී සිටි රජවරු, කුමාරවරු ඇතුළු බලවන්තයෝ මේ ස්ත්‍රියට සිනාසුණහ. ”‍ඇයට පිස්සු!”‍ ඔවුහු පැවසූහ. ඇයට අනුකම්පා කළේ කෙර්මාරි නම් කවියා පමණකි. ”‍ඔව්, ඇයට පිස්සු, ඕනෑම අම්මා කෙනෙකුට වගේම ඇයට පිස්සු”‍ වෙරිමතේ සිටි කෙර්මානි කවියා කීවේය. එහෙත් තිමූර් ලෙන් අධිරාජයාගේ සිත කම්පනය කරන්නට ඇය සමත්වූවාය. කිසිවෙකුට හිස නොනමන ඔහු මේ අම්මා ඉදිරියේ හිස නැමුවාය. ”‍අවුරුදු 30ක් තිස්සේ මම දිගටම යුද්ධ කරනවා. මහපොළොව මගේ දෙපයට පෑගී වේදනාවෙන් මිරිකුණා. සිය දහස් ගණන් මිනිස්සු මා සමග සටන් කළා. ඒ රාජධානි, වස්තුව, දේපළ වෙනුවෙන්. ඒත්, පළමු වතාවට තමයි මට මුණගැහුණේ මනුස්සයෙක් වෙනුවෙන් සටන් කරන කෙනෙක්. මම හිතා ගෙන හිටියෙ මනුස්ස ජීවිතය කියන්නෙ කිසිම වටිනා කමක් නැති දෙයක් හැටියටයි. නමුත් මා ඉදිරියේ සිටින මේ ස්ත්‍රිය තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් සටන් කරනවා. ඒ ඇය ආදරය කරන නිසයි. මම ඇය ඉදිරියේ හිස නමනවා.”‍ තිමූර් ලෙන් අධිරාජ්‍යයා කියා සිටියේය. ඉන් පසු ඔහු තම සේනාවට නියෝග කරන්නේ තම අධිරාජ්‍යයේ අස්සක් මුල්ල නෑර සොයා බලා ඇයගේ පුත්‍රයා සොයා ගෙන එන ලෙසය. එසේ සොයා ගන්නා තැනැත්තාට වටිනා ත්‍යාගයක් හිමිවේ. පුතා සොයා දෙන තුරු අම්මාට තමා සමග තම කූඩාරමෙහිම නැවතීමට ඔහු ආරාධනය කරයි.

මේ කතාව එන්නේ මක්සිම් ගෝර්කිගේ “ඉතාලි කතන්දර” නම් කෙටි කතා එකතුවෙහි එක් කෙටි කතාවකය. (මේ කතාව ‘සෝවියට් රුසියානු කෙටි කතා නමින් දැදිගම වී රුද්‍රිගු විසින් ප්‍රගති ප්‍රකාශක මන්දිරය වෙනුවෙන් සිංහලට පරිවර්තනය කරන ලද පොතේ පළමු කෙටි කතාව ලෙස මීට දශක ගණාවකට පෙර පළවිය. )

මේ කතාවෙන් කියවෙන්නේ විපතට පත් තම ආදරණීයයන් වෙනුවෙන් දුක් කරදර අතෝරවලට මුහුණ දීමට අම්මා කෙනෙකුට ඇති ශක්තියයි.

තම දරුවා අහිමි කරනු ලැබූ තවත් අම්මාවරුන් සියගණනක් අගෝස්තු 30 වනදා කොළඹ අගනගරයේ වීදිවලට පැමිණියහ. ඔවුන්ගේ ආදරණීය දරුවන් ඔවුන්ගේ තුරුල්ලෙන් පැහැරගෙන ගොස් අතුරුදන්කරවනු ලැබ ඇත. ඔවුන් පණ පිටින්ද මළවුන් අතරදැයි දැනගැනීමට ඔවුන්ට ක්‍රමයක් නැත. එබැවින් ඔවුන් කොහේ කොතැනක හෝ තැනක ජීවත්වන බවට ඔවුහු විශ්වාස කරති; ඒ විශ්වසයෙන් ජීවත් වෙති. ඔවුන් වෙනුවෙන් දුක් කරදර වළඳති. දරුවා පැහැරගනු ලැබුවේ ආරක්ෂක හමුදාවන් විසින් හෝ ඔවුන්ගේ සහාය ලබන පැරා මිලිටරි කණ්ඩායම් විසින් හෝ විය හැකිය. එසේත් නැත්නම් පෙළඹවීමෙන් හෝ බලහත්කාරයෙන් දරුවා බඳවා ගනු ලැබූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට හෝ විමුක්ති කොටි හමුදාවට විය හැකිය. එහෙත්, අම්මාට එයින් පළක් නැත. අම්මාට එහි විශේෂයක් නැත. ඒ සියලු ව්‍යාපාරයන් යටත් කරගත් සහ සියල්ලට අධිපතිභාවය ලබා සිටින්නාවූ ශ්‍රී ලංකා රාජ්‍යයේ බලමහිමය වෙත එම අම්මාවරුන් අභියෝග කරන්නේ අතුරුදන්කරවනු ලැබූ තම දරුවන් සොයා දෙන ලෙසය.

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවන ලද්දේ ඒ අභියෝගයට සවන් දීමක් වශයෙනි. ශ්‍රී ලංකා රාජ්‍යය මේ අම්මාවරුන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය හමුවේ හිස නැමුවාය.

නිතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා විසින් 2016.09.04 දින සමබිම රාවය ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි.


උපුටා ගැනීම - සමබිම

-  මෙලනි




2016-09-04
Advertisement

Find us on Facebook