English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මගේ රට ගැන මා දන්නා කරුණක්, දෙකක්

අපට කවදාවත් හරිහමන් පියෙකු සිට නැත. එහෙත් එසේ සිටියේ යැයි සිතීමට අපි කැමැත්තෙමු. ඒ පියා ඞී. ඇස්. සේනානායක විය හැක. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විය හැක. නැතහොත්, එස්. ජේ. වී. චෙල්වනායගම් විය හැක. එහෙත් අවසානයේදී ගත් විට, මේ කිසිවෙකුට ලංකාව සඳහා වන අර්ථවත් දැක්මක් තිබී නැත. මොහොමඞ් මහතීර්ගේ, ජවහර්ලාල් නේරුගේ හෝ නෙල්සන් මැන්ඬේලාගේ මෙන් නොව, ඉහත කී අපේ නායකයන් තුළ තිබූ අනාගත දැක්ම, ස්වකීය පක්ෂ මුල් කර ගත් පක්ෂග‍්‍රාහී දර්ශනයන් ය. එහි ප‍්‍රතිඵලය අද අප කාටත් ඉතා පැහැදිළිව දැක ගැනීමට ලැබී තිබේ. ඞී. ඇස්. සේනානායකගෙන් ලැබුණු ලොකුම දායාදය වුණේ, උඩරට දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමත්, දේශීය භාෂා ප‍්‍රශ්නය නොතකා හැරීමත් ය. බණ්ඩාරනායක සහ චෙල්වනායගම් ඔහුගේ දරුවෝ වූහ. ඔවුන් සටන් කෙළේ, ඔවුන්ගේ පියා විසින් කිසි දවසක සාදා නිම නොකළ නිවෙස ගොඩනැගීමටයි.

එදා සිට අපි කවුරුත් කටයුතු කොට ඇත්තේ තාත්තෙකු නැති දරුවන් මෙනි. එහිදී ඝාතනය වී ඇත්තෝ බොහෝ ය. ඝාතකයන් වී ඇත්තෝ බොහෝ ය. අත පය අහිමි කරගෙන ඇත්තෝ බොහෝ ය. නොමිනිස් කමේ සාරය දැක ඇති, ඒ නොමිනිස් කම් සමග එකට ජීවත්ව ඇති අපට, එය දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මහින්ද රාජපක්ෂ අපේ අප්පච්චී සේ දැකීමට කැමැත්තක් දක්වන අය සිටිත්. මන්ද යත්, ඉහත කී සියල්ලෙන් ඔහු අපව ගලවාගෙන, දුර්ග කඳු හෙල් හරහා සාමයේ මිටියාවතට ඔහු අපව රැුගෙන ගියේ යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. ඇත්තෙන්ම, ඔහුමත්, තමාව අප්පච්චී කෙනෙකු සහ රජ කෙනෙකු සේ හඳුන්වාගෙන තිබේ. ඔහුගේ පුත‍්‍රයන්ව කුමාරවරුන් සේ හඳුන්වාගෙන තිබේ. ඒ ජයග‍්‍රාහී මොහොත ඔහු දැන් පසු කොට සිටී.

එහෙත් ඒ ගමනේදී ඔහු බොහෝ දුරක් වරද්දා ගත්තේය. ඒ සඳහා එක් උදාහරණයක් පමණක් මට සෑහේ. අපේ රටේ උතුරු කොණේ මහ සයුර කෙළවරේ, ගලින් කළ ඵලකයක් තිබේ. එය පිහිටුවන ලද්දේ 2009 මැයි මාසයෙන් පසුවයි. එම ස්ථානය ඓතිහාසිකව හැඳින්වෙන්නේ, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ බෝ පැළයක් රැගෙන ලංකාවට ගොඩබට ස්ථානය සේ අරුත් දෙන, ‘දඹකොළ පටුන’ නමිනි. එහෙත් රාජපක්ෂ විසින් ගොඩනැගූ ඵලකය තුළ එය ‘‘ත්‍රෛයි සිංහල දේශ්වර’’ නමින් හැඳින්වීමෙන්, එම සුන්දර ස්ථානය ඔහු කෙලසා තිබේ. සමහර විට කිසි දවසක ඔහුට එවැනි තැනක් නොතිබුණා විය හැකිය. සමහර විට අතරමගදී ඔහුට පාර වැරදුණා විය හැකිය. ඒ කුමක් වුවත්, අපේ පොදු උරුමය සහ ප‍්‍රවේණිය සළකුණු කළ යුතුව තිබූ ආකාරය එය නොවේ.

මගේ රට ගැන මා දන්නා දෙවැනි කාරණයට මට හේතුවක් සැපයෙන්නේ ඒ හරහා ය. එය, අප සියල්ලන් සේ මා ද, මගේම වූ, කර්කශ, දුෂ්කර සහ දුක්ඛිත අත්දැකීමෙන් උගත් දෙයකි. බෙදුම්වාදයට, ‘ටැන්ගෝ’ නැටුමකට මෙන්, දෙන්නෙකු අවශ්‍ය කෙරේ. මෙය සිංහල රටක් නම්, දෙමළාටත් රටක් අවශ්‍ය කරනු ඇත. සියලූ ළමුන්ව ක‍්‍රිකට් ක‍්‍රීඩාවකට කැඳවා, ‘‘මේක මගේ පිත්ත. ඒක නිසා ඔයගොල්ලෝ කරන්නේ ෆීල්ඞ් කරන එක විතරක්’’ යැයි ඔබ කිවහොත්, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ගේම පිත්තක් සපයා ගනු ඇත. සෙල්ලම් ගෙයක් දැමීමට ඔබට අවශ්‍ය නම්, ඒ සෙල්ලම් ගෙදර හැම කෙනෙකුටම කාමරයක් දෙන්න. එසේ නොවුණහොත්, ගෙය දෙකට කඩා ඇනකොටා ගන්න. මිනිමරා ගන්න. කිසි දා සුව නොවන අසාධ්‍ය රෝගීන් බවට පත්වන්න.

මෛතී‍්‍රපාල සිරිසේන අපේ පියා නොවේ. එහෙත් මා සිතුවාට වඩා බොහෝ දේ ඔහු කර තිබේ. ඇත්තෙන්ම මා පමණක් නොව, ඔහුට කළ හැකි යැයි අප බොහෝ දෙනෙකු සිතුවාට වඩා දෑ ඔහු කර තිබේ. ඔහු මුළුමණින් යහපත් හෝ අයහපත් කෙනෙකු යැයි ගැනීමට මා සූදානම් නැත. මුළුමණින් සත්‍යවාදී සහ අව්‍යාජ යැයි ගැනීමට මා සූදානම් නැත. ඇත්තෙන්ම ඔහු අපෙන් එකෙකි. නරක කලදසාවක් තුළ අප සමග එකට හැදුණු වැඩුණු, වෙනත් විදිහකින් කිවහොත්, අප සමග එකට මල්වර වූ කෙනෙකි. ජයග‍්‍රහණයේ තේජස තුළ වැජඹෙමින් මුල් පුවත් සරසන මොහොතේදී, උඩඟුවෙන් කුලප්පු වෙනවා වෙනුවට, පරිස්සම් වීමට සහ තීක්ෂණ වීමට ඔහු වගබලාගත්තේය. වෙන කිසි නායකයෙකු නොකළ ආකාරයට, මේ දක්වා ඔහු යන ගමන වූ කලී අතුරේ යාමක් බඳු ය. ඔහුගේ පය පැටලෙයි. එහෙත් නොවැටෙමින් දරුණු තීරණත් ගනී. එසේ වෙතත්, එකී අධිකාරය පාවිච්චි කරන අතරේම, ඉතා පරීක්ෂාකාරී වෙමින්, පෙර නොවූ විරූ තරමින් නිදහස රජැයීමට ඔහු ඉඩ හරී. එහෙත් ඔහු මෙන් අපද හරිහමන් විදිහකින් වැඩිවිය පත්ව නැත. ඔහුටද, අපට මෙන්ම, පිරිපුන් ආචාර ඌරුවක් නැත. එහෙත් අප අපේ ඇස් පිස දා බලන්නේ නම්, අපට දැක ගත හැකි වන ආකාරයෙන්, රාත‍්‍රියේ මහා අන්ධකාරයෙන් ඉක්බිතිව හිමිදිරි එළියක සේයාවක් එළැඹිය යුතුම බව, ස්වකීය ප‍්‍රගල්භ නිර්භයත්වයෙන් යුතුව ඔහු අපට පෙන්වා දී තිබේ.

අපට හැම දාමත් අම්මා සිටියාය. ඈ, ලංකාවයි. මගේ රට ගැන මා දන්නා තෙවැනි කාරණය එයයි. අපේ අම්මා ලංකාව යැයි හෝ ඉලංකෙයි නැත්නම් ඊලාම් කියා හෝ (එය ද ලංකාව යන්නට පර්යාය නාමයකි) මා කියන විට, ඒ වූ කලී, පූජාවට සුදුසු, අත්පත් කර ගත යුතු, සහ ජාතිවාදය, ප‍්‍රචණ්ඩත්වය සහ අසමානත්වය වසං කෙරෙන දෙවඟනක් ය යන්නක් අදහස් නොකෙරේ. නැත, මා එයින් අදහස් කරන්නේ, ඒ ශ්‍රේෂ්ඨ ගායිකාවගේ ‘‘දෙදහස් පන්සිය වසරක්’’ ගීයෙන් ගැයෙන ලාංකීය විලාපයේ අරුතයි. ඒ සුන්දර ගීය තුළ නන්දා මාලිනී ගයන්නී, ලාංකීය විලාපයයි. ඈ බිහි කළ මංකොල්ලකරුවන් සහ මිනීමරුවන්, පසුව මහා පිරිමින් සහ ගැහැනුන් බවට පත්ව ඇගේ නම විකුණමින් බලයේ එල්ලී සිටීම ගැන ඈ තුළ නලියන, කරකියාගත නොහැකි ශෝකය සහ තැවුල එයින් ගැයේ.

අපට කිසි දවසක පියෙකු නොසිටියේය. මත්තටද නොසිටිනු ඇත. දැන් අපේ අම්මා වියපත් ය. ඇගේ දෙතන වේලී ගොසිනි. ඈ දුක්ඛිතව සුසුම්ලන්නීය. අප වැඩිවිය පත්විය යුතු කාලය පැමිණ තිබේ. අනත් දරුවන් සේ අපව වටහා ගැනීමට කාලය පැමිණ තිබේ. ඉතිං, අපේ රට මීට වඩා ටිකක් යහපත් තැනක් කර ගැනීමට අවශ්‍ය කරන පුංචි ආචාර ධාර්මික දේවල් ටිකක් කිරීමට අපි වගබලාගමු. එවිට, සමහර විට අපෙන් එකෙක්, අපේ අම්මාට හැම දාමත් අවශ්‍ය කළ මුත් කිසි දවසක ඈ නොලද ඒ දරුවා වීමට ඉඩ තිබේ.

 ප‍්‍රදීප් ජෙගනාදන්

(2015 අගෝස්තු 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ‘Two Or Three Things I Know About My Country‘ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’)

-  මෙලනි



2016-09-03
Advertisement

Find us on Facebook