English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය: නව යුගයක් ද නැත් නම් තවත් හිස් පොරොන්දුවක් ද?

2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය අතක් නැති පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා පළමු ස්ථිර ආයතනය පිහිටුවීම පිණිස නීතියක් පැනවූයේ එදින ය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) අවසානයේ දී ගොදුරු වූවන්ට පිළිතුරු සැපයීමටත් නිහඬතාව අවසන් කිරීමටත් සමත් විය හැකි ය. ගොදුරු වූවන්ගෙන් බොහෝ දෙනෙකු මීට කලින් පසු විපරමක් නැති පරීක්ෂණ ගණනාවක් හමුවේ පෙනී සිට ඇත.

අගෝස්තු 11 දින ගොදුරු වූවන්ට වැදගත් දිනයක් වුවත් පාර්ලිමේන්තුව තුළ සිදු වූ දෑ පෙන්නුම් කරන්නේ අතීතය සලකා බැලීමට යාමේ දී ශ‍්‍රී ලාංකිකයන් මුහුණ දෙන අප‍්‍රමාණ අභියෝගයන් ය. පාර්ලිමේන්තුව 2016 මැයි මාසයේ දී ධඵඡු පණත් කෙටුම්පත ගැසට් කොට ඊට අභියෝග කිරීමට හා සංශෝධන ඉදිරිපත් කිරීමට ප‍්‍රමාණවත් කාලයක් ලබා දුන් නමුත් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තු සභා කටයුතු කඩා කප්පල් කිරීම සඳහා අතිශය නින්දිත ආකාරයෙන් ක‍්‍රියා කළ අතර සත්‍යය සොයා ගැනීම සම්බන්ධයෙන් දහස් ගණනක් දෙනා කවර හෝ බලාපොරොත්තුවක් තැබුවේ නම් එය සුන් කිරීම සඳහා ඉඳුරා ම ප‍්‍රයත්න දැරූහ. මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු කළ විගඩම නිසා අනෙක් බොහෝ මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රතිසන්ධානයට අදාළ තීරණාත්මක කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විවාදයකට තිබූ අවස්ථාව ද ශ‍්‍රී ලාංකිකයන්ට අතීතයට මුහුණ දීම සඳහා උත්සාහ කිරීමට තිබූ අවස්ථාව ද අහිමි විය. එම අවස්ථාව මග හැරුණ ද කිහිප දෙනෙකුගේ විගඩම් නිසා පණත් කෙටුම්පත නතර නොවන බවට ආණ්ඩුව සහතික විය. දෙමළ ජාතික සන්ධානය (TNA) හා ජනතා විමුක්ති පෙරමුණ (JVP) ඇතුළු ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව පාර්ලිමේන්තුවේ දී නීතිය සම්මත කෙරුණු අතර ඒ අනුව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට හැකියාව ලැබිණ.

ඡායාරූපය  -  මෙලනි මානෙල් පෙරේරා

දැන් අප සතුව අතුරුදන් වීම් හා ආගිය අතක් නැතිකම පරීක්ෂා කිරීම සඳහා ස්ථිර ආයතනයක් පිහිටුවන නීතියක් ඇති නමුත් ශ‍්‍රී ලංකාව තුළ දී අතුරුදන් වූවන් හා ආගිය අතක් නැත්තන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යා තොරතුරු සහිත කිසි ම නිල සංඛ්‍යා ලේඛනයක් නැත. මෑත දී කටයුතු හමාර කළ පරණගම කොමිසම වෙත ආගිය අතක් නැති පුද්ගලයන් පිළිබඳ පැමිණිලි 25,000කට වඩා ලැබිණ. වසර ගණනාවක් තිස්සේ විවිධ කොමිසම්වලට තවත් පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. මින් පෙන්නුම් කෙරෙන්නේ ශ‍්‍රී ලංකාව පුරා දහස් ගණනක් දිගින් දිගට ම පිළිතුරු සොයමින් සිටින බව යි. බොහෝ අවස්ථාවල දී පවුල් සාමාජිකයන් පරීක්ෂණයක් පාසා සහභාගි වන්නේ තමන්ගේ ආදරණීයයන් සොයා ගැනීමේ හෝ අඩු ම ගණනේ පිළිතුරක් වත් ලබා ගැනීමේ බලාපොරොත්තුවේ එල්ලී ගෙන ය. බොහෝ දුෂ්කරතාවන් හා අභියෝගයන් නො තකා කෙරෙන මේ සෙවිල්ල එක් මූලික ප‍්‍රශ්නයක් මතු කරයි: මගේ ආදරණීයයාට සිදු වූයේ කුමක් ද?

OMP යනු කුමක් ද?

OMP යනු ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කාර්යාලයකි. OMP සාමාජිකයන් මානව අයිතිවාසිකම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය, මානුෂීය ගැටලූ හා කරුණු සෙවීම ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් පිළිබඳ විශේෂඥතාව සහිත ස්වාධීන පුද්ගලයන් විය යුතු ය. එක් එක් සාමාජිකයාට තුන් වසරක ස්ථාවර නිල කාලයක් හා නිල කාල දෙකක සීමාවක් ද පවතී. කාර්යාලයේ මූලස්ථානය කොළඹ පිහිටුවිය යුතු අතර අවශ්‍ය පරිදි ක්ෂේත‍්‍ර කාර්යාල පිහිටුවිය හැකි ය. ගොදුරු වූවන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ තමන්ට සම්බන්ධ වීම සඳහා ප‍්‍රවේශ වීමට පහසුකම් සැලසෙන හෙයින් කාර්යාලය ක්ෂේත‍්‍රයේ තිබිය යුතු බව යි.

OMP සතුව ඇත්තේ ආගිය අතක් නැතිකම හා අතුරුදන් වීම පිළිබඳ සිදුවීම්වලට අදාළව තමන් වෙත ඉදිරිපත් කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම, සෝදිසි කිරීම හා පරීක්ෂණ පැවැත්වීම සඳහා වූ විධිනියෝගයකි. මේ අනුව ආරම්භයේ දී ම ඉස්මතු කළ යුතු තීරණාත්මක හා මූලික කරුණක් වන්නේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වනාහි සත්‍යය සොයා යන ආයතනයක්, ගොදුරු වූවන්ට පිළිතුරු සොයා යාමේ දී සම්බන්ධ විය හැකි ස්ථිර ආයතනයක් බව යි. එහි ස්ථිර භාවය නිසා බොහෝ කොමිසම් මුහුණ දී ඇත්තාක් මෙන් විධිනියෝගය යළි අලූත් කිරීමක් සිදු වේ දැයි බියක් නැත. මේ නිසා OMP හට පුළුල්ව පරීක්ෂණ සිදු කිරීමටත් කාලය පිළිබඳ සීමාවකින් ඉක්මන් නො වී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ. සොයා බැලීමේ ඒකකයක් පිහිටුවීම සඳහා විධිවිධාන නීතියෙන් සම්පාදනය කෙරෙන නමුත් OMP හට ද සිය අභිමතය පරිදි වෙනත් ඒකක හෝ අංශ පිහිටුවා ගත හැකි බව නීතිය තුළ නිශ්චිතව සඳහන් වේ. කාර්යාලයට ඇතැම් ඒවා දශක ගණනාවක් පුරා විහිදෙන මේ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබා ගත හැකි බව ඉන් සහතික වේ.

නීතිය තුළ ආගිය අතක් නැති පුද්ගලයා වර්ගීකරණය කෙරෙන්නේ පුළුල් ආකාරයෙනි: ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටුම තුළ දී හෝ එහි ප‍්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් අය හෝ ”ක‍්‍රියාවේ දී ආගිය අතක් නැති වී” යැයි වර්ග කෙරෙන පුද්ගලයෙකු හෝ දේශපාලනික නොසන්සුන්තාව හෝ සිවිල් කැරලි කෝලාහල නිසා පීඩාවට පත් පුද්ගලයෙකු හෝ බලාත්කාරී අතුරුදන් වීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය තුළ අර්ථ නිරූපණය කර ඇති ආකාරයේ බලාත්කාරී අතුරුදන් වීමේ සිදුවීමක් හෝ වශයෙනි. පුළුල් වර්ගීකරණය නිසා බලාත්කාරී අතුරුදන් වීම් හා ආගිය අතක් නැති පුද්ගලයන් යන කාරණා දෙක ම ඇතුළත් වන බව සහතික නමුත් මෙහි ඍණාත්මක පැත්ත වන්නේ OMP තුළ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසීමට ඉඩ තිබීම පිළිබඳ භීතිය යි. එපමණක් නො ව, බලාත්කාරී අතුරුදන් වීම් හා ආගිය අතක් නැතිකම යන දෙක ම පරීක්ෂා කිරීමට විධිනියෝගය තිබුණත් එය නො තකා සමහර ගොදුරු වූවන් මතු කරන කාරණයක් නම් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ නාමය තුළ බලාත්කාරී අතුරුදන් වීම් පිළිබඳ සඳහනක් නොවීම යි. OMP ආශ‍්‍රිතව කෙරෙන අභිදේශනය තුළ දී මෙය පැහැදිලි කර දී සියලූ ගොදුරු වූවන් පුළුල් විෂය පථය අවබෝධ කර ගන්නා බව සහතික කළ හැකි වෙති යි අපේක්ෂා කළ හැකි ය.

OMP විධිනියෝගය පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය විශේෂිත බලතල ඉතා නිශ්චිත වශයෙන් සම්පාදනය කරන අතර නීතිය තුළ මේ බලතල පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත් වේ. සමහර විවේචකයෝ OMP ට්‍රෝජන් අශ්වයෙකු යැයි ද රණවිරුවන් ලවා වග වීමට දොර විවෘත කරන බව ද ප‍්‍රකාශ කරමින් හිතාමතා කරුණු විකෘත කරති. එම විවේචකයන් හමුවේ මතු කළ යුතුව තිබෙන ප‍්‍රශ්නය නම් OMP විධිනියෝගය තුළ චෝදනා ඉදිරිපත් කිරීම හෝ නඩු විභාග කිරීම පිළිබඳ කිසි ම විශේෂිත සඳහනක් නැති සහ අවසානයේ දී ගොදුරු වූවන්ට පිළිතුරු ලබා දිය හැකි පරීක්ෂණ සඳහා පමණක් විධිවිධාන සම්පාදනය වන තත්ත්වය තුළ එවැනි කර්තව්‍යයක් ඉටු කළ හැකි වන්නේ කෙසේ ද යන්න යි. නොදැනුවත් යැයි සිතිය හැකි අය උදෙසා කිව යුතු වන්නේ සත්‍යය දැන ගැනීමේ අයිතිය ගොදුරු වූවන් සතු මූලික අයිතිවාසිකමක් බවත් පිළිවෙළින් බලයට පත් ශ‍්‍රී ලාංකික ආණ්ඩු විසින් සහාය දෙන ලද්දක් බවත් ය. කෙනෙක් පිළිතුරු සොයා ගැනීම සඳහා අතීතයේ දී කොමිසම් ගණනාවක් පත් කෙරුණු නමුත් එවැනි කොමිසම් හමුවට ගිය බොහෝ දෙනා තව මත් පිළිතුරු සඳහා පොරොත්තු වෙමින් සිටින්නේ ය යන තර්කය සැලකිල්ලට ගනිති.

අනෙක් විවේචකයෝ OMP පරීක්ෂණවල දී සාක්ෂි ආඥා පණත බැහැර කර තිබීම ගැනත් චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාජ සාක්ෂි රැස් කිරීමට ඉඩ තිබීම ගැනත් සඳහන් කරති. එහෙත් ඉහත මතු කළ කරුණ නැගී සිටී: OMP වනාහි චෝදනා ඉදිරිපත් කිරීමේ කිසිදු බලතලයක් නැති, පිළිතුරු සෙවීම සඳහා විධිනියෝගයක් ඇති, කරුණු සොයන ආයතනයක් පමණකි. සාක්ෂි ආඥා පණත අදාළ වන්නේ අපරාධ යුක්තිය සොයන අයට පමණකි. මේ හා සමාන විධිවිධාන මානව හිමිකම් කොමිසම් පණත තුළ ද දැක ගත හැකි ය.

මෑත දී නීතිගත කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණත OMP හට අදාළ නොවන බවට කරුණුමය වශයෙන් සාවද්‍ය ප‍්‍රකාශ කරන සමහර අටුවාකරුවෝ ද සිටිති. මෙය අසත්‍යයකි. රහස්‍ය භාවයෙන් යුතුව තොරතුරු ලබා දෙන අවස්ථාවල දී හැර තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණත OMP හට අදාළ වනු ඇත. කෙනෙකු OMP පණතේ 15(1) වගන්තිය කියවිය යුතු ය. එය මෙම විධිවිධානය සම්පාදනය කරයි:

”OMP සාමාජිකයන්, නිලධාරීන්, සේවකයන් හා උපදේශකයන්, රහස්‍ය භාවයෙන් යුතුව තමන්ට දැනුම් දෙන ලද කරුණු සම්බන්ධයෙන්, රහස්‍ය භාවය ආරක්ෂා කිරීමත් රහස්‍ය භාවය ආරක්ෂා කිරීම සඳහා ආධාර කිරීමත් කළ යුතු ය. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණතේ විධිවිධාන එවැනි තොරතුරු සම්බන්ධයෙන් අදාළ නොවනු ඇත.”

අනතුරුව මෙය 2015 දී පාර්ලිමේන්තුව විසින් බලාත්මක කරන ලද ලද දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සසඳා බැලිය යුතු ය. සංශෝධනය තුළ එන 14A වගන්තිය තොරතුරු දැන ගැනීමේ අයිතිය හඳුන්වා දුන්නේ අදාළ කර ගැනීම සම්බන්ධ විශේෂිත සීමා කිරීම් සහිතව ය. ඉන් මෙසේ ද කියැවේ: ”නීතිය විසින් එවැනි සීමාවන් නියම කෙරෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අවශ්‍යතා පරිදි ය….රහස්‍ය භාවයෙන් යුතුව දැනුම් දෙන ලද තොරතුරු අනාවරණය කිරීම වැළැක්වීම සඳහා ය.” මේ අයුරින් ම, 2016 තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණතේ 5(1)(f),(g),(h)සහ(i) වගන්ති තුළ දී, තුන් වන පාර්ශ්වයක් විසින් රහස්‍ය භාවයෙන් යුතුව රාජ්‍ය අධිකාරියක් වෙත සම්පාදනය කෙරෙන තොරතුරු වෙත ප‍්‍රවේශ වීම පිළිබඳ සීමා කිරීම් ආරක්ෂා කෙරේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14A වගන්තිය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණත මුළුමනින් ම කියවුව හොත් කෙනෙකුට තොරතුරු වෙත ප‍්‍රවේශ වීම සම්බන්ධයෙන් මනා හේතු සහිතව සීමා කිරීම් කිහිපයක් පමණක් පනවා ඇති බව සොයා ගත හැකි වනු ඇත. අන් සියල්ල ම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණතේ විෂය පථයට විවෘත ය. OMP හට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණතින් බාධා නොවන බව මේ අනුව පැහැදිලි ය.

නීතියෙන් නියම කෙරෙන විශේෂිත අවස්ථාවල දී හැර එය තොරතුරු සම්පාදනය කළ යුතු ය. මේ කාරණය සම්බන්ධයෙන් තීන්දු දෙන අටුවාකාරයන් හා විවේචකයන් අදාළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන හා නීතිය සම්පූර්ණයෙන් වටහා ගැනීමට අසමත් වීම හෝ සාවද්‍ය තොරතුරු පැතිරවීමෙන් හානියක් කිරීමට හිතාමතා ප‍්‍රයත්න දැරීම හෝ මේ දෙක ම සිදු වීම ඇත්ත වශයෙන් ම අවාසනාවකි.

නීතිමය සුරැකිතාවන් හැරුණු විට ගොදුරු වූවෙකු සහ/හෝ සාක්ෂිකරුවෙකු විසින් ලබා දෙනු ලබන තොරතුරු සම්බන්ධයෙන් යම් තරමක රහස්‍ය භාවයක් අවශ්‍ය කිරීම පිළිබඳ ප‍්‍රායෝගික ගැටලූව ද පවතී. නිල පරීක්ෂණවලට සහභාගි වීම සම්බන්ධයෙන් ගොදුරු වූවන්ට හා සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, අඩන්තේට්ටම් කිරීම යනාදි වශයෙන් බලපෑම් කෙරුණු අවස්ථා අතීත අත්දැකීම් විසින් ඉස්මතු කර දැක්වේ. පුද්ගලයන්ට ආරක්ෂාව පිළිබඳ තර්ජනවලට හා මුර කිරීම්වලට මුහුණ පෑමට සිදු වූ මෑත ම කොමිසම පරණගම කොමිසම යි. සත්‍යය සෙවීම සඳහා වූ සිය විධිනියෝගයට අවංක වන ඕනෑ ම ස්වාධීන පරීක්ෂණයක් රහස්‍ය භාවයෙන් යුතුව සම්පාදනය කෙරෙන තොරතුරු සුරක්ෂිත බවත් අනන්‍යතාවන් ආරක්ෂා කෙරෙන බවත් සහතික කළ යුතු ය. එවැනි සුරැකිතාවක් නොපැවතුණ හොත් ධඵඡු සම්බන්ධයෙන් විශ්වාසය හට නොගනු ඇති අතර ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම්වලට තුඩු දිය හැකි ය.

                                                                    ඡායාරූපය  -  මෙලනි මානෙල් පෙරේරා
OMP අතීත මුල පිරීම්වලින් වෙනස් වන්නේ කෙසේ ද?

ශ‍්‍රී ලංකාව සතුව රාජ්‍යය විසින් මෙහෙයවෙන පරීක්ෂණ කොමිසම් ගණනාවක් ද ඇතුළු පරීක්ෂණ පිළිබඳ දීර්ඝ ලැයිස්තුවක් ඇත. ඒවායින් කිහිපයක් තනිකර ම බලාත්කාරී අතුරුදන් වීම් සහ/හෝ ආගිය අතක් නැති පුද්ගලයන් සම්බන්ධයෙන් විය. ගොදුරු වූවන් දහස් ගණනක් මේ අනේක මුල පිරීම් ඉදිරියට ගොස් අතීත සිදුවීම් හා අපයෝජනයන් විස්තර කර ඇත. බොහෝ දෙනෙකු පරීක්ෂණයක් පාසා සහභාගි වෙමින්, විවිධ පුද්ගලයන්ට හා ආයතනවලට අත්දැකීම් යළි යළිත් විස්තර කරමින්, මෙය බොහෝ වතාවක් සිදු කර ඇත. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (LLRC) හා පරණගම කොමිසම වැනි මෑත කොමිසම් හමුවට ගොස් අතුරුදන් වූ හෝ ආගිය අතක් නැති තම ආදරණීයයන් ගැන කියා පවුල් සාමාජිකයන් පිළිතුරු ඉල්ලා කන්නලව් කරන සැටි කිහිප වතාවක් ම මම දුටුවෙමි. බොහෝ අවස්ථාවල දී ඔවුන්ගේ ගෞරවය කෙලෙසිණ. බොහෝ දෙනෙකුට තමන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නො ලැබිණ. මෙවැනි අත්දැකීම්වල ප‍්‍රාර්ථනාව, අතෘප්තිය, කෝපය, විඩාව, අපේක්ෂාව, කලකිරීම ඈ බොහෝ සංකීර්ණ හැඟීම් වෙළී පවතී. බොහෝ දෙනෙකු කියා සිටියේ පිළිවෙළින් බලයට පත් ආණ්ඩු විසින් කරන ලද රාජ්‍ය මුල පිරීම් අසාර්ථක වී ඇති බවත් තවත් කොමිසමක් පිහිටුවීමෙන් වෙනසක් ඇති වේ යැයි විශ්වාස නොකරන බවත් ය.

ඉහත සඳහන් සියලූ කරුණුවලින් මතු වන්නේ OMP අතීත මුල පිරීම්වලින් වෙනස් වනු ඇත්තේ මන්ද යන ප‍්‍රශ්නය යි.

– පළමු කරුණ, එය වනාහි සීමිත කාල පරාසයක් සහිත පරීක්ෂණයක් නොව අතුරුදන් වීම් හා ආගිය අතක් නැතිකම පිළිබඳ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය සම්පත් හා විශේෂඥතාව සපයා ගත යුතු ස්ථිර ආයතනයක් බව යි.

– පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂිත බලතල සහිතව පාර්ලිමේන්තු පණතකින් පිහිටුවනු ලබන එය කලින් පත් කරන ලද ව්‍යූහාත්මක දෝෂ සහිත කොමිසම්වලට වඩා දියුණු වූවකි.

– OMP හට කාල සීමාව හෝ භූගෝලීය ප‍්‍රදේශය සම්බන්ධයෙන් සීමාවක් නොමැති අතර අතුරුදන් වීම් හා ආගිය අතක් නැතිකම පිළිබඳ සියලූ සිදුවීම් විමසා බැලිය හැකි ය.

– තොරතුරු ලබා දීමට හෝ පැමිණිල්ලක් කිරීමට ඕනෑ ම කෙනෙකුට OMP හමුවට යා හැකි ය.

– OMP හට අනෙකුන් විසින් පියවර ගැනෙන තෙක් පොරොත්තු නො වී ගොදුරු වූවන් සමග තොරතුරු බෙදාහදා ගත හැකි ය.

– ගොදුරු වූවන්ට වන්දි ගෙවන බව හා ප‍්‍රචණ්ඩත්වය යළි ඇති වීම වැළැක්වීම සඳහා පියවර ගැනෙන බව සහතික කිරීම සඳහා OMP හට අනෙක් රාජ්‍ය ආයතන සමග එක්ව වැඩ කළ හැකි ය.

– OMP සතු රැකවරණය පිළිබඳ බලතලවලට ආරක්ෂාව පිළිබඳ ගැටලූ කෙරෙහි අවධානය යොමු කෙරෙන බවත් OMP සමග සම්බන්ධ වීම නිසා ගොදුරු වූවන් පලි ගැනීම්ලට මුහුණ නොදෙන බවත් සහතික කළ හැකි ය. එමෙන් ම, රහස්‍ය භාවයෙන් යුතුව OMP වෙත සම්පාදනය කෙරෙන තොරතුරු ආරක්ෂා කෙරෙන අතර සාක්ෂිකරුවන් එවැනි තොරතුරු බෙදාහදා ගැනීම නිසා පලි ගැනීම්වලට ලක් වේ යැයි බිය විය යුතු නැත.

බාධා කිරීම පිළිබඳ බියකින් තොරව විශ්වසනීය ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සම්පත්, විශේෂඥතාව හා ස්වාධීනත්වය OMP වෙත සම්පාදනය කෙරෙන බැවින් මේ පියවරයන් සතුටට හේතු වන අතර ගොදුරු වූ පුද්ගලයා කේන්ද්‍ර කර ගත් ප‍්‍රවිෂ්ටයක් මත කටයුතු කරන බව ඒවායින් සහතික වේ. ආණ්ඩුව හා අනෙකුන් OMP යනු කුමක් ද යන්න පිළිබඳ දැනුවත්කම නැංවීමත් ඊට අවශ්‍ය සම්පත් හා විශේෂඥතාව සම්පාදනය කිරීමත් එය පරීක්ෂණ පවත්වා තමන්ට පිළිතුරු සපයන විශ්වසනීය යන්ත‍්‍රණයක් යැයි ගොදුරු වූවන්ට විශ්වාසය තබා ගත හැකි බව සහතික කිරීමත් දැන් තීරණාත්මක ය.
අද දවසේ OMP වැදගත් වන්නේ ඇයි?

පිළිවෙළින් බලයට පත් ආණ්ඩු ශ‍්‍රී ලංකාව පුරා සැලකිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවකට ආගිය අතක් නැති ඔවුන්ගේ ආදරණීයයන් සිටින තැන ගැන පිළිතුරු සැපයීමට ප‍්‍රයත්න දරා අසාර්ථක වී ඇත. වසර ගණනාවක් තිස්සේ ඇති කෙරුණු පරීක්ෂණ, විමර්ශන, කමිටු හා කොමිසම් සියල්ල ම පිළිතුරු සෙවීම පිළිබඳ මේ මූලික කර්තව්‍යය ඉටු කිරීමට අසමත් වී ඇත. එවැනි මුල පිරීම් ගැන විශ්වාසයක් නැතිකම නො තකා දහස් ගණනක් දෙනා සහභාගි වන්නේ ඊළඟ මුල පිරීමෙන් පිළිතුරු සැපයෙනු ඇත යන බලාපොරොත්තුවෙනි. පරීක්ෂණ පවත්වා පිළිතුරු සෙවීමට අවශ්‍ය බලතල සහිත නව ආයතනයක් අත්‍යවශ්‍ය වන්නේ අතීත මුල පිරීම්වල අසාර්ථකත්වයන් හා ව්‍යූහාත්මක දෝෂයන් නිසා ම ය.

ශ‍්‍රී ලාංකිකයන්ට මහාපේක්ෂා සහිත ප‍්‍රතිසංස්කරණ පොරොන්දු වී ඇත. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙන් ම ප‍්‍රතිසන්ධානයට හා සංවර්ධනයට විසඳුම් සොයන ප‍්‍රතිසංස්කරණ ද ඈත පෙනේ. මේ ප‍්‍රතිසංස්කරණ නව ලංකාවක් හෙවත් බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට උද්‍යෝගිමත් කාලයක් පිළිබඳ ප‍්‍රතිඥාව දරා සිටී. එහෙත් ශ‍්‍රී ලංකාව පුරා සැලකිය යුතු සංඛ්‍යාවක් තමන්ගේ ආදරණීයයන්ට සිදු වූයේ කුමක් දැයි නො දනිති. මේ පවුල්වලට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා යටිතල පහසුකම් වනාහි පලක් නැති දේවල් ය. ඔවුන්ට අප බොහෝ දෙනෙකු සැබෑ යැයි සිතන අයිතියක් වන දැන ගැනීමට ඇති මූලික අයිතිය තව මත් මායාවකි.

OMP මේ වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් සම්පාදනය කරයි. පූච්චානම් කතාවලින් ඔබ්බට ගොස් අසාර්ථක ප‍්‍රයත්නයන් දැරූ වසර ගණනාවකට පසුව තව මත් තමන්ගේ ආදරණීයයන් සොයමින් සිටින දහස් ගණනක් දෙනාට අවසානයේ දී පිළිතුරු සැපයිය හැකි යන්ත‍්‍රණයක් ඇති කිරීමට මේ කාලය වන්නේ ය. අවසානයේ දී එය තවත් නම් එපා යැයි කීමට ද අවස්ථාවක් වන්නේ ය.

Bhavani Fonseka භවානි ෆොන්සේකා

(ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ The Office on Missing Persons: A New Chapter or Another Empty Promise? නමින් පළවු ලිපියේ සිංහල අනුවර්තනයයි.)





2016-09-02
Advertisement

Find us on Facebook