English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් !

යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් "විටෙන් විට පුළුවන්" කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා උතුරේ සංචාරයක යෙදෙන විදේශ ඇමති මංගල සමරවීර පවසන්නේ වසර විසි ගණනක් තිස්සේ අවතැන්වෙලා ඉන්න ඒ අසරණ මිනිස්සුන්ගේ ඉඩම් ඉක්මනින් දිය යුතු බවයි. ඉඩම් ආපසු ලබා දෙන්න කියා උතුරේ මිනිසුන් ගෙනෙන ඒ ඉල්ලීම් ඉතාම සාධාරණ බවයි. ඒ අතර රජයේ පුනරුත්ථාපාන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛණවලට අනුව නැවත පදිංචි කිරිමට තවත් ඇත්තේ යුද්ධයෙන් අනාථ වු පවුල් 936 ක් පමණි. එහෙත් අවතැන් වු ජනතාව සමඟ සමීපව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක දත්තවලට අනුව උතුරේ අනාථ කඳවුරු 43 ක, නැවත පදිංචි විමේ අවශ්‍යතාවයෙන් අනාථවු දමිළ පවුල් 9000 (නවදහසක්) ජීවත් වෙති. උප පවුල් කිහිපයකට පමණක් යුධ හමුදාවෙන් නිවාස ලබාදිය හැකි බව ද දන්වා ඇත. එසේ වුවිට ඉතිරි උප/අනු පවුල් යන්නේ කොහේද ? අවතැන්වුවන් යළි අවතැන් වන කථා බොහෝමයකි. 

යුද්ධය පැවැති සමයේ සිට ජාතික ආරක්‍ෂාව සඳහා යැයි පවසමින් ශ‍්‍රි ලංකා යුධ හමුදාව විසින් භාවිතා කළ තමන්ගේ ඉඩම් වලින්,  යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් 05 - 07කට අයත් ඉඩම් අක්කර සිය ගණනක් තවදුරටත් එකී ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් තබාගත යුතු බැවින් තමන් වෙත එම ඉඩම් ආපසු ලබාදිය නොහැකි යැයි පසුගිය සතියේදි යුධ හමුදා නිළධාරීන් විසින් තම කඳවුරුවල නායකයින් / සම්බන්ධීකරණ පුද්ගලයින් කැඳවා දන්වා සිටි බව කඳවුරු වැසියෝ ප‍්‍රකාශ කරති. ඒ සමඟම, යුධ හමුදාව විසින් ආපසු ලබා නොදෙන ඉඩම් සඳහා, විකල්ප ඉඩම් වශයෙන් ලබාදීමට තමන් දන්නා, තමන් කැමති ඉඩම් ඇත්නම් ඒ පිළිබඳ විස්තර ද යුධ හමුදාවට ලබාදෙන ලෙසටත් ඔවුන් දැනුවත් කළ බව ද ඔව්හු පවසති.



එකී ලබා නොදෙන ඉඩම් අතර ජේ/233 කන්කසන්තුරෙයි බස්නාහිර, ජේ/233 කන්කාසන්තුරෙයි මධ්‍යම ප‍්‍රදේශය , ජේ/ 235 කන්කසන්තුරෙයි දකුණ, ජේ/236 පලෙයි වීවන්කාමන් , ජේ/250 තයිලෙට්ටි නැගෙනහිර යනාදි ප‍්‍රදේශවල දැනට පවතින යුධහමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බැවින් එම ප‍්‍රදේශවල ජනතාව සතු ඉඩම් නැවත් ලබාදෙන්නට කිසිඳු හැකියාවක් නොමැති බවට යාපනයේ ආඥාපතිවරයා කඳවුරු වැසියන්ට ප‍්‍රකාශකර ඇත.

එමෙන්ම ගුවන්තොටුපොල පුළුල් කිරිමේ අවශ්‍යතාවය මත පලාලි සහ වසාවිලාන් ප‍්‍රදේශවල ගුවන්තොටුපොලට ආසන්නයේ ඇති ඉඩම් ද නැවත ලබාදීම අත්හිටුවා ඇති බව යාපනය ආඥාපති ජෙනරාල් මහේෂ් සේනානායක තමන්ට කී බැව් ඔවුහු ප‍්‍රකාශකරති. උප පවුල් කිහිපයකට පමණක් යුධ හමුදාව විසින් කීරිමෙලෙයි ප‍්‍රදේශයේ නිවාස කිහිපයක් සාදා දෙන බව ද ආඥාපතිවරයා දන්වා ඇත.

ඉඩම් හිමිව සිටි දමිළ වැසියන්ට එවැනි සහනයක් හෝ ලැබෙන මුත්, දැනටමත් කඳවුරුවල ජීවත්වන සමස්ත උප/අනු පවුල් කෙසේ නැවත පදිංචි වන්නේ ද යන ප‍්‍රශ්නය එසේම පවතියි. එහෙත්  "අපේ ගේ දොර ඉඩකඩම් තිබුණු විධියට අපිට තිබුණානම් අපේ අනු පවුල්වලට මේ වගේ කලක් යන්නෙ නැහැ" යනුවෙන් සොවින් බරව වැඩිහිටි කඳවුරු වැසියෝ ප‍්‍රකාශ කරති.  

එහෙත් පසුගිය සතියේ පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් ප‍්‍රකාශකර සිටියේ මේ වන විට නැවත පදිංචිකරවීම් සඳහා උතුරේ කඳවුරුවල ජීවත්වන්නේ යුධ අනාථයින්, පවුල් 936ක් පමණක් බවයි. එම 936 දෙනා මේ වසර නිම වන්නට පෙර නැවත පදිංචි කරවනු ලබන බවයි.



එමෙන්ම යුධ හමුදාපතිවරයාද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ප‍්‍රකාශකර තිබුණේ ජාතික ආරක්‍ෂාව හේතුකොට ගෙන දමිළ වැසියන්ට අයත් ඇතැම් ඉඩම් යළි නිදහස්කළ නොහැකි බවයි.

අනුන් සතු කුමක් වුව ද, (මෙහිදි ඉඩම් සහ ඒ ඉඩම් තුළ ඇති ජිවනෝපායන්) එය ලබාගැනිමෙන් හෝ පැහැර ගැනීමෙන් පසුව යළි එහි හිමිකරුවාට නැවත ලබා නොදෙන්නේ නම්, බිහිකර ගතයුතු යැයි පවසන සංහිඳියාවෙත් එය බිහිකරලීමට ගනු ලබන කවර හෝ උත්සාහයකත් ඇති සත්‍යය කුමක්ද ? අර්ථය කුමක්ද ?

යුද්ධය නිමවීමෙන් බොහෝ කාලයකට පසුව ආරම්භකළ සාමය හා සංහිඳියාව ගොඩනැංවීම සඳහා කටයුතු දියත්කරමින් සිටන මෙවැනි අවදියක, මෙසේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් දමිළ පුරවැසියන් පරම්පරා ගණනාවක් හෝ කෙටි කාලයක් තුළ සිය උරුමය ලෙසට ජීවත් වු ඔවුන්ට අයත් ඉඩම් ආපසු නොදෙමින්, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය මෙන්ම එම බිම්වල ඔවුන්ගේ රැකියා කිරීමේ අයිතිය එසේ කප්පාදු කරදැමීමට යුධ හමුදාවට අයිතියක් තිබේදැයි, යුධ අනාථයින්ගේ පුනරුත්ථාපනය හා සාමය සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන ජාතික ධිවර සහයෝගීතාවය (නැෆ්සො) ප‍්‍රශ්න කරයි