English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"කෝ අපේ අසල්වැසියෝ ?"

2014 ජුනි මාසයේ දි කලහාකාරි පිරිස් විසින් අළුත්ගම , දර්ගා නගරය , වැලිපැන්න සහ බේරුවල යන ප‍්‍රදේශවල ජීවත්වන මුස්ලිම් ප‍්‍රජාව වෙත එල්ල කළ බිහිසුණු ප‍්‍රහාරයන් අළලා, "කෝ අපේ අසල්වැසියෝ ?" යන මැයෙන්, නීතිය හා සමාජ භාරය (LST) විසින් සම්පාදනය කරන ලද පර්යේෂණාත්මක අධ්‍යන වාර්තාවක් පසුගිය 26 වෙනිදා කොළඹ දී සමාජගත කෙරිණි.

මෙවන් සිදුවීම් නැවත සිදුනොවීමට වගබලා ගැනීමට ස්වයං අධ්‍යනයේ හා ආවර්ජනයෙහි යෙදිය හැකි ජනතාව උනන්දු කරවන්නාවු පොදු කතිකාවක් ඇති කිරිමේ පරමාර්ථයෙන් මෙම පර්යේෂණාත්මක අධ්‍යන වාර්තාව සිංහල, දමිළ හා ඉංග‍්‍රිසි යන භාෂා තුනෙන් ම සමාජගත කරන්නට මෙසේ උත්සාහා කළ බව නීතිය හා සමාජ භාරයේ (LST) විධායක අධ්‍යක්‍ෂිකා මාලා ලියනගේ පවසයි.

උග‍්‍ර ජාතිවාදි ප‍්‍රචණ්ඩත්වය හා හමුදාවෙන් සහයක් නොලැබීම

ජාතිය හා ආගම බේරා ගැනිම නිමිත්ත කරගනිමින්, එහෙත් රාජ්‍ය ආරක්‍ෂක අංශවල පූර්ණ දැනුවත්කම සහ පූර්ණ සහාය ඇතිව, උග‍්‍ර ජාතිවාදි, හිංසාවාදි කණ්ඩායමක් විසින් අළුත්ගම , දර්ගා නගරය , වැලිපැන්න සහ බේරුවල යන ප‍්‍රදේශවල ජීවත්වන මුස්ලිම් ප‍්‍රජාවට එල්ල කළ අතී කෲරවු ම්ලේඡ්ච වූ ප‍්‍රාහාරය පිළිබඳව සජිවී අත්දැකිම් සම්භාරයක් ගොණුකරමින්, ඉතා සවිස්තරාත්මකව "කෝ අපේ අසල්වැසියෝ ?" අධ්‍යන කෘතිය සම්පාදනයකර ඇත.
 
4 වන පරිච්ඡ්දය, පිටු අංක 39 සිට පිටු අංක 85 දක්වා ප‍්‍රචණ්ඩත්වය තුළ පීඩාවට පත්වු පුද්ගලයින්ගේ අත්දැකීම් හා විස්තර සටහන් කර ඇති අතර සමස්ත අධ්‍යන වාර්තාව පරිච්ඡ්ද 07කින් පිටු 132 ක් තුළ සමස්ත ප‍්‍රචණ්ඩත්වයේ පසුබිම, ආරම්භය , ව්‍යාප්තවීම , ප‍්‍රචණ්ඩත්වයෙන් පසු තත්ත්වය, මාධ්‍ය ආවරණ පිළිබඳව, නීතිමය ප‍්‍රතිචාර සහ නිගම ද නිර්දේශ ද වශයෙන් "කෝ අපේ අසල්වැසියෝ ?" ඉදිරිපත් කර ඇත.
 
"කෝ අපේ අසල්වැසියෝ ?" අධ්‍යන වාර්තාව සමාජගත කිරිම, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේදි පැවැති අතර එහි ආරාධිත දේශනය හිිටපු ජනාධිපතිනිය මෙන්ම ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පවත්වනු ලැබිණි.



දේශපාලනඥයින් පිළිබඳව ආචාරධර්ම පද්ධතියක්

"මම හිතනවා ශ‍්‍රි ලංකාවේ දේශපාලන ප‍්‍රජාවේ වෙනස්කම් සිදුවිය යුතුයි කියලා. දේශපාලනඥයින් පිළිබඳව ආචාරධර්ම පද්ධතියක් මම දන්නේ නැහැ, එය කොපමණ දුරට ප‍්‍රමාණවත්ද කියලා. පාකිස්ථානයේ හිටපු පාලකයෙකු වු මුෂාරෆ් නීතියක් ගෙනාවා පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා දීමේදි අඩුම වශයෙන් උපාධිධාරීන් සියයට පනහක්වත් (50%) සිටිය යුතුයි කියලා. ශී‍්‍ර ලංකාව දියුණු අධ්‍යාපනයක් තිබෙන රටක්. නමුත් පාර්ලිමේන්තුවට තබා ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් වෙන්නවත් සාමාන්‍ය පෙළ සමත්ද කියාවත් බලන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරය සාමාන්‍ය පෙළ අසමත්. ඊටත් වැඩියෙන් සංඛ්‍යාවක් උසස් පෙළත් අසමත්. "



ජනතාව සිතන පතන විධිය වෙනස් කළ යුතුයි

"මේ රටේ වාර්ගික අර්බුදයට විසඳුම් දීමට ව්‍යවස්ථාවක් පමණක් ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. අපේ ජනතාව සිතන පතන විධිය වෙනස් කළ යුතුයි. මේ රටේ පළමු වතාවට සෑම ජනවර්ගයකට ම සමාන අයිතිවාසිකම් හා ආරක්‍ෂාවක් තිබිය යුුතුයි කියලා වර්තමානයේදි ප‍්‍රසිද්ධියේ පිළිඅරගෙන තිබෙනවා. එක් පැත්තකින් නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ වගේම මේ රටේ සුළු ජන වර්ග ඇතුළු සාමාන්‍ය ජනතාවට මෙතෙක් නොලැබුණු අයිතිවාසිකම් වෙතොත් ඒවා ලැබිය යුතුයි."
 

"රජය ජනතාවට බලකරනවානම් මේ සඳහා යොමුවෙන්න, අන් අයට ගරුකරන්න පුරුදුවෙන්න, මම හිතනවා ඒක මෙතෙක් ශ‍්‍රි ලංකාවේ පැවැති ආගමීක හා වාර්ගික ගැටළුවලට කල්පවත්නා විසඳුමක් වේවි." යනුවෙන් චන්ද්‍රිකා බණ්්ඩාරනායක ප‍්‍රකාශ කළේය.



කොළඹ විශ්වවිද්‍යාලයේ  මානව විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ෆර්සානා හනීෆා , විවෘත විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය , යාපනය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහකාර කථිකාචාර්ය විශාඛා විජේනායක සහ නීතිඥ මෙන්ම වෙරිටේ පර්යේෂණ ආයාතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ගිහාන් ගුණතිලක ය නඅය "කෝ අපේ අසල්වැසියෝ ?" සම්පාදක කණ්ඩායම ලෙසට කටයුතු කර ඇත.

සටහන සහ ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා




2016-08-28
Advertisement

Find us on Facebook