English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතික සමගිය සහ ආර්ථික සංවර්ධනය එකට ගොඩ නැගිය යුතුයි- ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමුමැයෙන් නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන ලද පුරවැසි සභාව අගෝස්තු මස 20 වැනිදා වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අධිනීතිඥ ලාල් විජේනායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, සුමීකා පෙරේරා, සරත් රත්නායක සහ ඥානවීර දිසානායක යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර මේ සඳහා වීදියේ වීරෝධයේ කැඳවුම්කරු පිලිප් දිසානායක ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීහුද සහභාගි වූහ. මෙහි පළ වන්නේ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් එහිදී පළ කළ අදහස්හි සංස්කරණයකි.


ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ

අපිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුණේ ඇයි? ඒ ප්‍රශ්නෙට උත්තරය 2015 ජනවාරි අට වෙනිදා ජනතාව ලබා දුන්නා. එදා මේ රටේ දේශපාලනඥයන්ට වඩා ඉදිරිගාමීව ජනතාව සිතීමේ ප්‍රතිඵලයක් ලෙස මේ රටේ වසර ගණනාවක් තිබුණ දුර්දාන්ත පාලනය වෙනස් කරලා නව පාලනයක් ඇති කරන්න හැකි වුණා. දේශපාලනඥයාට වඩා ජනතාව ඉදිරියෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි එදා ඒ ජයග්‍රහණය අපි ලැබුවේ. ජනවාරි අට වෙනිදා ජයග්‍රහණයෙන් පස්සෙ අතිගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ සුළුතර ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒ දින සියයේ ආණ්ඩුව යටතේ මේ ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන්හි පළමුවෙනි පියවර ගන්න අපිට හැකි වුණා. දහඅට වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් මේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී දිසාවකට ගෙනගොස් තියෙන අවස්ථාවක දහනව වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ දහඅට වෙනි සංශෝධනය නිශේධ කරන්න අපිට හැකි වුණා. එමඟින් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩිතාලම දින සියය ඇතුළේ දැමුවා.

එයින් පසුව 2015 අගෝස්තු 17 වෙනිදා මහ මැතිවරණයෙන් පසුව පත්වුණ රජය ඉතාමත්ම තීරණාත්මක තීන්දු කිහිපයක්ම ගත්තා. එකක් තමයි නිදහස් දිනය දවසේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමට ගත් එඩිතර තීන්දුව. ඒ අවස්ථාවේදී මේ රටේ ජාතිවාදීන් ඊට එරෙහිව විශාල ඝෝෂාවක් නැඟුවා. නමුත් නායකත්වය මෙය කළ යුතුයි කියල ඉතාම දැඩි තීන්දුවක හිටියා. අපේ රටේ දෙකෝටි නම ලක්ෂයක් වන ජනතාවගෙන් තිස් දෙලක්ෂයක් ඉන්නේ දෙමළ ජනතාව; විසිලක්ෂයක් මුස්ලිම් ජනතාව ඉන්නවා. ලක්ෂ එකසිය පනස් හතක් සිංහල ජනතාව ඉන්නවා. ජාතික ගීය සිංහලෙන් කිවුවට මේ තිස් දෙලක්ෂයක් වන දෙමළ ජනතාවත්, විසි ලක්ෂයක් වන මුස්ලිම් ජනතාවගෙනුත් බහුතරයකට මෙහි වචන තේරෙන්නේ නැහැ. ඒ නිසා අඩුම වශයෙන් තමන්ගේ ජාතික ගීය තමන්ට තේරෙන භාෂාවකින් ගායනා කිරීමේ අවස්ථාව ඔවුන්ට තිබිය යුතුයි. ඒ දිනවල අපි දුටුවා සිංහල බසින් ජාතික ගීය කියද්දී දමිළ තරුණයන්, මුස්ලිම් තරුණයන් ඒක ගණන් නොගෙන හිටියා. ඇයි එහෙම වුණේ, ඒකේ වචන තේරෙන්නේ නැති නිසා. නමුත් පසුගිය නිදහස් දිනයේ ඒ එඩිතර තීන්දුව ගනිමින් අපේ තනුවටම දෙමළ වචන යොදමින් එක මවකගේ දරු කැළ ලෙසිනා යමු යමු වී නොපමාකියලා දමිළ බසින් කියද්දී දමිළ තරුණයන් මුස්ලිම් තරුණයන් සීරුවෙන් සිටිනවා අපි දැක්කා. ඒ මොකද ඔවුන්ට පළමු වතාවට මේ කියන්නේ මොකක්ද කියල තේරෙන්න ගත්ත නිසා.

ඒ වගේම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත, තොරතුරු දැනගැනීමේ පනත අපි දැඩි අවශ්‍යතාවයන් සේ සලකලා පාර්ලිමේන්තුවට ගෙනාවා. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීම වගේ පනතක් සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය නැති රජයන් විසින් ගේන්නේ නැහැ. පසුගිය රජය කාලෙ ජනාධිපතිතුමාගෙන් අහද්දී කිවුවේ තොරතුරු අහන්න, අපි දෙන්නම්. පනත් ගේන්න ඕන නැහැකියලයි.


2004දී මේ රට සුනාමි ව්‍යසනයට මුහුණ දුන් අවස්ථාවේ පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවට ලක් වෙලා විශාල පිරිසක් මිය ගියා. ඒ සමඟ ලෝක නායකයින් බොහෝ පිරිසක් අපේ රටට ආවා. ඔවුන් අපේ රටට ණය නෙවෙයි ආධාර දෙන්න පොරොන්දු වුණා. එහෙම පොරොන්දු වුණ ආධාර ප්‍රමාණය කෝටි විසිහතරදාස් දෙසියයි. 2005දී අපට දෙන්න පොරොන්දු වුණ ආධාර ප්‍රමාණයෙන් අපේ රටට ලැබුණේ කෝටි දොළොස්දාස් එකසිය හතළිහක ප්‍රමාණයක්. නමුත් කණගාටුදායක දේ එවකට පැවති රජය මේ මුළු ආධාර වලින් වියදම් කළේ කෝටි හයදාස් අටසියයයි. ඉතිරි කෝටි හයදාස් ගාණටම වුණ දෙයක් නැහැ. මේ පිළිබඳව ජනතාව ඇහුවා
, ප්‍රශ්න කළා. එවිට කිවුවේ අපිට පුළුවන් ඒවා කියනවා, අනිත් ඒවා හොයාගන්නකියලයි. ඒ වෙලාවේ ජනතාව අධිකරණ ක්‍රියාමාර්ගවලට ගියා. අධිකරණය දීපු තීන්දුව ජනතාව දන්නවා.

ඉතින් ඒ ඉතිරි කෝටි පන්දාස් අටසියයට වෙච්ච දේ දැනගන්න අපිට අවශ්‍ය නැද්ද? එය අවශ්‍යයි. එයටයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ. අපි ඒ සඳහා මාර්ගය පාදන තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පනත තුළින් ජනතාවට පහුගිය රජයේ වගේම වර්තමාන රජය යම් කිසි දෙයක් කරනවා නම් ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතියත් ලබා දීලා තියෙනවා.

දැන් අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිළිබඳ පනත විශාල බිල්ලෙක් විදිහට මවනවා. දමිළ ජනතාවට, මුස්ලිම් ජනතාවට හෝ සිංහල ජනතාවට නැවත මේ රටේ යුද්ධයක් අවශ්‍ය නැහැ. මේ අතුරුදන්වූවන්ගේ පනත මඟින් අපිට අද ඊයේ පමණක් නෙවෙයි 197080 ගණන්වල සිදුවූ අතුරුදන් වීමේ සිදුවීම් සම්බන්ධයෙනුත් සියල්ලම හොයන්න පුළුවන්. මේ තුළින් රණවිරුවන්ට විතරක් නෙවෙයි අනිකුත් සෑම ජනතාවකටම තමන්ගේ අතුරුදන් වූ අය සම්බන්ධයෙන් සෙවීමට අවශ්‍ය යටිතල පහසුකම් මේ පනත තුළින් සපයලා තියෙනවා. මේ රටේ නැවත යුද්ධයක් අවශ්‍යයි, මළ මිනී උඩින් නැවත බලයට එන්න ඕන කියලා හිතපු නායකයන් දැනටත් ඒ හොල්මන් ඇති කරලා ජනතාව තුළ භීතියක් ඇති කරලයි තියෙන්නේ. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවතට කතා කරන මුවාවෙන් නැවත රණවිරුවන් පිළිබඳව සහ ජාතිවාදය අවුස්සන්න පටන් අරන් තියෙන්නේ. මම හිතනවා මෙතන ඉන්න සියලු දෙනා හෝ බහුතරය ඒ කාලේ ඒ අත්දැකීම් ලබපු සහ ඒවා වෙනස් කරන්න කටයුතු කරපු අය කියලා. ඒ නිසා අපි රජයක් වශයෙන් මෙවැනි ප්‍රගතිශීලී පියවරයන් ඉදිරියට අරන් යමින් මේ වසර පහ තුළ විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා මාස හැටකින් අලුත් රටක් හදනවා කියල. මාස හැටකින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය කියලා අපි ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. එක්සත් ජාතික පක්ෂය කිවුවම හුඟක් අය හිතනවා ධනවාදී පක්ෂයක් කියලා. මේ රට ඉදිරියට අරන් යන්න නම් රටේ ආර්ථීකය දියුණු කරන්න ඕන. ආර්ථීකය දියුණු කරන්න නම් මෙහෙට ආයෝජකයෝ එන්න ඕන. මේ රටේ බඳු ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. නැත්නම් අපිට කවදාවත් මේ රටේ ආර්ථීකය දියුණු කරන්න බැහැ.

2015දී අපේ රටේ ආදායම රුපියල් කෝටි එක්ලක්ෂ හතළිස් පන්දාස් පන්සීයයි. වියදම කෝටි තුන් ලක්ෂ පනස්දාහයි. කෝටි එක්ලක්ෂ හතළිස් පන්දාහක ආදායමක් තියෙද්දී කෝටි තුන්ලක්ෂ පනස්දාහක් අපි වියදම් කරනවා. එහෙනම් අපේ රටේ ආදායම වැඩි කරන්න ඕන. අපේ රට නිදහස ලබලා අවුරුදු හැට අටක් වෙනවා. මේ අවුරුදු හැට අට තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයවල් අවුරුදු තිස්හතරකුත්, එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ රජයවල් අවුරුදු තිස්හතරකුත් මේ රට පාලනය කරල තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ රජයවල් ඔක්කෝම එකතු වෙලා මම ඇතුළු මේ රටේ  සෑම පුද්ගලයෙක්ම රුපියල් ලක්ෂ පහක ණයකාරයෙක් කරල තියෙන එකයි. 1955 පළමුවෙනි ණය වාරිකය මේ රටට ගත්තට පස්සේ 2005 වෙද්දී අවුරුදු පනහක් තිස්සේ මේ රටේ සමස්ත ණය ප්‍රමාණය තිබුණේ කෝටි දෙලක්ෂ විසි දෙදාහයි. ආදායමට වඩා වියදම අඩු වෙලා තිබුණේ අපේ රටේ අවුරුදු දෙකක් පමණයි. අනිත් සෑම අවස්ථාවකම ආදායමට වඩා වියදම වැඩියි.

2005 වසරේ සමස්ත ණය ප්‍රමාණය කෝටි දෙලක්ෂ විසි දෙදාහක් වෙද්දී රට ගෙවිය යුතු ණය වාරිකය කෝටි විසිහතරදාහක් වුණා; පොළිය කෝටි එකොළොස්දාහක් වුණා. පහුගිය රජය අවුරුදු නවයක් මේ රට පාලනය කරලා අපිට ලොකු දෑවැද්දක් දීලා ගියා. මොකක්ද ඒ දෑවැද්ද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රට පාලනය කරලා යද්දී අවුරුදු පනහක් තිස්සේ තිබුණ කෝටි දෙලක්ෂ විසි දෙදහක ණය ප්‍රමාණය කෝටි නව ලක්ෂයක් බවට පත් කරලා ගියා. අපිට සොයා ගැනීමට නොහැකිව තිබෙන ණය ප්‍රමාණයත් එක්ක දැන් ඒක කෝටි දසලක්ෂයක් බවට පත්වෙලා. 2005දී සමස්ත ණය ප්‍රමාණය සමස්ත ජනතාවගෙන් බෙදුවම එක් පුද්ගලයෙක් අවුරුදු පනහක් තිස්සේ ණය වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂයයි. නමුත් අපිට රට භාර දෙන විට එක් පුද්ගලයෙක්ගේ ණය ප්‍රමාණය ලක්ෂ පහයි. අද වෙද්දී අපේ ණය වාරිකය ලෙස කෝටි හැටහතරදාහක් ගෙවන්න ඕන. 2005දී එය කෝටි විසිහතර දාහයි. දැන් පොළිය කෝටි පනස්එක් දාහක් ගෙවන්න ඕන. 2005දී එය කෝටි එකොළොස් දාහයි. ණය වාරික පොළිය කෝටි එක්ලක්ෂ පහළොස් දාහයි. අපේ රටේ රජයේ සේවකයින් දහතුන් ලක්ෂ දහසය දාහක් ඉන්නවා. මේ අයට පඩි ගෙවන්න අවුරුද්දකට කෝටි හැත්තෑදාහක් යනවා. විශ්‍රාමිකයන් පන්ලක්ෂ හැටහතර දාහක් ඉන්නවා. මේ අයට පඩි ගෙවන්න කෝටි පහළොස් දාහක් යනවා. සමෘද්ධි සහනාධාරය, පොහොර සහනාධාරය දෙන්න කෝටි දහසය දාහක් යනවා. මේ සියල්ලම එකතු කළාම කෝටි එක් ලක්ෂ එක්දාහයි. පඩි ගෙවන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න, සහනාධාර ගෙවන්න කෝටි එක්ලක්ෂ එක් දාහක් යද්දී ණය වාරික පොළී ගෙවන්න කෝටි එක්ලක්ෂ පහළොස් දාහක් යද්දී මේ දෙක එකතු වුණාම කෝටි දෙලක්ෂ දහසය දාහයි. අපේ රටේ ආදායම කෝටි එක් ලක්ෂ හතළිස් පන්දාහයි. ඉතින් මේ රට ඉදිරියට යන්නේ කොහොමද?

ඒ සඳහා තමයි අපි පංචවිධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ. අපි කියල තියෙනවා මේ ලැබූ නිදහස ආරක්ෂා කරනවා කියලා. ඒ නිදහස ආරක්ෂා කරගනිමින් ජාතිවාදීන්ට මේ රටේ බලයට එන්න අපි කිසිසේත් යළි අවස්ථාවක් දෙන්නේ නැහැ. ජනාධිපතිතුමා මාතර දී කළ කතාවේදීත් අපි ඒක දැක්කා. අපි කවදාවත් මේ පොළොවේ යළි ජාතිවාදය වපුරන්න ඉඩක් දෙන්නේ නැහැ. දූෂිතයන්ට දඬුවම් දීම අපේ පංචවිධ ප්‍රතිපත්තියේ තුන්වෙනි කාරණය. හතරවෙනි කරුණ වෙන්නේ යටිතල පහසුකම් දියුණු කිරීම. අපේ රටේ දෙකෝටි නව ලක්ෂයක් වන ජනතාව, පවුල් පනස් එක් ලක්ෂ හැටපන්දාහක් තුළ ජීවත් වෙනවා. මේ පවුල් පනස් එක් ලක්ෂ හැටපන්දාහ වර්ග කිලෝමීටර් හැටපන්දාහක් තුළ ගම්මාන තිස්නව දාහක, ග්‍රාමසේවා වසම් දාහතරදාස් විස්සක් තුළ ජීවත් වෙනවා. මෙන්න මේ පිරිසේ යටිතල පහසුකම් දියුණු කිරීමට මෙවර අය වැයෙන් කෝටි හැට හතර දාහක් වෙන් කරලා තියෙනවා. අපි සෑම ග්‍රාමසේවා වසමකටම ලක්ෂ දහය බැගින් දීලා තියෙනවා. සෑම ගමකටම මේ සංවර්ධන කටයුත්ත ගිහිල්ලා තියෙනවා. අපේ අවසන් කටයුත්ත තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඒ යටතේ රජය තීන්දුවක් අරන් තියෙනවා වසර දහතුනක් යනකම් අනිවාර්යෙන්ම දරුවන් පාසල් යැවිය යුතුයි කියලා. දැනට අපොස උසස් පෙළට දෙලක්ෂ හැත්තෑ පන්දාහක් උත්තර ලියද්දී විශ්වවිද්‍යාලවලට යන්නේ විසිපන්දාහයි. එහෙනම් අපි එතනින් හැලෙන දෙලක්ෂ විසිපන්දාහට කුමක්ද කළ යුත්තේ? අපි ඒ ගැනත් සාකච්ඡා කරන්න ඕන. මෙවැනි කටයුතු ගොඩක් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒත් සමහර අය මේ ආණ්ඩුව වසරින් දෙකෙන් ඉවත් කරන්න බලන් ඉන්නවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ.

                      උපුටා ගැනිම සමබිම රාවය ඉරිදා සංග්‍රහය 2016.08.25 දින

       උපුටා ගැනීම - http://www.right2lifelanka.org/new/newsview.php?id=1951

-  මෙලනි



2016-08-27
Advertisement

Find us on Facebook