English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ළමයින්ට උගැන්විය යුත්තේ සිතන්නේ කුමක්ද කියා නොව සිතන්නේ කෙසේද කියා ය(අවසන් කොටස)

අපේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිව්‍යුහගත නොකළහොත් තරුණ අසහනය අපේ සමාජයේ සදාතන ලක්ෂණයක් වනු ඇතැයි ඉහත කී වාර්තාව පෙන්වා දෙයි. ‘උගත් තරුණයන්ගේ ප‍්‍රශ්නවලට අධ්‍යාපන ක‍්‍රමය හරහා නිර්මාණාත්මක ප‍්‍රතිචාර දැක්වීම වළකාලන ලද්දේ, එක්තරා දුරකට අසංවිධිත ආකාරයකින් උඩින්පලලෙන් ඒවාට ප‍්‍රතිචාර දැක්වීමත්, නිලධාරී තන්ත‍්‍රයේ නිද්‍රාශීලී භාවයත් නිසා’ බව එම වාර්තාව කියා සිටී.

රට ඉදිරියට ගෙන යාමේ ක‍්‍රියාවලිය තුළ තරුණයන්ව ඵලදායී ආකාරයකින් සූදානම් කිරීම සඳහා වන අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ සමුදායක් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර දියත් කෙළේය. ඒවා හුදෙක්, උගෙනීම සහ දැනුම ලබා ගැනීමට පමණක් සීමා නොවීය. එය හැම විටකම, දේශමාමකත්වය ඇතුළුව, ශිෂ්‍යයන්ගේ විනය ප‍්‍රවර්ධනය, සුපිළිපන් භාවය සහ අවංක භාවය ප‍්‍රගුණ කිරීම සමග සංයෝග කෙරිණ.

කෙසේ වෙතත්, මේ වන විට කන්නන්ගර ප‍්‍රතිපත්ති අපි මුළුමණින් විනාශ කොට ඇත්තෙමු. කන්නන්ගර මෙන් සිතන දේශපාලන නියෝජිතයන් දැන් අපට නැත. පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අනුපාතිකය පහළ යාම ගැන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන ‘යුනිසෙෆ්’ ආයතනය කණස්සල්ල පළ කොට තිබේ. ‘යුනිසෙෆ්’ ආයතනයේ ඇස්තමේන්තු අනුව, ගැහැනු ළමුන්ට වඩා පිරිමි ළමුන් ස්වකීය අධ්‍යාපනය නතර කරන බව ඔබ දන්නේද? ළමයින් අතරමග පාසල් හැර යන්නේ, දුප්පත් සිසුන්ගෙන් ආධාර වශයෙන් අපේක්ෂා කරන අනේකවිධ ‘සැඟවුණු’ වියදම් දැරීමට ඔවුන් අසමත් වන නිසා විය නොහැකිද? ‘කන්නන්ගරගේ අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ ඒ කාලයට අතිශයින් පෑහුණු බවත්, ජන ජීවිත සහ රටේ ආර්ථිකය කෙරෙහි විශාල බලපෑමක් ඒ මගින් ඇති කරන ලද බවත්,’ ආර්ථික විද්‍යා මහාචාර්ය ඒ.ඞී.වී ද ඇස්. ඉන්ද්‍රරත්න කියයි. ඔහු තවදුරටත් මෙසේද කියයි: ‘‘සී.ඩබ්.ඩබ්. කන්නන්ගර රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන් ඉවත් වන කාලය වන විට, ප‍්‍රමාණවත් පරිද්දෙන් විද්‍යාත්මක සහ තාක්ෂණික වෘත්තිකයන් පිරිසක් බිහි කර ගැනීමට නොහැකි වී තිබුණත්, රාජ්‍ය සේවය තුළ එතෙක් සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගේ අනුප‍්‍රාප්තිකයන් වශයෙන් යෝග්‍ය දේශීය වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට හැකිව තිබුණි. කන්නන්ගරගේ අධ්‍යාපන ක‍්‍රමය තුළ විශේෂ දක්ෂතා සහිත ශිෂ්‍යයන් නොදියුණු ග‍්‍රාමීය ජනතාව අතරින් සොයා ගැනීමට මං පෑදුණි. එය හරියට, වැලි යට සැඟව තිබූ වටිනා මැණික් සොයා ගැනීමක් බඳු විය.’’

1944 මැයි 30 වැනි දා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළ කළ ප‍්‍රකාශයක් මෙහිදී සටහනු කරනු වටී:

‘‘ඩොනමෝර් කොමිසම මගින් දෙන ලද සර්වජන ඡුන්ද බලයේ ප‍්‍රතිලාභ භුක්ති විඳිය නොහැකි යම් පිරිසක් සිටීමේ අභාග්‍යමත් දර්ශනය අප ඉදිරියේ තිබේ. අපට නුහුරු උපක‍්‍රම භාවිත කිරීමට අපට සිදුව තිබේ. දැන් ඒ දුෂ්කරතා සියල්ල ජය ගැනීමේ ඉලක්කය පෙරදැරිව, පවතින ක‍්‍රමය සංවර්ධනාත්මකව ඉදිරියට ගෙන යා හැක්කේ, අපේ ජනතාව තුළ සාක්ෂරතාව ඇති කිරීමෙන්ම පමණි. ඒ සඳහා, හැකි විගසින් නූගත් කම පලවා හැරිය යුතුව තිබේ. ඒ සඳහා ඉහළින්ම ආයෝජනය කළ යුත්තෙමු. අවශ්‍ය කරන පාසල් ගොඩනැගීම සඳහා විශාල මුදලක් වෙන් කළ යුත්තෙමු. අධ්‍යාපනය සඳහා යොදවන සෑම සතයකින් ලැබෙන ප‍්‍රතිලාභ අතිමහත් ය. මුලින් වැය කරන මුදලින් සිදුවන අවාසිය, අනාගත ප‍්‍රතිලාභ මගින් ලබා දෙන වාසිය මගින් මැකී යයි.’’

කන්නන්ගර එදා තවදුරටත් මෙසේද කීය: ‘‘ඇතැම්හු මීට විරුද්ධ වෙති. සමහරු ඊට විරුද්ධ වන්නේ, තමන් මෙන් අනිත් අයත් අධ්‍යාපනය ලදහොත් රටට අවශ්‍ය කරන වැඩකාරයන් නැති වී යා හැකිය යන තර්කය මත ය. එදා අධ්‍යාපන ඇමතිවරයා වූ කන්නන්ගර, සෑම ප‍්‍රජාවකම වෙසෙන සෑම පුරවැසියෙකුටම සමාන නිදහස් අධ්‍යාපන අවස්ථා සැපයීමෙන් රට ඉදිරියට ගෙන යාම සඳහා මිනිසුන් සිතන ආකාරයේ වෙනසක් සිදුවිය යුතුව ඇති බව තදින් විශ්වාස කෙළේය.

ආචාර්ය කන්නන්ගර විසින් රට පුරා පිහිටුවන ලද මධ්‍ය මහා විද්‍යාල හරහා අධ්‍යාපනය සම සේ බෙදී යාමක් සිදු කෙරුණි. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ද්විතීයික සහ තෘතීයික අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදි. කන්නන්ගර විසින් කරන ලද සම්ප‍්‍රදානයන් නොවන්නට, ශ‍්‍රී ලංකාවේ අද පවතින ඉහළ සාක්ෂරතාව ගැන පාරම්බෑමට අපට හැකි නොවනු ඇත. එදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ අනුමැතිය ඇතිව කන්නන්ගර විසින් ආරම්භ කළ නව ව්‍යාපෘති වන්නේ, ගුරුවරුන් පුහුණු කිරීම, ප‍්‍රාථමික සහ පශ්චාත්-ප‍්‍රාථමික පාසල් වර්ගීකරණය, ප‍්‍රාථමික පාසල්වල ඉගැන්වීමේ මාධ්‍ය සැකසීම, වයස 5-16 අතර වයස් කාණ්ඩයේ සෑම ළමයෙකුම පාසල් යා යුතු බවට නීති පැනවීම ආදිය අයත් වෙයි. අමතක නොකළ යුතු කාරණය වන්නේ, මෙවැනි දේවල් ඔහු කෙළේ ‘යුනිසෙෆ්’ ආයතනය මගින් එවැනි යෝජනා ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර බවයි.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටෙම්) ඇතුළු විවිධ විෂයයන් අළලා අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ උද්ඝෝෂණ කරති. එබැවින් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් පිළිබඳ වඩාත් විවෘත සහ විනිවිද පෙනෙන සුළු ප‍්‍රතිපත්තියක් රජය විසින් නොපමාව ඉදිරිපත් කළ යුතු නොවේද? තමන්ගේ දරුවන් වෙනුවෙන් පෞද්ගලික සහ පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා වියදම් දැරීමට සූදානම් දෙමාපියන් බොහොමයක් සිටින හෙයින් පෞද්ගලික උපාධි ආයතන යම් නියාමන ආයතනයක් ඔස්සේ විධිමත් කිරීමක් ගැනත් සිතා බැලිය යුතු නැත්ද? එසේ කිරීමෙන් අපේ වටිනා විදේශ විනිමය පිටරටට ඇදී යාම වැළැක්විය හැකි වනවා සේම දැවෙන ප‍්‍රශ්න ගණනාවක්ම විසඳා ගැනීමටද අපට හැකි වන්නේය.

1990 දී ප‍්‍රකාශයට පත් ‘‘සියල්ලන් සඳහා අධ්‍යාපනය පිළිබඳ ජගත් ප‍්‍රකාශනයට’’ අපිද අත්සන් තබා ඇත්තෙමු. වර්තමාන සන්දර්භය තුළ, වේගවත් තාක්ෂණික වර්ධනයන්, වැඩිමනත් අධ්‍යාපනික අනුග‍්‍රහයන් සහ සංවර්ධනයන් ඉතා වැදගත් වන්නේය. මන්ද යත්, ඉහළ පෙළේ පර්යේෂකයන්, කාර්යක්ෂම කළමණාකරුවන්, ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන් සහ ගණකාධිකාරීන් වැනි කොටස්, රටේ අභිවෘද්ධිය සඳහා වැඩි වැඩියෙන් අවශ්‍ය කරන බැවිනි. ඔවුන්ගෙන් තොර රටක් අනාගතයේදීත් අසාර්ථක විය හැකිය.

   ලැසිල් ද සිල්වා              

 (2016 අගෝස්තු 8 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Children Must Be Taught How to Think, not What to Think නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (අවසාන කොටස) ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


-  මෙලනි





2016-08-26
Advertisement

Find us on Facebook