English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යාපනය විශ්වවිද්‍යාල සිද්ධියේ තිරය පිටුපස කතාව – සාමිනාදන් විමල්

යාපනය විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය ගැටුම හුදෙක්ම ශිෂ්‍ය ගැටුමක්මද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමු වෙමින් පවතියි. මෙම ප්‍රශ්නයෙහි කවුරුන්ද හරි? කවුරුන් ද වැරදි? යන්න පිළිබඳව මේ වන විටත් විවිධ ගණයෙහි පරීක්ෂණ, පැමිණිලි විභාග කිරීම් සහ අනාවැකි පළ කිරීම් සිදුවෙමින් තිබෙයි.

නමුත් මෙහිදී මම අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව දකුණෙන් මතුවූ ප්‍රතිචාර පිළිබඳවයි. මට දැනෙන අන්දමට මෙම ප්‍රතිචාර ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම්ය. එයින් පළමුවැන්න ‘අඬන්න හිටිය මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා සේ’ වූ ප්‍රතිචාරයන්ය. සිංහල ජාතිවාදී කොටස් වෙතින් මතුවෙන මෙම ප්‍රතිචාරවලින් ප්‍රධාන වශයෙන් කියැවෙන්නේ නැවතත් මතුවෙන කොටි අනතුරක සේයාවන් පිළිබඳ විස්තර ප්‍රචාරයන්ය. මේවා ඉතාමත් සුපුරුදු ගණයෙහි ප්‍රතිචාර වන අතර මේ පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට මම උනන්දුවක් නොදක්වමි. මක් නිසාදයත් මෙය අලුත් ප්‍රවණතාවක් නොවන බැවිනි.

මෙහිදී අවධානය යොමුකළ යුතුවන්නේ මෙම සිද්ධිය පිළිබඳව දකුණෙහි සිංහල ජාතිවාදයට එරෙහිව අරගල කරන පිරිස්වලින් මතුවූ අදහස්වල සාරාංශය වෙතටයි. එහිදී දක්නට ලැබුණු එක් ප්‍රධාන ලක්ෂණයක් වූවේ මෙම සිද්ධිය ආශ්‍රිතව එම පිරිස් තුළ ඇති කරනු ලැබ තිබූ අදහාගත නොහැකි ස්වභාවයයි. මෙම පහරදීම යනු දෙමළ ජාතිවාදයෙහි ඉතා පැහැදිලි ප්‍රකට කිරීමක්ය යන්න කිසිවෙකුටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි දෙයකි. නමුත් එය එලෙසින්ම පිළිගැනීම හෝ එයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව යම්කිසි චකිතයක් මෙම පිරිස් තුළින් ගම්‍යමාන විය. එයට ප්‍රධාන හේතුවක් වූවේ එය තමන් සටන් කරමින් සිටින සිංහල ජාතිවාදයත් එහි බලමුළු සවිගැන්වීමට හේතු වේය යන ආකල්පයයි. එනම් දෙමළ ජාතිවාදය යැයි දෙයක් තිබෙන බව පිළිගැනීමත්, තමන් සිංහල සමාජයෙහි සිංහල ජාතිවාදයට එරෙහිව කටයුතු කිරීමේදී බාධාවක් වෙයි යන බයත්, එය තමන් කළ අරගලය අවතක්සේරු කිරීමකට හේතුවේය යන අදහසත්ය. නමුත් වැදගත් වන්නේ ඇත්ත තත්ත්වය වන සිංහල ජාතිවාදය, ඉස්ලාම් ජාතිවාදය මෙන්ම දෙමළ ජාතිවාදය යන්නද සමාජය තුළ පවතින ප්‍රපංචයන්ය යන්න තේරුම් ගැනීමත්, එම තේරුම් ගැනීම ආශ්‍රයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමත්ය.

අනෙක් වැදගත් ලක්ෂණයක් වූවේ මෙම සිද්ධියත් සමඟ ප්‍රභාකරන් – මහින්ද සාධක නැවතත් කරළියට කැඳවීමයි. ඒ අනුව දෙමළ පුවත්පත් පහර කෑමට ලක්වූ සිංහල සිසුන්ව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් ප්‍රශ්න ඇති කිරීමට භාවිත කළ ඉත්තන් ලෙස ලේබල් කිරීමට කටයුතු කළ අතර, එය පහරදීම සාධාරණීයකරණය කිරීමට දැරූ උත්සාහයක් බව බැලූ බැල්මට පැහැදිලිය. උත්ප්‍රාසජනක ලෙසින් මෙම තර්කය දකුණේ සමහර පිරිස් ද ඉදිරිපත් කළ අතර එය මෙම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශ්වයෙහි කුමන්ත්‍රණයක් ලෙසින් අර්ථකථනය කිරීමට පසුබට නොවූහ. මෙය ඉතාමත් භයංකර තත්ත්වයක් වන්නේ ජාතිවාදී පහරදීමට ලක් වූ පිරිසට කෙරෙන අසාධාරණයක් ලෙසින් පමණක් නොව, ඕනෑම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ආණ්ඩු විරෝධී බලවේගවල කුමන්ත්‍රණ න්‍යායෙන් යටපත් කිරීමට එය මඟපාදන හෙයින්ය.

ඇත්තෙන්ම මෙම තත්ත්වය වනාහි ක්ෂණික ආවේගාත්මක ගැටුමක් නොවන්නේය. යුද්ධයෙන් පසු යාපනයෙහි වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවන්ගේ පැහැදිලි ප්‍රකාශනයකි. ‘යාපනය විශ්වවිද්‍යාලය යනු දෙමළ ජනයාගේ සම්පතක්ය’ යන්නත් මෑතකදී සිට එහි සිංහල සිසුන් ප්‍රමාණය වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ ‘දෙමළ සිසුන් අනෙක් හැම විශ්වවිද්‍යාලයක මෙන්ම යාපනයෙහිද සුළුතරය බවට පත් වීමේ අනතුරක් පවතින්නේය, එහෙයින් තමන් ආරක්ෂාකාරී පියවරක් ගත යුතුය’ යන්න මෙම පහරදීමේ පසුබිමයි.

එහෙයින් මෙම තත්ත්වයන් නැති කළ හැක්කේ එම හේතුන් පිළිබඳව යතාර්ථය තේරුම් ගැනීමෙන් මිස එක් ජාතිවාදයක් පරාජය කිරීම වෙනුවෙන් තවත් ජාතිවාදයක් පිළිබඳව නිහඬ බව පළ කිරීමෙන් නොවන්නේය.

   සාමිනාදන් විමල්

                       යාපනය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබද කථිකාචාර්ය

                  සමබිම 2016 අගෝස්තු කලාපය තුළින් උපුටා ගන්නා ලද ලිපියකි.

                       http://www.samabima.com/?p=15271#!prettyPhoto     


                                        -  මෙලනි





2016-08-22
Advertisement

Find us on Facebook