English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විසංවාදයේ අයිතිය සහ ආණ්ඩුව

ලසන්ත වික්‍රමතුංග

( ලසන්ත ඝාතන පරීක්ෂණය අඩපණ කිීරීමට වෛර බස යොදා ගන්නා විසකුරු ජනමාධ්‍යවේදය ද පරාජය කළ යුතු ය)

වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති  වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට පවා නිදහස තිබේ. තොරතුරු නිදහසේ පනත නීතියක් බවට පත් කිරීම මෙරට  දේශපාලනය ප්‍රජාතන්ත්‍රීයකරණයෙහි වැදගත්ම පියවරකි.

රාජපක්ෂ සමයෙහි අවසාන කාලය වන විට මෙරට ජනමාධ්‍යවේදීන්ගේ පුහුණූ වැඩමුළු පැවැත්වීම පවා අවහිර කරමින් රාජපක්ෂවාදී දාමරිකයෝ විදී අරක් ගෙන සිටියහ.  එවැනි එක් වැඩ මුළුවකට කොළඹ පැමිණි උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් පසු පස හඹා ගිය එම රාජපක්ෂවාදී මැරවරයෝ ඔවුනට රැයක් පහන් කිරීමට නවාතැනක් ලබා ගැනීම තර්ජනයෙන් ගර්ජනයෙන් වැළැක්වූහ. බිය ගැන්වීම මගින් රාජපක්ෂට අවනක නොවූ සිවිල් සමාජය අඩපණ කිරීම එදා පොදු ලක්ෂණය විය. ජනමාධ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ක්ෂේත්‍රයද එදා රාජපක්ෂවාදී අණසක විසින් පාලනය කෙරුණි. තොරතුරු නිදහසේ පනතට රාජපක්ෂ පාලනය දැක්වූයේ මරණීය විරෝධයකි.

2015 ජනවාරි 08 දින මෙරට ජනයා රාජපක්ෂ සහ රාජපක්ෂවාදය බලයෙන් පහ කරන ලද්දේ එකී මර්දනයද පිටු දකින පිණිසය.  එම අපේක්ෂාව බොහෝ දුරටම ඉටු වු බව ඇත්තකි.

එසේ නමුත් දැන් දැන් දකින්නට සහ අසන්නට ලැබෙන කරුණු කාරණා වලින් එම දිනා ගත් නිදහසට යළි විලංඟු වැටෙන්නට යන්නේ දැයි සැක පහළ වෙයි.

ජනාධිපති, අගමැති සහ විදේශ ඇමැති යන තිදෙනාම පසුගිය කාලයෙහි කියා සිටි කරුණක් වූයේ ආණ්ඩුවට තමන්ගේ සාර්ථකත්වය මහජනයා අතරට ගෙන යෑමට එනම් සන්නිවේදනය කිරීමට බැරි වී ඇති බවයි. ජනාධිපතිට අනුව එය මේ ආණ්ඩුවේ ලොකුම දුර්වලකම් අතර එකකි. අගමැතිට අනුව යම් යම් ජනමාධ්‍ය ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක යෙදී සිටිති. ඒ අනුව යමින් ඔහු පුවත්පත් කතුවරුන්ට ප්‍රසිද්ධියේම තර්ජනය කරයි. එක් වරක් නොව මේ වන විට දෙතුන් වාරයක්ම එම තර්ජනය අපට අසන්නට ලැබී තිබේ.

මෙම කණස්සලු සහගත වර්ධනයේ තවත් පැත්තක් නම් මාධ්‍ය කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන්  ආණ්ඩුවෙන් අසන්නට ලැබෙන යෝජනාය. ජනමාධ්‍ය බොරු සහ සැහැසි වාර්තා පළ කරන බැවින් (එය ඇත්තකි) ඒවා පාලනය කිරීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බව ආණ්ඩුවේ අදහසක් බව පෙනෙන්නට තිබේ.

බොරු සහ සැහැසි වාර්තා පළ කිරීම ජනමාධ්‍යන්හි උපන්ගෙයි දුබලතාවයකි. මෙරට එම දුබලතාවය වාර්තාගත මට්ටමක පවතී. පසුගිය 07වැනි දින වර්ගවාදය ඇවිස්සීම සිය කාර්‍යභාරය බවට පත් කර ගෙන සිටින එක් පුවත්පතක් ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය බාරව සිටින රහස් පොලිස් නිලධාරීන් හදුන්වා තිබුනේ ‘අපතයෝ’ ‘ගොන්නු’ නැප්කින් අඳගෙන සූප්පු කටේ ගහගත් එවුන්’ යනාදී විසකුරු වදනිනි. එම ලිපියේ සමස්ත අරමුණ වී තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් කෙරී ගෙන යන පරීක්ෂණ කඩා කප්පල් කිරීමත් එම පරීක්ෂණ බාරව සිටින නිලධාරීන් බිය ගැන්වීමත්ය.

මෙවැනි විසකුරු ව්‍යාජ සහ ජනයා අවුස්සන සුලු මාධ්‍ය භාවිතයන් සමඟ දේශපාලන වශයෙන් ආණ්ඩුව හැප්පෙන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ ඉදහිට කරන බැණ අඬවැදීම් පමණි.

අඩුම වශයෙන් ආණ්ඩුව සතු ජනමාධ්‍ය හෝ ඒවායේ ඉහළ පෙළ වැටුප් ලබන දේශපාලන පත්වීම් ලද ජනමාධ්‍යකරුවන් හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙවැනි ජනමාධ්‍ය සර්පයින් හෙළිදරව් කිරීමට කටයුතු කරන්නේ නැත.

මෙම තත්වයට පිළියම ආණ්ඩුව විසින් ජනමාධ්‍ය කොමිසමක් පත් කිරීම නොවේ. ආණඩුව කළ යුත්තේ යහපත් ජනමාධ්‍ය භාවිතයක් මගින් එකී විසකුරු සහ භයානක ජනමාධ්‍යවේදය පරාජය කිරීමය. ඒ සඳහා ගත හැකි එක් මඟක් නම් රාජ්‍ය මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණයයි. එනමුත් ඒ සම්බන්ධයෙන්  මේ ආණ්ඩුවට කිසිම උනන්දුවක් හෝ දැක්මක් නැත. අද පවා රාජ්‍ය මාධ්‍ය පාලනය කරන්නේ දේශපාලඥයින් විසින් අදිනු ලබන ඉත්තන් විසිනි. ( ඔවුන් යහපත් පුද්ගලයින් විය හැකි වුවත් ඇත්ත කාරණය නම් ඔවුන්ට සිය දේශපාලන හාම්පුතුන් ඉක්මවා යා නොහැකි බවයි.) අඩුම වශයෙන් අයිටීඑන් නාලිකාවට ස්ථිර ප්‍රධානියකු පත්කිරීමට මෙම ආණ්ඩුවට මාස ගණනාවක්ම නොහැකි වී තිබේ.

තවත් උදාහරණයක් නම් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය වාර්තා කිරීමයි. රාජපක්ෂ සමයෙහි ජිනීවා නුවර රජයේ රූපවාහිනී වාර්තාකරුවකු සිටි අතර ඔහු රාජපක්ෂ පාලනයට අවශ්‍ය පරිදි දේශපාලන වාර්තා සකස්කර එවූයේ ය. අද එම නගරයෙහි එවැනි වාර්තාකරුවකු නොමැති අතර එහි යනෙන ඇමැතිවරුනට නිසි මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ නැත. මෙවැනි සුලු ප්‍රශ්න විසඳා ගත නොහැකිව පපුවේ අත් ගසා ගනිමින් අපට මාධ්‍ය ආවරණ නැතැයි අඩාපාලි කීමෙන් වැඩක් වේද?

මෙවැනි ස්වකීය දුබලතාවයන්ට පිළියම් යොදා ගැනීමට නොහැකි වන කල ආණ්ඩු කරන්නේ මර්දනයේ පිහිට පැතීමය‍.

රාජපක්ෂවාදී පිරිස් විසින් පසුගියදා පැවැත්වූ පාද යාත්‍රාව අඩපණ කරනු පිණිස ආණ්ඩුව ගත් උත්සාහයන්ගෙන් පෙනී ගියේ ද එවැනි තත්වයකි. වෙනත් වචනයෙන් කියන්නේ නම්  තමන් විසින්ම ඇති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ආණ්ඩුව බියවන්නට පටන්ගෙන ඇති බවයි. පෙනෙන අන්දමට ආණ්ඩුවේ යම්යම් දේශපාලනඥයින්ගේ රූකඩයක් බවට පත්ව ඇති පොලිස්පති පූජිත ජයසුන්දර එම පා ගමනට එරෙහිව අධිකරණ නියෝග ගැනීමෙන් පෙනී ගියේ ඔහු අනුගමනය කරන්නේ රාජපක්ෂ මර්දන පිළිවෙතම බවයි.  ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී කැපවීම උරගා බැලූ අවස්ථාවක් විය. ඇත්ත වශයෙන්ම නම් එම පරීක්ෂණයෙන් ආණ්ඩුව සමත් වූයේ නැත.

එම පා ගමන අතරතුර දරුවකු ලවා සටන්පාඨ කියවීම ආණ්ඩුවෙහි ඇතැම් පිරිස් දුටුවේ ළමා අයිතීන් කෙළෙසීමක් ලෙසය‍.එම දරුවා ලවා වෛර සහගත සටන්පාඨ කියැවීම දේශපාලන සහ සදාචාරාත්මක වශයෙන්  යහපත් නැත. ඊට විරෝධය පෑ යුතුය‍.

එනමුත් අප මතක තබා ගත යුත්තේ දරුවකු දේශපාලන සටන් පාඨ කීමෙහි නීතිමය වරදක් නැති බවයි. එවැනි දරුවකු දේශපාලන ප්‍රචාරයට යොදා ගැනීම වරදක් නම් ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවන්හි එම වසසේම දරුවන් ලවා ජාවාරම් කරවන වෙළද දැන්වීම් ප්‍රචාරය කරන්නේ කෙසේද? අදත් ජවිපෙ මැයි රැළියෙහි ළමා බලකා ගමන් කරති. විජේවීර සමයෙහි ජවිපෙ වේදිකාවන්හි ලා බාල ළදැරියෝ කතා පැවැත්වූහ. පලස්තීනයෙහි දරුවෝ ඊශ්‍රාලය සමග කැටපෝලයෙන් සටන් වදිති. දරුවන්ටද කතා කිරීමේ සහ විරෝධය පෑමේ නිදහස තිබේ.

ප්‍රශ්නය එයම නොවේ. ආණ්ඩුවේ දේශපාලනඥයින් එම දරුවා දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් දැක්වූ විරෝධයට උඩ ගෙඩි දීමට ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාද රූපවාහිනී නාලිකා හරහා සම්බන්ධවීමයි. එය පූජිත ජයසුන්දරගේ  රාජපක්ෂ රංගනයේ දෙවැනි කොටස වැනි විය. මෙයද රාජපක්ෂවාදයම වේ.

මෙයට මසක් තරම් උඩදී නැගෙනහිර පළාතේ පාසිකුඩාහිදී පවත්වන ලද  අන්තර් ජාතික සංචාරක සම්මේලනයක් අවස්ථාවෙහි ස්වකීය දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට විදීබට ධීවර පිරිස් වෙතද පොලීසිය මුදාහරින ලද්දේ රාජපක්ෂවාදී මර්දනයමය. උතුරු නැගෙනහිර ජනයාගේ විසංවාදී අදහස් ප්‍රකාශනය වැළැක්වීමට රාජ්‍ය බුද්ධි අංශ විසින් දරනු ලබන උත්සාහයන් මෙම ආණ්ඩුවට වසරක් පිරෙන මෙම අවස්ථාවෙහිද වාර්තා වෙමින් තිබේ.

ස්වකීය පාලනය යටතෙහි පවත්නා මාධ්‍ය දේශපාලන වශයෙන් හසුරුවන ආණ්ඩුවකට පුද්ගලික හිමිකාරකම සහිත මාධ්‍ය අවභාවිතය ගැන විරෝධය පෑමට සදාචාරාත්මක අයිතියක් තිබිය හැකිද?

‘ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට’ කියන්නේ නිකමට නොවේ. ආණ්ඩුව සතුව ඇත්තේ පත්තර ගුවන්විදුලි සහ රූපවාහිනී පමණක් නොවේ. වැඩිම ප්‍රමාණයක් වෙබ් අඩවි සහ සමාජ ජාල අඩවි ඇත්තේ ද ආණ්ඩුවට ය. ඒ සියල්ල තිබියදීත් සිය දිනා ගැනීම් ජනයා අතරට නොයන්නේ යැයි ආණ්ඩුව සිතන්නේ නම් කොතැනක හෝ මහා වරදක් තිබිය යුතුය.

දැන් කළ යුත්තේ එම දුබලතාවය සොයා ගෙන පිළියම් කිරීම මිස වාරණය සහ මර්දනය කරා ගමන් කිරීම නොවේ.


සුනන්ද දේශප්‍රිය




2016-08-17
Advertisement

Find us on Facebook