English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


'සිවිල් ජනයාට යුද්ධ කලාපයෙන් බැහැර යාම එල්ටීටීඊය විසින් වළක්වන ලද බවට ඇති චෝදනා නිසි පරීක්ෂණයකට ලක් කළ යුතු ය.
මෙය මානව හිමිකම් ක‍්‍රියාධර සුනන්ද දේශප‍්‍රීය විසින් නවනීදම් පිල්ලේ මැතිණිය වෙත ලියු පැසසුමකි !

"අයිතියේ" කාරූණීක ඉල්ලීම මත ඔහු විසින් මෙය අයිතියට එවනු ලැබිණි.

                                             නවී පිල්ලේට ආචාරය




මානව හිමිකම් මහ කො
සාරිස් නවී පිල්ලේ ලබන මස අවසානයේ සිය ධුරයෙන් ඉවත්ව යයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමෙන් පසු වැඩිම කාලයක් මෙම ධුරය දැරීමේ වාසනාව හිමි වූයේ ද ඇයට ය. ඇය අපේ එකියකි.  

ඒ  ඇය එදත් අදත් මානව හිමිකම් ආරක්ෂිකාවක වන හෙයිනි.

පසුගිය දිනෙක ජීනිවාහි මානව හිමිකම් සංවිධාන එක්ව ඇය‍ට සමුදීමේ සාද සැන්දෑවක් පැවැත් වූහ. එහිදී කෙටි කතාවක් කළ නවී පිල්ලේ සිය අවසන් වචන වශයෙන් තෝරා ගත්තේ ' මේ ධූර‍යෙන් ඉවත්ව යන මා යළිත් මානව හිමිකම් ආරක්ෂිකාවක ලෙස ඔබ සමඟ එක්වෙනවා' යනු ය.

මානව හිමිකම් ආරක්ෂා කොට වර්ධනය කොට බල ගැන්වීම උදෙසා පුළුල් සහ ශක්තිමත් මානව හිමිකම් ක්‍රියාකාරී ජාලයක් අත්‍යවශය ය. අද රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයක් බවට නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් මෙන්ම සිවිල් සහ නීති ක්‍රියාධරයින් පත්ව ඇත්තේ එවැනි ජාලයකින් ඇතිවිය හැකි අභියෝගය දන්නා  නිසා ය.  පසුගිය පස් වසර පුරාම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින් සහ ආරක්ෂිකාවන්ගේ අයිතීන් මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයෙහි තබා ගැනීම මගින් නවී පිල්ලේ අප හැමට ලබා දුන්නේ මහඟු සහායකි.

2008 වර්ශයේ සැප්තැම්බර් මාසයේ දී ඇය මානව හිමිකම් කොමසාරිස්වරිය වශයෙන් පත්වීම ලැබූ අවස්ථාවෙහි දී හැදින්වීමට  යෙදුණූ ප්‍රධාන වචනයක් වූයේ ද එයයි: එනම් නවී පිල්ලේ මානව හිමිකම් ආරක්ෂිකාවකි යනු ය. ඇය ආපසු යන්නේ ද එතැනටම ය.

ලොව පුරා මානව හිමිකම් රැකවලුන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගැනීම මානව හිමිකම් කොමසාරිස්වරිය වශයෙන් ඇය මුදුන් පැමිණ වූ ‍ එක් වැදගත් කඩඉමකි. පසුගිය 21 දින පැවැති ඉහත් කී සාද සැන්දෑවෙහි දී ඇය මෙසේ ද කීවා ය: 'මං ආපහු මගේ රටට ගිය වහාම සැප්තැම්බර් 12දා මට වාර්ෂික ස්ටීව් බීකෝ සමරු දේශණය කරන්න ආරාධනයක්  තියෙනවා. ඔහු මානව හිමිකම් ආරක්ෂකයෙක්. මං කියන්න යනවා දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් ගැන පමණක් නොවෙයි ලොව පුරාම මර්දනයට ලක්ව සිටින මානව හිමිකම් ආරක්ෂකයන් ගැන අප උනන්දු විය යුතුයි කියා. ඉතිං එහිදී ඉදිරිපත් කරන්න මර්දනයට ලක්ව සිටින මානව හිමිකම් ආරක්ෂකයින්ගේ තොරතුරු මට දෙන්න"

( දකුණූ අප්‍රිකාවෙහි  වර්ගවාදී විරෝධී ව්‍යපාරයේ නැගී එන තරුණ නායකයෙක් වූ තිස් හැවිරිදි ස්ටීව් බීකෝ ඒ නිසාම දරුණූ වධ හිංසාවන්ට ලක් කොට සුදු ජාතික වර්ගවාදී පාලකයින් විසින් ඝාතනය කරන ලදී .)

සාමාන්‍ය පවුලක ඉපිද ස්වෝත්සාහයෙන් අධ්‍යාපනයේ ඉණි මං තරණය කර සිය දැනුම, බුද්ධිය සහ කාලය දකුණු අප්‍රිකාවෙහි වර්ගවාදී පාලනය අවසන් කිරීම උදෙසා යෙදවූ නවී පිල්ලේ අපේ කාලයේ වීරවරියකි. ඇය අයත් වන්නේ හිමිකම් උදෙසා නොබියව සටන් වැදුණු දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා පරම්පරාවට ය. වයස විසි හයේ දී ඇය සුදු ජාතික වර්ගවාදී පාලනයට අභියෝගයක් බවට පත් වෙමින් සිය නතෙල් ප්‍රාන්තයේ ප්‍රථම කළු ජාතික නීතිඥවරිය වූවා ය. දශ ලක්ෂයකට ආසන්න මහ ජනතාවක් මරා දැමුණු  රුවන්ඩා ජන ඝාතනය පිළිබඳව පිහිටුවන ලද යුද අපරාධ අධිකරණයේ සභාපතිනිය වශයෙන් ද ඇය කටයුතු කළා ය.

එනයින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්ධුරය ඇයට ආභරණයක් වූවාට වඩා ඇය මානව හිමිකම් කවුන්සිලයට ආභරණයක් වූවා ය.

2008 වර්ෂයේ දී මානව හිමිකම් කොමසාරිස්ධුරය පිරිනැමීමෙන් පසු ඇය මෙසේ කීවේ ය. ' මෙය මහත් සතුටට හේතුවක්. මන්ද කියනවා නම් මෙම තනතුර ‍අප්‍රිකාව ලද පිළිගැනීමක් ලෙස පෙනෙන නිසයි. මානව හිමිකම් කෙළෙසීම කියන්නේ කුමක් ද කියා ඇත්ත අවබෝධයක් ඇතිවයි මා මේ තනතුරට එන්නේ. ඒ වාගේම දීර්ඝ කාලයක් තිස්සේ යුක්තිය පේන මානයක්වත් නැතිව මානව හිමිකම් කෙළෙසීමේ අත් දැකීම එක්ක. වර්ගවාදයට විරුද්ධ අරගලය මට ඒ බව උගන්වා තිබෙනවා."

පසුගිය පස් වසර පුරා මානව හිමිකම්  කොමසාරිස්වරිය වශයෙන් ඇය පිහිට වූ ලකුණ වන්නේ හරියට ම එය යි. එනම් මානව හිමිකම් කෙළෙසීම් කවරකු විසින් කවර තැනකදී කළ ද එය නොඉවසිය යුතු බවයි. ඇයගේ සමස්ත ධුර කාලය පුරාම ශ්‍රී ලංකාවෙහි මානව සහ ප්‍රජා අයිතිවාසිකම් ප්‍රශ්නය මානව හිමිකම් කවුන්සිලයේ නිරන්තර අවධානයට ලක් ව තිබුණි.

නවී පිල්ලේ මානව හිමිකම් කොමසාරිස් ධුරය ලද 2008  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පරාජයක් ලබා සිටි වර්ශයක් විය. මන්ද යත් මානව හිමිකම් කවුන්සිලයෙහි සාමාජික රටවල් 47ට ඇතුල් වීමට දරන ලද උත්සාහයෙන් ශ්‍රී ලංකාව පරාජය වී සිටීමය. නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයෙහ් 2008 මැයි මාසයේ  පැවැති ජන්ද විමසීමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබුණි.  2014 දක්වාම වර්ධනය වූයේ එම ප්‍රවණතාවය යි.

රාජපක්ෂ පාලනය හැරුණ විට නවී පිල්ලේට දිගින් දිගටම චෝදනා කරන සංවිධානයක් ‍තිබේ. UN watch යූඑන් වොච් නම් එම සංවිධානය ඇයට චෝදනා කරන්නේ මැදපෙරදිග පලස්තීනයට පක්ෂපාතී ස්ථාවරයන් ගනිමින් ඊශ්‍රාලයට චෝදනා කරන බවට ය. සමහර විට නවී පිල්ලේට රාජපක්ෂ පාලන තරම් අපහාස අවලාද සහ චෝදනා එල්ල කල අන් රටක් නැතිවිය හැකි ය.

රාජපක්ෂ පාලනය විසින් නවී පිල්ලේ හදුන්වනු ලබන්නේ එල්ටීටීඊ හිතවාදී බටහිර බළල් අතක් ලෙස ය. ඊට හේතුව සිය දුර්දාන්ත මර්දනකාරී පාලනය සාධාරණ කර ගැනීම‍ට රාජපක්ෂවරුන්ට ඇති බල තන්හාව බව අපි දනිමු. එසේ වෙතත් මුල සිටම යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ඇය එල්ටීටීඊ සංවිධානය ද වග කිය යුතු බව ඇය අවධාරණය කළ බව ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය දිගින් දිගටම වසන් කර තිබේ.

2009 මැයි මාසයේ මානව හිමිකම් කවුන්සිලයෙහි පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සැසිවාරය හමුවෙහි ඇය මෙසේ කීවා ය:

'සිවිල් ජනයාට යුද්ධ කලාපයෙන් බැහැර යාම එල්ටීටීඊය විසින් වළක්වන ලද බවට ඇති චෝදනා නිසි පරීක්ෂණයකට ලක් කළ යුතු ය. එල්ටීටීඊය බලහත්කාරයෙන් යුද්ධයට පිරිස් බඳවා ගත් බවටත් සිවිල් ජනයා අතර සිය යුද උපකරණ ස්ථානගත කළ බවටත් එනයින් මහාජනයා යුද්ධ පළිහක් ලෙස යොදා ගත් බවටත් වාර්තා තිබේ. එපමණක් නොව ආරක්ෂාව පතා ඉවතට යන ජනයාට වෙඩි තැබූ බවටත් සරණාගත පිරිස් රැදී සිටි සෝදිසි මුරපොළකට සිය දිවි නසා ගන්නා බෝම්බ ප්‍රහාර එල්ල කළ බවටත් චෝදනා තිබේ. "

' තවද බාර වූ ප්‍රධාන පෙළේ නායකයින්ට හැර  එල්ටීටීඊ සාමාජික සාමාජිකාවනට සමාව දෙන බවට  රජය ප්‍රකාශ කර තිබේ. එසේ වුව ද යුද අපරාධ, ජන ඝාතනය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ  සහ උග්‍ර මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් චෝදනා ඇති පිරිස් නිදහස් කිරීමට අන්තර් ජාතික නීතියෙන් අවකාශයක් නැති බව මම අවධාරණය කිරීමට කැමැත්තෙමි"

ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් ඇය දිගටම දැරූ ස්ථාවරය වූයේ යුද්ධයේ දෙපාර්ශවයම නිසි පරීක්ෂණයකට ලක් කළ යුතු බව යි.

යුද්ධයේ දෙපාර්ශවයම දරුණු ගනයේ ලා සැළකිය හැකි මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධ‍යෙන් වගකිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි ඇති බව 2009 මැයි මාසයේ දී කියා සිටි ඇය එකම විසඳුම වනු ඇත්තේ අන්තර් ජාතික පරීක්ෂණයක් බව කියා සිටියා ය. නවී පිල්ලේගේ ප්‍රවේශයෙහි තවත් වැදගත් ළකුණක් වූයේ යුද සමයේ සිදුවූ හිමිකම් කෙළෙසීම් පමණක් නොව දිගින් දිගින් දිගටම රාජපක්ෂවරුන් විසින් මුදා හරිමින් තිබෙන සකළ මර්දනයන් ද එක්සත් ජාතීන්ගේ අවධානය පිණිස ගෙන ඒමයි.  ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරිය වශයෙන් 2009 මැයි මාසයේ දී ඇය කළ ප්‍රථම මැදිහත්වීමේ දී ම එම සටහන ඇය නොමැකෙන සේ තැබුවා ය.

ශ්‍රී ලංකාවෙහි පශ්චාත් යුද්ධ වර්ධනයන් සම්බන්ධයෙන් ඇය ගත් ස්ථාවරයන් නිවැරදි බවට ඉතිහාසය අද  සාක්ෂි දරයි.  

දැන් දෙස් විදෙස් දෙකෙහිම අද රාජපක්ෂවරුන් පසුපස හොල්මන් කරන අවතාරය මානව හිමිකම් ය. අද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය දෙස හැරෙන්නේ දේශීය වශයෙන් තමනට යුක්තිය සාධාරණය ලබා ගත නොහැකි බව පසක්කර ගන්නා වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් ව්‍යාපාර, දේශපාලන බලවේග පමණක් නොවේ. තමන් වෙඩි තබා මරා දැමෙන්නට යන බව පසක් කර ගන්නා  සිරකරුවෝ පවා ජිනීවා මානව හිමිකම් කොමිසමට කියන්න යැයි සිය ඥතීන්ට කියත්.

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ මානව හිමිකම් ඝාතන මර්දනකාරී දේශපාලනයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී අරගල භූමියෙහි පස් වසරක් පුරා නවී පිල්ලේ අයෝමය ශක්තියක් විය.

ඇයට ජය පතමු. ඉතිහාසය අයත් වන්නේ මර්දනයේ දේශපාලනයට නොව ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලනයට ය.

හිතාදර නවී, අපේ හදබැති ස්තුතිය පිළිගන්න.



සුනන්ද දේශප්‍රිය




2014-08-03
Advertisement

Find us on Facebook