English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මෙහෙව් පොලීසියක් කුමටද පොලිස්පතිතුමෝ ?
මිනිස්සුන්ට ගහන්න පමණක් නෙවෙයි මිනිස්සුන්ව මරන්නත් පොලීසියට ඔබ කවදාද අවසර දුන්නේ ජනාධිපතිතුමෙනි !  දුර්ධාන්ත පාලනයක් නිමාකරමින් ඔබ වැන්නෙක් ප‍්‍රධාන පුරවැසියා බවට පත්කර ගත්තේ එවැන්නකටද ?

ගැබිණි මවකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යන මැයෙන් අගෝස්තු 06 වෙනිදා බීබීසී සංදේශයේ පුවතක් විය. හෙඩිමෙන් කියැවුණු ලෙසට බැලූ බැල්මට සිතුනේ අමන වැඩක්කර කුසට දරුවෙකු දී පැන ගොස් ඇති පර මිනිහෙකු ගැන පැමිණිල්ලක් ලෙසටය. එහෙත් ඒ සිතුවිල්ල සම්පුර්ණයෙන්ම වෙනස් කරමින් ඊටත් වඩා පාහර වැඩක් කර ඇති පොලිසියේ සුනඛ කණ්ඩායමක අමන කෙරුවාවක් ගැන ඒ පුවතේ කතානායිකාව වු ගැබිණි අම්මා ප‍්‍රකාශ කළේය.



ඒ අම්මාට අනුව සිිද්ධිය මෙසේය -
 
"23වෙනිදා රෑ 9.30 ට 10.00 ට විතර මමත් දුවත් විතරයි හිටියේ මහත්තයා කඬේට ගිහිං හිටියේ. එකපාරටම ගෙදර දොරත් ඇරගෙන හතර දෙනෙක් ගේ ඇතුලට ආවා. මගෙන් ඇහුවා කෝ උඹේ මහත්තයා කියලා. මට උත්තර දෙන්න බැරිවුණා එකපාරටම පිරිමි හතරදෙනෙක් ගෙට කඩාගෙන ආවාම මම භයවුණා. මම කෑගහගෙන එළියට යන්න ගියාම මාව තල්ලූ කළා. එතකොට, ගේ ඉස්සරහා ගඩොල් ගොඩක් තියෙනවා ඒක උඩට මාව වැටුණා. මම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නෙ. මගේ බඩ ඇනුණා. මම කෑගහනකොට එක් කෙනෙක් මට පයින් ගහගෙන ගහගෙන ගියා. වැදුණු තැන් ඉඳිමිලා ලේ තැල්ලමවල් වගේ තිබුණා. තව විනාඩි පහකින් විතර සාලියවැව පොලිසියේ  ඕ අයි සී ආවා ජීප් එකෙන්. එයත් එක්ක තවත් 15 දෙනෙක් විතර හිටියා. එයගේ සාක්කුවෙත් තුවක්කුවක් තිබුණා. එයත් ඇහුවේ කෝ උඹේ මහත්තයා කියලා. මහත්තයාගේ අක්ක මහත්තයාට කෝල් කළාම මහත්තයා ගෙදර ආවා.  මට ගහලා තියෙනවා දැක්කම එයාට කේන්ති ගිහිංල්ලා එයා පොලිසියේ අයට බැන්නා මොකක්හරි ප‍්‍රශ්නයක් තිබුණානම් හොඳින් කථා කරලා විසඳගන්න ඔය විදියට ගැහැණු අයට සලකන්න එපා කියලා.

නමුත් මහත්තයාව දැක්කම එයාලා හොයාගෙන ආව කෙනා මහත්තයා නෙවෙයි කියලා දැක්කම සද්දනැතිව කට්ටියම යන්න ගියා. මට ගහපු පාරවල්වලට එදා 23 වෙනිදා ? මට අමාරුවෙලා 11.45ට විතර මාව පුත්තලමේ ස්පිරිතාලේ නතර කළා. මට හරිම අමාරුයි. අපිට දැන් ගෙදර ඉන්නත් භයයි.” යැයි ඇය ප‍්‍රකාශ කරන විට ඇගේ නෑන්ඩිය කියා සිටියේ ඊටත් වඩා භීතිය උපදවන සහ ත‍්‍රස්තවාදි ප‍්‍රකාශයකි.       

ත‍්‍රස්තවාදින් යැයි හදුන්වනු ලබන කොට්ඨාශයකට, ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් අනුමත කළ නොහැකි වුවද ඔවුන්ගේ ත‍්‍රස්ත ක‍්‍රියාවලට කිසියම්වු අරමුණක් සහ එල්ලයක් ඇත. එහෙත් රටක නීතිය හා සාමය රකින්නට ව්‍යවස්ථානුකුලව බැඳී සිටින, ජනතාවට සමීප වගකිව යුතුව ඇති රාජ්‍ය ආයතනයක් වන පොලීසිය හා එකී පොලීසියේ නිළධාරීන් අතින් මෙවැනි සාහසික ප‍්‍රකාශ හා මෙවැනි කෲර ක‍්‍රියා සිදුකළ හැක්කේ කෙසේද ??

වධ හිංසාවෙන් තොරව, ප‍්‍රශ්න කිරිමකින් සංවාදයකින් අවශ්‍ය තොරතුරු ලබාගැනීමට පොලිසියට හැකියාවක් ඇත්තේම නැත් ද ?

රටක පොලීසියක් බිහිවීමේ ඇති අවශ්‍යතාවය තුළ එහි පුරවැසියන් හට පහර දෙන්නට හා මරාදමන්නට යන බලයත් නීති්‍යානූකුලව එකි පොලිසියට පවරා දී ඇත්ද ?  පොලීසියට අවැසි වූ විට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයෙන් මෙසේ තලා පෙලා පහර දීම සහා මරාදැමීම නැතිව ම බැරි අත්‍යවශ්‍යම කාර්යයක් ද ? ඊට නීති්‍යාණුකුල අවසරයක් දී ඇත් ද ?



"බබෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුට ගහන්නේ ඇයි කියලා ඇහුවම, උඹලට ගහන්න විතරක් නෙවෙයි උඹලව මරන්නත් අපිට ජනාධිපති නියෝග තියෙනවා කිව්වා. අපිට දැන් භයයි. මොකද පොලීසියේ අය කිව්වා කුඩු ගංජා අරක්කු දාලා අපිව අල්ලයිද කියල බයයි. අපිට දර කෑල්ලක්වත් ඇදගන්න දෙන්නෙ නැහැ කිව්වා.” යනුවෙන් සාලියවැව පොලීසියේ මහත්වරු ප‍්‍රකාශකලේ යැයි නෑනණ්ඩිය කීහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාලිය වැව පොලීසිය ඇමතු විට "ඒක හරියටම කොහොමද දන්නේ නැහැ.  ඕ අයි සී මහත්තයා තමයි දන්නේ්. මම හිතන්නේ රාජකාරියක් කරන්න ගියපු එකක් තමයි, මට හරියටම කියන්න අමාරු යැයි බීබීසී සංදේශයේ ප‍්‍රාදේශිය මාධ්‍යවේදී ප‍්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සිද්ධිය පිළිබඳ වාර්තා කළ එම වීඩියෝ පටයේ සඳහන් විය.

මෙය නම් අපූරු රාජකාරි කෙරිල්ලක්ය. අත පය හතර අතේ වනා, බීපු මතේ යවා ගැනීමට තිරිසන් ආකාරයෙන් මිනිස්සුන් වෙත කඩාපැන තඩිබෑම පොලිස් පොතේ කුමන් වගන්තිය හා සමවන්නේ ද යැයි අසන්නේ කාගෙන්ද? මන්ද ඒ තිරිසන් ගති පෑමේ ජවනිකාවට එකී පොලීසියේ ම  ඕ අයි සී කියන නිලදරුවාද සහභාගි වී ඇත.



සැක පිට වැරදිකරුවන් සොයන්නට වැරදි ස්ථානයකට පැමිණ, සම්පුර්ණයෙන් ම වැරදි ක‍්‍රියාවක් කරමින් අහිංසක මිනිසුන්ට පහරදිම සම්බන්ධයෙන් ඒ අහිසංක මිනිසුන් පැමිණිලි කළ යුත්තේ ඒ පොලීසියට ම ද ?

පොලිස්පතිතුමෙනි, වැරදි වැඩකරන පුරවැසියන් හට දඩුවම් කරන්නට මත්තෙන්, අමන වැඩකරමින් නිරායුධ අහිංසක මිනිසුන්ට පහරදි පොලීසිය නැමති ආයතනයේ නම කන ඔබගේ අමන නිලධාරින් වෙත ඔබ ගන්නාවු ක‍්‍රියාමාර්ගය කුමක්ද ?

ජනාධිපතිතුමෙනි, පැවති දුර්ධාන්ත පාලනය පන්නා දමා යහපාලනයක් ප‍්‍රාර්ථනා කරමින් මෙරට පුරවැසියන් ඔබ වැන්නෙක් බලයට පැමිණවුයේ ඒ පුරවැසියන්ට පහර දෙන්නට හා මරාදමන්නට යැයි පොලිසියට බලය දෙන්නටද ? ඔබ එවැනි බලයක් ලබාදී නොමැත්තේ නම් ඉහතකී ගැබිණි අම්මාගේ නිවසේදි ඔබේ නම විකුණා බුරා ඇති සුනඛයින් වෙත ඔබ ගනු ලබන ක‍්‍රියාමාර්ගය කුමක්ද ?      
 
සටහන  -  මෙලනි මානෙල් පෙරේරා
ඡායාරූපය  - වීඩියෝ පටයෙන්



2016-08-10
Advertisement

Find us on Facebook