English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විපක්ෂ විරෝධතා පා ගමන මගින් ආණ්ඩු සන්ධානය තවත් තහවුරු කෙරේ !

විරෝධතා පා ගමනට නායකත්වය දුන් විපක්ෂයේ දැඩි අධිෂ්ඨානය ඔවුන්ගේ ශක්තිය විදහාපාන දර්ශකයක් නොවිණ. සිංහලයන්ගේ අවසාන රාජධානිය වූ මහ නුවර කඳුකරේ සිට වර්තමාන අග නගරය වන කොළඹට පැමිණි එම පා ගමන වැඩි අරුතක් දැනැවූ බවක් නොපෙනුණි. කෙසේ වෙතත්, විරෝධතාවයේ එක් සටන් පාඨයක් වූ විදේශිකයන්ට රට පාවා දීම යන චෝදනාව අනුව ගත් විට, නුවර සහ කොළඹ අතර සාදෘෂ්‍යයේ යම් උචිත භාවයක් තිබුණි. මෙය නැරැඹූ පිරිස බොහොමයක් වෙතත් ඊට සහභාගී වුණේ ඉන් අතලොස්සකි. සාමාන්‍යයෙන් මෙවැනි මහජන විරෝධයක් මතු කෙරෙන්නේ, යම් ආණ්ඩුවක කල් ඉකුත් වීමෙන් පසු අවසාන කාලයේදී සහ ආණ්ඩු වෙනසක් ජනතාවගේ පැත්තෙන් තදබල ලෙස අපේක්ෂා කරන අවස්ථාවකදී ය. එහෙත් තව අවුරුදු හතරක කාලයක් ඉතිරිව තිබෙන සහ අවුරුදු එක හමාරක් වැනි කෙටි කාලයක් පමණක් ගත කොට ඇති ආණ්ඩුවක් පෙරලා දැමීම හෝ අවස්ථාවර කිරීම සඳහා ජනතාව පෙළ ගැස්වීමේ ප‍්‍රයත්නය තුළ ඇත්තේ නොමේරූ ගතියකි.

විරෝධතා පා ගමන්කරුවන්ගේ ප‍්‍රධාන සටන් පාඨ අතර, ජනතාව මුහුණදෙන ආර්ථික දුෂ්කරතා සහ ආණ්ඩුවේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ සන්නද්ධ හමුදාවන්ට එරෙහි යුද අපරාධ චෝදනා මගින් ජාතික ස්වෛරීත්වයට එල්ල විය හැකි තර්ජන පිළිබඳ චෝදනා මුල් තැන ගත්තේය. ආර්ථික දුෂ්කරතා සහ වඩාත් ආන්දෝලනයට ලක්වූ වැට් බදු වැනි සටන් පාඨ, විරෝධතාව නැරඹූවන්ගේ යම් ප‍්‍රසාදයකට තුඩුදිය හැක. එහෙත් තවමත් දෙපයින් සිට ගැනීමට බලන, කල් ඉකුත් නොවූ ආණ්ඩුවක් පෙරැුලීම සඳහා එවැනි සටන් පාඨයක් වුව ප‍්‍රමාණවත් නොවේ. පසුගිය ආණ්ඩු සමයේ ජීවන වියදම ඉහළ ගිය ආකාරය ජනතාව නොදන්නවා නොවේ. එසේම, ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් සඳහා දැන් වැඩි කාලයක් ගත වන බවත්, දීර්ඝ ක‍්‍රියාවලියක් ඔස්සේ යා යුතු එම කරුණ බලවතුන්ගේ කැමැත්ත උඩ තවදුරටත් තීරණය නොකෙරෙන බවත් ජනතාව දනිති.

අනිත් අතට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඊනියා මර උගුලක් පිළිබඳ කතාව සහ රණ විරුවන්ව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් ඉදිරියට පැමිණවීම වැනි මෙම විරෝධතාවේදී ඉස්මතු කෙරෙනු අනෙකුත් චෝදනාවන්ද මහජන උද්ඝෝෂණයක් ඇවිලවීමට තරම් ප‍්‍රමාණවත් නොවේ. තවමත්, අවසන් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඇත්තේ නැත. එසේ නොපවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ බුද්ධාගමට හිමි තැන අහිමි කෙරෙතියි යන අභූත චෝදනාව නැගීමටත් විපක්ෂය තැත් කෙළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක ප‍්‍රථම කෙටුම්පතක් පවා තවම තමන් සතුව නැති බව මෙහිදී ආණ්ඩුව පැහැදිළි කර දුන්නේය. ඊට අදාළ යම් ලේඛනයක් වශයෙන් දැනට ඇත්තේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීම සඳහා පත් කරන ලද මහජන නියෝජිත කමිටුවක වාර්තාවක් පමණි. මේ කමිටුව තමන්ගේම වන නිර්දේශ ඉදිරිපත් කොට නැත. ඒ වෙනුවට ඔවුන් කෙළේ, තමන් වෙත ඉදිරිපත් වූ විවිධ අදහස් සහ විවිධ මතිමතාන්තර සංක්ෂිප්ත කොට දක්වමින්, ඒ ඒ කමිටු සාමාජිකයන්ගේ අදහස් වෙන වෙනම ඉදිරිපත් කිරීමයි.

වැරදි මත බැහැර කිරීම

ඒකාබද්ධ විපක්ෂයේ මේ පා ගමන පැවැත්වෙන අතරේ පවා, විදේශ ඇමති මංගල සමරවීර, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවසාන සැසි වාර දෙකේදී ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ ලංකාව දුන් ප‍්‍රතිඥා ක‍්‍රියාවේ යෙදවීම සඳහා වන ආණ්ඩුවේ මාර්ග සිතියම, සිවිල් සමාජයටත් මාධ්‍යයටත් පැහැදිළි කරමින් සිටියේය. වැට් බද්ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ සහජීවන යාන්ත‍්‍ර‍්‍රණවලට අදාළ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව සමග විවේචනාත්මක සහ ධනාත්මක සංවාදයකට යොමු වීම වෙනුවට, ඒකාබද්ධ විපක්ෂය මහජනයා මහ පාරට බස්සවන විරෝධතාවකට යොමු වෙමින් ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගර්හාවට ලක්කිරීමට තැත් කිරීම කණගාටුදායක ය. ඒකාබද්ධ විපක්ෂයේ මෙවැනි අපභ‍්‍රංසවලට ජනතාවගේ කැමැත්තක් නැති නිසා විපක්ෂයේ ව්‍යායාමය අර්ථ විරහිත වන්නේය. විරෝධතා පා ගමනේ නායකයන් මහ පාරේ නටන කෝලමක් බවට පත්වීම ආදර්ශමත් නැත. එයින් ජනතාවට ලැබෙන අලූත් අවබෝධයක් ඇත්තේද නැත.

පශ්චාත්-යුද කාලීන සංක‍්‍රාන්ති යුක්තිය සඳහා වන යාන්ත‍්‍රණ හතරක් ස්ථාපනය කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව 2015 සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ ප‍්‍රතිඥා දුන් බව මංගල සමරවීර ඇමතිවරයා පැහැදිළි කෙළේය. එම යාන්ත‍්‍රණ ගැන ප‍්‍රතිඥා දුන්නේ ඊට කලින් වසර පහක කාලය තිස්සේ ජාත්‍යන්තර ප‍්‍රජාව ඉල්ලමින් සිටි යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් වෙනුවට ය. ආණ්ඩුවේ විකල්ප විසඳුම වුණේ, සත්‍ය කොමිසමක්, වගවීමේ යාන්ත‍්‍රණයක්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් සහ සහන සම්පාදන කාර්යාලයක් ස්ථාපිත කිරීමයි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සඳහා වන නීතිමය ප‍්‍රතිපාදන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. දැනට සැලසුම් කෙරෙමින් පවතින සංක‍්‍රමණීය යුක්තිය සහ සහජීවන යාන්ත‍්‍රණ පිළිබඳ ප‍්‍රශ්න අරභයා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව සමග සාකච්ඡුාවට එළැඹිණි නම්, ඊට අදාල නීතිරීති සහ අණපනත් සංවර්ධනය කර ගැනීමට හැකියාව තිබුණි. ඒ සම්බන්ධයෙන් වන ගෞරවයත් ඔවුන්ට හිමි කර ගත හැකිව තිබුණි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සියලූම පුද්ගලයන් සඳහා මිස දෙමළ ජනයා සඳහා පමණක් පිහිටුවන්නක් නොවේ. අතුරුදහන් වූ සිංහල සහ මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නත් ඒ මගින් සැලකිල්ලට ගනු ලැබේ. එසේම මේ කාර්යාලය සඳහා නිශ්චිත සහ සීමිත කාල රාමුවක් නැති අතර එය නිත්‍ය කාර්යාලයක් වන්නේය. එබැවින් දෙවැනි ජනතා විමුක්ති පෙරමුණු කැරැුල්ල තුළදී අතුරුදහන් වූ 35,000 ක පමණ වන පිරිසට අදාළවත්, මීට පෙර විමර්ශන කොමිෂන් සභා ඉදිරියට පැමිණි පිරිස්වලටත් මේ කාර්යාලයෙන් සහනයක් අපේක්ෂා කළ හැකිය. ඒ ආකාරයෙන්ම, යුද්ධයේදී අතුරුදහන් වූ යුද සෙබළුන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ පවුල්වලටත් තමන්ගේ දුක්ගැනවිලි මේ කාර්යාලය වෙත යොමු කළ හැකි වනු ඇත. මේ කාර්යාලය ගැන තිබු තවත් දුර්මත, විදේශ ඇමතිවරයා සමග සාකච්ඡුාවේදි දුරු කර ගත හැකි විය. රහස්‍ය භාවය පිළිබඳ වගන්ති සහ සැකකරුවන් රඳවා තබාගෙන සිටින ස්ථානවලට යාමට මේ කොමිසමට ඇති බලය ගැන ප‍්‍රශ්නත් එහිදී පැහැදිළි කෙරුණි.

ප‍්‍රතිපත්ති ආපසු හැරවීම

මේ අතර, මෙම සංහිඳියා යාන්ත‍්‍රණයන් පිළිබඳ මහජන අදහස් විමසීම පිණිස ආණ්ඩුව මගින් පිහිටුවන ලද ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ සිය කාර්යය ආරම්භ කොට ඇති අතර ඒ පිළිබඳ ජනතා අදහස් විමසා බලමින් සිටී. සත්‍ය කොමිසමක් සඳහා වන නීතිරීති සකස් කිරීම අවසානයකට පත්කෙරෙමින් තිබෙන අතර එය සැප්තැම්බර් මාසය වන විට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ යාන්ත‍්‍රණ අතරින් වඩාත් ආන්දෝලනයට තුඩුදී ඇති වගවීම පිළිබඳ විශේෂ අධිකරණය ඊළඟ වසරේ මාර්තු වන විට පිහිටුවා අවසන් කෙරෙනු ඇත. එය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ‍්‍රී ලංකාව පොරොන්දු වී ඇති කාල වකවානුවට අනුරූප වීමකි. මේ සියලූ යාන්ත‍්‍රණ පිහිටුවා අවසන් කෙරෙනු ඇත්තේ ඒවා පිළිබඳ මහජන අදහස් විමසා බැලීමෙන් පසුවයි. මීට අමතරව, හමුදාව මගින් අත්පත් කරගෙන තිබූ ඉඩම් ආපසු ඒවායේ අයිතිකරුවන්ට පවරා දීම ආරම්භ කෙරී ඇති අතර පැරණි යුද කලාපයේ පැවති හමුදා ක‍්‍රියාකාරීත්වය අඩු කෙරෙමින් තිබේ. එසේම නීතිය හා සාමය ස්ථාපිත කෙරී ඇති අතර ඉස්සර පැවති දණ්ඩමුක්තිය බෙහෙවින් අඩු කෙරී තිබේ.

ආණ්ඩු පාලනයේ කඩිනම් වෙනසක් පිළිබඳව දල්වා ගත් බලාපොරොත්තුවේ ප‍්‍රධාන සාධකයක් වුණේ ඊළඟ වසරේ නිමාවකට පත්වීමට නියමිතව තිබූ, ප‍්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන දෙවසරක සන්ධානයයි. මේ දෙවසරේ අවසානයෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විශ්වාසය තබා තිබුණි. වඩාත් ආන්දෝලනාත්මක ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීමට ආණ්ඩුව සැරසෙන මොහොතක ඒකාබද්ධ විපක්ෂය මගින් එම ආණ්ඩුව පෙරලා දැමීමට ගත් ප‍්‍රයත්නය නිසා ආණ්ඩු සන්ධානය ශක්තිමත් කරනු ලැබීම උත්ප‍්‍රාසාත්මක ය. පාර්ලිමේන්තුවේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික සෑහෙන කණ්ඩායමකගේ සහාය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීම නිසාම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පැත්තෙන් ඔහුගේ ශක්තිය තවත් තර කර ගැනීමට තල්ලූ කෙරුණු අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි තමන් සතු ග‍්‍රහණය තවත් දැඩි කර ගැනීම සඳහාද ඔහුව තල්ලූ කැරැුවූ බවක් පෙනෙන්ට තිබේ.

මේ තත්වය තුළ, එක්සත් ජාතික පක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානය සඳහා වූ අවුරුදු දෙකක කාලය අවුරුදු පහක් දක්වා දීර්ඝ කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ තීරණය කරනු ලැබීම, හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් ආපසු බලයට පැමිණීම කෙරෙහි දල්වාගෙන සිටි බලාපොරොත්තු සුන් කරවන්නක් විය. පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ මූල්‍ය වංචා සහ බලය අපහරණය කිරීම පිළිබඳ චෝදනාවලට අදාළ අධිකරණමය ක‍්‍රියා මාර්ගවලින් ගැලවීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් නැවත බලයට පත්වීමක් අවශ්‍ය කෙරුණි. වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලැබුණු ස්වාධීනත්වය මත පොලීසිය සහ අධිකරණ පද්ධතිය අද කටයුතු කරන නිසා එකී පරීක්ෂණ දිගටම සිදු කෙරෙනු ඇත. දැන් එම පරීක්ෂණ නතර කර ගත හැකි වනු ඇත්තේ, යහපාලනය සහ වගවීම සඳහා වන ප‍්‍රතිපත්ති ඉහළ මට්ටමේ දේශපාලන අණකින් ආපසු හැරවෙන්නේ නම් පමණි. එය විය හැකිව තිබුණේ ආපසු බලය ඩැහැ ගැනීමකින් පමණි. පා ගමන පසුපස පැවති ප‍්‍රධාන ආධ්‍යාශය එයයි.

   ජෙහාන් පෙරේරා

                                    

(2016 අගෝස්තු 1 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Opposition Protest March Consolidates Government Alliance” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’


-  මෙලනි





2016-08-05
Advertisement

Find us on Facebook