English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පාද යාත්‍රාවේ ගිය පුංචි පුතා වෙත (විවෘත ලිපියකි)

මා ආදරණීය පුංචි පුතා වෙත,

මේ ලිපිය ලිවීමට මා අදහස් කරන්නේ ඔබට මෙය කියවීමට අවස්ථාව ලැබේදැයි හෝ නොදැනය. නමුත්, මෙය මූලික සටහනක් ලෙස ලියා තැබීමට මා සිතා ගත්තෙමි. ඒ ඔබ වර්තමානයේ ජීවත්වන පරිසරය නිසා නොව තවත් අවුරුදු කිහිපයකින් වැඩිහිටි ළමයෙකු ලෙස අපේ මාතෘ භූමියට ඔබෙන් සිදුවීමට නියමිත වටිනා සේවය ගැන සැලකිල්ලට ගෙනය. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ රටේ තිබුණු අති බිහිසුණු ගැටුම්කාරී තත්වය බොහෝ දෙනෙකුගේ සාමූහික වුවමනාවක් සහ වැඩපිළිවෙලක් ඔස්සේ නිමා වන වන විට ඔබට වයස අවුරුදු දෙකක් පමණි. එම සිදුවීම, එනම් යුද්ධය නිමා වීමෙන් පසු, සිදු වූයේ ඔබ කෑමොර දුන් ආකාරයෙන්ම අපේ ඉතිහාසය පුරාම ලිය වී ඇති රජවරුන්ගේ ගොන්නට තවත් “රජකෙනෙක්” පත්වීමය. මෙය මේ ආකාරයෙන් ඔබට තේරුම් කරදීම සඳහා හෝ තේරුම් ගැනීම සඳහා ඔබ හැදී වැඩුණු මූලික වටපිටාව හේතු වන්නට ඇත. එය වැරදි හෝ නිවැරදි යැයි මා නොකියන්නා සේම එසේ කීමෙන් මම මගේ මූලික අයිතිය අයුතුලෙස අපහරණය නොකරමි.

නමුත් පුතේ, ඕනෑම රණ්ඩුවකට හේතුවක් තියෙනවා වගේම ලොකු යුද්ධ වලටත් විශාල හේතු තිබේ. අපි සමහර වෙලාවට ඒවාගේ ඇති හේතු තේරුම් ගන්නේ ගොඩාක් ප්‍රමාද වෙලා. ඒවා එතකොට අපට වෙනස් කරන්න බැරිතත්වයකට පත්වෙලා.

මේ කාරණය ගැන අපි මෙහෙම හිතමු. අපි ආශා කරන දේවල් නොලැබෙන විට අපි හඬා වැලපෙන්නෙමු. අපි අපේ අම්මාගෙන් සහ තාත්තාගෙන් අපට ඕනෑ කරන දේ කෙසේ හෝ ලබා දෙන ලෙස බල කරන්නෙමු. මුදල් යහමින් ඇති මවටත් එසේ නොමැති මවටත් තම දරුවන්ගේ ආශාවන් එක හා සමානව දැනේ. නමුත් වෙනස ඇත්තේ මුදල් යහමින් ඇති මවට , මුදල් නැති මවට වඩා ඉක්මනින් තම දරුවාගේ ආශාව ඉටුකිරීමට හැකි වීමයි. අපේ මිනිස් ලෝකේ වගේම සත්ව ලෝකෙත් හැටි එහෙමයි. අපේ අම්මලා -තාත්තලා කවදාවත් කෑමක් තනිව කන්නේ නෑ දරුවන්ට නොදී. බොහෝ දුප්පත් දෙමාපියන්, නොමිලේ ලැබෙන ඇල්වතුර පමණක් බී තම දරුවන්ට අවශ්‍ය කෑම ලබා දෙන අවස්ථා ඕනෑ තරම් තිබේ.

ඒවගේම තමයි පුතේ, සත්ව ලෝකෙත්, සත්තුන්ගේ අම්මා කවදාවත් තම පැටවුන්ට තේරෙන වයසට පැමිණෙන තෙක් නිදැල්ලේ යන්න ඉඩ දෙනෙන් නැහැ. සත්තුන්ගේ තේරෙන වයස කියන්නේ, අතුරු ආන්ත්‍රාවකින් බේරීමට හැකි තත්වය වගේම, තම අහාර තනිවම සොයා ගැනීමට හැකි වයස. එතෙක් ඕනෑම සත්ව අම්මාකෙනෙක් ලෙහෙසියෙන් තම පැටවුන් මඟ හැර යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒ සත්තු අකාලයේ ගොදුරු බවට පත්වන නිසා. ඉතින්, අපට ආශා හිතෙන දේවල් කන්න හිතුනම අපි හඬන්නේ අපේ අම්මලා ඉදිරියේ.

යුද්ධ වලට හේතුව වන්නේත් මෙම කාරණයේම දිගුවක් කියලයි මට හිතෙන්නේ. මා මෙහිදී කතා කරන්නේ රට රවටවල් අතර ඇතිවන ආක්‍රමණ එනම් අපේ රාවණා රජතුමා හෝ පරාක්‍රමබාහු රජතුමා වගේ විදේශ රටවල් සමඟ යුද්ධ කොට තම යුධ වීරත්වය පෙන්නීම වැනි කාරණා නොමෙයි. මම මෙහිදී කියන්නේ රටක් තුළ එනම් අපි හැමෝම ඉපදුන මාතෘභූමිය මත අපි එකිනෙකා ඇණකොටා ගන්න එක ගැන. එකම මහපොළවේ ඉපදී අපි එකිනෙකා මරාගැනීමට හේතුව මොකද්ද කියන එක ගැන. අපි පොඩි කාලේ ආශා කරන දේවල් නොලැබෙනකොට හඬන්නේ අම්මා එක්ක. අපි ලොකු වුනාම සමාජයෙන් මුහුණ දීමට සිද්ධවන අසාදාරණ දේවල් වලදී හඬා වැටෙන්නේ අපේ මාතෘ භූමිය මත. මොකද අපට අපි මුහුණ දෙන හැම දෙයක්ම අම්මා – තාත්තා එක්ක කියන්න බැරි නිසා.

ඉතින් පුතේ, අපි එහෙම අපේ මාතෘභූමිය මත වැටිලා වැලපෙන විට අපේ මාතෘභූමියත් අපිත් එක්ක හඬනවා. ඒ හඬන්නේ අපි මුහුණදෙන ඇත්ත තත්වය අපේ මාතෘභූමියටත් වඩා හොඳින් අපටවගේම දැනෙන නිසා. හරියට අපේ අම්මට අපි කොපමණ දුර සිටියත් දැනෙනවා වගේ අපේ මාතෘ භූමියටත් අපිව දැනෙනවා. එහෙම හඬන්න වෙන්නේ, අපට අපේ නිදහස නැති වෙලා අපේ ජීවිත වල ඇති වටිනාකම හෑල්ලු වන විට හෝ හෑල්ලු කරන විට. ඉතින් මේවගේ දේවල් දිගින් දිගටම සිද්ධ වෙනකොට එකිනෙකාට ඇණකොටා ගැනීමට සිද්ධ වෙනවා. එවැනි තත්වයන් යුද්ධ බවට හැරෙනවා. ඉන් පසු අපේම මිනිස්සු අපේම මිනිස්සු විසින් මරා දමනවා. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ අපි මුහුණ දුන්නේ එම තත්වයට.

යුද්ධයක් නොමැතිවීම එනම් සාම කාලයක ජීවත් වීමට ලැබීම මනුෂ්‍යය ජීවිතය අතින් වාසනාවක් හෝ පිනක් යැයි කීමට පුළුවන්. ඒවගේම එය අපි මත පැවරෙන විශාල වගකීමක්. මන්ද එවැනි තත්වයක් තැනීම සඳහා අපේ මාතෘභූමියට දාව උපන් දුවා-දරුවන් ලක්ෂ ගණනක් අකාලයේ මියගිය නිසා. ඒගැන ඔබ වැඩිවියට පත්වන විට ඉගෙන ගනීවි. ඒ මළවුන් සෑම දෙනෙකුටම මේ ලෝකෙට කීමට විශාල අරුත්බර කතාවක් තිබෙන්නට ඇති. නමුත්, ඒ කතා සියල්ලම නිහඬව මහපොළවට වැළලී ගියේය.

ඒ වැළලී ගිය අයගෙන් විශාල පිරිසක් මියගියේ කෙසේද? ඔවුන්ගේ පවුල් මුහුණ දෙන කටුක තත්වයට අපේ නායකයින් ලබාදුන් සැනසිල්ල කුමක්ද? ආදී දෑ හිස් වචන පමණක් වී ඇත. ඔබ වැඩිවියට පත්වන විට මේවායෙහි ඇති බරපතළ තත්වය ගැන මැනවින් තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි ප්‍රාර්ථනය කරන්නෙමි. මන්ද, අපට අපේ ඉතිහාසය ගැන නිවැරදි කියවීමක් නොමැතිව කිසිම දිනක ඉතිහාසයේ සිදු වූ ඛේදවාචක වලින් ගැලවීමක් නැත. ඒවා යළි යළිත් සිදුවිය හැකියි.

පුතේ, මුළු ආසියානු කලාපෙම දෙවැනි තැන ගන්නා, බලහත්කාරයෙන් මිනිසුන් අතුරුදන් කිරීම් වැඩියෙන්ම වාර්තා වූ රට මේ අපේ මාතෘභූමිය. අතුරුදහන් කිරීම් කියන්නේ, හිතු මනාපෙට මිනිසුන් පැහැරගෙන ගොස් ඔවුන් ගැන කිසිඳු හෝඩුවාවක් නැති කිරීමයි. ඉන් කියන මූලික පණිවිඩය තමයි, මිනිස් ජීවිතයකට ලබා දිය යුතු අඩුම වටිනාකම ලබා දුන් රටක් තමයි අපේ රට. ඒකට අපේ මාතෘභූමියට බැන වැදීමෙන් හෝ ශාප කිරීමෙන් ප්‍රයෝජනයක් නැති නමුත් අපට කොහේ හරි විශාල ලෙස වැරදුනු හෝ වරද්දපු තැන් රාශියක් තිබෙන බව පැහැදිලි කරගත යුතුයි. ඒවා යළිත් නොවීමට වගබලා ගතයුතුයි.

පුතේ; මෙහිදී මතක් කළයුතු සිදුවීම් තුනක් තිබේ.ඒ අපට “රජෙක් විසින්” බේරාගත් රටකට වඩා ඇත්තේ ගැඹුරට විහිදුණු තුවාල වී ගිය රටක් බව තේරුම් ගැනීමටය.

මා එක්තරා දිනක මඩකලපුවේ සංචාරය කරනු ලැබුවේ එක්තරා පුවත්පතකට ලිපියක් ලිවීම සඳහාය. එහිදී එකළ එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව සටන් වැදුණු තවත් දෙමළ සංවිධානයක් විය. මා ඔවුන්ගේ කඳවුරු වලට ගොස් කල්ලඩි පාලමේ වම් පසින් ඇති කුඩා පටුමග ඔස්සේ ගමන් කරනු ලැබුවේ වෙරළ බැලීමේ ආසාවෙනි. මාගේ ආරක්ෂාවට පුතාගේ වයසේ මෙන් දරුවන් තිදෙනෙක් සහ වැඩිහිටි තරුණයින් දෙදෙනෙකු සිටියෝය. දරුවන් තිදෙනාම, කරවට දැමු පටියකින් එල්ලාගෙන සිටියේ ඒ. කේ. 47 වර්ගයේ තුවක්කුය. කළුපැහැති නූලකින් එල්ලා වැටෙන සුදුපැහැති සයනයිඩ් කරල් ඔවුන්ගේ බෙල්ලවටේ දමා තිබුණි. මා එය දුටු සැණින්, එකක් අල්ලාගෙන, සිහිවිකල්ලෙන් මෙන් දොඩවන්නට පටන් ගත්තෙමි. ඇදහිය නොහැකි එම මොහොතේ මාගේ රැකියාවට වඩා වැදගත් වූයේ මෙහි ඇති අමනුෂ්‍යය ගතිය තේරුම් ගැනීමය. ඉන් පැය කිහිපයකින් යළි ඔවුහු සමග ඔවුන්ගේ කඳවුරට පැමිණි පසු දැකගත හැකි වූයේ කඳවුරෙන් පිට තම දරුවන් දෙසබලා ඔලුවේ අතතබා ගෙන බිම දිගා වී වැළපෙන අම්මාවරුන්ය. දෙවියන්ට මෙන්ම මාතෘභූමියට ශාපකරන අම්මාවරුන්ය. මාතෘ භූමියේ අපේ ජීවිත වලට ඕනෑ නිදහස නොලැබුණු විට එය අවියක් ලෙස ගෙන යුද්ධ කිරීමට බොහෝ දෙනෙකු යොමු වේ. එවැනි ගැටුම් බොහෝමයක ආරම්භය අයිතිවාසිකම් එනම් නිදහස ඉල්ලීම වුවද කාලාන්තරක් තිස්සේ ඇදෙන විට ඒවායේ වුවමනාවන් විකෘති වේ. එවිට එහි ඇතුළත මෙන්ම බාහිර පැත්තද විකෘති වේ.

මෙහිදී සඳහන් කිරීම වටින්නේ යැයි සිතෙන දෙවැනි කාරණය මහනුවර ප්‍රදේශයේ එක්තරා පවුලක සිටි පාසල් ගිය ළමයෙකුගේ කතාවකි. ඔහු දේශපාලන කටයුතුවල නිරත වූ බව කියමින් යම් කිසිවෙකු විසින් කළ පැමිණිල්ලක් මත හෙතම පැහැරගෙන යනු ලබයි. ඉන් පසු එම ළමයා ගැන කිසිඳු ආරංචියක් නොලැබේ. පාසලේ ඉගෙන ගැනීමේ කටයුතු වල ඉතා දක්‍ෂ ශිෂ්‍යයකු වූ ඔහු කිසිඳු දේශපාලන කටයුත්තක නිරත නොවුණද, කිසිවෙකුගේ හෝ එක් වචනයක් ඔහුව අතුරුදන් කිරීමට ප්‍රමාණවත් විය. ඉන් පසු තම දරුවා සොයා ගැනීම සඳහා කළ හැකි සියලුම දෑ එම දෙමාපියන් සිදුකළේය. පුතේ, අපේ රටේ හූනියම්, වගේම ශාස්තර කීම් වගේ දේවල් වලට ඇත්තේ ඉතාම ඉහල ඉල්ලුමක්. ඉතින් මේ දෙමාපියොත් තම දරුවා සොයාගැනීම සඳහා බැරිම තැන යන්ත්‍ර මන්තර කටයුතුත් සිදු කරනු ලැබුවා. ඒවා කිරීමට වියදම්වන සල්ලි සොයා ගැනීම සඳහා තම දේපල සියල්ලමත් විකුණා දැමුවා. ඒ කිසිවකින් කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ. ඉතින් අවසානයේ ඒ පවුලේ සියලුම දෙනාට පිස්සු හැදුනු අතර ළමයාගේ තාත්තා මෑතක් වනතුරු තම පුතා සොයා වීදි පුරා ඇවිදිමින් සිටියේය. යුක්තිය ඉටුවීමේ සිහිනය වෙනුවෙන් හඬ හඬා ජීවත් වූයේය. මෙවැනි කතා බොහොමයක් , පුතාගේ පුංචි වයසට බරපතළ විය හැකි බව මට යලි යළිත් සිතෙන, නමුත්, පුතාට දේශපාලන සටන් පාඨ කීමට මෙන්ම ඒවා මතකයේ රඳවා ගැනීමට ඇති හැකියාව ගැන මතක් වන විට මෙවැනි දෑ කියවීමට හැකියාව ඇතැයි තවත් විටෙක සිතේ.

පුතේ මට මෙහිදී මතක් කළයුතු යැයි සිතෙන තෙවැනි සිදුවීම මගේ ජීවිතයට සම්බන්ධ දෙයක්. මා ඉපදී හැදී-වැඩුණු පිටිසර ගම්මානයේ 88-89 අවුරුදු කියන්නේ වඩාත්ම බිහිසුණු කාලයයි. මට මගේ පොඩිකාලේ ගැන ප්‍රධාන සිදුවීම් තුනක් මතකයේ ඇත. පළමුවැන්න, නැකතට අකුරු නොකීම, එනම් මා පළමුවරට අයන්න නොකීමේ අකීකරුකම නිසා මාගේ පියා මාහට දඬුවම් කොට මව හඬමින් සිටි මා හට අයන්න කියාදීමයි. දෙවැන්න, මා මුලින්ම පාසලට භාරදුන් දිනයය. එය මගේ සිහියේ ඇත්තේ පාසල නිසා හෝ පන්තියේ දමයන්ති නම් පළමු ගුරුවරිය නිසා නොවේ. එනම්, පාසලට මීටර් කිහිපයකට ඉදිරියෙන් ඇති මාර්ගයේ හමුවන පාලම අසල පාර හරහා ඇලක් කපා එම ඇල උඩින් පැනීමට සිදු වූ නිසාය. තෙවැනි සිදුවීම මෙහිදී මතක් කළ යුතු කාරණය යැයි සිතේ. අදාළ දිනය ගැන මට නිවැරදිව මතකයේ නැතත්, එය 1989 අවුරුද්දක දිනයක් විය යුතුය. එවිට මාගේ වයස අවුරුදු 07කි. උදෑසනම අපේ නිවසට පැමිණි ඥාතියෙකු කියා සිටියේ ගමේ ගොවිජනසේවා ආයතනය ආසන්නයේ මිනියක් පිච්චෙන බවය. මා මාගේ මෑණියන් සමඟ එහි දිව ගියෙමි. ඇගේ අතින් අල්ලා සිටි මා පාරේ අනෙක් කෙළවරේ සිට පිළිස්සුණු මළ සිරුර දුටුවෙමි. එය මා ජීවිතේ දුටු පළමු මළ සිරුර වේ. එහි ශරීරයේ එක් කොටසක් හැර අනෙක් සියලුම තැන් පිළිස්සී ගොස් තිබුණි. එක් යටි පතුලක් පමණක් ඉතුරු වී එය කහ සහ රෝස කවලම් වූ පැහැයක් ගෙන තිබුණි. දුම් දමමින් තිබුණි. ඉන් වහනය වූ දුර්ගන්දය ඉඳහිට තවමත් මට මතකයේ තිබේ. විටින් විට එම දුඟද මා පසුකරමින් යන්නාක් මෙන් දැනුන අවස්ථා බොහෝ ඇත. ඇතැම් අවස්ථාවලදී මා මෙම සිදුවීම සගයින් සමග සිහියට නගන විට ඇතැමුන් ඔලොක්කුවට මෙන් මගේ මතකය ගැන ඔවුන්ට ඇති සැකය වචන වලට පෙරලූ ආකාරය සැබවින්ම කණගාටුවක් ඇතිකරනු ලබයි. එවැනි දෑ නිවැරදි කිරීමට වඩා වැදගත් වන්නේ ඔබ සමීපයේ සිටින අයට ඔබව විශ්වාශ කිරීමට හැකි ධාරිතාවය තේරුම් ගැනීම පමණි. එවැනි දෑවලට කළ හැකි කිසිඳු දෙයක් නොමැත.

ඒ කෙසේ වෙතත්, නරක මතක බොහොමයක් ඈතට දිවයන අතර ඒවා අපේ සිත්වලින් ඈත් කිරීමට නොහැකි බව මා මෙහිදී ලද අත්දැකීම වේ. අපේ ළමා කාලය එවැනි සිදුවීම රාශියකින් වසාදමන විට අපට අපේ ජීවිතය ලෙස පෙනෙන්නේ එම වටපිටාව මිස ඊට එහා ගිය ලෝකයක් නොවේ.

පුතේ, යුද්ධය මෙන්ම යුද්ධයෙන් පසු ඇති වූ තත්වයද ඒ හා සමානය. ඒ කිසිම සිදුවීමකට ජයග්‍රහකයින් නොමැත. ඒ සිදුවීම් දෙකේදීම අවශ්‍යය වූයේ එම කාරණාවලට මැදිහත් වී සිටින දේශපාලන බලවතුන් වීරයින් ලෙස සිතීමට පුරුදු කිරීම මිස, අපි එකිනෙකාට අපේ ජීවිතය ගැන තේරුම් ගැනීමට සහ නිදහස නිසි සේ භුක්ති විඳීමට හැකි වටපිටාව නිර්මාණය කිරීම නොවේ. එය සිංහල, දෙමළ හෝ වෙනත් භාෂාවක් කතා කරන ඕනෑම අයෙකුට පොදු කාරණයක් වේ. මෙය විශ්වීය මූලධර්මයකි.

පුතේ, ඔබ තම දෑත් වලින් යම් දැන්වීමක් ඔසවාගෙන, විටෙක අයෙකුගේ කරමතින් යමින්, තවත් විටෙක රත් වී ඇති අපේ මාතෘභූමිය මත සිට ගනිමින් කියූ බොහෝ දෑ වල දෝංකාරය වඩා හොඳට මේ ස්වභාදහම තුළ තැම්පත් වී ඇත. ඔව් පුතේ ඔබ කියූ සියලුම දෑ. අපි යම් කිසි වචනයක් මුවින් පිට කළ පසු එය යලි ගැනීමට නොහැකි බව ඉතා මනාව ඉගෙනගත යුතු මූලික ධර්මතාවයකි.

ඔබ එළෙස කෑ ගසන විට දුකක් හෝ කණගාටුවක් ඔබ ගැන ඇතිවන්නේ නැත. නමුත්, ඔබ එසේ කිරීම ගැන, වගකිව යුතු දේශපාලනඥයින්ගෙන් ඇසු විට ඔවුන් තම හීනමානය වසාගැනීම සඳහා ලබාදුන් උද්දච්ච පිළිතුරු මුළු මාතෘභූමියම අපවිත්‍ර කිරීම සඳහා හේතු විය. මීට කාලෙකට පෙර දෙමළ කතාකරන දෙමාපියන්ගේ දරුවන් පැහැරගෙන ගොස් තුවක්කු දී, සයනයිඩ් කරල් එල්ලා නොදන්නා යුද්ධයක පටලනු ලැබුවේය. ඉන් පසු ඔළුබක්කන් යැයි නම් කළ පිරිසක් පාසල් දරුවන් පවා පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබුවේය. අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකු එලෙස ශාරීරික වදහිංසාවට ලක්වූහ. එය අවසන් වී වසර කිහියපයක් ගත වූ පසු දැක ගත හැක්කේ මානසික වශයෙන් අපේ මීළඟ පරම්පරාව විනාශ කරන අන්දමයි.

පුතේ, මානසිකව විකෘති කරනු ලැබූ සමාජයක තම මාතෘභූමිය පාලනය කිරීම සඳහා බලය පැවරීමට පැවැත්වෙන මැතිවරණ මිනිසුන් මුහුණදෙන ඛේදජනක අත්දැකීමක් මිස වෙනත් ගුණයක් එහි නොවේ. එසේම, අපේ මීළඟ පරම්පාරව මේ ආකරයෙන් එකිනෙකාගේ ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා තනාගත් කූඩු වල සිරකොට තැබූ විට සිදුවන විපාකය අති මහත්ය. ඔවුහු විමුක්තිය ලෙස දකින්නේ එම කූඩුවයි. ඔවුහු නිදහස ලෙස අරුත්ගන්වන්නේ එම කූඩුවයි. ඔවුහු ජාතිකත්වය ලෙස අරුත්ගන්වනු ලබන්නේ එම කූඩුවයි. මෙම ලැයිස්තුව ඉතා දීර්ඝ එකකි.

අපට නිදහස නිවැරදිව භුක්ති විඳීමට හැකි වටපිටාවක් නොමැති තැන, නිදහස යැයි අනෙකා විසින් අරුත්ගනවන දෑ නිදහස ලෙස පිළිගැනීමට සිදුවේ. නමුත් ඒ සැබෑ නිදහස නොවේ. වසර තිහක් තිස්සේ පැවති යුද්ධයෙදී මෙන්ම ඉන්පසු එම “යුධ ජයග්‍රහණය” සමරනු ලැබූ වසර කිහිපය තුළදී අපේම මිනිසුන් අපේ මාතෘභූමියට ලබාදුන් අත්දැකීම එයයි. බොහොමයක් මර්ධනයට ලක්කරනු ලැබූ සමාජවල පවත්න්නේ මෙම තත්වයයි.

ඉතින් පුතේ, මට ඔබේ මුවින් පිට වූ වචන ගැන කිසිඳු දුකක් හෝ කණගාටුවක් නොමැත. කණගාටුව ඇත්තේ ඔබට එවැනි වචන පිට කිරීම සඳහා සකස් කළ වටපිටාවයි. අපි වැඩිහිටියන් ලෙස සුරතල් සතුන් ඇතිකරන ලීලාවෙන් අපේ දරුවන් “ඇතිකිරීමේ” විපාකය මෙය යැයි සිතේ. නමුත්, මෙය ගැඹුරු සමාජ ප්‍රශ්නයකි. කෙනෙකුගේ විනෝදය සඳහා යමක් අවබෝධකරගෙන ඊට ස්වාධීනව ප්‍රතිචාර දැක්වීමට නොහැකි කුඩා දරුවන් භාවිතා කිරීම මොනතරම් අප්‍රසන්න කටයුත්තක්ද යන්න සිතේ.

පුතේ, ඔබට ඉහලින් සිටින පරම්පාරව තෙරුම් ගත යුතු පමණක් නොව තේරුම් ගැනීමෙන් පසු තමනේගේ ඊළඟ පරම්පරාවට තේරුම්කර දිය යුතු මූලික කාරණයක් තිබේ. එනම්, වැඩිහිටි පරම්පරාව අතින් සිදු වූ වැරදි යළි ඔබගේ පරම්පරාව අතින් සිදු නොවීම සඳහා ඔබ එම වයස පසුකිරීමටත් පෙර ඉගෙනගෙන තිබීමයි. එය ඔබට ඉහලින් ඇති පරම්පරාවේ මූලික වගකීම වේ. නමුත් අපේ මාතෘභූමියේ ඉතාම අඩුවෙන් සිදුවන කටයුත්ත මෙය වේ.

මෙය අපේ වත්මන් වැඩිහිටි පරම්පරාව අතින්, නුඹලාට සිදුවන බලවත්ම අසාදරණය වේ. අපි පරම්පරා තැනිය යුත්තේ අපේ නියාලු වීරත්වය මඟින් මොළ ශෝධනය කිරීමට නොව, අප අතින් සිදුවූ වැරදි ඔවුන්ගෙන් සිදු නොවන ලෙසය.

පුතේ, භාෂාවේ විනය ගිලිහුණු තැන භාෂාවේ වචන වලට ඇති අර්ථය විකෘති වේ. එම විකෘතිය දුෂ්ඨ පාලකයාට පාලන අවියක් බවට පත්වේ. මන්ද එය යමක් දුෂ්‍යය කිරීම සඳහා කදිම මෙවළමක් වේ. අපි කුඩා කාලයේ කෑමට ඇති ආප්ප නැවුම් ආහාරයක් ලෙස දකින විට තවත් අවුරුදු කිහිපයකින්, අපි පසුකළ ළමා කාලය පසුකරමින් සිටින නුඹවැනි දරුවෙකුට, ආප්පය යනු කෑමක් පමණක් නොව එය තවත් මනුෂ්‍යයකුට හිංසා හෝ අවමන් කිරීම සඳහා භාවිතා කරන පදයක්ද වේ යැයි සිතෙන විට ඇතිවන්නේ ගැඹුරු වේදනාවක් පමණි. මෙම කාරණයේ ඇති කටුක තත්වය මෙයයි. ඔබ එසේ කියන විට කිසිඳු වගතුවක් නොමැතිව ඔබ වටේ සිටිමින් සිනහා වෙන අයවලුන් සිදුකර ඇති හානිය මෙයයි.

ඉතින් පුතේ, තවත් වසර කිහිපයකින් පසු නුඹ නුඹේ ජීවිතය දෙස හැරී බැලීමේදී හමුවන කටුක ඇත්ත එයයි. ඔබ එලෙසනම්, අපට අපේ අනෙකුත් දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන්ගේ දේශපාලන තෘෂ්ණාවන් නිසා මුහුණ දීමට සිදුවී ඇති බරපතළ තත්වය කෙබඳු විය හැකිද? චෝදනා කිරීමෙන් හෝ වෙනත් හානිදායක කටයුත්තක් කිරීමට වඩා වැදගත් වන්නේ, මෙවැනි අවාසනාවන්ත උගුල් වලින් මේ මාතෘභූමිය ගලවා ගැනීමට හැකි මාර්ගය සඳහා අත්වැළක් වීමයි. ඒ සඳහා පෙළ ගැසීමයි.

බිඳුණු මිනිසුන් අලුත්වැඩියා කිරීමට වඩා ශක්තිමත් දරුවන් හදන එක වඩාත් ලෙහෙසියි, ශ්‍රේෂ්ඨ ෆෙඩ්රික් ඩග්ලස් සඳහන් කළ කාරණයෙන් මෙම ලිපිය අවසන් කිරීම සුදුසු යැයි මා සිතමි. නමුත්, අපේ වගකිව යුතු පරම්පරාව මෙම කණගාටුදායක තත්වය හමුවේ ඇති වගකීම කොතරම් දුරට තේරුම්ගෙන අපේ දරුවන් මඩ ගොහොරුවේ පිපුණු පියුම් සේ දීප්තිමත් කිරීමට හැකි සාමූහික වැඩපිළිවෙල තම දෑතට ගැනීමට සූදානම් වන්නේද ?

පුතේ; ලිවීමට කරුණු රාශියක් තිබේ. නමුත්, මෙය අදට ප්‍රමාණවත් යැයි සිතෙමි. ඉගෙන ගන්න, ලෝකය දකින්න, ඉතිහාසය නිවැරදිව සිහියේ තබාගන්න. මන්ද, අපි සියලුම දෙනාටම යායුතු මාර්ගය ඉතා කටුක මෙන්ම දීර්ඝ එකකි.

මීට ඔබට හිතවත්,

   නිලන්ත ඉලංගමුව


-  මෙලනි






2016-08-05
Advertisement

Find us on Facebook