English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අහෝ කාගේද මේ ! තවමත් හමුවන මිනිස් ඇටසැකිලි ! කරාබු මාල!!

පිංතුරය බීබීසි සංදේශය

පාළුවට ගිය ළිඳක් සහ එහි තිබි මිනිස් ඇටසැකිලි කොටස් සහ කාන්තා ආභාරන කොටස් දහහතරක් හමුවී ඇත. මන්නාරම දිස්ත‍්‍රික්කයේ අධිකරණ වෛද්‍යවරයා විසින් අද සවස එනම් අගෝස්තු 04 වෙනිදා මෙහි කැණීම් කටයුතු අවසන් කර ඇත. වැඩිදුර පරීක්‍ෂණ සඳහා අධිකරණය වෙත භාරදී ඇත.   

ඇටසැකිලි හමුවෙයි යන වචන ක්‍ෂණිකව අපට සිහිගන්වන්නේ කිසිදු තොරතුරක් නොමැතිව ලංකාව පුරා අතුරුදහන්වී සිටින කවර හෝ ජාතියකට අයත් මිනිසුන්වය. අතුරුදහන්වුවන් සොයා යන ඔවුන්ගේ පවුල්වල ඥාතීන්වය. දරුවන් වෙනුවෙන් ලතවෙන අම්මාවරුන් පියවරුන්වය, ස්වාමිපුරුෂයින් බිරින්දැවරුන් වෙනුවෙන් ,සොයුරු සොයුරියන් වෙනුවෙන් ලතවෙන ස්නේහවන්තයින්ය. කවර හෝ හේතුවක් මත හෝ හේතුවක් නොමැතිව නිරපරාදේ එල්ටීටීඊය විසින් හෝ රජයේ හමුදාවන් විසින් අතුරුදහන් කළ වුවන් හෝ 88-89 දකුණේ භීෂණ කාලයේදි කවර හෝ පාර්ශවයක් විසින් අතුරුදහන් කළ වුවන් මෙසේ අතුරුදහන්වුවන්ගේ මාතෘකාවට අයති වනු ඇත.

අතුරුදහන්වු පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් හට අස්වැසිල්ලක් විසඳුමක් ලබාදෙන්නට මේතාක් හමුවී ඇති සමූහ මිනීවලවල් , මිනිස් ඇටසැකිලි සමත් වුණි ද ? නැත. මීට පෙර ගොඩගනු ලැබුවේ යැයි ප‍්‍රකාශකරන ලද මිනිස් ඇටසැකිලි වරින් වර නොයෙකුත් පරීක්‍ෂණ සඳහා යොමුකරනු ලැබූ බවක් දන්නා නමුත් එහි අවසන් ප‍්‍රතිඵලය වුයේ කුමක් ද යන්න පිළිබඳ වාර්තා වුයේ නැත. අසම්පූර්ණ සෙවීම් සහ සොයාගැනීම් වලට පමණක් සීමාවන අතුරුදහන්වුවන් පිළිබඳ කථීකාව තවමත් පවතින්නේ ,සිය අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන් හට තිරසාර ලෙසට පිළිතුරක් දෙන්නට සමත් වන ආකාරයෙන් නොව, පොළව අභ්‍යන්තරයේ ය. සෙවීම්වල අභ්‍යන්තරයේ ය. අතුරුදහන්වුවන් සොයා යන විඩාබර වු අහිසංක මිනිසුන් තිගැස්මක හා බලාපොරොත්තුවක නවතා තබන අවසානයක් නොමැති පුවතක් ලෙසට ය.    



යළිත් හිටි හැටියේ අගෝස්තු පළමුවෙනි දා මන්නාරමේ තිරුකේතීස්වරන් පළාතේ පාළු ළිඳක කැණීම් කටයුතු ආරම්භ කළ බවක් මන්නාරම පොලිසිය පොලීසිය වාර්තා කළේය. කැණිම් කටයුතු අතරමඟ, වතුර ඉනීමේ හේතුව මත පසුගිය දෙදින තාවකාලිකව කැණීම් කටයුතු නතරකර තිබුණි. එහෙත් අද එනම් අගෝස්තු 04 වෙනිදා යළිත් කැණීම් කටයුතු ආරම්භ කළ අතර අද පස්වරුවේදි මෙම කැණීම් කටයුතු මුළුමනින්ම අවසන්කර ඇති බවට පොලීසිය වාර්තා කළේය.

මෙකී ළිදෙහි කැණීම්වල දී එහි තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් සමඟ කරාබු මාල වැනි තවත් ද්‍රව්‍ය කොටස් 14ක් සම්බ වු බවත්, සොයාගත් එම මිනිස් ඇටසැකිලි කොටස් ඇතුළු ආභරණ සියල්ල විද්‍යාත්මක පරීක්‍ෂණ සඳහා කොළඹ යවනු වස් අධිකරණය වෙත භාරදුන් බවත් මන්නාරම දිස්ත‍්‍රික් අධිකරණ වෛද්‍ය නිළධාරි එම් රාජපක්‍ෂ කැණිම් කටයුත්තේ අවසන් කරමින් ප‍්‍රකාශ කර ඇත.

පොලීසියේ තොරතුරුවලට අදාළව මෙම ළිඳ පිහිටා ඇත්තේ ද මීට වසර පහකට පමණ පෙර මිනිස් ඇටසැකිලි 96 ක් හමුවුයේ යැයි කියනා තිරුකේතීස්වරන් සමූහ මිනිවල ආසන්නයේය.


කෙසේ වෙතත් ...


මෙම අස්ථි කොටස් කාගේද ? මෙකී ළිඳතුළ තිබුණු ආභරණ හදුනාගත හැකිවුවන් සිටිත්ද ? එමෙන්ම ජීවත්ව සිටිත් ද ? එහි අයිතිකරුවන් වනුයේ වසර ගණනාවක් තිස්සේ වේදනාව හිතේ තදකරගෙන, යායුතු, ගිය හැකි සෑම කාර්යාලයකට ම ගොස්, වාර්තා කළ යුතු සෑම සියලූ දෙනාටම සහ ආයාතනවලට වාර්තා කරමින්, දෙපා රිදෙන තුරු ඇවිදිමින් පාගමන් යමින් සොයා ඇවිදී මිනිසුන්ගේ අතුරුදහන්වී ඇතැයි කියනා ඥාතීන් ගේ ද ?  මේතාක් කැණීම් සිදුකළ සමූහ මිනිීවලවල් වලින් සොයාගත් මිනිස් ඇටසැකිලි වලට සිදුවුයේ කුමක් ද ? තිරුකේතීස්වරන් සමූහ මිනිවලේ ම තිබි සොයා ගත් මිනිස් ඇටසැකිලි 96 ට සිදුවුයේ කුමක් ද ? එම පරීක්‍ෂණවල ද ආරම්භයක් මිස අවසානයක් නොමැති බව, මෙම සමුහ මිනීවලේ මිනිස් ඇටසැකලි පරීක්‍ෂණය භාරව ක‍්‍රියාකළ ජේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිළධාරි ධනංජය වෛද්‍යරත්න විසින් බීබීසී සංදේශයට (අගෝස්තු 01දා) ප‍්‍රකාශකර ඇති වගන්තියකින් සනාථ වෙයි.

වෛද්‍ය ධනංජය ප‍්‍රකාශකර ඇත්තේ තමන් මේ අවස්ථාව වන විට සේවය කරන්නේ මාතලේ බැවින් තිරුකේතීස්වරන් සමූහ මිනිවල සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ මෙහෙයවීමේ හැකියාවක් නොමැති බවත් , මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමට තමන්ට අනුරාධපුරයට යාමට අවස්ථාවක් සලසා දෙනමෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊය කිසිවෙකුත් ඇහුම්කන් නොදුන් බවයි.



කරුණු මෙසේවන කළ විටෙන් විට අසන්නට ලැබෙන සමුහ මිනීවලවල්, කැණීම් කටයුතු , නොයෙකුත් පරීක්‍ෂණ පැවැත්වීම්, ඒ සඳහා වීදේශීය සහයයන් ද ලබාගැනීම් සහ මේ සමස්ත වෙනුවෙන් අධික මුදලක් හා ශ‍්‍රමයක් වැයකරීම තුළ ඇත්තේ අතුරුදහන්වු පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් නොමග යැවීම ද ? රැවටීම ද ? කල්මැරීම ද ?

පිංතුර සහ සටහන -  මෙලනි  




2016-08-04
Advertisement

Find us on Facebook