English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අගෝස්තු 2 වන දා එනම් හෙට ප.ව. 4. 00 ට !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය හා ලංකාවේ ආර්ථිකය මුහුණ දී සිටින තත්කාලීන ගැටලු පිළිබද සාකච්ඡ කිරීම සදහා ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සන්ධානය අගෝස්තු 2 වන දා එනම් හෙට ප.ව. 4. 00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක් සංවිධානය කර ඇති අතර මෙම අවස්ථාවට සහභාගී වන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටියි.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇති කරගත් එකගතාවය සුපරීක්ෂාවට ලක්කල යුතු බවට දැඩි සේ කියා සිටින ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සන්ධානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙසේ සඳහන් කරයි.

2016 ජූනි මාසයේ දී ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට විස්තීර්ණ ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනු ලැබූ තීරණයේ නිශේධනාත්මක ප‍්‍රතිවිපාක පිළිබද ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සන්ධානය ස්වකීය දැඩි අවධානය යොමු කර සිටී. මෙම ණය එකගතාවය අනුව ලංකා ආණ්ඩුව ඇමරිකානු ඩොලර් බිලියන 1. 5 ක ණය මුදලක් ලබා ගන්නා අතර මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ රටේ ජනතාවගේ ආර්ථික හා සමාජ ජීවිතයට අහිතකර ලෙස බල පෑ හැකි කොන්දේසි සමූහයකට යටත්වය. මෙම එකගතාවය අතිමහත් අන්තරායක් ගැබ් කරගත් එකක් වූවත් එය නිසි පරිදි සමාජයේ අවධානයට ලක් වී නැති අතර මාධ්‍ය තුළ ද මේ පිළිබද ප‍්‍රමාණවත් තරම් සාකච්ඡ වී නොමැත.

ජා.මූ. අරමුදල සමග ඇති කරගත් මෙම එකගතාවය ඉදිරි වර්ෂ කිහිපය තුළ ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තීන්වල අනාගතය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇත. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි 2017 වර්ෂයට අදාල අය වැය යෝජනාවල හරය කෙරෙහි ද බලපෑම් සහගත වනු ඇත.

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන පැහැදිලි කිරීමට අනුව මෙම ණය එකගතාවය ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසදා ගැනීම සදහා උපකාරී වනු ඇත. කෙසේ වූවද 2009 ජූලි මස ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය මුදල ආදී මීට පෙර එම ආයතනය සමග ඇති කරගත් ණය එකගතා හා සමානවම මෙම එකගතාවය ආර්ථිකය ලිහිල්කරණය කිරීම වඩාත් තීව‍්‍ර කරමින් අනාගතයේ වඩාත් බරපතල අර්බුදයක් ඇති වීම ස`දහා අවශ්‍ය තත්වයන් නිර්මාණය කරනු ඇත. 

ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මූලික වශයෙන් ප‍්‍රාග්ධනය රටෙන් පිටතට ගලා යාම, අපනයන පහත වැටීම හා ආනයන ඉහළ යාම නිසා මතු වී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදයකි. මේ අර්බුදය පසුගිය ආණ්ඩු ක‍්‍රියාවට නැංවූ ප‍්‍රාග්ධන වෙළදපොල ලිහිල්කරණයේ සෘජු ප‍්‍රතිවිපාකයකි. මෙලෙස ප‍්‍රාග්ධන වෙළදපොල ලිහිල් කිරීම නිසා ප‍්‍රාග්ධන ආපසු ගලනය පහසු වී තිබෙන අතර එහිම ප‍්‍රතිඵල ලෙස පසුගිය ආණ්ඩු මෙගා සංවර්ධන ව්‍යාපෘති සදහා අති විශාල ණය ලබාගැනීම සිදුකලේය. ආණ්ඩුව මෙලෙස ප‍්‍රාග්ධන වෙළදපොල ලිහිල් කිරීම නිසා ආර්ථික අර්බුදයක් ඇති වී තිබුණත් දැන් ආණ්ඩුව ප‍්‍රකාශ කරන්නේ එම අර්බුදයේ බර මහජනතාව දරා ගත යුතු බවය. මහජනයාට පටි තද කරගන්නා ලෙස දැනුම් දී තිබෙන ආණ්ඩුව වඩ වඩා විදේශ ප‍්‍රාග්ධනය ලංකාවට අද්දවා ගැනීම සදහා කම්කරුවන්ට ආරක්ෂාකාරී ලෙස දැනට පවතින නීති කප්පාදු කල යුතු බව ද කියා සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් නව ණය එකගතාවය අනුව පසුගිය කාලයේ ක‍්‍රියාත්මක කළ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති තවත් තියුණු කිරීමට නියමිත අතර අර්බුදයේ බර මහජනයා මත පැටවීමේ ක‍්‍රියාදාමය එමගින් වඩාත් බලගතු වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වූ ණය එකගතාවයේ එකගතා පහත පරිදිය.

x    බදු ප‍්‍රතිපත්තිය සංශෝධනය කිරීම - වැට් බදු වැඩි කිරීම ආදී ලෙස ඉහල බදු බරක් සාමාන්‍ය ජනයා මත ඇති කිරීම
x    ආණ්ඩුවේ වියදම් අවම කිරීම - සුබසාධන සදහා කරන වියදම් ඇතුලු රජයේ වියදම් කප්පාදු කොට අය වැය හිගය අවම කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කොට තිබෙන ඉලක්ක සපුරා ගැනීම
x    රාජ්‍ය ව්‍යවසායන් ප‍්‍රතිව්‍යුහගතකරණය - විදුලිය, ඉන්ධන හා ජලය සදහා දැනට තිබෙන සහන මිල වෙනුවට වෙළදපොල උච්චාවචන අනුව එම මිල ගණන් තීරණය වන්නට ඉඩ හැරීම
x    වෙළදාම ලිහිල්කරණය - ලාභ මිල ගණන් මත සිදුවන භාණ්ඩ හා සේවා ආනයනය නිසා කම්කරුවන්ගේ වැටුප් හා ආරක්ෂණය තර්ජනයට ලක් වීම මෙමගින් සිදුවනු ඇත.
x    මූල්‍යකරණය වඩාත් තීව‍්‍ර කිරීම - මූල්‍ය අර්බුද ඇති වීම සදහා පසුබිම මෙමගින් ඇති කරන අතර විනිමය අනුපාතිකවල විශාල ඉහල පහල යාම්වලට මෙය පසුබිම සකස් කරනු ඇත.

මෙම ණය එකගතාවය විසින් ඇති කල හැකි මෙම නිශේධනාත්මක ප‍්‍රතිවිපාක පිළිබද අවදියෙන් සිටින ලෙස පුරවැසියන්ගෙන් හා වෘත්තීය සමිති, ගොවි සංවිධාන හා ශිෂ්‍ය සංවිධාන ආදී වූ මහජන සංවිධානවලින් ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සන්ධානය ඉල්ලා සිටී. මහජනයා මහත් ආර්ථික පීඩාවකට ගොදුරු වී තිබෙන තත්වයක් තුළ 2017 වර්ෂය සදහා වූ අය වැය මහජන අභිලාෂයන් හා ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දක්වන වර්ගයේ එකක් විය යුතු අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවල සාරාංශයක් නොවිය යුතුය. මහජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය සහභාගීත්වය හා මහජනයා සංවිධානය වීම ආර්ථික සාධාරණත්වය හා සමානාත්මතාවය වෙත ඉලක්ක ගත වූ ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කිරීම සදහා අතිශයින්ම තීරණාත්මක යැයි අපි සිතමු.

ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සන්ධානය - ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සන්ධානය යනු රටේ ආර්ථික ප‍්‍රතිපත්ති ස්වල්ප පිරිසකගේ යහපත සදහා නොව පොදු ජනයාගේ අභිලාෂයන් සදහා යොමු විය යුතු බව විශ්වාස කරන වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්, සමාජ සංවිධාන හා ක‍්‍රියාධරයින්ගෙන් සමන්විත ව්‍යාපාරයකි.

-  මෙලනි 



2016-08-01
Advertisement

Find us on Facebook