English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදන්වූවන්ගේ කාර්යාලය: රාජපක්ෂ අවලාදවලට මංගල සමරවීර පිළිතුරු දෙයි !

මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබඳ කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස දහස් ගණනක් පවුල් පැමිණිළි ඉදිරිපත් කරන ලදී. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරුන් සියලූ දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින් ගමන් කරති.

මෙම මව්වරුන්ගේ පවුල් පසුබිම් සුවිශාල ලෙස වෙනස් විය හැක. සමහරුන්ගේ දුවා දරුවෝ එල්.ටී.ටී.ඊ ය විසින් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගත්තෝය. තවත් සමහරුන් 1988 – 89 භීෂණ කාලයේදී අතුරුදන් වූහ. තවත් සමහරු යුධ සමයේදී හමුදාවට බැඳී අතුරුදන් වූහ. තවමත් තමන්ගේ දරුවන් අතුරුදන්වූ මව්වරුන් මාතර මාගේ කාර්යාලයට දුක් ගැනවිලි කියමින් පැමිණෙති. එම බොහෝ මව්වරුන් අදටත් විශ්වාස කරන්නේ තමන්ගේ දූ පුතුන් ජීවතුන් අතර සිටින බවයි. එසේ නැතහොත් සිය කටුක අතීතය අමතක කර දැමීමට ප්‍රථමයෙන් සත්‍ය වශයෙන්ම තම දරුවන් කොහේදී කුමන ආකාරයෙන් මරණය අත්වූවා දැයි දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙති. රට පුරා අතුරුදන්වූවන් පිළිබඳව අප විසින් කතා බස් කළ සෑම විටම එම පවුල්වල අය ඉල්ලා සිටියේ අඩු තරමේ තම අහිමි වූ පුතුන්ගේ ඇටකටු හෝ සොයා දෙන ලෙසත් ඉන් පසුව තමන්ට මරණය සිදුවූ බව භාරගත හැකි බවත්ය.

සත්‍ය කොමිසමට අනුව ඔවුන්ගේ මේ මානසික පීඩනය රජය විසින් පළමුවෙන්ම සැළකිල්ලට ගත යුතු කරුණකි. අපට අතුරුදන්වූවන්ගේ පවුල් වෙත සත්‍ය සොයා දීමෙන් ඔවුන්ගේ සිත්වලට සහනයක් ලබා දීමට හැකිය. මහින්ද රාජපක‍්ෂ රජය කාලයේ මේ සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් සිදු කළේ ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීමට මාන බලමින් කරන විජ්ජාවකි. දැන් පරාජයට පත්වී බලය රහිතව සිටින මහින්ද රාජපක්ෂ තම සුපුරුදු අවස්ථාවාදී හැසිරීම මනාව පෙන්නුම් කරමින් දුක් විඳින මව්වරුන්ගේ කර මත නැග දේශපාලන වාසි තකා අනාගත පරපුර තවත් වරක් රැවටීමට සැරසේ.

ඔහු විසින් අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ සිදු කරන ප්‍රකාශයේ අසත්‍ය තොරතුරු එළිදරව් කිරීමට ප්‍රථම මෙම ප්‍රශ්නයේ ඉතිහාසය සොයා ගත යුතුය.

මහින්ද රාජපක්ෂ වෙත මා විසින් මෑත කාලීනව යැවූ විවෘත ලිපියෙන් හෙළිදරව් කළ පරිදි ඔහු කලක් පාර්ලිමේන්තුවේදී උසාවිවල හා ජිනීවාවලදී අතුරුදන් වූවන්ගේ පවුල්වල දුක් ගැනවිලි වෙනුවෙන් කිඹුල් කදුළු හෙලමින් හඩා වැළපුනේය.

ඇත්ත වශයෙන්ම, 1990 ඔක්තේම්බර් 25 වන දින ජිනීවා සංචාරයෙන් පසුව ඔහු  පාර්ලිමේන්තුවේදී අභීතව කතා කරමින් පැවසූයේ “මේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් අපි ජිනීවාවලට නොවෙයි, අවශ්‍ය නම් ලෝකයේ ඕනෑම තැනකට, නැත්නම් අපායට වුනත් ගිහින් ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරනවා. මේ රටේ අහිංසකයන්ගේ දුක් ගැනවිලි ලෝකයේ කොහේ හිටියත් කියන්න ඕන.“ යනුවෙනි. එදිනම ඔහු තවදුරටත් පැවසූවේ “මම මේ රටේ මව්වරුන්ගේ දුක් අඳෝනා රැගෙන ගියා. ඔවුන් ගැන කතා කිරීමට මට නිදහසක් නෑද්ද?“ යනුවෙනි.

තවත් අවස්ථාවකදී අතුරුදන් වූවන් දහස් සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අඩංගු ලිය කියවිලි 533 ක් ජිනීවාවලට ගෙන යාම සම්බන්ධයෙන් ඔහු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබඳව ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග කරන ලදී.

මහින්ද ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන හඬ නැගුවා පමණක් නොව, ඔහු ඒ සම්බන්ධයෙන් මුළු ලොවම ක්‍රියාකාරී කරවීමෙහිලා සාර්ථක ප්‍රතිඵලද ලබා ගත්තේය. ඔහුගේ සංචාරය නිමවීමත් සමගම ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකාවට ලැබිය යුතු ආධාර සම්බන්ධයෙන් කොන්දේසි පවා පනවන ලදී. ඒ පාර්ලිමේන්තු විවාදයේදීම කතා කළ ඔහු තවදුරටත් මෙලෙස පුරසාරම් දෙඩීය. “අපිට ආධාර දෙන රටවලින් ඇහුවා ඇයි ආධාර දෙනකොට කොන්දේසී පනවන්න බැරි ඇයි කියලා. එසේ කරන ලෙස අපි ඉල්ලීමක් කරා. එය තමයි අද ඉටුවී ඇත්තේ.“ මෙම වචනවලින්ම ඔහුගේ ස්වරූපය පිළිබිඹුවන අතර ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඔහු දැක්වූ අදහස් හා ඔහුගේ ක්‍රියා කලාපය තුළින්ම ඔහු කොපමණ කුහකයෙකු බවට පත්වී ඇති දැයි පෙන්නුම් කෙරෙන හෙයින් මා විසින් එය පුන පුනා අවධාරණය කිරීම අවශ්‍ය නොවේ.

මේ අතීතය දෙස බලන විට ඔහුගේ මානව අයිතිවාසිකම් පිළිබඳව සියලූ කෙරුවාවල් තමන්ගේ දේශපාලන වාසි සඳහා මහජනතාවගේ දුක් ගැනවිලි යොදා ගන්නා ලද කූට උපක්‍රමයක් ලෙස පෙනී යයි. 2009 යුද්ධය හමාර වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහලේකම් බන්කී මූන් මහතා සමග නිකුත් කරන ලද වගවීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය මෙයට හොඳම උදාහරණයකි. ජිනීවාහි හිටපු තානාපති දයාන් ජයතිලක විසින් මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේම 2009 දී ලබා දුන් පොරොන්දු එම වසරේ ජිනීවා යෝජනාවන්හි දැකගත හැකිය.

මෙයාකාරයෙන් කිහිප වතාවක් ප්‍රසිද්ධියේ ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු කඩ කරමින් ලංකාවට විරුද්ධව ඇති චෝදනා හුදු ප්‍රබන්ධයක් ලෙස ඉවත දමමින් සිදු කළ හැසිරීම රට විශාල ආගාධයකට ඇද දැමීමට පාර කැපුවේය. යුද්ධයේදී අපරාධවලට සම්බන්ධ වූ කිහිප දෙනෙකු ඇත්නම් ඒවා සත්‍යද යන්න සොයා බලා ඔවුන් සිදු කළ වෘත්තීය නොවන ක්‍රියාවන්වලට දඬුවම් දී මුළු මහත් හමුදාවේ කීර්තිය රැක ගැනීමට පුළුවන්කම තිබුණි. එසේ නොකොට මුළු මහත් හමුදාවම පාවා දීමට ඔහු කටයුතු කළේය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගේ අවස්ථාවාදී ප්‍රකාශයෙන් යම් අයෙකු නොමග ගොස් ඇත්නම් ඔවුනට එක් එක් කරුණ සම්බන්ධයෙන් වෙන වෙනම පිළිතුරු ලබා දෙමින් එහි ඇති ව්‍යාජ බව හෙළිදරව් කිරීමට කැමැත්තෙමි.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 01:

මෙකී අතුරුහන්වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතී රීතිවලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.

යෝජනා කොට ඇති පාර්ලිමේන්තු පනත් කෙටුම්පතේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ප්‍රධාන කාර්යන් 04 ක් පවරා තිබේ.

‍• අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම හා ඔවුන් පිළිබඳව ලේඛණ ගත කිරීම.
‍• පුද්ගලයින් අතුරුදන්වීම පිළිබඳ පසුබිම සොයා බැලීම හා ඔවුනට සිදුවූ දේ පිළිබඳ වාර්තා කිරීම.
‍•  අතුරුදන්වීම් හා අතුරුදන් කිරීම් අවම කර ගැනීම සඳහා බලධාරීන් වෙත යෝජනා ලබා දීම.
‍• අතුරුදන්වීම්වලට ලක්වී ඇති අයගේ පවුල්වලට සහන ලබාදීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීම.

ඉහත වගකීම් අනුව පෙනී යන්නේ අදාළ අයතනය නීතීමය හෝ අධිකරණමය වගකීම් සහිත ආයතනයක් නොව, සත්‍ය සොයා බැලීමේ පරීක්ෂණ ආයතනයක් බවයි. පාර්ලිමේන්තුව විසින් හඳුන්වා දෙනු ලබන අතුරුදන්වීම් පිළිබඳ කාර්යාලය අල්ලස් හා දූෂණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි සමාජයේ හඳුනාගත් ප්‍රශ්න පිළිබඳ ප්‍රතිචාර දක්වන තවත් එක් ආයතනයක් බවට පත්වේ. අදාළ පනත් කෙටුම්පතේ පහත මූලයන් අඩංගු වේ.

‍• අතුරුදන්වූවන්ගේ පිළිබඳ කාර්යාලයෙන් හෙළිදරව් කරනු ලබන විස්තර අපරාධ හෝ සිවිල් නීතී ක්‍රියාදාමයන් සඳහා අදාළ කර නොගැනීම.
‍• අනිකුත් ස්වාධීන කොමිෂන් මෙන්ම  අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කවුන්සිලය මගින් පත් කෙරෙන සාමාජිකයින් 07 න් යුක්තය.
‍• අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින්, නිලධාරීන් හා කාර්ය මණ්ඩලය රජයේ සේවකයන් ලෙස සළකනු ලැබේ.
‍• අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින්ගේ වැටුප් පිළිබඳ තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින් වන අතර ඔවුනට ඒකාබද්ධ අරමුදලෙන් ප්‍රතිපාදන ලබා දෙනු ලැබේ.
‍• ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය යටතේ පැවරෙන බලතල අනුව විගණකාධිපති විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ විගණන කටයුතු සිදු කරනු ලැබේ.
‍• යෝජිත කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට වාර්ෂිකව වාර්තා සැපයිය යුතු අතර එම වාර්තා මහජනතාවගේ දැන ගැනීම සඳහා එළි දැක්විය යුතුය.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 2:

මෙය ‘කාර්යාලයක්‘ ලෙසට හැඳින්වුවද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදන්වූන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, “ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුළු වීමටත් විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයෙකුට උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කළ හැක.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සත්‍ය සොයා බැලෙන විමර්ශන ආයතනයකි. මතභේදයන් පිළිබඳ විනිශ්චයන් ලබා දීම එයට සිදු කළ නොහැකිය. යෝජිත පනත් කෙටුම්පතේ දැක්වෙන පරිදි “අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විසින් හෙළිදරව් කරන කරුණු, අපරාධ හෝ සිවිල් නඩු ගොනු කිරීමට හේතු සාධක නොවේ. ආයතනයේ මූලික කටයුත්ත වන්නේ යම් අතුරුදන්වූ පුද්ගලයෙකු මිය ගොස් ඇත්ද? නැතිනම් ජීවතුන් අතර ඇත්ද? යන්න සොයා බලා මිය ගොස් ඇතිනම් එය කවදා කුමන ස්ථානයකදී කෙසේ සිදුවී ඇත්දැයි සොයා බැලීමයි.“

මානව හිමිකම් කොමිසම, පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව වැනි ආයතනයන්ට ඇති බලතල හා නීතිමය වරප්‍රසාදයන් මෙම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලබා දෙනු ඇත. එසේම සහයෝගය ලබා නොදීම හා නිග්‍රහශීලි ලෙස ක්‍රියා කිරීම වෙනුවෙන් මෙවැනි පොදු ලක්ෂණ අනික් ආයතනවලද තිබේ. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු පෙත්සම් පිළිබඳ කාරක සභාවේ බලතල අනුව “ ඕනෑම පුද්ගලයෙකු එය ඉදිරියට ගෙන ඒමට, ඕනෑම පුවත්පතක්, පොතක් හෝ වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීමට ඉල්ලා සිටීමට හා දේපලවලට ඇතුළු වීමට අවසර තිබේ.“ මෙම බලතලවලට අතිරේකව, අපගේ දැනට පිහිටුවා තිබෙන මානව හිමිකම් කොමිෂන් සභාවට, “ඕනෑම අවස්ථාවකදී, ඕනෑම රැඳවුම් ස්ථානයකට, පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් ආකාරයකින් යම් පුද්ගලයෙකු රඳවා ගෙන ඇති වෙනත් ඕනෑම ස්ථානයකට ඇතුළු වීමටද, අවශ්‍ය වෙතොත් එහි රඳවා ගෙන ඇති පුද්ගලයන්ගේ රඳවාගැනීමේ තත්වයන් පිළිබඳව නිශ්චිත වශයෙන් දැන ගැනීමටද එහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට හෝ එහිදී හමුවන ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට ද ව්‍යවස්ථාව මඟින් බලය ලබා දී තිබේ.“

ඉහත ආකාරයට සමානව අතුරුදන්වූවන්  පිළිබඳ කාර්යාලයට රඳවා ගැනීමේ ස්ථාන වෙත ඇතුළුවීමට අවසර තිබේ. එයට මහේස්ත්‍රාත් උසාවියකින් ලත් අවසර මත පොලිසීයට හෝ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට අදාළ පරීක්ෂණ සඳහා සම්බන්ධ යැයි සැක කෙරෙන පරිශ්‍රයක් වෙත ඇතුළුවීමට අවසර තිබේ.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 3:

පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයින් හත්දෙනාට විමර්ශන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳව දැනුමක්ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයින් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වා ගෙන යන ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලය මගින් පත් කරනු ලබන අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් මානව හිමිකම් පිළිබඳ පළපුරුඳූ අත්දැකීම් සහිත අය වනු ඇත. යෝජිත කෙටුම්පත පැහැදිලිව අනවශ්‍ය පුද්ගලයින් ඇතුළත් නොවන පරිදි සකසා ඇත. පනත් කෙටුම්පතට අනුව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයෙකු පත් කරන්නේ කතානායකවරයාගේ කැමැත්ත අනුව අගමැති විසින් කරන නිර්දේශයක් මත ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේය. එහිදී පුද්ගලික න්‍යාය පත්‍රයක් සහිත මධ්‍යස්ථ නොවන පුද්ගලයින් පත්වීම වැළකෙනු ඇත. එවැනි අයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. රාජපක්ෂ ආණ්ඩු කාලය මෙන්ම සිරිසේන වික්‍රමසිංහ පාලනය තුළදී තේ වෙළෙන්ඳන් තානාපතිවරුන් ලෙස හෝ නක්ෂත්‍රකරුවන් රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂකවරුන් ලෙස හෝ වරාය ලිපිකරුවන් නොනිල විදේශ අමාත්‍ය කටයුතු සඳහා පත් නොකෙරේ. සුදුසුකම්ලත් ගැළපෙන පුද්ගලයින් ඒ සඳහා පත් කෙරේ.
 
මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 4:

පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් සෘජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.

යෝජිත පනතට අනුව “රජය විසින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත තම කටයුතු පනතට අනුව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය කරන ප්‍රමාණවත් අරමුදල් රජය විසින් ලබා දිය යුතු වේ. එම අරමුදල් රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබා දිය යුතුය.“

ඉතා අපරීක‍්ෂාකාරී ලෙස සිදු කළ ආර්ථික කළමනාකරණය හා ණය කන්දරාව රජය වෙත ඉතිරි කරමින් රාජපක්ෂ පාලනය ඉවත්ව යෑමෙන් පසු දැනට රජයට දස දහස් ගණනක් වූ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය තරම් මූල්‍ය පහසුකම් නොතිබෙනු ඇත. එබැවින් අනෙක් රාජ්‍ය ආයතන සිදු කරන පරිදි අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ද  විදේශීය තාක්ෂණය හා අරමුදල් ලබා ගැනීමට සිදුවනවා ඇත.  ලැබෙන සියලූ අරමුදල් විනිවිදභාවයකින් යුතුව පරිහරණය කරනු ලබන අතර විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ඇත. විදේශ ආධාර ලබා ගැනීමට හා විදේශ විනිසුරුවරුන් වූ භගවතී වැනි අයට ලංකාවට ඒමට ආරාධනා කළ මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ සගයා විමල් වීරවංශ විදේශ රටවලින් මුදල් ලබා ගැනීම පිළිබඳ පැමිණිලි කිරීම අදහාගත නොහැකි විකාරයකි.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 5:

ආයතනයේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැක.

විදේශීය පාර්ශව සමග ගිවිසුම් වලට එළැඹීමට සංස්ථාපිත ආයතන බලගන්වනු ලැබේ. මෙම සියලුම ගිවිසුම් ශ්‍රී ලාංකික නීතියට සහ ආණ්ඩුුක්‍රම ව්‍යවස්ථාවට යටත් වනු ඇත.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 6:

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයින්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත්කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ශ්‍රී ලංකාවෙන් ලබා ගත නොහැකි විශේෂඥභාවයක් විදේශ රටවලින් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත. මහින්දගේ ආණ්ඩුව ඇතුළු කලින් පැවති ආණ්ඩු විදේශීය විමර්ශකයන් හා ස්කොට්ලන්ත අධිකරණ විශේඥෂයින් ද ඩෙස්මන්ඩ් ද සිල්වා, රොෆ්රේ හයිස් හා එඩ්වඩ් ක්රේන් වැනි නීතී විශාරදයින් මෙරටට ගෙන්වන ලද්දේ එහෙයිනි. ලොව පුරා විසිරී ඇති වෙනත් එවැනි ආයතන බොහෝමයක් විදේශීය විශේෂඥභාවය ප්‍රයෝජනයට ගන්නා අතර එය ඔවුන්ගේ විශේෂඥභාවයෙන් ප්‍රයෝජන ගැනීමට නොව, ස්වයං ආරක්ෂාවන් සඳහා ප්‍රමාණවත් වනු ඇත. ඇත්ත වශයෙන්ම, එක්සත් රාජධානිය කැළඹිලි ස්වාභාවයෙන් යුක්ත මෙම අවස්ථාවේදී අවශ්‍යතාවයක්ව පැවති ස්ථායීභාවය හා විශ්වාසය ගොඩනඟමින් සිටින්නේ කැනේඩියානු ජාතික එහි මහබැංකු අධිපතියා විසිනි.

විදේශීය තාක්ෂණික සහය ලබා ගැනීම දීර්ඝ කාලීන වශයෙන් විශේෂයෙන් අධිකරණ වැනි ක්ෂේත්‍ර හා සම්බන්ධ පුහුණුවීම්වලින් ඵල ප්‍රයෝජන ලබා ගනු ලබන දේශීය පුද්ගලයන්ගේ හැකියාවන් සංවර්ධනය සඳහා උපකාරී වනු ඇත. අනාගතයේදී මෙම ක්ෂේත්‍ර හා සම්බන්ධ ශ්‍රී ලාංකික විශේෂඥයින් එවැනි විශේෂඥභාවය අවශ්‍යවන වෙනත් රටවලට ඒ පිළිබඳ දැනුම ලබා දීමට හා එම රටවල් සමග එම දැනුම බෙදා හදා ගැනීමට හැකි තත්වයකට පත්වෙනු ඇත.

කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සංයුතිය මගින් ශ්‍රී ලාංකික සමාජයේ බහුවිධ ස්වාභාවය නියෝජනයවන බව තහවුරු කිරීමට පනත මගින් බැඳී සිටියි. එසේ හෙයින් අවශ්‍ය පරිදි හා අවශ්‍ය අවස්ථාවලදී විදේශීය විශේෂඥයින්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව සහිත ශ්‍රී ලාංකික ක්‍රමවේදයක් හඳුන්වා දීම පනත් කෙටුම්පතෙහි අරමුණ වන බව පැහැදිලිය.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 7;

මෙම කාර්යාලයට, අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන්ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිලි භාරගත හැක.

ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු අතුරුදන්වීම ශෝචනීය සිදුවීමකි. එවැනි අතුරුදන්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට අත්වූ ඉරණම පිළිබඳ සොයා බැලීම රජයේ වගකීමයි. අපගේ ජනතාවගේ ආරක්ෂාව හා සුභ සිද්ධිය සඳහා අප සියල්ලන් වෙත වගකීමක් පැවරී තිබේ. රජයේ මූලික වගකීම වන්නේ එයයි. රටේ පුරවැසියන් අතුරුදන් වන්නේ නම් අප විසින් ඔවුන් සොයා ගත යුතු අතර එසේ සොයා ගත නොහැකි නම් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි යන්න සොයා බැලිය යුතුය. එහෙයින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ අතුරුදන්වීමකට අදාළ ඕනෑම කරුණක් හෝ ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීමට උපකාරී විය හැකි ඕනෑම තොරතුරක් රජය වෙත ලබා දෙන්නේ නම් ඒවා අපි පිළිගැනීමට සැදී පැහැදී සිටින්නෙමු.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 8:

ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුළු සියලූම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධානද එහිදී බල රහිතවේ.

අල්ලස් කොමිෂම, මානව හිමිකම් කොමිෂන් සභාව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, පාර්ලිමේන්තු කමිටු හා වෙනත් බොහෝ ආයතනවලට අදාළවද මෙයාකාරයෙන් විධි විධාන හා බලතල පවති. එය අලුත් හෝ අසාමාන්‍ය දෙයක් නොවේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත පවරා ඇත්තේ සිය වගකීම ඉටු කිරීම සඳහා ඊට අවශ්‍යවන බලතල පමණකි.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 9:

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව පනත් කෙටුම්පතේ 12 (ඇ) (3) වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසළකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක්  ‘සාක්ෂි‘ ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ.

අධිකරණ කටයුතුවලදී සාක‍්ෂි සම්බන්ධ නීතී හැසිරවීම සාක‍්ෂි ආඥා පනතේ අරමුණ වේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය අධිකරණ ව්‍යුහයක් නොවන අතර එමගින් සිවිල් හෝ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීමක් අපේක්ෂා නොකරයි. ඉහත සඳහන් කරන ලද අයුරින් එමගින් අපේක්ෂා කරන කාර්ය නම් අතුරුදන්වූ පුද්ගලයින් හඳුනාගැනීම එසේත් නැතහොත් ඔවුන් මිය ගොස් ඇත්නම් ඒ පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමත්ය. එනම් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කාර්යභාරය සත්‍ය සෙවීම වන බැවින් හැකි තරම් සපයා ගත හැකි තොරතුරු එය සතු විය යුතුවන නමුත් විනිශ්චය කිරීම හා දඬුවම් නියම කිරීම ආදී කටයුතු සිදු කරන උසාවිවල ක්‍රියා පටිපාටිය මෙන් එහි වැඩපිළිවෙල භාරදූර නොවිය යුතුය. සාක‍්ෂි ආඥා පනතට පටහැනි නොවන ප්‍රකාශයන් සළකා බැලීම සඳහා මානව හිමිකම් කොමිෂම සහ විමර්ශන කොමිෂම මගින් එම ව්‍යූහයන් බල ගන්වනු ඇත.

මහින්දගේ අවස්ථාවාදී ප්‍රකාශ අංක 10:

මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිලධාරියෙකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළුව මොනම උසාවියකටවත් බලයක් නැත.

තොරතුරු දැන ගැනීමේ පනතට ව්‍යතිරේකයක් තිබීමේ අරමුණ වන්නේ අතුරුදන්වූ පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳව දන්නා කෙනෙකුට ඒ පිළිබඳ තොරතුරු කිසිදු බියකින් තොරව ප්‍රකාශ කිරීමේ හැකියාව පැවතීමයි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන්වූ පුද්ගලයින්ගේ දෛවය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමේ ව්‍යුූහයක් මිස නඩු පැවරීමේ හෝ අධිකරණමය ව්‍යූහයක් නොවන බැවින් එය අත්‍යාවශ්‍ය කාරණයකි.

කෙසේ වෙතත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 A වගන්තියට අනුව තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධානවලින් ව්‍යතිරේක වන්නේ විශ්වාසනීයභාවයෙන් යුතුව සන්නිවේදනය කරන තොරතුරු පමණක්වන අතර අනෙක් සෑම තොරතුරක්ම ඊට යටත්වේ.

-මංගල සමරවීර, විදේශ අමාත්‍ය


-  මෙලනි





2016-08-01
Advertisement

Find us on Facebook