English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අත්සන් කළ ණය පැකේජය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම!
ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පසුගිය ජූනි මාසයේ දී අත්සන් කළ ඇමරිකන් ඩොලර් බිලියන 1.5 ක් වූ ණය පැකේජය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සන්ධානය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එම මාධ්‍ය හමුව ජුලී මස 27 වෙනිදා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වුණු අතර මාධ්‍ය දැනුවත් කිරීම ආර්ථීක විශ්ලේෂකයෙකු වන අහීලන් කදිරගාමර් විසින් ද ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මොන්ලාර් හි මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ විසින් ද ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමයේ සම්බන්ධීකාරක සිල්වෙස්ටර් ජයකොඩි විසින් ද සිදුකරනු ලැබිණි.

මෙම මාධ්‍ය හමුවේ දී ඔවුන් විසින් දක්වනු ලැබූ අදහස් පහත දැක්වේ.



ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට අනුමත කොට ඇති ණය පැකේජය කොන්දේසි ගණනාවකින් සමන්විතයි. මෙම ණය පැකේජය හදුන්වා දී තිබෙන්නේ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස. නමුත් අපි වටහා ගත යුතුයි මෙම ආර්ථික අර්බුදය ඇති වූ හේතුව. පසුගිය රාජපක්ෂ රජය සමයේ ප‍්‍රාග්ධන වෙළදපොල ලිහිල් කිරීම සිදු කළා. ප‍්‍රාග්ධන වෙළදපොල ලිහිල් කළ විට ප‍්‍රාග්ධනය ගලා ඒම වගේම ප‍්‍රාග්ධනය ආපසු ගලා යාම පහසු කරනවා. ගෝලීය ආර්ථික අවපාතය සමග ප‍්‍රාග්ධනය ආපසු ගලා යාමේ තත්වයක් මතු වී තිබෙනවා. රාජපක්ෂ රජය ඒ ඉදිරියට පවත්වා ගෙන ගියේ 1977 සිට සියලූ ආණ්ඩු පවත්වාගෙන ආ ආර්ථිකය ලිහිල් කිරීමේ ක‍්‍රියාවලියයි. අනෙක් අතට පසුගිය කාලය තුළ මෙගා ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ණය ගැනීම් සිදු වූවා. මේ ණය සඳහා ආපසු ගෙවීමට වාගේම ඉහළ මට්ටමේ ආනයන සඳහා ආපසු ගෙවීමට ප‍්‍රමාණවත් තරම් විදේශ සංචිත ලංකාවට දැන් නැහැ. මේක තමයි ඇති වී තිබෙන අර්බුදය.

මේ අර්බුදයට විසදුම් ලෙස ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව කරන්නට හදන්නේ ආර්ථිකය තවත් ලිහිල් කිරීම. මෙම දෙපාර්ශවය අතර ඇති වූ එකගතාවයේ ප‍්‍රධාන කරුණු හයක් අවධාරණය කෙරෙනවා.

පළමු ව, බදු ප‍්‍රතිපත්ති සංශෝධනය කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කොට තිබෙනවා අය වැය හිගය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කරන ලෙස. මේ ඉලක්කය සපුරා ගන්න නම් බදු වැඩි කරන්නටත් සුබසාධන වියදම් ඇතුළු රජයේ වියදම් කපා හරින්නටත් සිදු වෙනවා. වැට් බදු වැඩි කිරීම නිසා දැනටත් විශාල අසහනයක් සමාජය තුළ මතු වී තිබෙනවා. මේ තත්වය ඉදිරියේ දී උග‍්‍ර වනු ඇති. දෙවනුව රාජ්‍ය වියදම් කැපීම. අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සමාජ සුබසාධන සේවාවලට කරන වියදම් ඒ අනුව ඉදිරියේ දී කපා දැමීමට නියමිතයි.

තුන්වන කරුණ, රාජ්‍ය ව්‍යවසායන් ප‍්‍රතිව්‍යුහගත කිරීම. විදුලිය, ඉන්ධන හා ජල සම්පාදන සේවා ආදී සේවා දැනට රජය මැදිහත් වී සහන මිලක් යටතේ පවත්වාගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා මේවා සහන මිලට සපයන්නට එපා වෙළදපොල මිල ගණන් අනුව ඒවා සපයන්නට කියලා. ඒ යෝජනාව ක‍්‍රියාත්මක කලොත් ජනතාවට විශාල පීඩාවක් ඇති වීම වැලැක්විය නොහැකියි. උදාහරණයක් විදිහට ඉන්ධන මිල රජය පාලනය කරලා තිබෙන නිසා ධීවර ජනයාට යම් සහනයක් තිබෙනවා. නමුත් එම පාලනය ඉවත් කරලා ලෝක වෙළදපොලේ වෙනස්කම්වලට අනුව ම ඉන්ධන මිල තීරණය වෙන්නට ඉඩ හැරියොත් ධීවර ජනයාට විශාල අර්බුදයකට ලක්වීමට සිදුවෙනවා.

හතර වෙනුව, වෙළදාම නිදහස් කරන්නට ආණ්ඩුවට කොන්දේසි පනවලා තිබෙනවා. මේ දවස්වල එට්කා ආදී නිදහස් වෙළද ගිිවිසුම් අත්සන් කිරීමට විශාල කලබලයක් ආණ්ඩුව පැත්තෙන් දක්වන්නේ මේ අනුව. මෙලෙස වෙළදාම ලිහිල් කරලා භාණ්ඩ, සේවා හා ප‍්‍රාග්ධනය එහා මෙහා යාම නිදහස් කිරීම දේශීය ගොවීන්, සුලූ නිෂ්පාදකයින්ට වගේම කම්කරුවන්ගේ වැටුප් මට්ටම් හා ආරක්ෂණ නීතිවලටත් විශාල අභියෝගයක් එල්ල කරනු ඇති. අවසාන වශයෙන්, වර්තමාන අර්බුදයට හේතු වී තිබෙන මූල්‍යකරණය තවත් තීව‍්‍ර කරන්නට කියලා ආණ්ඩුවට කොන්දේසි පනවලා තිබෙනවා.

ආණ්ඩුවේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන අර්බුදයේ මිල ඒ අනුව මහජනයා මත පටවලා තිබෙනවා. නොවැම්බරයේ දී ඉදිරිපත් වීමට නියමිත ඊලග අය වැය සකස් වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම කොන්දේසි ප‍්‍රකාරව. මෙම ආර්ථික පිලිවෙත් නිසා සමාජයේ පහළ පාන්තික ජනතාව මත එල්ල වන ප‍්‍රහාරය පිළිබදව දැඩි අවධානයකින් යුක්තව සිට ඊට විරෝධය පල කිරීමට කම්කරු, ගොවි, ශිෂ්‍ය හා ධීවර සංවිධාන ආදී බහුජන සංවිධාන මැදිහත් වීම බෙහෙවින් වැදගත්.



චින්තක රාජපක්ෂ - ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප‍්‍රවර්ධනය කරන මෙම ආර්ථික ප‍්‍රතිපත්ති කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට විශාල අර්බුදයක් ඇති කරවන සුලූ ප‍්‍රතිපත්ති සමුදායක්. මේ වන විට ලෝක බැංකුව විසින් ලංකාවේ කෘෂිකර්මය සංවිධානය විය යුතු විදිහ ගැන යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව සුලූ පරිමාණ ගොවිතැන ඉවත් කොට මහා පරිමාණ ව්‍යාපාරික ගොවිතැන ප‍්‍රවර්ධනය කළ යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙනවා. ඒ වගේම ගෝලීය වෙළද පොල හා තරගකාරිත්වයකින් කටයුතු කිරීමට අවශ්‍ය ලිහිල් කරණ ප‍්‍රතිපත්ති ශක්තිමත් කළ යුතු බව පෙන්වා දී තිබෙන බව. ඒ සඳහා අවශ්‍ය වන ආනයන මත සිදු කරන බදු ලිහිල් කිරීම්, ඉඩම් පිලිබඳ පවතින බාධක ඉවත් කිරීම, බීජ පනත් සංශෝධනය වැනි කාරණා ප‍්‍රමුඛයි.

ඒ වගේම ලෝක බැංකු වාර්තාවක් තියෙනවා අවතැන් වන ගොවි ජනතාව නැවත පදිංචි කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව. ඒ වාර්තාවට අනුව නිස්චිතව ගොවි ජනතාව අවතැන් වීමක් සිදුවන බව පිලිඅරගෙන තියෙනවා,  මේ නිසා නව ලිබරල් ආර්ථික සැලසුම් පරාජය කිරීම වහා කළ යුතු කටයුත්තුක් ලෙසයි පවතින්නේ.


සිල්වෙස්ටර් ජයකොඩි - ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය

කම්කරු ජනතාවට අද වන විට ආර්ථිකයේ සිදුවන දේවල් පිළිබදව හිතන්නට වෙලාවක් නැති වෙලා. වැටුප හා නිවාඩු ගැන පමණක් කල්පනා කරන තැනකට අද කම්කරු ජනතාව පත් කරලා තිබෙනවා. මේ නිසා කම්කරු ජනතාවට බලපාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් මෙම එකගතාවය ආදී ආර්ථික කරුණු ගැන වෘත්තීය සමිති ව්‍යාපාරය අවධානය යොමු කරනවා අඩුයි. මේ වෙනකොට ආර්ථිකය ලිහිල් කිරීමේ ක‍්‍රියාවලියේ අංගයක් විදිහට කම්කරු නීති ප‍්‍රතිසංස්කරණය කරන්නට වැඩපිලිවෙලක් දියත් වී තිබෙනවා. මේ කම්කරු නීති වෙනස් කිරීමේ අරමුණ තමයි දැනට කම්කරුවන්ට වාසිදායක ලෙස තිබෙන නීති කප්පාදු කිරීම. ආණ්ඩුව කියන විදිහට විදේශ ආයෝජකයින් ගෙන්වන්න නම් කම්කරු නීති කප්පාදු කළ යුතුයි. අපිට අහන්නට තිබෙන ප‍්‍රශ්නය තමයි කම්කරුවන්ට මිනිසුන්ට වගේ සලකන්න බැරි ආයෝජකයින් ගෙන්වලා තිබෙන වැඬේ මොකක්ද කියන එක. කම්කරු නීති වෙනස් කිරීම වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් මෙම එක`ගතාවය ආර්ථිකය සුලූතරයකට වාසිදායක වෙන විදිහට වෙනස් කරන ක‍්‍රියාදාමයේ අංග. මෙය පරාජය කිරීම සඳහා ඉදිරියට ඒම ජනතාව ඇත්තටම නියෝජනය කරන සියලූ සංවිධානවල වගකීමක් බවට පත් වී තිබෙනවා.

-  මෙලනි 



2016-07-31
Advertisement

Find us on Facebook