English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"පලස්තීනයට ජීවත්විමට ඉඩ දෙනු ! මැදපෙරදිගින් ඇමරිකානු ඔත්තුකාරයෙනි පලයල්ලා!!"


පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙනු යන මැයෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ(ජුලි31) පස්වරුවේදි උද්ඝෝෂණයක් පැවැත්විණි. වාමාංශික පක්‍ෂ රැසක සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයට නව සමසමාජ පක්‍ෂය , පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය , එක්සත් සමාජවාදි පක්‍ෂය , ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය හා ජාතික සමගි පෙරමුණ යනාදි පක්‍ෂවල නියෝජිතයින් ඇතුළු සිවිල් පුරවැසියන් ද විශාල සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

එහිදි අදහස් දැක්වු ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න
මහතා :
"ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සපත්තු අඩියට මුළු මැදපෙරදිග යටත්කර දීම සඳහා ඊශ‍්‍රායාලය විසින් ගෙනයන මේ යුද්ධය අනිවාර්යයෙන්ම මේ ලෝක ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේපකරලා හෙළාදැකලා තිබෙනවා. මේ ලංකාව තුළ රජවෙලා ඉන්න මහින්ද රාජපක්‍ෂ එදා කිව්වා එයා පලස්තීන ජනතාවගේ සහයෝගීතා පෙරමුණේ නායකයා කියලා. එහෙම කියපු එක්කෙනා අද රජවෙලා ඉන්න අවස්ථාවක මේකට විරුද්ධත්වය දක්වන්න කොළඹ නගරයේ මධ්‍යස්ථානවලට ජනතාව ගෙන්නන්න බැරිවුණා. ඔහු පාවාදෙන තැනක ඉන්න බව ඉතාම පැහැදිළියි. අද අපි පැහැදිළිවම වමේ පක්‍ෂ හැටියට මේ වෙලාවේ ඒ කවුරු පාවාදුන්නත් එදා සිටම අපි ගත්ත පියවර මේ මැදපෙරදිග පලස්තීන ජනතාවගෙත් සටනට සහයෝගය දීමයි. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව පිට තෙල් සම්පත බේරාගන්න ඒ පළාතෙම මිනිස්සු මරලා හරි හැම රටකටම ගහලා ඒ හැම රටේම අරාබි ජනතාව මරල හරි ඒ පළාතම ඊශ‍්‍රායෙල් ඔත්තුකාර ආණ්ඩුවට යටත්කරලා දීමට තමයි කටයුතු කරන්නෙ. අමු අමුවේ මිනිස්සු මරනවා, දරුවෝ මරනවා. සාමය කියා පියවරක් අරන් අත්සන් කරලා පස්වෙනිදාට ස්පිරිතාලෙට ගහලා දරුවෝ මරා දැමුවා. මේ විධියට ඉතාම තිරස්චීන විධියට පලස්තීන ජනතාව මරා දමද්දී මේ රටේ ජනතාවට යුතුකමක් තිබෙනවා, අපි මැදපෙරදිග අරාබි ජනතාවගේ සහයෝගය ලබාගෙන ඉන්නවා කියා කයිවාරු ගහන අයට අඩු තරමේ මේ මහා පරාජයට විරුද්ධව පාරට බහින්න. අපි ජීවත්වෙන්නේ මැදපෙරදිගින් අපිට ලැබෙන සල්ලිවලින් කියලා බොහෝවෙලාවට කියන නායකයින්ට අමතකවෙලා තිබෙනවා ජනතාව මරලා දාලා මේ ලෝකේ සම්පත්වලින් ප‍්‍රධාන සම්පත වන තෙල් සම්පත තමන්ගේ යකඩ සපත්තුවට යටකරගැනීම සඳහා ඇමරිකාව ඇතුළු ගෝලිය බලවතුන් මේ ගෙනයන සටන් තුළ ඒ ජනතාවට කරන අපරාධය  අමතකවෙලා තිබෙනා. ඒ නිසා අද අපි ඒ අපරාධය එළිදරව් කරලා, ලංකාවේ ජනතාව, මේ රටේ දුක්විඳින ජනතාව සිංහලයෝ වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ගර් වේවා මේ සැම ජනතාවක්ම එකතුවෙලා මේ පලස්තීන ජනතාවට කරන අපරාධයට අපි විරුද්ධයි! උඹලා පලයල්ලා! මැදපෙරදිගින් ඇමරිකානු ඔත්තුකාරයෙනි පලයල්ලා! උඹලාගේ හමුදාවල් අකුලා ගනිල්ලා! පලස්තීන ජනතාවට ජය වේවා කියලා හඬනගන්න තමයි අපි මෙතන්ට එකතු වුණේ." 

සිිරිතුංග ජයසූරිය මහතා :
"අද නොනවත්වාම පලස්තීනයේ ගාසා තීරයේ ජීවත්වන අහිංසක මුස්ලිම් ජනතාව විශේෂයෙන් කුඩා අතදරුවෝ දහසකට ආසන්න පිරිසක් ඊශ‍්‍රායෙල් කුලී මැර හමුදාව ඔබාමාගේ සහයෝගය උඩ ඒ මිනීමැරුම කරගෙන යනවා. පලස්තීන සහයෝගීතා කමිටුවේ සභාපති වශයෙන් වසර ගණනාවක් හිටපු මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව අද වෙනකං ඔබාමගේ සහය ඇතිව සිදුවන මේ ඊශ‍්‍රායෙල් කුලී මිනිමැරීම සම්බන්ධයෙන් එක ප‍්‍රකාශයක්වත් කරන්නට සමත්වෙලා නැහැ. විලි ලැජ්ජා නැතිව මුස්ලිම් ඇමතිවරුත් මේ ආණ්ඩුවේ තවම ලැග ගෙන ඉන්නවා. අද ලෝකයේ ශිෂ්ඨ සම්පන්න සෑම පාලනයක්ම ගාසා තීරයේ ඊශ‍්‍රායෙල් මිනීමරුවෝ ගෙනියන කෘර මිනිමැරීම් නතර කරන්න කියනවා. නමුත් ලංකාවේ ආණ්ඩුවට තවම බැරිවෙලා තිබෙනවා කට උස්සන්නට. මහලොකුවට පලස්තීන සහයෝගීතා කමිටුවෙ බදාගෙන අවුරුදු ගණනාවක් හිටපු අය. නමුත් අපි කියනවා වමේ අපි කම්කරු සහ වෘත්තීය සමිති එකතුකරගෙන මේ ගාසා තීරයේ ගෙන යන ඊශ‍්‍රයෙල් මිනීමරු ප‍්‍රහාරය නතර කරන තුළ අපේ උද්ඝෝෂණය ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ගෙනයන බවත් මහින්ද රාජපක්‍ෂට අභියෝග කරනවා පුලූවන්නම් ආණ්ඩුවේ නිල ප‍්‍රකාශයක් නිකුත් කරන්න කියලා. ඒක එයාට කරන්න බැහැ මොකද ඔබාමාගේ සාක්කුවෙ ඉන්න නිසා."





2014-08-01
Advertisement

Find us on Facebook