English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තවමත් අවබෝධකර ගතයුතුව ඇති ලංකාවේ (යහ) පාලනය


සිරිමල් පීරිස්

ශ‍්‍රී ලංකාවේ පවතින ආණ්ඩුවේ ස්වභාවයත් ක‍්‍රියාකාරිත්වයත් අවබෝධ කරගැනීම දේශපාලනයේ නියුක්ත වන්නන්ටත් සමාජ ක‍්‍රියාකාරීන්යටත් අත්‍යවශ්‍ය කරුණකි. එවැනි අවබෝධයක් ඇති නොවුවහොත් ඇතැම්දෙනා කලකිරීමටත් තවත් අයෙක් සතුරු පිලට එක්වීමත් නොවැලැක්විය හැක්කකි.

අප පළමුවන්ම වටහා ගත යුත්තේ මෙම යහපාලනය යන නමින් ගොඩනැංවී ඇති ආණ්ඩුවේ පංති ස්වභාවයය. මන්ද යත් යහපාලනයේ කොටස් කරුවන් ක‍්‍රියාත්මක වන්නේ තම පංති  අවශ්‍යතාවයන් මත වන හෙයිනි.

එක්සත් ජාතික පක්ෂය ඉතාමත් විවෘතව අධිරාජ්‍යවාදී ගැති ශ‍්‍රී ලාංකික ධනපති පංතිය නියෝජනය කරනු ලබයි. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂය ඇමරිකන් හා බටහිර ගැති ස්වභාවයක් නිරායාසයෙන්ම පෙන්නුම් කරනු ලබයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ධනපති මූලධර්ම මත ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව වර්ධනය කර ගැනීම ඔවුන් ගේ උත්සාහයය. නිදහස් වෙළ`ද පොළ මතින් ධනපතියන්ගේ  ලාභය උපරිම කිරීමට මග සලසන විට රටේ පීඩිත ජනයාගේ අවශ්‍යතා සපිරෙන බව විශ්වාස කිරීම ධනපති අර්ථ ක‍්‍රමයේ ස්වභාවයයි. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ අතීත ක‍්‍රියාකාරකම් මෙන්ම වර්තමාන ක‍්‍රියාකාරකම් ද එම කරුණ මතම පදනම් වී ඇත.

ශ‍්‍රී ලංකාව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ දේශීය ධනපති පංතියේ පකෂය ලෙසය. සග වෙද ගුරු ගොවි කම්කරු යන බලවේග ගැන ව්‍යාජ ලෙස කතා කළත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියම බලවේගය වනුයේ ජාතික ධනපති පංතියයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දේශීය ධනපති පක්ෂය ලෙස  ගොඩනැගුනත් එම පක්ෂය තුළ පැවති සිංහල සහ  ආගම්වාදී බලවේග මගින් ජාතික ලෙස පක්ෂය නිර්මාණය නොවීය. ඒ නිසාම උතුරේ ෆෙඩරල් පක්ෂයත්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ සංගමයත් එම කටයුත්ත උතුරේ කිරීමට විකල්පයක් විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය උපත ලබන විට පැවති ආර්ථිකයට පටහැනි තත්ත්වයක් අද ශ‍්‍රී ලංකාව තුළ උපත ලබා ඇත. පනස් ගණන් වල දේශීය ධනපති පංතිය වෙන්කොට හදුනා ගැනීමට හැකිවුවත් වර්තමානයේ මදක් දුෂ්කරව පවතී. එදා දේශීය ධනපති පංතියට පවතින ආණ්ඩු සමග කේවල් කරමින් තම පැවැත්මට විශේෂිත සහන ලබා ගැනීමට හැකිවුවත් වර්තමානයේ එය අපහසු වී ඇත. විශේෂයෙන්ම 1977 විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියත් සමග දේශීය ධනපති පංතිය අධිරාජ්‍යවාදයේ පංගුකාරයන් බවට පත්වී තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල සහ බෞද්ධ අන්තවාදීන් ගේ බලවේග වලට ගොදුරු වූ නිසාම පැන නැගුණු කම්කරු පංති විඥානයට එරෙහිව ගිය සුළු ධනේෂ්වර ව්‍යාපාරයක් ලෙස ගොඩනැගුන එල්.ටී.ටී.ඊ. ය නිසා තිස් අවුරුදු යුද්ධයකට ශ‍්‍රී ලංකාවට හිමිකම් කියන්නට සිදුවිය.

ජාතික ධනේෂ්වරය නියෝජනය කරන එක කණ්ඩායමක් අධිරාජ්‍යවාදීන් හා එක්ව සූරාකෑම සකසාගන්නා විට, පසුගාමී කණ්ඩායම ජාතිවාදයත් ආගම්වාදයත් මගින් ශක්තියක් ලබා ගැනීමට උත්සාහ කරනු ලබයි. පවතින ජන විඥානයේ වෙනසක් දකිනු වෙනුවට තව තවත් පවතින ජන විඥානය ශක්තිමත් කරනු ලබයි. එමෙන්ම එවැනි කණ්ඩායම් තුළින් වැඩවසම් යුගයේ ඇතැම් අදහස් ශක්තිමත් කිරීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බෙලහීන කිරීමටත් උත්සාහ ගනු ලබයි. ඒ මගින් තමනටම වැඩවසම් යුගය තුළ පැවති සශ‍්‍රීකත්වය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනු ලබයි. මෙය ජාතික ධනපති පංතියේම කොටසකගේ ලක්ෂණයයි. පොදු විපක්‍ෂය බොහෝ විට නියෝජනය කරනු ලබන්නේ එවැනි ව්‍යාපාරයක්ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පිලේ ස්වභාවය මෙයට වඩා මදක් වෙනස්ය. මෛත‍්‍රීගේ පදනම දේශීය සිංහල ධනපති පංතිය වන නිසාම ජාතිවාදයෙන් හෝ ආගම් වාදයෙන් වෙනස්වීමට නොහැකිය. නමුත් වැඩවසම් යුගයේ නෂ්ඨාවශේෂ මගින් තම පැවැත්ම දෙදරන නිසාම පසුගාමී සිංහල ධනපති පංතිය සමග එක්ව යාමක්ද කළ නොහැකිය.

විශේෂයෙන්ම මහින්දගේ යුද ජයග‍්‍රහණයත් සමග මහින්ද වටා ගොඩනැගුන පවුල් පාලනයත් රාජ්‍යත්වයත් පමණක් නොව 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සකසා ගැනීම උත්සාහ ගත් රාජ අභිෂේකයත් සිංහල ධනපති පංතියේම එක් කොටසකට කිවිසේත්ම දැරිය නොහැක්කක් විය. මෛත‍්‍රීපාල සිරිසේන නායකත්වය දෙනු ලැබුවේ ඔවුනටය. මහින්ද පරාජය කිරීමට මෙය මහගු අවස්ථාවක් කරගත් යු.එන්. පිය සියළු අධිරාජ්‍යවාදීන් ගේ ආශිර්වාදය ලැබ වැඩවසම් යුගයත් රාජ්‍යත්වයෙන් අභිශේක ලැබීමට බලාපොරොත්තු වූ මහින්ද රාජපක්ෂව පරාජයට පත් කරනු ලැබීය.

මෙම තත්ත්වය තුළ වඩාත්ම පරාජයට පත්වූයේ සම්ප‍්‍රදායික වටේයයි කියාගනු ලබන දේශපාලන පක්ෂයය. ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් තම සුළු ධනේෂ්වර ස්වභාවය පෙන්නුම් කරමින් ස්වාධින විකල්පයක් ලෙස මැතිවරණය තුළදී ඉස්මත්තට නොපැමිණෙන ලදී. එය වඩ වඩාත් දර්ශනයකින් තොර මධ්‍යම පංතික කලාකාරයන් වැනි කණ්ඩායම් අතර නන්නත්තාර විය. එපමණක්ද නොවේ පත්කරනු ලබන මන්ත‍්‍රීවරු ලෙස පක්ෂ විනයට පටහැනි ස්වාධීනයයි කියන්නාවූ පුද්ගලයන්ගේ නම් යෝජනා කොට ධනපති සදාචාරය රකින්නන් බවට දුන් සහතිකයද අවසානයේ හකුලාගනු ලැබීය. සමසමාජ කොමියුනිස්ට් පක්ෂ පමණක් නොව වාසු කණ්ඩායම මෙන්ම දිනේෂ් කණ්ඩායමද දෙකඩ වී ඒ ධනපතියා ගේ හෝ මේ ධනපතියාගේ පසුපස යෑම හෙයින් ස්වාධීන විකල්පයක් නොවීය.

මහින්ද රාජපක්ෂ රජය බහුල ලෙස රටවලින් ණය ගනිමින් සංවර්ධනය කරනු ලැබුවේ මහාමාර්ග, ඇවිදින මන්තීරු සහ දුප්පතුන් හා පීඩනයන් දුරුකරන ධනපතියන්ට විනෝදය සපයන නගරය ඔවුන් ඒ මගින් සංචාරක ව්‍යාපාරය මගින් මහ ධනස්කන්දයක් සොයා ගැනීමට සිහින මැවුවත් එම බලාපොරොත්තු සූන්‍ය විය. අධිරාජ්‍යවාදී රටවල් තුළ පැනනැගී නැති මුදල් අර්බුදය හේතුකොට ගෙන සංචාරක ව්‍යාපාරයේ දුර්වලව පැවතීම මෙම අපේක්ෂාවට විශාල අභියෝගයක් විය. එමෙන්ම මහින්ද ගේ විදේශ ප‍්‍රතිපත්තිය හේතු කොට ගෙන බොහෝ බටහිර රටවල් තුලින් පැන නැගී අප‍්‍රසාදයද සංචාරක ව්‍යාපාරයේ වැටීමට බලපානු ලැබීය. තවද දුප්පතුන් නැති නගර පමණක් සංචාරක ව්‍යාපාරයත් ශක්තිමත් නොකරයි. තායිලන්තය, මාලදිවයින, සිංගප්පූරුව වැනි රටවල් අසලටවත් ලංකාවට පිවිසීමට නොහැකි වූ නිසාම මහින්දගේ ආර්ථික අර්බුදය රට විනාශ මුඛයට ගෙනයන ලදී. මහින්ද යුගය තුළ නිෂ්පාදන වර්ධනය නොවූ නිසාම දේශීය ධනපති පංතිය තුළ ඇති වූ කළකිරීම අනිවාර්යයෙන්ම මෛත‍්‍රීපාලට වාසිදායක විය.

කෙසේ වුවත් දැන් ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගී ඇති ආණ්ඩුව අධිරාජ්‍යවාදී ගැති යූ.එන්.පී යේත් දේශීය ධනපති පංතියේ කොටසකුත් එකතුව ගොඩනැගී ඇත.

වර්තමාන ආණ්ඩුව තුළ මතුව ඇති මත ගැටුම එයයි. යූ.එන්.පිය තම මතය අනුව ආණ්ඩුව ගෙනයෑමට තැත්කරන අතර මෛත‍්‍රී කණ්ඩායම දේශීය ධනපතීන් මගින් පැන නගින විරෝධයක් තුළනය කිරීමට උත්සාහ දරමින් සිටී. මෙයට හොදම උදාහරණ නම් තීරුබදු රහිත වාහන ගෙන්වීම නතර නොකිරීම සහ වැට් බදු අර්බුදයයි.

ධනපති අර්ථ ක‍්‍රමයක් පවතින රටක යහපාලනයක් සම්බන්ධයෙන් කතා කිරීම විහිළුවකි. ලාභය උපරිම ලෙස ලබා ගැනීමට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙම ආණ්ඩුවල අවශ්‍යතාවය ලැදියාවන් පිළිබද ගැටුම් සම්බන්ධව විමර්ෂණය විහිළුවක් පමණක් වනු ඇත. ධනපති මන්ත‍්‍රීන්ගෙන් සැදුම්ලත් පාර්ලමේන්තුවක් තුළ අල්ලස් සහ කොමිස් නීත්‍යානුකූල වනු මිස කිසිවිටකත් නීති විරෝධී වනු නොලබන බව අපට ඉතිසාහය උගන්වා ඇත. ලංකාවේ විශාල ලාභයක් ලබන වෘත්තිකයන් සහ ධනපතීන් බදු දැලට අසුකර ගැනීමට කිසිදු උත්සාහයක් ගනු නොලබන්නේ ඔවුන් සතු පංති පදනම නිසාමය.

ධනපති අර්ථ ක‍්‍රමයක් මත යහපාලනයක් ඇති කිරීමට මතවාදයක් ගෙනයෑම සාපරාධී ක‍්‍රියාවක් වෙයි. මන්දයත් එවැන්නක් කිසිවිටෙකත් ගොඩනැගිය නොහැකි හෙයින්ය. මෙම රජයට ඇති විකල්පයද වන්නේ මහින්ද රජය ගෙනගිය ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයෑමය. එනම් රටතුළ නිෂ්පාදන වැඩිදියුණු කිරීම වෙනුවට රට චීන හෝ යුරෝපීය අධිරාජ්‍යවාදයට විකිණීමය. මීට හොදම නිදසුන පෝර්ට්සිටි සංවර්ධන ව්‍යාපෘතියයිය. එබැවින් අධිරාජ්‍යවාදීන්ට රට නතුවීම වලකාලිය හැක්කේ මහින්ද හෝ මෛත‍්‍රී පසු පසු යෑම නොව, සමාජවාදී අර්ථ ක‍්‍රමයක් මත ගොඩනැගෙන විකල්පයක් ඉදිරිපත් කිරීමෙන්ය.

මෙවැනි ඉදිරි දර්ශණයක් සැපීමට අද කිසිම සම්ප‍්‍රදායික වමේ පක්ෂවලින් පිහිටක් නොලැබෙන බව පෙනේ.  මහින්දගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එම පකෂවල ක‍්‍රියාධරයන් තම පක්ෂයන්ගෙන් වෙන්වූවත් ඔවුන් මෛත‍්‍රී හා එක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් සතු අසාර දර්ශනයයි.

මේ හෙයින් සමාජ ක‍්‍රියාකාරීන් වෙත පැවරෙන වගකීමක් ඇත. ඔවුන් කල්පනා කළ යුත්තේ විෂමතාවයෙන් තොර සමාජයක් ගොඩනැගීමේ විකල්පයක් ගොඩනගන්නේ කෙසේද යන්න සම්බන්ධවයි.


සිරිමල් පීරිස්
  කැඳවුම්කරු - ජනතා සෞඛ්‍ය සන්සදය


-  මෙලනි




2016-07-28
Advertisement

Find us on Facebook