English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?

විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ රවි කරුණානායක යන ඇමතිවරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් අනුකාරක සභාවක් පිහිටුවා ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42(2) වගන්තියට අනුව කැබිනට් අමාත්‍යවරු, ‘පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර බැඳීමට’ බැඳී සිටිත්. ‘ආණ්ඩුවට මග පෙන්වීම සහ පාලනය කිරීම’ කැබිනට් අමාත්‍යවරුන්ට පැවරේ. එසේ හෙයින්, ‘යහපත් මහජන ආණ්ඩුකරණයක් සඳහා රාජ්‍ය අංශයේ මූල්‍ය කටයුතු විගණනය කිරීම තීරණාත්මක වන්නේය’ යන ප‍්‍රතිපත්තියට ගරු කිරීමට ඔවුන් බැඳී නොසිටින්නෝද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තිය මගින්, පාරදෘෂ්‍ය භාවය සහ වගවීම පිළිබඳ බලය පාර්ලිමේන්තුවට පැවරේ.

එසේ තිබියදී, නීතිපතිවරයාගේ මතය මේ කියන අනුකාරක සභාව මගින් නොසළකා හැර ඇත්තේද? යහපාලනයේ අභිමතාර්ථ සාධනය කර ගැනීම සඳහා විගණකාධිපතිවරයා වෙත අත්‍යාවශ්‍ය බලතල පවරමින්, බලාත්මක නීති පනවා ගත යුතු නොවේද? විගණකාධිපතිවරයා සලසන්නේ මුළු ජාතියේම භාරකාර රාජකාරියයි. මේ නිසා විගණකාධිපති යනු මහජන නිලධාරියෙකි. 1971 අංක 38 දරණ මූල්‍ය පනතේ විධානය ප‍්‍රකාරව විගණකාධිපතිවරයා විසින් ව්‍යවස්ථාපිත විගණනයන් කරගෙන යා යුතු බව කියැවේ. එසේ නම් ඊට එරෙහිව සෑම රජයක්ම බාධා පමුණුවන්නේ ඇයි?

මහ භාණ්ඩාගාරය මගින් විගණකාධිපතිගේ අයවැය විටෙක කප්පාදු කෙරේ. එම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු රාශියක් බොහෝ කාලයක් තිස්සේ පුරවා නැත. තමන්ගේ රාජකාරිමය කර්තව්‍යයන් කරගෙන යාමට අත්‍යාවශ්‍ය අරමුදල් නැති කමින් විගණන අංශය තම රාජකාරි නිසියාකාරයෙන් ඉටු කිරීමේලා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදී සිටී. ඒ හේතුව නිසා, නිපුණ කාර්ය මණ්ඩලයක් තමන් වෙත ආකර්ශනය කර ගැනීමට, එවැනි කාර්ය මණ්ඩලයක් පුහුණු කොට රඳවා ගැනීමට විගණකාධිපතිවරයාට නොහැකි වී තිබේ. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, විගණනයෙන් අත්විය යුතු දායකත්වය කලට වේලාවට නොලැබීමත්, භෞතික සම්පත් හිඟයකට මුහුණදීමට සිදුවීම සහ ප‍්‍රශස්ත ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත වීමට නොහැකි වීමත් ය. ලෝක බැංකුව මගින් කරන ලද තක්සේරුවකට අනුව, විගණකාධිපතිවරයාගේ පාලනයෙන් බැහැර සාධක හේතුවෙන් සමස්ත විගණන ක‍්‍රියාවලිය පුරාම බලවත් ප‍්‍රමාදයන් දක්නට ලැබේ. එසේම, ඇතැම් යටිකූට්ටු වැඩ නිසාත්, ‘ආරක්ෂක වියදම්’ පිළිබඳ කාරණයේදී මෙන්ම, ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ අවසරය යටතේ වෙනත් වැදගත් පරීක්ෂණ වළකාලීමේදීත්, විධායකය මගින් විගණකාධිපතිවරයාව නොතකා හරින ලද තත්වයක් දක්නට ලැබී තිබේ. කෙසේ වෙතත්, විවිධ ව්‍යාකූලතා මධ්‍යයේ ‘මිග් යානා ගනුදෙනුව’ වැනි විවිධ අතීත අක‍්‍රමිකතා හෙළි කරන ලද්දේ විගණකාධිපතිවරයා විසිනි. විශේෂයෙන් ආරක්ෂක වියදම් පිළිබඳ කාරණයේදී ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා පවසන දෙයකින් සෑහීමකට පත්ව සිටීමට විගණකාධිපතිරයාට සිදුවූ අවස්ථා අවස්ථා අපට සොයාගත හැකිය. බදු ප‍්‍රතිපත්තියේ පාරදෘෂ්‍ය භාවයට අදාළ මූලික අවශ්‍යතා සාධනය කර ගනු වස් අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම 2003 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පෙන්වා දී ඇත. අද වන විට ඒ තත්වය ඊටත් වඩා පිරිහී නැතැයි කිව හැකිද?

මේ කෙටුම්පතේ 21-25 වගන්ති කටුගා දැමිය යුතු නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවලද අදහසයි. ඔවුන්ගේ මතය වන්නේ, රාජ්‍ය වියදම් අරභයා විගණකාධිපතිවරයා සතු බලතල, නිදහස සහ අධිකාරය තවත් ශක්තිමත් කළ යුතුව ඇති බවයි. වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී, මේ පනත 2015 පෙබරවාරි 19 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගන්නා බවට ප‍්‍රතිඥා දී ඇතත්, එවැනි වටිනා කෙටුම්පතක් මාස 17 ක් යන තෙක්ම මේ ආණ්ඩුව මගිනුත් පමා කොට ඇත්තේ මන්දැයි ඔවුහූ ප‍්‍රශ්න කරති.

විගණකාධිපතිවරයා යනු, ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ව්‍යවස්ථාමය පත්වීමකි. ඔහුව සේවයෙන් ඉවත් කළ හැක්කේ, ව්‍යවස්ථාවේ සඳහන් ක‍්‍රියාපරිපාටියට අනුකූලව ක‍්‍රියා කිරීමෙන් සහ ජනාධිපතිවරයා විසින් කරන පාර්ලිමේන්තු ආමන්ත‍්‍රණයකින් පමණි.

විගණකාධිපති තනතුර හඳුන්වා දෙන ලද්දේ සහ පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තුවට සහාය වීම සඳහා ය. එය, ඒ සඳහා තිබෙන ව්‍යවස්ථාමය යාන්ත‍්‍රණයයි.

ඔහුගේ මූලික බලතල ව්‍යවස්ථාවේම සඳහන් වෙයි. ජනතා සුභ සිද්ධිය සඳහා එම තනතුරේ කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය වර්ධනය කරනු වස් ඔහුගේ බලතල වැඩි කිරීමේ අවශ්‍යතාව පැන නැගි ඇති අද ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න මතුව තිබේ. මහජන මූල්‍ය කළමණකාරනය වර්ධනය කිරීම සඳහාත්, නාස්තිය වංචාව සහ දූෂණය අවම කිරීම සඳහාත්, ප‍්‍රමිතියෙන් උසස් විගණකාධිපති සේවාවක් අප ඇති කරගත යුතු නැත්ද? මේ තනතුර ලංකාවේ ස්ථාපිත කොට ඇත්තේ මීට සියවස් දෙකකට කලින්, 1799 දී බව අප මෙහිදී මතක තබා ගත යුතුය.

2013 දී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ නිකුත් කළ අවසාන ප‍්‍රකාශනයේ මෙසේ සඳහන් කොට තිබේ:

‘‘මහජන මුදල් නිසියාකාරව වියදම් කෙරෙන්නේදැ යි සහතික කරගනු වස්, පාරදෘෂ්‍ය භාවය, වගවීම සහ වැය කරන මුදලේ වටිනාකම ලබා ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ශක්තිමත්, නිසි සම්පත් සහිත, ස්වාධීන උත්තරීතර විගණන ආයතනයකින් සලසනු ලබන දායකත්වය රාජ්‍ය නායකයන් වන අප විසින් පිළිගනු ලැබේ.’’

ඉන් පසු 2014 මාර්තු මාසයේ මෝල්ටාහි දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය විගණකාධිපතිවරුන්ගේ සම්මේලනයට සහභාගී වූ ශ‍්‍රී ලංකාව ඇතුළු නියෝජිතයන් කියා සිටියේ ඉහත කී පොදුරාජය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ ප‍්‍රකාශය යථාර්ථයක් කර ගැනීම සඳහා තමන් සපථ වන බවයි. දැන් ඊට ඇති බාධකය කුමක්ද? ඒ වූ කලී, දූෂිත දේශපාලන නායකත්වයයි.

ව්‍යවස්ථානුකූලව ගත් විට, රාජ්‍ය මුදල් කළමණාකරනය පිළිබඳ පූර්ණ බලතල සහ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ කාර්යට සහාය වීම සඳහා විගණකාධිපතිවරයාට අවශ්‍ය කරන සෑම පොතපතක්මත්, වාර්තාවක්මත්, වෙනත් ඕනෑම ලියවිල්ලක්මත්, ගබඩා සහ වෙනත් සෑම දේපළක්මත් විවෘත කළ යුතුව ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154(5) වගන්තියෙන්ම පනවා තිබේ. ඒවාට අදාළ පැහැදිළි කිරීම් සහ සෑම තොරතුරක්මත් ඔහු වෙත සැපයිය යුතුව තිබේ. එහෙත් එය නිසියාකාරයෙන් සිදුවන්නේ නැත. විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු වන අතර, පාර්ලිමේන්තුවේ සුභසෙත සඳහා කටයුතු කිරීමට ව්‍යවස්ථාවෙන්ම ඔහුට බලය පවරා තිබේ. කෙටියෙන් කිවහොත්, විගණකාධිපතිවරයාගේ රාජකාරිය වන්නේ, ආණ්ඩුවේ මූල්‍ය සුපිළිපන් භාවය රැක දීම සහ නඩත්තු කිරීමයි.

මේ නිසා විගණකාධිපතිවරයාගේ සියලූ වාර්තා යොමු කෙරෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඊට අමතරව, විශේෂිත වු විගණනයක් කිරීමටත් ඔහුට නියෝග කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබේ. එසේම, පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන යම් දෙයක් සම්බන්ධයෙන් ඔහුගේ උපදෙස් සහ අදහස් ලබා ගැනීමටත් පාර්ලිමේන්තුවට පුලූවන. ඒ අනුව, පාර්ලිමේන්තුව යනු, තවත් අතකින් ගත් විට, විගණකාධිපතිවරයාගේ වාර්තා සළකා බැලෙන වේදිකාවකි.

විගණකාධිපතිවරයාගේ මූලික කාර්යය වන්නේ, ජනතාවගේ මුරබල්ලා වශයෙන්, ආණ්ඩුවේ ආදායම් සහ වියදම් පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි. වෙනත් වචනවලින් කිවහොත්, ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ මූල්‍ය කළමණාකරනයේ නෛතිය භාවය සහ විධිමත් භාවය විගණනයට ලක් කිරීමේ සුවිශේෂ රාජකාරිය පැවරෙන සහ ඒ හරහා ආණ්ඩුවේ සාක්කුව ජනතාවගේ යහපත සඳහා කාර්යක්ෂමව සහ සාර්ථකව යෙදවෙන බවට වගබලාගන්නා ආයතනය වන්නේ විගණකාධිපති අංශය යැයි කිව හැකිය.

කෙසේ වෙතත්, 1970 දශකයේ සිට විගණන කාර්ය මණ්ඩලය තර්ජනයට ලක්ව සිටී. නින්දා අපවාදයට සහ දඩයමට ලක්ව සිටී. එසේ වී ඇත්තේ, මහජන අවශ්‍යතා ආරක්ෂා කර දීමේ රාජකාරිය කිරීමේදී ය. මෑතකදී විගණකාධිපතිවරයා ගැන මන්ත‍්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට පැමිණිලි කොට තිබේ. මේ මන්ත‍්‍රීවරුන් ඒ වෙනුවට කළ යුතුව තිබුණේ, මහ පරිමාණ දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් සොයා බලන පරීක්ෂණ නිසියාකාරයෙන් අවසන් කරන ලෙස නොවේද? ප‍්‍රකෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් විගණනය කළ හිටපු විගණන අධිකාරිවරයෙකු වූ ලලිත් අඹන්වෙලට ඇසිඞ් ප‍්‍රහාරයකට මුහුණදීමට සිදු වූ බව අපට අමතකද? සමාජ වගකීම පිළිබඳ හැඟීමක් ඇති නිලධාරීන් රාජ්‍ය දේපල සහ සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය අනිවාර්ය අංශයක් වශයෙන් සළකා විගණනයට සහාය වී තිබෙන බවත් මේ අවස්ථාවේ කිව යුතුය.

(ඉතිරි කොටස ඊළඟට)

ලැසිල් ද සිල්වා

(2016 ජුලි 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ National Audit Bill: Should They Hold It Up? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි 



2016-07-25
Advertisement

Find us on Facebook