English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හමුදාපතිවෙත ලියා දන්වමි -

(කොග්ගල හමුදා අවන්හළෙහි පුදර්ශණය කැරෙන යුද අනුස්මරණ ගුවන්යානයක්: එහි වීඩියෝ දැක්ම යුද්ධය වර්ණනා කරයි  -  ඡායාරූපය : සුනන්ද දේශප්‍රිය)

පසුගිය අඟහරුවාදා අප පිරිසක් දකුණු මුහුදු තීරයේ සිට කොලඹ බලා එමින් සිටියෙමු. දහවල් ආහාරය පිණිස රමණීය කොග්ගල පිහිටි යුද හමුදා අවන්හලට අප ගොඩ වැදුනේ පෝය දවසක් වූ එදින බෙහෝ අවන්හල් වසා තිබූ නිසාය.

සාමන්‍යයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ යුදහමුදාව ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ  යුදකරණයේ විපාකයක් ලෙස උතුරෙහි කියාය. එනමුත් දකුණු දිග පෙදෙස්හිද තැන තැන යුද හමුදාව විසින් පවත්වා ගෙන යන අවන්හල් තිබේ.

කොළඹ කෝට්ටේ ප්‍රදේශයේ ජපන් මිත්‍රත්ව පාර අවසන පිහිටි කෑම පාර්සල් ලාබයට විකුණන එවැනි හමුදා අවන්හලක් නිසා අවට කෑම පාර්සල් වෙළදාම්කළ බොහෝ දෙනෙකුට සිය රුකියාව අතහැර දැමීමට සිදුවූ බව මට කීවේ තිරෝද රථ රියදුරෙකි.

මෙම යුද හමුදා අවන්හල්හි සේවය කරන සොල්දුදුවන්ට වැටුප් ලැබෙන්නේ යුද හමුදාවෙන් නිසා කැම පාර්සල් ලාභයට දී අනෙක් සාමාන්‍ය තරඟකරුවන් විනාශකර දැමීම ලෙහෙසිය. මන්ද යත් අනෙක් කෑම පාර්සල්කරුවන් සිය වැටුප සොයා ගත යුත්තේ ලාභයෙන් නිසාය‍.

ඉදින් මෙවැනි අවන්හල් පවත්වා ගෙන යෑමේ අර්ථය කුමක්ද? යුද්ධය අවසන් වී වසර හතක් ගතවී තිබියදීත් ආණ්ඩුවේ වැටුප් ලබමින් අනෙක් වෙළදුන් විනාශ කැරෙන පරිදි මේ අවන්හල් පවත්වා ගෙන යන්නේ ඇයි?

මගේ ප්‍රශ්ණය එයම නොවේ. ඔබ යටතේ පවත්නා කොග්ගල යුද හමුදා අවන්හලේ අනිසි භාවිතයක් පිළිබඳවය.

පසුගිය 19දා දහවල් 1.45ට පමණ එහි දිවා ආහාර ගැනීමට ගිය අප පිරිසට ශ්‍රී ලංකිකයින් තිදෙනෙකුද විදේශිකයකුද අයත් විය.  අප මේසසේ වාඩිවූ සැනින් දුවගෙන ආ සොල්දුදු වේටර්වරයකු මේය මත සිංහලයෙන් තිබූ මෙනුපත ඉවතට ගෙන ඉංග්‍රිසියෙන් සහ රුසියන් බසින් තිබූ මෙනු පතක් මේසය මත තැබූයේය‍.

එවිට අප සමඟ සිටි විදේශිකයා කියා සිටියේ මෙය මිල වැඩි මෙනු පත බවයි. අවන්හල්හි විදේශිකයින්ට වැඩි මිලට ආහාර අළෙවි කරන මෙනු පතක් මා ඊට පෙර දැක නොතිබූ බැවින් ඒ කතාව මම පිළිනොගත්තෙමි. නමුත් පසුව කවුන්ටරයට ගොස් සිංහල මෙනුපතක් බැලූ විට මට ආහාර සඳහා මිල ගණන් දෙකක් ඇති බව පෙනී ගියේය. විදේශික පිරිස් සමඟ බොහෝ ගමන් ගොස් ඇති මා මෙරට සහ එතෙර අන් කිසිදු හෝටලයක එවැනි ද්විත්ව මිලක්  දැක නැත.

ඒ කෙසේ වෙතත් අප කණ්ඩායමේ ආහාර ඇනවුමෙන් තුනක් ශ්‍රී ලංකිකයින්ට බැවින් එම කෑම සඳහා වැඩි මිල නොයදන ලෙස අයකැමිට කියා සිටියෙමි. අයකැමි සොල්දාදුවා ඊට සවන් දුන්නේ නැත. ඔහු කියා සිටියේ විදේශිකයින් සමඟ පැමිණෙන ශ්‍රී ලංකිකයින්ද වැඩි මිල ගෙවිය යුතු බවයි. මා මගේ වෘත්තීමය කාඩ්පතට ඔහුට දී විමසා බලන ලෙස කියා සිටියද ඔහු දරදඩු ලෙස අපද වැඩිමිල ගෙවිය යුතු බවම කියා සිටියේය.

අප වැඩිපුර ගෙවිය යුතු වූයේ රුපියල් 1,500ක් පමණි. එය ගෙවීමෙන් අප දුප්පත් වන්නේද ලබා ගැනීමෙන් යුද හමුදාව පොහොසත් වන්නේද නැත. ප්‍රශ්ණය විශම සැළකීම සහ පුරවැසියන්ට සවන් නොදීමට එකී සොල්දුදාවන් දැක්වු දඩබ්බරකමයි.

ඔබේ හමුදාවෙහි සොල්දාදුවන් පිරිසක් විසින් මෙම අනිසි මුදල් ලබා ගැනීම ගැන ඔබ කියන්නේ කුමක්ද? අපගෙන් ලබා ගන්නා ලද වැඩිපුර මුදල යළි ලබා දීමට පියවර ගන්නේද? විදේශිකයින්ගෙන් රුපියල් 500ක් වැඩිපුර ලබා ගැනීම පිණිස මෙළෙස ද්විත්ව මිල ක්‍රමයක් පවත්වා ගැනීම ඔබ අනුමත කරන්නේද?

( අප වාහනයට නැගීමට ඔන්න මෙන්න කියා තිබියදී පැමිණි නිලධාරියකු බව පෙනෙන සොල්දාදුවකු වැඩි පුර ලබා ගත් මුදල ආපසු ගෙවීමට සූදානම් විය. ඒ මා විසින් දෙන ලද කාඩ්පත ඔහුට ලැබීම නිසා විය හැක.)

යාපන සරසවි ගැටුම සහ ජනමාධ්‍ය

ලේ උරා බීමෙන් බඩ මහත් කර ගැනීමට පුරුදු ගිජු ලිහිණියන් හා සමාන විවිධාකාර දේශපාලනඥයිනට සහ ජනමාධ්‍යකරුවනට පසුගියදා යාපන සරසවියෙහි ඇති වූ  ගැටුම මජර අවස්ථාවක් බවට පත් විය.

මේ ගැටුමට හේතුවූ කාරණා සොයා බලා එවැනි තත්වයක් යළි ඇතිවිම වැලැක්වීමට තුඩු දෙන ගැටුම් සංවේදී වාර්තාකරණය වෙනුවට එවැනි පිරිස් උත්සාහ කළේ එක් පාර්ශවයකට වරද පටවා ඇවිලෙන ගින්නට තෙල් වැක් කිරීමටය.

දෙමළ ජාතිකවාදයේ ආන්තික ප්‍රකාශණයක් බවට පත්ව ඇති ටැමිල් නෙට් නම් වෙබ් අඩවිය කියා සිටියේ ‘ප්‍රචන්ඩ ලෙස උඩරට නැටුමක් රඟ දැක්වූ විද්‍යා අංශයේ බහුතරය වන සිංහල සිසුන් දෙමළ සිසුන්ට පහර දුන්’ බවය. ‘දෙමළ සිසුන් තමන් ආරක්ෂා වීම පිණිස අනතුරුව සිංහල සිසුන්ට පහරදුන්’ බව කී එය එමගින් දෙමළ සිසුන්ගේ ප්‍රහාරය සාධාරණ කළේය.

ගරිකාලන් යන අන්වර්ථ නාමයෙන් කටයුතු කරන දෙමළ ජාතිකවාදී කණ්ඩායමක් සිය ටිවිටර් පණිවිඩයක් මගින් ටැමිල් නෙට් මතය තහවුරු කරමින් කියා සිටියේ ‘ තමන් පහර දුන්නේ ආරක්ෂාවීමට බව’ දෙමළ සිසුන් ප්‍රකාශ කරන බවයි.

ටැමිල්නෙට් අඩවිය තවදුරටත් කියා සිටියේ සිවිල් ඇදුමින් සැරසුණ යුද හමුදා පිරිස් සරසවියට පැමිණ ප්‍රහාරයට සම්බන්ධ වූ බවයි. ගරිකාලන් කණ්ඩායම එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් කියා සිටියේ සිවිල් ඇදුමින් සැරසුණූ යුද හමුදා සහ පොලිස් පිරිස් සරසවිය තුල ගැවසීම ප්‍රහාරයෙන් පසු ඉහළ ගොස් ඇති බවයි.

කැනඩාවෙහි සිට ප්‍රකාශයට පත් කැරෙන ටැමිල් ගාර්ඩියන් නම් වෙබ් අඩවියද දැක්වූයේ එවැනිම පාර්ශවීය සහ අවුලුවන සුළු අදහස්ය‍.

මිට සහමුලින්ම ප්‍රතිවිරුද්ධව මෙරට ප්‍රධාන ධාරවෙහි දෙමළ මාධ්‍ය අවුලවන සුලු වාර්තාකරණයන්ගෙන් වැලකී සිටියේ ය.

එසේ නමුත් දෙමළ ජාතික වාදයේ නිවුන් සොහොයුරන් වන සිංහල ජාතිකවාදී අන්තවාදීන් කියා සිටියේ ප්‍රහරයට වග කිය යුත්තේ දෙමළ සිසුන් බවයි. ජාතිවාදී හොරණැව වන දිවයින මෙසේ කීවේය:

‘ආචාර්යවරුන් සහ යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිටදී යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්‌ක කරගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සැලසුම් සහගතව ජාතිවාදී පදනමින් සිදු වී ඇති බව පැහැදිලිය.’

‘පිළිගැනීමේ උත්සවයේදී වෙස්‌ නැටුම් පැවැත්වීමට ඉඩ නොදෙන බව ද පසුගිය දිනෙක දෙමළ සිසුන් විසින් සිංහල සිසුන්ට කියා තිබේ. කෙසේ වෙතත් මෙතෙක්‌ පවත්වාගෙන ආ ක්‍රමය නිසා සිංහල සිසුන් එම විරෝධය නොතකා වෙස්‌ නැටුම පැවැත්වීමට පියවර ගෙන ඇත. එම නර්තනය පැවැත්වෙන අතරතුර දෙමළ ශිෂ්‍යයන් එම ස්‌ථානයට කඩාවැදී සිංහල සිසුන්ට පහර දී ඇතැයි පැවසේ.’

‘ගැටුම සමථයට පත්කළ නොහැකි තැන සිංහල සිසුන් ද දෙමළ සිසුන්ට පෙරළා පහර දී ඇති අතර එහිදී දෙමළ සිසුන් එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස්‌ තිබේ. එහෙත් නැවත ගල්, මුල්, යකඩ පොලු අතැතිව එම ස්‌ථානයට පැමිණ ඇති දෙමළ සිසුන් සිංහල සිසුන්ට පහර දී ඇති අතර තුවාල ලැබූ සිංහල සිසුන් රෝහල්ගත කර ඇත.’

උග්‍ර ජාතිවාදියකු වන ගම්මන්පිල මෙසේ කියා තිබුණි.

‘යාපනයේ විශ්වවිද්‍යාලයේ ඇතිවුණ සිදුවීමත් සමග ඒ සිංහල ශිෂයන්ට පහර දෙන්න අන්තවාදී දෙමළ ශිෂ්‍ය පිරිසක් කටයුතු කරද්දි ඒකට උල්පන්දම් දීලා තියෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව. අද ඒ ශිෂ්‍යන් අපිට ඒක කියනවා.’

වීරවංශගේ වෙබ් අඩවිය මෙසේ කිවේය: ‘ගුටි කාගෙන සංහිඳයාව රකින්නැයි ලේ පනින්න ගුටි කෑ සිසුන්ට සහජීවන ආණ්ඩුකාරයා කියයි’.

දෙමළ සිංහල දෙපාර්ශයේම ඉහත කී අන්තවාදී ගිජුලිහිණියන්ට ප්‍රතිවිරුද්ධව යාපන සරසිවියේ ආචාර්‍ය සංගමය මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ගැටුම සමනය වන පරිදි ප්‍රකාශ නිකුත් කරමින් තත්වය සමහන් කිරීම අපේ වාසනාවක් විය. තෙසේ වෙතත් මෙම ගැටුම හුදෙක් අහම්භයක් ලෙස නොසළකා ඇත්ත ප්‍රශ්ණය වන අන්‍යෝන්‍ය අවිශ්වාසය දුරු කිරීම පිණිස දීර්ඝ කාලීන පියවර ගැනීම බලධාරීන්ගේ වගකීම වේ.

  සුනන්ද දේශප්‍රිය

-  මෙලනි 



2016-07-22
Advertisement

Find us on Facebook