English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සේවය සහ රාජ්‍ය සේවය ශිෂ්ට සම්පන්න කිරීම

බි‍්‍රතාන්‍ය සහ වෙනත් බටහිර රටවල් ගණනාවක සිවිල් සේවය සහ රාජ්‍ය සේවය බොහෝ දුරට පක්ෂ දේශපාලනයෙන් බැහැරව, ස්වාධීන සේවාවන් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. එම රටවල ආණ්ඩු වෙනස් විය හැකි වෙතත්, සිවිල් සහ රාජ්‍ය සේවාව, පරිපාලනයේ ප‍්‍රතිපත්ති මත පදනම්ව ජනතාවට සේවය කිරීම සඳහා සැදී පැහැදී සිටී.

මෙය, 1948 දී අපට නිදහස ලැබෙන විට බි‍්‍රතාන්‍යයන් විසින් ඉතිරි කර දී ගිය තෑග්ගත් හෙවත් සාධනීය සාධකයකි. 1948 සිට එහි ඇතැම් පීලි පැනීම් සහ නොමග යාම් අප දැක තිබේ. එහෙත් ප‍්‍රධාන වෙනස සිදු වුණේ, 1965 දී ජේ. ආර්. ජයවර්ධන රාජ්‍ය ඇමතිවරයා වශයෙන් තමන්ගේ මිතුරෙකු සහ පක්ෂ සගයෙකු වු ආනන්ද තිස්ස ද අල්විස්ව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කිරීමෙනි. එදා පටන් තත්වය තවත් පිරිහුණි. ඔද්දල් වුණි. අද වන විට සමස්ත සිවිල් සහ රාජ්‍ය සේවාවම ඉහළ සිට පහළ දක්වාම පක්ෂ දේශපාලනයේ ගොදුරක් බවට පත්ව තිබේ. ඒ තත්වය තුළ, විශේෂයෙන් ලෝක ධනපති වෙළඳපොල ප‍්‍රතිපත්ති 1977 සිට මහ පරිමාණව ගිල ගැනීමෙන් පසු මේ වන විට අපේ රාජ්‍ය සේවය, බලයේ සිටින පක්ෂයේ සහ දේශපාලඥයන්ගේ අතකොලූවක් වෙමින් මහජන සේවය කුණු කූඩයට වීසි කෙරී ඇත.

1960 දශකය වන තෙක්, ඞී. බී. ධනපාල වැන්නන් මාධ්‍යවේදීන්ට ඉගැන්නුවේ රාජ්‍ය සේවකයන් වෙනුවට මහජන සේවකයන් යන යෙදුම පාවිච්චි කළ යුතු බවයි. මන්ද යත්, මෙම සේවකයන්ට කෙලින්ම වැටුප් ගෙවනු ලබන්නේ මහජනතාව විසින් නිසා ඔවුන්ගේ රාජකාරිය විය යුත්තේ ජනතාවට සේවය කිරීම වන බැවිනි. එහෙත් අද අපට දකින්ට ලැබෙන්නේ එහි විකෘතියකි. විගඩමකි. හම්බන්තොට සහ කිලිනොච්චිය වැනි දුර බැහැර සිටි පැමිණෙන ජනතාවට, විශේෂයෙන් දුප්පත් ජනතාවට රාජ්‍ය සේවාව පෙනෙන්නේ, හිතක් පපුවක් නැති නිලධාරී තන්ත‍්‍රයක් මෙනි. ‘පරිපාලන රෙගුලාසි’ සහ ‘මූල්‍ය රෙගුලාසි’ යන යෙදුම්වලින් හැඳින්වෙන සංකීර්ණ දැළක පැටලී සිටින පැලැන්තියක් මෙනි.

2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 8 වැනි දා බලයෙන් පහ කෙරෙන විට, ලක්ෂ ගණනක පිරිසක් රාජ්‍ය සේවාවට බඳවාගෙන තිබුණේ ප‍්‍රධාන වශයෙන් පක්ෂ දේශපාලනික පදනම් මතයි. එයින් බහුතරයක් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට හෝ අස්ථිර පදනම් මත බඳවාගෙන තිබුණු අතර, ඔවුන් එක්කෝ එම රාජකාරිවලට නොගැළපෙන්නන් හෝ ඔවුන්ගේ හැකියාවන් පාවිච්චියට ගත නොහැකි රැුකියාවන් සඳහා බඳවා ගත්තවුන් බවට පත්විය. ඊට අමතරව, ඉහළ පෙළේ පුද්ගලයන් විසින් ජනතාවගේ මුදල් ඩොලර් බිලියන ගණනින් ගසාකෑම තුළින් රාජ්‍ය සේවයේ සෑම අංශයක් පුරාම දූෂණය රජ කැරැුවුණි. රාජ්‍ය ආයතනයකින් යම් කිසි කාර්යයක් කර ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා අල්ලසක් දිය යුතුව තිබූ බව බොහෝ දෙනා දනිති. ඒ ආකාරයට එකී නිලධාරී වලසා, මිලියන 1.3 ක් තරම් වන මහා රකුසෙකු බවට පත්විය. ඔවුන්ගේ වැටුප්, දීමනා සහ විශ‍්‍රාම සඳහා රාජ්‍ය ආදායමෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් උරා ගත්තේය. මීට අයත් නැති ව්‍යතිරේක වෙතත්, ඒ ඉතා සුළු පිරිසකි.

ජේ. ආර්. ජයවර්ධනගේ හිතෛෂී අනුගාමිකයෙකු වන අගමැති රනිල් වික‍්‍රමසිංහ ඒ තත්වය කණපිට හැරවීම සඳහා ලංකාවේ සිවිල් සහ රාජ්‍ය සේවය රැුඩිකල් ආකාරයකින් ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාතික ආණ්ඩුව විසින් සැලසුමක් සකස් කරමින් සිටින බව පසුගිය අඟහරුවාදා සිංගප්පූරුවේදී ප‍්‍රකාශයට පත්කෙළේ ඒ සන්දර්භය තුළ ය.

සිංගප්පූරුවේ කීර්තිමත් ‘සිවිල් සේවා කොලීජියේ’ දේශනයක් කරමින්, පක්ෂ දේශපාලනයෙන් දූෂ්‍ය වී ඇති මේ අංශය සැබවින්ම ජනතාවට සේවය කරන, විශේෂයෙන් දුගී ජනතාවට සේවය කරන, අව්‍යාජ සහ ස්වාධීන අංශයක් බවට පත් කිරීම සඳහා සිංගප්පූරු රජයත් සමග ශ‍්‍රී ලංකා රජය සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කීවේය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනද, ස්වකීය ආණ්ඩුවේ නායකයන් ජනතාවගේ සේවකයන් මිස ජනතා සම්පත් අපහරණය කරන හෝ කොල්ලකන අධිකාරීවාදී නායකයන් නොවිය යුතු බව පෙන්වා දුනි. අගමැතිවරයාගේ ප‍්‍රතිව්‍යුහගත කිරීමේ රැුඩිකල් සැලැස්ම නිසි පරිදි ක‍්‍රියාවේ යෙදවෙන්නේ නම්, ඒ මගින්, ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඒබ‍්‍රහම් ලින්කන් වරක් කී පරිදි, ජනතාව සඳහා ජනතාව විසින් පාලනය කරනු ලබන ජනතා ආණ්ඩුවක් ලංකාවේ බිහි කර ගැනීමේලා එය මහත් පිටුවහලක් වනු ඇත. ඇත්ත වශයෙන්ම විය යුත්තේද එයමයි.

(2016 ජුලි 21 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Civilising the Civil & Public Service” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’)


-  මෙලනි





2016-07-22
Advertisement

Find us on Facebook