English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාව කලාපයෙහි භූ-ආර්ථික කේන්ද්‍රයක් බවට පරිවර්තනය කරන්නේ කෙසේද​?

දිගුකාලීන දැක්මක් නොමැති, අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව 2015 දී ජාතික සම්මුතිවාදී රජයක් වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් රටේ සෞභාග්‍යය හා ස්ථාවරත්වය සහතික කළ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා මෙම ජනවරම ක්‍රියාවට නැගීම සඳහා පසු ගිය වසරෙහි ජනවාරි 8 වැනි දා ඡන්ද දායකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ බවත්, අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ ජාතික රජයක් බිහි කිරීම මගින් එය වඩා ශක්තිමත් කිරීමට හැකි විය.

ජාතික රජය පිහිටුවීමෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ස්ථාවරභාවය සහ ස්ථාවර දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති ඇති කරගැනීම සඳහා ද්වි පාක්‍ෂික එකඟතාව ළඟා කරගැනීමට හැකි වූ බැවින් අප රට සතුව පවතින සුවිශාල විභවය ප්‍රයෝජනයට ගනු පිණිස බොහෝ කාලයක් තිස්සේ බලා සිටි විචක්ෂණ සහ තිරසාර ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත්, එය දේශීය එකමුතුවේ බරසාර ප්‍රතිපලය පිළිබිඹු කරන්නක්.

සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී මුළු දුන් තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මුඛ්‍ය දේශනය:

සිංගප්පූරුවෙහි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ධර්මන් ෂන්මුගරත්නම් මැතිඳුනි, සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයෙහි දකුණු ආසියානු අධ්‍යයන ආයතනයෙහි සභාපති ගෝපිනාත් පිල්ලේ තානාපතිතුමනි, සම්භාවණීය නියෝජිතවරුනි, මිතුරනි.

සිංගප්පූරුවෙහි දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සත්කාරකත්වය දරණ තුන් වැනි දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවට සහභාගී වන මෙන් මට ආරාධනා කිරීම ගැන ආරම්භයෙහිදී ම ඔබට ස්තඣති කරන්නට මට අවසර දෙන්න. පසුගිය වසර 51 තුළ පෙරදිග සහ අපරදිග හමු වන කේන්ද්‍රීය සන්ධිස්ථානයක් ලෙස සිංගප්පූරුව පත් ව ඇති මර්මස්ථානයෙහි වැදගත්කම මෙම සමුළුවෙන් අවධාරණය වෙනවා. දකුණු ආසියානුවන් වන අප මෙම සමුළුව සඳහා අග්නිදිග ආසියානු රටක එක්රැස්වීම ම මෙබඳු අවස්ථාවන්ට සත්කාරක සේවා සැපැයීමට සිංගප්පූරුව සතු දැක්ම සහ නිපුණත්වයට සාක්‍ෂි දරනවා.

පුරාණ වංශ කථාවන්ට අනුව, දකුණු ආසියාවෙන් පැමිණි ජනතාව ස්වර්ණභූමි ප්‍රදේශයට පැමිණ ඇත්තේ මීට ශතවර්ෂ 25 කට පෙරයි. ධෛර්ය සම්පන්න පිරිසක් වූ ඔවුන් වෙළෙඳුන්, අශෝක අධිරාජයාගේ රාජදූතයන්, දෛවඥයන්, පූජකයන්, නැවියන් සහ වෙනත් වෙනත් එවැනි වූ ක්ෂේත්‍රවලට අයිති වූවා.

ෆූනාන් රාජ්‍යය ආරම්භ කළේ දකුණු ඉන්දියාවේ පුරාණ පල්ලව රාජධානියට ද සම්බන්ධතා තිබූ කෞන්ඩින්‍ය නමැති ඉන්දීය බ්‍රාහ්මණ වංශිකයා විසින්. ෆුනාන් රාජ්‍යය හා පල්ලව රාජ්‍ය අතර සබඳතා පැවතුණා. ශත වර්ෂ ගණනාවක් පුරා පල්ලවයන් සහ ශ්‍රී ලංකා රාජධානිය අතර තිබූ සම්බන්ධතාවන් හේතුවෙන් බෙංගාල බොක්කේ නාවුක ගමනාගමනයෙහි ආධිපත්‍යය දරන්නට ඔවුන්ට හැකිවුණා. පුරාණ ලෝකයේ දියුණුවේ හිනිපෙත්ත වූයේ කලාපය දකුණු ආසියානු කලාපයයි.

අද බිලියන 1.7 ක් වන එහි ජනගහනයක් සහිත ව ලෝක බැංකුව පවසන අන්දමට ලෝකයේ වැඩිම යයි කියන සිත්ගන්නා සුළු වර්ධන වේගයක් දකුණු ආසියාව හිමිකර ගන්නා නිසා ජීවත්වීමට සුදුසුම කලාපය එය විය යුතුය. පහළ ගිය තෙල් මිල සහ ඉහළ දේශීය ඉල්ලූම නිසා දැනට දකුණු ආසියාවේ වර්ධන වේගය ඉහළ මට්ටමක පැවතුණත්, සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, විශේෂයෙන්ම, දකුණු ආසියානු කුඩා ආර්ථිකයන් තුළ දේශීය ඉල්ලූම පදනම් කර ගත් වර්ධනයට සීමාවන් පවතින බවයි.
ඒ නිසා ගෝලීය වෙළෙදාම, බදුකරණය, මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර සිසාරා හමා යන සීමාහරණයේ නව ප්‍රවණතාවයන්ට දකුණු ආසියානු වෙළෙඳ ව්‍යාපාරයන් ප්‍රතිචාර දැක්වීම ද අවශ්‍ය වෙනවා.

මධ්‍යකාලීනව හා දීර්ඝකාලීන වර්ධනය පවත්වා ගැනීම සඳහා දකුණු ආසියාවේ රජයයන් සිය ආර්ථිකයන් විවෘත කිරීමටත්, විදේශ වෙළෙඳ ආයෝජන දිරිමත් කිරීමටත් කේන්ද්‍රීය අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා සැලසුම් සහගත සහ ස්ථිරසාර ප්‍රතිසංස්කරණ වැඩසටහන්, සාර්ව ආර්ථික ස්ථාවරභාවය, ශේෂ පරතර අඩුවීම, ව්‍යාපාර කිරීම සඳහා අවශ්‍ය වඩා පහසු පරිසරයක් සකස් කිරීම, ආයෝජන මූල්‍ය ප්‍රවර්ධනය සහ කලාපය පුරා යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා යෙදෙන රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 සිට 7.5 දක්වා වැඩි කර ගැනීම යන කාරණා මූලික වෙනවා.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථික ලිබරලීකරණයේ පුරෝගාමියායි. හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය මගින් කලාපයේ වැඩිම ආර්ථික නිදහස ඇති රට වශයෙන් අප නම් කර තිබෙනවා. එසේ වුවත් ශ්‍රී ලංකාව අද අලූත් දේශපාලන පුරෝගාමීත්වයක්, එනම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එකමුතුකමෙහි දේශපාලනයක් හැඩගස්වමින් යනවා.

දිගුකාලීන දැක්මක් නොමැති, අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව 2015 දී ජාතික සමගි රජයක් වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් රටේ සෞභාග්‍යය හා ස්ථාවරත්වය සහතික කළා. මෙම ජනවරම ක්‍රියාවට නැගීම සඳහා පසු ගිය වසරෙහි ජනවාරි 8 වැනි දා ඡන්ද දායකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළා. අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ ජාතික රජයක් බිහි කිරීම මගින් අප එය වඩා ශක්තිමත් කළා. ජාතික රජය පිහිටුවීමෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ස්ථාවරභාවය සහ ස්ථාවර දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති ඇති කරගැනීම සඳහා ද්වි පාක්‍ෂික එකඟතාව ළඟා කරගෙන තිබෙනවා. මෙම නිසා අප රට සතුව පවතින සුවිශාල විභවය ප්‍රයෝජනයට ගනු පිණිස බොහෝ කාලයක් තිස්සේ බලා සිටි විචක්ෂණ සහ තිරසාර ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබෙනවා.
එම ප්‍රතිසංස්කරණයන්ට අයත් වන්නේ,

මෙම වසරෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4% ක් වන අයවැය හිඟය 2020 වන විට 3.5% ට අඩු කිරීම,

වර්තන ගිණුම් පිළිබඳ සීමා ඉවත් කිරීම සඳහා නව විදේශ විනිමය පනතක් හඳුන්වාදීම,

වඩා සරල වන සේ සහ ව්‍යාපාරික ව්‍යවසායයන්ට ඇති පරිපාලන රෙගුලාසිමය අවහිර ඉවත් වන සේ බදු නීතිය ප්‍රතිසංස්කරණය තුළින් ව්‍යාපාර සඳහා වඩා යහපත් පරිසරයක් ඇති කිරීම,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහ ලෝක බැංකුවෙහි උපදේශනය සහිතව ආයෝජන සඳහා නව දිරිගැන්වීම් මාලාවක් සැකැසීම,

කොළඹ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිට්ල්ස්, හයට් රිජන්සි හෝටලය වැනි උපාය මාර්ගික නොවන ව්‍යාපාර අලෙවිය තුළින් ආයෝජන අවස්ථා පිළිබඳ පණිවුඩයක් ලබා දීම. පරිණත ගුවන් සේවා කළමනාකරණයකින් සහ විශාල ගමනාන්ත ජාලයකින් සමන්විත ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජන සහයෝගීතාවයක් සඳහා විවෘත කිරීමයි.

වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය සමග දශක දෙකක් පුරා, කලාපයේ ඉහළම මානව සංවර්ධන දර්ශකය ඇති රට වශයෙන් ලංකාව වාර්තාගත වී තිබෙනවා. ලෝක බැංකුව විසින් සනාථ කර ඇති ආකාරයට කලාපයේ තරුණ සාක්ෂරතාවයේ සාමාන්‍යය සියයට 83 ක් වුව ද ශ්‍රී ලංකාවේ එය සියයට 98 කට වඩා වැඩියි.

යටිතල පහසුකම්වල ව්‍යාපාරික පරිසරය සහ ප්‍රතිපත්ති වැනි කාරණා දුර්වලවීමෙන් විදේශයන් සමග කරන වෙළෙදාමට බාධා කරන අතර එහි තිබිය යුතු තරගකාරී හැකියාවන් ද අඩපණ කරන සාධක ලෙස අප හඳුනාගෙන තිබෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් මුහුදු, ගුවන්, මහාමාර්ග, බලශක්ති සහ සන්නිවේදන ක්ෂේත්‍රයන්හි පහසුකම් වර්ධනය කිරීම සඳහා වන භෞතික යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව විසින් දියත් කර තිබෙනවා. එම වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු, ව්‍යාපාරික හා මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය අරඹා ඇති ක්‍රියාදාමයට අවශ්‍ය සහාය සපයනවා.

අප කැමැත්තක් දක්වන අංශ අවධාරණය කරන්නට මට අවස්ථාව දෙන්න.

නිෂ්පාදන සහ සේවා අංශ

නිෂ්පාදන සහ සේවා අංශ ප්‍රතිපත්ති පදනම් කර ගනු ඇත්තේ ශ්‍රී ලංකාව බහුවිධ අගය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වීම සහ ගෝලීය අගය එකතු කිරීමේ දාමයේ කොටසක් බවට පත්වන ආකාරයෙනි. නව ව්‍යාපාර ආකෘති, නවෝත්පාදන රැකියා වෙළෙඳපොල සඳහා නිපුණතා සංවර්ධනය, සම පෞද්ගලික ආයෝජන ප්‍රවර්ධනය පිණිස කාර්මික අන්තර්ජාලය වෙත අවධානය යොමු කරනු ඇත.

ඩිජිටල් ආර්ථිකය

ඒ ටී කර්නි ආයතනය විසින් ශ්‍රී ලංකාව ලෝකයේ බැහැරගත සේවා සැපයුම් ස්ථානවලින් හොඳම රටවල් 50 අතරට වර්ග කර තිබෙන අතර, ග්ලෝබල් සර්විසස් සඟරාව විසින් කොළඹනගරය ලෝකයේ නැඟී එන හොඳම නගර 20 තුළට වර්ග කර තිබෙනවා.
තොරතුරු සන්නිවේදන තාක්ෂණවේදය සියල්ලන්ටම ලබා ගත හැකි වනු පිණිස ජාල යටිතල පහසුකම් දියුණු කිරීම නිපුණතා හිඟය මෙන්ම පරිගණක සාක්ෂරතාව අතින් තොරතුරු සන්නිවේදන තාක්ෂණවේදී සේවා අතර වන ඩිටිටල් පරතරය පියැවීම අපේ නව ප්‍රතිපත්තිවල අරමුණය.

සංචාරක කර්මාන්තය

සංචාරක කර්මාන්තයේ වර්ධනයට ශ්‍රී ලංකාව සතු විභවය අප මෙතෙක් සම්පූර්ණයෙන් භාවිතා කර නැහැ. ඉහළ මට්ටමේ සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සැලසීම මධ්‍යම පළාතේ, එනම් කඳුකරයේ වැඩි දුර සංවර්ධනය, නැගෙනහිර වෙරළ සංචාරක කටයුතු සඳහා විවෘත කිරීම සහ උතුරේ ජනාවාස නොවූ කුඩා දූපත්වල සිට දකුණේ ඓතිහාසික ගාලූ පුරවරය දක්වා යොට් සහ මඟී යාත්‍රා පහසුව සැලසීම ඇතුළත්ව නව වැඩපිළිවෙලක් සැකසීම.

යටිතල පහසුකම්

ගුවන් තොටුපල දෙකක් සහ නාවුක තොටුපල දෙකක් සහිතව ශ්‍රී ලංකාවෙහි නාගරික භඣ දර්ශනය යළි හැඩ ගන්වන මහා පරිමාන ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් එනම්, මහනුවර – කොළඹ – හම්බන්තොට තීරය සංවර්ධනය ආණ්ඩුව විසින් අරඹා තියෙනවා. මෙම තීරයෙන් අවුරුදු 15 ක කාල සීමාවන් තුළ ක්‍රියාත්මක කෙරෙන, මහනුවර මහා සංවර්ධන සැලැස්ම, වයඹකාර්මික සහ සංචාරක සංවර්ධන සැලැස්ම, මෙගාපොලිස් ව්‍යාපෘතිය, දක්ෂිණ කාර්මික සහ සංචාරක ව්‍යාපෘතිය හා හම්බන්තොට ආර්ථික ව්‍යාපෘතිය යන වෙන් වෙන් ව්‍යාපෘති පහක් ඒකාබද්ධ කෙරෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 44ක බස්නාහිර මහ නගර ව්‍යාපෘතියෙහි අරමුණ ගෝලීය පරිමාණයේ මහා නගරයක් බස්නාහිර පළාතේ ඉදිකිරීම ය. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකි පරිදි 2025 දී මිලියන 8.5ක ජනගහණ්‍යක් වාසය කරනු ඇති කොළඹනගරය ව්‍යාපාරික සහ මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කෙරෙනවා. ත්‍රිත්ව ඊ–පන්තියේ අති විශාල මගී නෞකා හැසිරවිය හැකි වන පරිදි කොළඹ වරාය නූතනම යටිතල පහසුකම් සහිතව නවීකරණය කෙරෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තව දුරටත් පුළුල් කෙරෙනවා. මෙම ව්‍යාපෘතියට භාණ්ඩ හුවමාරු තීරය, කාර්මික පර්ෂද මූල්‍ය නගරය සහ විද්‍යා තාක්ෂණ නගර ද අයත් වෙනවා. හෙක්ටයාර් 269 ක මුහුද ගොඩකර බිහිකරන කොළඹවරාය නගරය ද මෙම කලාපයට ඇතුලත් වෙනවා.

ඩුබායි සහ සිංගප්පුරුව අතර පිහිටන පරිදි ශ්‍රී ලංකාවේ යෝජිත මූල්‍ය නගරය එම නගර දෙක අතර වෙළඳ නාවුක මාර්ගයේ වෙනත් මූල්‍ය නගර නොමැති වීමේ හිඩැස සම්පූර්ණ කිරීමට සමත් වෙනවා ඇති. යෝජිත කොළඹමූල්‍ය නගරය, ගෝලීය සමාගම්වලට සිය ව්‍යාපාර එහි ආරම්භ කිරීමටත් එම නගරයට ව්‍යාපාරික සහ මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් වර්ධනය වන්නටත් අවස්ථාව සැලසෙන පරිදි එයටම ආවේණික වූ ආර්ථික හා වාණිජ නීතියක් සහිත වෙනම අධිකරණ බල ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යාමට අප කටයුතු කරනවා.

දක්ෂිණ ශ්‍රී ලංකාවෙහි පිහිටි එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක හම්බන්තොට ආර්ථික ව්‍යාපෘතිය සඳහා තෙල් පිරිපහදු බලශක්ති ජනක කම්හල් සහ කාර්මික ජනපද පිහිටුවීමට ආයෝජන කැඳවනු ඇත. අප දැනටමත් චීන ආයෝජකයන් සමග සාකච්ඡා අරඹා තියෙනවා.

අනෙකුත් සංවර්ධන කටයුතුවල ඉලක්කය වන්නේ වඩා හොඳ මාර්ග පද්ධතියක් තුළින් ප්‍රවාහන පහසුව සැලසීමයි. බස්නාහිර සහ දකුණු පළාත් සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ග ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය දෙක සම්බන්ධ කරමින් රටේ විදේශ සම්බන්ධතාවල ද මූලික කාර්යභාරයක් ඉටු කරනවා.

තුන්වැනි වරාය සංවර්ධන ව්‍යාපෘතියක් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයෙහි සැළසුම් කර තියෙනවා. නාවුක කටයුතු නිෂ්පාදන කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය පදනම් කරගනිමින් ත්‍රිකුණාමලය සඳහා මහා සැළැස්ම සැකැසීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සුබානා ජුරොං පෞද්ගලික සමාගම සමග ගිවිසුමකට එළැඹතිබෙනවා. ත්‍රිකුණාමලයට දකුණින් ඇති කිලෝමීටර් 175ක ප්‍රදේශය ඉහළ මට්ටමේ සංචාරක නිකේතන කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙනවා.

වෙළෙදාම

වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන කුඩා දේශීය වෙළෙඳපොලවල් අපනයන අරමුණ කරා යොමු කිරීම තුළින් සියයට 8 ක වර්ධනයක් ළඟා කරගැනීමත් අපේ අරමුණක්. එබැවින් අපේ වෙළෙඳ ප්‍රතිපත්තිවල අවධානය ශ්‍රී ලංකා අපනයනවලට වෙළෙඳපොල ප්‍රවේශය ලබාගැනීමට අප ක්‍රියා කරනවා.

තීරුබදු සහන සලසන ජීඑස්පී ප්ලස් පහසුකම නැවත ලබා ගැනීමට අප යුරෝපීය වෙළෙඳපොලට අයැදුම් කර තිබෙනවා. තනි යුරෝපීය වෙළෙඳපොලට පිවිසීමෙහිදී මෙම පහසුකම නිසා ශ්‍රී ලංකාවට තරඟකාරී වාසියක් හිමි වෙනවා. මෙම ගිවිසුම 2017 වන විට සාකච්ඡා කර අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවෙහි කර්මාන්ත සේවා සහ කෘෂිකර්මාන්ත නිෂ්පාදිතයන්ට එයින් දැවැන්ත රැකුලක් ලැබෙනු ඇති.

ශ්‍රී ලංකාවත් චීනයත් අතර ඓකම තීරයක් – එකම මගක්ෙ යන තේමාව යටතේ නිදහස් වෙළෙද ගිවිසුමක් ඇති කර ගැනීමට අපි සාකච්ඡා කරනවා. හම්බන්තොට ආර්ථික ව්‍යාපෘතියෙහි සම මූල්‍ය නගරයෙහි චීන ආයෝජනවල සාර්ථකත්වය සඳහා මෙය අවශ්‍යයි.

ඊට අමතරව ශ්‍රී ලංකාව හා ජපානය අතර වන දීර්ඝ කාලීන ආර්ථික සහයෝගය අපේ ආර්ථිකය වඩාත් නවීකරණයට උපකාරී වනු ඇති. මහනුවර මහා සංවර්ධන ව්‍යාපෘති සැළැසුම් සහ විද්‍යා තාක්ෂණවේදී සහයෝගය ඊට ඇතුළත්.

වැඩි වැඩියෙන් බහු ධ්‍රැවීය වන ලෝකයෙහි ගෝලීය බලවේගයක් ලෙස ඉන්දියාව ඉස්මතු වත්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික අසමතුලනය වැඩි වන බව අප දන්නවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම වඩා පුළුල් සහ ගැඹුරු කරමින් භාණ්ඩවලට අමතරව, භාණ්ඩ වෙළෙදාමට අමතරව සේවා ආයෝජන සහ තාක්ෂණික සහයෝගය ද ඇතුළත් වන පරිදි ව්‍යාප්ත කරනවා.

යෝජිත ආර්ථිකය හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම මගින් වෙළෙදාම සඳහා වන සියළු බාධා ඉවත් කෙරෙනවා. එම ගිවිසුම මෙම වසර අවසානයේ දී අත්සන් තැබීමට නියමිතයි.

එම ගිවිසුමෙන් දකුණු ඉන්දියාවෙහි සහ ශ්‍රී ලංකාවෙහි අනුපූරක ආර්ථික සංවර්ධන ඉහළ යනු ඇති අතර පවත්නා එකමුතුකම දිරිගැන්වෙනු ඇති. ඔබ දන්නා පරිදි දකුණු ඉන්දියාවෙහි ඉන්දියානු වරාය හයක් එනම්, තමිල් නාඩුවෙහි චෙන්නායි වරාය සහ තුතිකෝරින් වරාය, ආන්ද්‍රාවෙහි විශාඛාපට්නම් වරාය, කර්නාටකයෙහි නව මැන්ගලෝර් වරාය සහ කේරලයෙහි කොචින් වරාය තිබෙනවා. ශ්‍රී ලංකා අපනයනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් දකුණු ඉන්දියාවෙහි පිහිටි චෙන්නායි වැනි වරායවලින් ඉන්දියාවට පිවිසෙන අතර වෙළෙඳ භාණ්ඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් දකුණු ඉන්දියාවෙහි වරායන්ට යවන්නේ නැවත නැව්ගත කිරීමටය. දෙරට අතර අන්තර් සම්බන්ධිත සහ ඒකාබද්ධ වරාය පද්ධතියක් කරා මඟ පාදමින් එට්කා ගිවිසුම ද්විත්ව වරාය පද්ධතිය අතර සහයෝගය ශක්තිමත් කිරීමට අවස්ථාවක් සපයනු ඇති. කාර්මික ජනපද සහ භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය සේවා මර්මස්ථානයන් මුහුදුබඩ තීරයෙහි සමීපව පිහිටන හෙයින් කර්මාන්ත තොරතුරු තාක්ෂණවේදය සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි ආකර්ශණීය ආයෝජන ඉඩ ප්‍රස්ථා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සපයනු ඇති.

දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 5 එනම්, කර්ණාටක, අන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩුව, කේරලය සහ තෙලඟනාව මිලියන 250ක ජනගහනයකින් සහ ඇමරිකන් ඩොලර් බිලියන 450ක ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතයකින් යුක්තය. ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 80ක් වූ දළ ජාතික නිෂ්පාදිතය ද ඇතුළුව මෙම උපකලාපය ඩොලර් බිලියන 500 ක ආර්ථිකයකින් යුතු වනවා ඇති. මෙම ඇමෙරිකානු ඩොලර් බිලියන 500 උප කලාපීය ආර්ථිකය ශීඝ්‍රයෙන් සංවර්ධනය කිරීමෙහි විභවයක් තිබෙනවා.

අවසාන වශයෙන් අප සිංගප්පූරුව සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සාකච්ඡා කරමින් සිටිනවා. ඔබ දන්නා පරිදි සිංගප්පරුව සහ ඉන්දියාව අතර පරිපූරක ආර්ථික හවුල් (CEPA) ගිවිසුමක් තියෙනවා.

එක් අතකින් දකුණු ඉන්දියාවෙහි වේගයෙන් වැඩෙන ප්‍රාන්තයන්ට සමීපව ශ්‍රී ලංකාව පිහිටා තිබීම නිසා අප රටට උපාය මාර්ගික ආර්ථික වාසි ලබා ගැනීමේ පසුබිමක් තියෙනවා. අනෙක් අතට දකුණු ආසියාව ඈත පෙරදිග හා පැසිෆික් කලාප යුරෝපය සහ ඇමෙරිකාව අතර ප්‍රධාන නෞකා මාර්ග සන්ධිස්ථානයක පිහිටීමෙහි ශ්‍රී ලංකාව සතු භූගෝලීය වාසියෙන් උප කලාපයට (විශේෂයෙන්ම ඉන්දියාව) ද වාසි සැලසෙනවා ඇති. මෙම සාධක උපරිමයෙන් ඉවහල් කර ගැනීමෙන් ශ්‍රී ලංකාව කලාපයෙහි සෙසු රටවල් සමග ගතිකව හා සහයෝගයෙන් කටයුතු කරන භූ ආර්ථික කේන්ද්‍රයක් බවට පරිවර්තනය වනු ඇති.

සිංගප්පූරුව හා ඉන්දියාව අතර ඇති සීපා ගිවිසුම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම නිසා ලබන වසර වෙද්දී දකුණු ආසියාවේ දක්‍ෂිණ උප කලාපයට සහ සිංගප්පූරුවට ත්‍රෛපාක්‍ෂික වැඩ සැලැස්මකට ගොනු වීමට හැකි වන අතර, එමගින් සියළු පාර්ශවයන්ට ජය හිමිවන වාසිදායක පරිසරයක් නිර්මාණය වෙනවා.

අප රටවල් තුන අතර ආර්ථික සහයෝගය නැංවීමට එබඳු එඩිතර ගිවිසුමකට විභවයක් ඇති අතර එයින් බෙංගාල බොක්කේ වෙළෙදාමට ද ධනාත්මක බලපෑමක් ජනිත වෙනවා. අනෙක් කෙළවරෙහි කලාපයේ ව්‍යාපාරික ජාල ගත කිරීම්වල දී සිංගප්පූරුවෙහි වැදගත්කම සහ හැකියාව ද එයින් වැඩි වේවි.

එහි දැක්ම සමස්ත දකුණු ආසියාවෙහි අනාගතය සමග වෙන් කළ නොහැකි සේ බැඳෙන එකමුතුකමක්. එබඳු එකමුතුකමක විභව සහ ඉඩ ප්‍රස්ථා උපරිම කිරීමට දේශපාලන නායකත්වය සැපැයීමෙහි ලා නිර්මාණශීලී සහ එඩිතර වීම අපට අයිති කාරියක්.

රනිල් වික්‍රමසිංහ


උපුටා ගැනීම  කළම්බො ටෙලිග‍්‍රාෆ්

-  මෙලනි 




2016-07-21
Advertisement

Find us on Facebook