English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"ගුටිකෑම" ද මාධ්‍යවේදින් ගේ අයිතියක් ද ජනාධිපතිතුමෙනි ?

දයා නෙත්තසිංහ - පිංතුරය - කැටමරාන් වෙබ් අඩවිය

සත්හඬ පුවත්පුතේ විශේෂාංග කතුවරයෙකු සහ පරිසර මාධ්‍යවේදියෙකු වන දයා නෙත්තසිංහ මාධ්‍යවේදියා සහ කුරුණෑගල ප‍්‍රාදේශීය මාධ්‍යවේදි දිනෙත් කුමාර පසුගිය දිනවලදී දේශපාලන බලවතුන්ගේ ගර්ජන තර්ජන මෙන්ම පහරකෑමකට ද ලක්විය. ඊට පෙර, එවැනිම වූ සිද්ධියකට මුහුණ දුන්නේ මීපුර ප‍්‍රාදේශිය වෙබ් අඩවියේ කර්තෘ මෙන්ම මානව හිමිකම් සුරකින්නෙක් වන ෆ්‍රෙඩි ගමගේ ය.

මෙසේ, මහින්ද රාජපක්‍ෂ රෙජීමය පුරා පැවැති ආසාධාරණය, දුෂණයට, වංචාවලට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීම, මානව අයිතීන් උල්ලංඝණය කිරීම්, දැවැන්ත පරිසර විනාශ කිරිම්වලට ඉඩලබාදීම් සහ සත්‍යය දඩයම් කිරිම හා සත්‍යයට පහරදීම යහපාලන ආණ්ඩුව හරහා ද සිදුවෙමින් පැවැතිම ඉතාම කණගාටුදායකය. යහපාලන ආණ්ඩුව බිහිකර ගැනීම සඳහා කවර ආකාරයකින් හෝ සිය දායකත්වය ලබාදුන් විවිධ ක්‍ෂේත‍්‍රවල පුරවැසියන් හට මෙවැනි ආකාරයේ නින්දිත ක‍්‍රියාවලට මුහුණදෙන්නට සිදුවී තිබීම ඉතාම නින්දිතය.

පරිසර මාධ්‍යවේදින් ඇතුළු සමස්ත මාධ්‍යවේදින් වෙත එල්ල කරන පහරදීම් දැඩිලෙස හෙළාදකිමින්, මෙවැනි ක‍්‍රියා තවදුරටත් සිදුනොවීමට සාධාරණ පරීක්‍ෂණ පවත්වා පහරදීම් හා සම්බන්ධ පුද්ගලයින් වෙත නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි පරිසර සංවිධාන, මාධ්‍ය සංවිධාන මෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ද ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.  
 


ජනමාධ්‍ය වෘත්තීය නිසි ලෙසට ක‍්‍රියාත්මක කරමින් සමාජය හා පුරවැසියන් දැනුවත් කිරීමෙහි හා ආරක්‍ෂා කිරීමේ කාර්යයේ නිරත වන සැබෑ මාධ්‍යවේදින් කිසිඳු ආකාරයක වාග් ප‍්‍රහාරයකට හෝ ශාරිරික ප‍්‍රහාරවලට හෝ මානසික වධහිංසාවලට ලක් නොවිය යුතු යැයි ද එම සිද්ධිය හා සම්බන්ධ සැවොම නීතිය ඉදිරියට ගෙන සැබෑ ලෙසට නීතිය ක‍්‍රියාත්මක කළ යුතු යැයි ද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

 

පසුගිය කාලය මුළුල්ලේ පරිසරය සම්බන්ධ ගැටලූ සහ පොදු ප‍්‍රශ්න සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින් 25 දෙනෙකුට වඩා වැඩි පිරිසක් දේශපාලන මැර ප‍්‍රහාර වලට ලක්ව ඇති බව පෙන්වා දෙන පරිසර යුක්ති කේන්ද්‍රය, මෙවැනි කි‍්‍රයා තවදුරටත් සිදුනොවීම සඳහා මේ පිළබඳව සාධාරණ පරීක්‍ෂණයක් ආරම්භකර, පහරදීමට සම්බන්ධ පුද්ගලයින් වෙත නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි එහි විධායක අධ්‍යක්‍ෂක හේමන්ත විතානගේ, පරිසර අමාත්‍යතුමා ලෙසට කටයුතු කරන මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.



සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදි දයා නෙත්තසිංහ වෙත එල්ල වු පහරදීම පිළිබඳව නිවේදනයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, නිදහසේ සිය වෘත්තීය මෙහෙවර දියත්කරන්නට නොහැකි ලෙසට සැලැසුම්සහගත ප‍්‍රහාර එල්ල කිරීමට හැකියාව තීබීම සම්බන්ධයෙන් කණගාටුව ප‍්‍රකාශ කරන අතර ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන මාධ්‍යවේදින්ගේ වෘත්තිමය අයිතියට ප‍්‍රහාර එල්ල කිරීම වරදක් බව සමාජයට දැනුම්දීමට හැකි ආකාරයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස, නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම් ආරම්භ කර තිබෙන විනාශකාරි කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන්  ආඳා දොල ඇතුළුව දෙල්ලව රක්‍ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වා දීමේදි හිටපු අමාත්‍ය පියසේන ගමගේ ට සම්බන්ධ යැයි කියනු ලබන මැර පිරිසක් විසින් පරිසරවේදි දයා නෙත්තසිංහට එල්ල කළ මැර පහර දීම ශ‍්‍රි ලංකා ජෛවවිවිධත්ව සංරක්‍ෂණ හා පර්යේෂණ කවය පිළිකුලෙන් යුතුව හෙලා දකියි.
 

සුපුන් ළහිරු ප‍්‍රකාශ්

මෙරට පරිසරය හා ස්වභාවික සම්පත් සංරක්‍ෂණය කරන බවට පොරොන්දු වී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් පරිසර ක‍්‍රියාකාරින් මර්ධනය කිරීමට ඉතා නිවට හා නිර්ලජ්ජිත ආකාරයෙන් උත්සාහා කිරීම කිසිඳු ආකාරයකින් අනුමත කළ නොහැකි බව  ශ‍්‍රි ලංකා ජෛවවිවිධත්ව සංරක්‍ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප‍්‍රකාශ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මින් පෙර ද මීතොටමුල්ල කුණුකන්දට එරෙහිව ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ යන අයව අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් පරිසරවේදින් මර්ධනය කිරීම සඳහා කටයුතු කල අතර ජුනී මස 12 වෙනිදා පරිසරවේදි දයා නෙත්තසිංහට  එල්ලවු ප‍්‍රහාරය එහි දිගුවක් ලෙසට හැදින්විය හැකි බවත් මෙම සමස්ථ පරිසර ක‍්‍රියාකාරීන් දඩයම ඉතා පිළිකුලින් යුතුව හෙළාදකින බවත් ශ‍්‍රි ලංකා ජෛවවිවිධත්ව සංරක්‍ෂණ හා පර්යේෂණ කවය සිය නිවේදනය මගින් ප‍්‍රකාශ කරයි.

ඒ අතරම, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලින් බණ්ඩාර හා බින්ගිරිය ප‍්‍රාදේශිය ලේකම් ඇම් ඞී සෝමරත්න ඇතුළු පිරිසක් විසින් බින්ගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි 11 වෙනිදා උත්සවයක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදි තමාට බැන තර්ජනය කළ බවට කුරුණෑගල දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය මාධ්‍යවේදි දිනෙත් කුමාර විසින් ද බින්ගිරිය පොලීසියට පැමිණිලක් කර ඇත.

බින්ගිරිය ප‍්‍රදේශයේ පැවති වෙනත් උත්සවයක් ආවරණය නොකිරීම පිළිබඳව ප‍්‍රාදේශීය ලේකම් විසින් අසභ්‍ය වචනයෙන් ද බැන ඇති අතර නලින් බණ්ඩාර මන්ත‍්‍රිවරයාගේ ආධාරකරුවන් විසින් දිනෙත් කුමාරගේ කැමරාව වසා පටිගත කිරීම්වලටද බාධා පමුණුවා තිබේ.

දිනෙත් කුමාර මාධ්‍යවේදියාව රූපවාහිනියෙන් ඉවත් කරන බවට අනතුරු හගවා ඇති නලින් බණ්ඩාර මන්ත‍්‍රිවරයා, ”තමුසෙ ගැන කියලා තියෙන්නේ. සේරම මහින්දට කඬේ යන ඒවා විතරයි දාන්නේ” යනුවෙන් බැන වැදී ඇති බව පටිගත වී ඇතැයි බීබීසී ප‍්‍රාදේශිය වාර්තාකරු ප‍්‍රසාද් පූර්ණිමාල් අයිතියට පැවසීය.


ප‍්‍රසාද් පූර්ණිමාල්

මෙවන විට ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ට යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා රජයේ නිළධාරින්ගෙන් සිදුවන තර්ජන පිළිබඳව යහපාලන රජය විධිමත් පරික්‍ෂණයක් පැවැත්විය යුතු බව ප‍්‍රාදේශීය ජනමාධ්‍ය සංවිධාන රජයෙන් ඉල්ලා සිටින බව ප‍්‍රසාද් පූර්ණිමාල් වැඩිදුරටත් සඳහන් කළේය.

ජන ජීවිත මෙන්ම සමස්ත සමාජය ද පරිසරය ද සුරැකීමෙහි හා දැනුවත් කිරීමෙහි වෘත්තීය වගකීමක් මෙන් ම අයිතියක් ද හිමි, කවර භාෂාවකින් කවර ක්‍ෂේත‍්‍රයක් සඳහා සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ ද, ඒ කවර හෝ මාධ්‍යවෙදියෙකු , මාධ්‍යවේදිනියක නීතියට පටහැනි නොවන ආකාරයෙන්, යුක්ති සහගත ලෙසට මාධ්‍ය මෙහෙවර ඉටුකරන්නේ නම් ඔහු හෝ ඇය සමාජයේ කුමන තරාතිරමක වුව ද පුද්ගලයෙකුගේ කිසිඳු ආකාරයක අනිසි බලපෑමකට, තර්ජනයකට, පහරදීමකට ලක් නොවිය යුතුය. සමාජය ආරක්‍ෂා කිරිමෙහි මුරකාර සේවය හා වෘත්තියෙන් බැඳී සිටින ඔවුන් එම සමාජය විසින් ම ආරක්‍ෂා කළ යුතුය.

-    මෙලනි



2016-07-16
Advertisement

Find us on Facebook