English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාවේ ගැටළු විසඳීමට ඇමරිකාවෙන් සහතිකයක් - සුමන්දිරන්

එක් රටක් තුළ සියලු ජාතීන්ට එකට ජීවත් වීමට සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගයක් නිර්මාණය කිරීම සඳහා සහාය ලබා දීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතයන් සහතික වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසයි.

මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ දකුණු ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් සහ ප්‍රජාතන්ත්‍රවාදයල මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අතර බදාදා උදෑසන පැවති සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා විදෙස් විනිසුරන් සහභාගී කර නොගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කරන අතර දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් සාමාජිකයන්ගේ මතය වී ඇත්තේ ඒ සඳහා විදෙස් විනිසුරන්ගේ සහාය ලබා ගත යුතු බවයි.

ඒ පිළිබඳ කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් යෝජනාවේ සඳහන් අදාළ යාන්ත්‍රණ ස්ථාපිත කරන අවස්ථවේදී ඒ සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරන බවයි.

"අද ආණ්ඩුවේ නියෝජිතයෙක් එක් අදහසක් කියනවා. අපි ඊට විරුද්ධව තව අදහසක් හෙට කියනවා. ඒ වගේ අපි මේ පිළිබඳ නැවත නැවත කතා කරන එකෙන් වැඩක් නැහැ. ඒ සම්බන්ධයෙන් රජය පියවර ගනු ලබන අවස්ථාවේ, යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන්න රජයට අපේ සහභාගීත්වය ලබා දෙනවා. "පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම -   බීබීසි සංදේශය

-  මෙලනි  



2016-07-14
Advertisement

Find us on Facebook