English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"නාමල්" දේශපාලන පලිගැනීමක් ද ?

පාර්ලිමේන්තු මන්ති‍්‍ර මෙන්ම ඡායා කැබිනට්ටුවේ විදේශ කටයුතු භාර ඇමතිවරයා වන නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රිවරයාව මුදල් විසුද්ධිකරණය යටතේ අත්අඩංගුවට ගැනීම සහ පසුව බන්ධනාගාරගත කිරීම සාහසික අපරාධයක් මෙන්ම දේශපාලන පලිගැනීමක් බවට ඔහුගේ දේශපාලන දර්ශනයේ සහ රුචියේ මන්ත‍්‍රිවරු (ඒකාබද්ධ විපක්‍ෂයේ) සහ ඔහුගේ පරාජිත ජනාධිපති පියා ඇතුළු පවුලේ සැම ද මාධ්‍යයට ප‍්‍රකාශකරති. එහෙත් තවත් දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන ද පවසනුයේ එය එවැනි දේශපාලන පලිගැනීමක් නොවන වගයි.

කෙසේවෙතත්, ඊයේ උදැසන සිට (ජුලි 12) මන්ත‍්‍රි නාමල් මල්ලීගේ සුවදුක් විමසන්නට නාමල් ගේ දේශපාලන දර්ශනයෙහි වන කාන්තා පිරිමි සෑහෙන පිරිසක්ම බන්ධනාගාරය සැරිසැරු අතර නාමල් මල්ලීව බලන්නට ගිය ඩලස් අය්යා පිටතට පැමිණ කීවේ මෙවැනි කථාවකි. එනම් "එවැනි පලිගැනීමකට හසුවී සිටින නාමල් මන්ත‍්‍රිවරයා සිරගේ ඇතුලේ වුවද සෙසු රැඳවියන් හට යෝගා උගන්වමින් ව්‍යායාම් උගන්වමින් ඉතාම සතුටින් යුතුව කාලය ගත කරන" බවයි.

නාමල් ගේ පියා වන හිටපු ජනාධිපති කීවේ "මට අහන්න තියෙන්නේ දැන් සතුටු ද කියලා විතරයි" කියාය.

නාමල් ගේ ලෝහිත මල්ලීට අනුව "හිරගේ දැන් අපේ දෙවැනි ගේ වගෙයි. අර අය්යටත් අපි කාලයක් ආවා. දැන් මේ අය්යටත් කොච්චර කාලයක් එන්න වෙයිද දන්නේ නැහැ."

ඔවුන්ගේ පිළිතුරු තර්කානුකූල සහ සෘජු පිළිතුරු නොවුණි. ව්‍යංගර්ථ සහ උසුළු විසුළු පිළිතුරු වලින් ෂේප් වනවා මිස සෘජු පිළිතුරු ලබා නොදෙයි. එසේ වන්නේ සෘජුව පිළිතුරු දෙන්නට තරම් ඒ අත්අඩංගුවට ගැනීම් අසාධාරණ යැයි කියන්නට තරම් ඔවුන් සතුව සාධාරණ පිළිතුරු නොමැති නිසාය. දෙයක් කළේ නම් එහි ප‍්‍රතිඵලය විඳින්නට සිදුවීම ලෝක ස්වභාවය බව පසක් කරයි.

මේ අතර නාමල් රජපක්‍ෂගේ  අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ බීබීසී සංදේශය හා ප‍්‍රකාශකර ඇත්තේ මෙවැන්නකි.

උපුටා ගැනීම - 

2015 වසරේ ජනවාරි 08 වනදායින් පසු විවිධ පාර්ශව විසින් තම සංවිධානය වෙත පැමිණිලි ලබා දුන් බවත් ඒ අතර තිබූ ශක්තිමත් සාක්ෂි අඩංගු පැමිණිලි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට භාර දුන් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේය.

"ඒ පැමිණිලි ගැන තමයි FCIDය හරහා විමර්ශන සිදු කළේ" ඔහු පැවසීය.

රාජ්‍ය බලය යොදා ගනිමින් මහජන දේපළ අවභාවිත කිරීම සහ මුදල් විශුද්දීකරණය යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව අදාළ චෝදනා ගොනු කළ බවයි වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ඒ බව කල් තියා මාධ්‍යයට ප්‍රකාශ කළ බවටත් දේශපාලන අවශ්‍යතාවක් මත අත්අඩංගුවට ගැනීම සිදු වී ඇති බව ඒ හරහා පෙන්නුම් කෙරෙන බවටත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

ඒ පිළිබඳ සංදේශය දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැන්නක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවයි.


-  මෙලනි 





2016-07-13
Advertisement

Find us on Facebook