English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හම්බන්තොටටත් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් !


ප්‍රාදේශීය ජනතාව මුහුණ දෙන මානව හිමිකම් ගැටළු සඳහා මුලික වශයෙන් අවශ්‍ය නීතිමය සහාය, ආරක්ෂාව හා මඟ පෙන්වීම සඳහා වූ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන දිස්ත්‍රීක්ක මට්ටමින් ආරම්භ කිරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. ඒ අනුව දෙවන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අම්බලන්තොට, එක්කස්ස, බහුකාර්ය මධ්‍යස්ථානයේදී ඊයේ (10) විවෘත විය.

අදාල දිස්ත්‍රීක්කයන් තුලින්ම තෝරාගත් පිරිසක් මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස පසුගිය ජනවාරි මාසයේ සිට පුහුණු කරන ළදී. ඒ අනුව මෙම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මඟින් කිසියම් රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය නිලධාරියකුගේ නීති විරෝධී ක්‍රියාවක් මත කඩවන මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කඩිනමින් ගතයුතු පියවර පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදීම, දිව්රුම් ප්‍රකාශ හා ලිඛිත පැමිණිලි ඇතුළු ලිපි ලේඛණ සකසාදීම, අඩු ආදායම් ලාභීන් සඳහා නීති ආධාර ලබා දීම, එම සිද්ධීන් සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි කිරීම හා එම ආයතන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අධීක්ෂණය, මානව හිමිකම් පිළිබඳව දැනුම අවබෝධය ලභාදීම.ආරක්ෂාව හා මඟ පෙන්වීම, සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය ලබාදීම යන කාරණා සම්බන්ධයෙන් මුලික වශයෙන් ක්‍රියාත්මක වේ.



මෙම උත්සව අවස්ථාව සඳහා සියළු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මහජන නියෝජිතයින්ද, සියළු ආගම් නියෝජනය වන අයුරින් ආගමික පුජක වරුන් හා මානව හිමිකම් ක්‍රියා කාරීන් පිරිසක් ද සහභාගී වූ අතර හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පැරණිම මානව හිමිකම් ක්‍රියාකාරියකු වන යු . ඒ ආරියසේන මහතා අතින් මෙම මධ්‍යස්ථානය විවෘත විය.


බ්‍රිටෝ ප්‍රනාන්දු

මෙහිදී සියළු දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් අදහස් දැක්වූ අතර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති හා අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව සංවිධානයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාද මෙසේ අදහස් දැක්වීය. “ලෝකයේ අනෙකුත් රටවල් තුළ අද වන විට කන බොන දේටත් වඩා නිදහසේ ජීවත් වන්නට, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, නිදහසේ ගමන් බිමන් යන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. අප මුලින්ම මේ සම්බන්ධයෙන් ඉගෙන ගත යුතුයි. මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වී නොමැතිනම් හෝ අවධානයක් යොමුකළේ නැත්නම් ගැටළු රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් මේ අලුත් රජය විවිධාකාරයේ පනත් හඳුන්වාදී තිබෙනවා උදාහරණයක් වශයෙන් අලුතින් පනතක් ගෙන්න හදනවා මේ රට තුළ අතුරුදහන් කරවීම අපරාධයක් හැටියට, මීට කලින් අතුරුදහන් කරවීම අපරාධයක් හැටියට හැඳින් වුයේ නැහැ, නඩු දානවත් බැරි පසුබිමක් තිබුණේ, ඒ නිසා එක්සත් ජාතීන්ගේ නීතිය පිළිගනිමින් අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් ඇති කිරීමට නව රජය ජිනීවා වලදී පොරොන්දුවී තිබෙනවා. ඒ තුලින් 1971 සිට අතුරුදන් වුවන් ගැන සොයා බලා ඒ පවුල් වලට වන්දි ගෙවීමටත්, සත්‍ය වශයෙන් සිදුවුයේ කුමක්දැයි පැවසීමටත් හා නැවත රට තුළ එවැනි තත්වයක් වීමට ඉඩක් නොතබන බවටත් රජය එක්සත්ජාතීන්ගේ සංවිධානයට පොරොන්දුවී තිබෙනවා. ආණ්ඩුව මෙතරම් පොරොන්දු දී තිබියදී අපි පැත්තකටවී බලා සිටියොත් මෙම පොරොන්දු ඉෂ්ට වන්නේ නැහැ, අප හැමෝටම අයිතියක් තියෙනවා වෙච්ච පොරොන්දු ඉෂ්ට කරගන්න ඒ නිසා අප සියලුදෙනා ඒ සඳහා මුලින්ම කලයුත්තේ මානව හිමිකම් පිළිබඳව දැනුවත් වීමයි.”



උපුටා ගැනීම - http://www.right2lifelanka.org/new/newsview.php?id=1858

-  මෙලනි 



2016-07-11
Advertisement

Find us on Facebook