English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් වධහිංසා දෙමළ විරෝධී අවියක්ද?

ක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබද මී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළඟ සැසිවාරය මෙම වසරෙහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිතුරු දිය යුතුයැයි කමිටුව අපේක්ෂා කරන කාරණා දිර්ඝ වශයෙන් විස්තර කැරෙන නිල ලියැවිල්ල මෙම වසරේ ජූනි මාසයේදී ප්‍රසිද්ධියට පමුණුවන ලදී.

එම ලියැවිල්ල සකස් වී ඇත්තේ 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාණ්ඩුව විසින් එම කමිටුව වෙත ඉදිරිපත් කරන ලද දීර්ඝ වාර්තාව අනුවය. එම වාර්තාවෙහි වන ආණ්ඩුව යටතෙහි මෙරට ආරක්ෂක සහ විශේෂයෙන්ම පොලීසිය විසින් සිදු කරන වධහිංසා අවම කිරීමට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් දක්වා තිබේ. නමුත් කණගාටුවට කරුණ වන්නේ මෙරට පොලිස් අත් අඩංඟුවට පත්වන පිරිස් වධ හිංසාවන්ට ලක් කිරීම පුළුල්ව පැතිර ඇති බව පිළිගැනීමට ආණ්ඩුව අසමත්ව සිටීමයි.

එනයින් බලන කල රාජපක්ෂ ආණ්ඩුව සමයෙහි ඉදිරිපත් කළ වාර්තා සහ මෙම වාර්තාව අතර මූලික නැත. ශ්‍රී ලංකාවේ වධහිංසා ලක්කිරීම් සහ ඒ අරභයා ඇති නීති විමසුමට ලක් කැරෙන ඉදිරියට එන සැසිවාරයෙහිදී දැන් 19වන ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කර ඇති මානව හිමිකම් කොමිසමටද වෙනම වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැළසෙයි. වඩාත් වැදගත් වනු ඇත්තේ එම වාර්තාවය. මන්ද යත් එමගින් මානව හිමිකම් කොමිසමෙහි ස්වාධීනත්වය උරගා බැලෙනු ඇති නිසාය.

ශ්‍රී ලංකාණ්ඩුව ඉදිරිපත් කර ඇති වාර්තාවෙහි එන මෙම කරුනු සළකා බලන්න:

‘‘ශ්‍රී ලංකා ආණ්ඩුව වධහිංසා පැමිණවීම පුළුල්ව පැතිර ඇති බවට සහ ඒවාට දඩුවම් නොපැමිනෙන බවට ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි. විශ්වසනීය සාක්ෂි ඇති සෑම අවස්ථාවකම නීති ක්‍රියාවට නගන පුද්ගලයින් සහ යුද හමුදා සාමාජිකයින් වධහිංසා පැමිණවීමට සහ නීතිවිරෝධී ඝාතනයන්ට වගකිව යුතු නම් නඩු පැවැරීමට පියවර ගෙන තිබේ.”


“ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව වධහිංසා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වාර්තාගත සිදුවීම් ප්‍රමාණයන් මෙසේය.

2011 වසරෙහිදී 09යි; 2012 වසරෙහිදි 10යි; 2013 වසරෙහිදී 08; 2014 වසරෙහිදී 03යි.”

වරදක් ඇති බව පිළිගැනීම එය නිවැරදි කිරීමේ මුල් පියවරය. ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන්නේ වරද සදා ගනු වෙනුවට වසං කිරීමට මං සෙවීමයි. ඉහත සඳහන් ප්‍රකාශය සහ සංඛ්‍යා ලේඛන අපට කියන්නේ මෙම ආණ්ඩුවද වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වසං කීරීමක සිටින බව නොවේද?

එපමණක් නොව ආණ්ඩුවේ මෙම වාර්තාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සාධාරණ කරමින් එය යටතේ වධහිංසා සිදුවීම වැළැක්වීමට ඇතැයි කියන කරුණූ ගණනාවක්ද සඳහන් කරයි. වාර්තාව තවදුරටත් කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කැරෙනු ඇත්තේ ආරක්ෂක තත්වයේ වැඩි දියුණුවීම අනුව බවයි!

වැලිකඩ බන්ධනාගාරයෙහි නිරායුධ සිරකරුවන් රාජපක්ෂ සමයෙහි ඝාතනය කිරීම සාධාරණය කරන වාර්තාව කියන්නේ එම මරණ සම්බන්ධයෙන් කිසිදු නිලධාරියකුට එරෙහිව අපරාධ චෝදනා පරීක්ෂණ වාර්තාව විසින් එල්ල කර නැති බවයි.

එමෙන්ම රාජපක්ෂ සමයෙහි වවුනියා බන්ධනාගාරයෙහි කරන ලද ඝාතනයන්ද ආණ්ඩුවේ මෙම වාර්තාව විසින් සාධාරණය කරයි.

අඩුම වශයෙන් එම ඝාතන සම්බන්ධයෙන් ආණ්ඩුවේ කණගාටුව හෝ මෙම වාර්තාව මගින් දක්වා නැත.

වධහිංසා පැමිණවීම මෙරට පොලීසියේ ද (සිවිල් ආරක්ෂක සේවාවන්ට කැඳවූ කල) ත්‍රිවිධ හමුදාවේද බන්ධනාගාර නිලධාරින්ගේ ද නිදන් ගත රෝගයක් බව නොදන්නේ කව්ද? සැකකරුවන්ට මානසික හෝ කායික වධහිංසා නොපමුණුවන එක් පොලිස් ස්ථානයක් හෝ මෙරට නැත. පොලිස් මානසිකත්වය යනු පහරදීම තමන්ගේ අයිතියක් යැයි සිතන එකකි. එය අද ඊයේ ඇති වූ එකක් හෝ හුදෙක් ශ්‍රී ලංකාවට සීමා වූ එකක් නොවේ.

පුද්ගලයකු වශයෙන් මම 1971 දී පොලිස් සහ යුද හමුදා වධහිංසාවන්හි ගොදුරක් වූයෙමි. අප සමඟ අත් අඩංගුවට පත්වූ සොයුරියන්ගේ ලිංගික අවයව තුළට සෝඩා බෝතල් යැවූ පොලිස් නිලධාරින් ද වූහ. මා බලා සිටියදී අත් අඩංඟුවට ගත් සැකකරුවන්ට පහර දී මරා දැමුනි. 1988 – 90 සමයෙහි තරම් සැකකරුවනට දරුණු වධහිංසා පැමිණවූ සමයක් මෑත ඉතිහාසයෙහි මෙරට නැත.

මෙරට පොලිස් වධහිංසා උත්සන්න වූයේ උතුරු නැගෙනහිර යුද සමයෙහි පමණක්ම නොවේ. එනයින්ම අද දක්වාම පැවත එන වධහිංසා පවතින්නේ ද දෙමළ විරෝධී අවියක් ලෙස නොවේ. එය මෙරට සෑම ජන කොටසකටම එක සේ බලපාන ව්‍යසනයකි.

පොලිස් අත් අඩංඟුවට පත්වන ඕනෑම සමාන්‍ය පුද්ගලයකුට ඇති වන බිය මෙම වධහිංසා පැමිණවීමය. එසේ නමුත් අප සමාජය සහ එම සමාජයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ සහ සංවිධාන මෙම ප්‍රශ්ණය එතරම් බැරූරැම් ලෙස සළකන බවක් නොපෙනේ. සිය සාමාජිකයින් දහස් ගණනින් දරුණු වධහිසාවන්ට ලක් වූ ජවිපෙ මෙරට වධහිසා විරෝධී ව්‍යාපාරයේ ඇත්තේම නැත.

දකුණේ දේශපාලන ව්‍යාපාර විසින් චධහිංසා පැමිණවීමට එරෙහිව කරනු ලබන ස්ථිරසාර උද්ඝෝෂනයක් නොමැති බැවින් අද සිදුව ඇත්තේ වධහිංසා පැමිණවීම දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රාජ්‍යයේ මූලෝපායක්ය යන අදහස පැතිර යෑමයි. එම ව්‍යාපාරය අද මූලික වශයෙන්ම ගෙනු යනු ලබන්නේ යම් යම් ඩයස්පෝරා සහ අන්තර් ජාතික සංවිධාන විසිනි.

එකී අන්තර් ජාතික සංවිධාන විසින් කියා සිටින්නේ වධහිංසා පැමිණවීම දෙමළ ජාතිකයිනට විරුද්ධව සිදුවන දෙයක් බවයි. මෙරටදී වධහිංසා පමුනුවන ලද බවට ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි වල බොහෝ කොටම සිටින්නේ සිය පිටෙහි කිරිබත් කැලි හැඩයට කපන ලදුව දැන් සුව වී ඇති පුද්ගලයින්ය. මෙම බෙහෝ දෙනෙකුගේම පිටෙහි ඇති එම ළකුණූ සමානය‍. (1971 දී පවා පොලීසිය අපට වධහිංසා පැමිණවූයේ ළකුණූ අවම වන පරිදිය.) එවැනි වධහිංසා පින්තූර සහිත වාර්තාවක් ඉදිරිපත් කළ, බැං කි-මූන් පත්කළ ශ්‍රී ලංකාව පිළිබඳ කමිටුවෙහි සාමාජිකාවක වූ යස්මින් සෝකාට මෙරටට පැමිණ එම චෝදනා ඉදිරිපත් කරන ලෙස විදේශ ඇමැතිවරයා විසින් කරන ලද විවෘත ආරාධනය ඇය පිළිගත්තේ නැත.

එසේ නමුත් එක්සත් ජාතින්ගේ වධහිංසා විරෝධී කමිටුවට ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙහි එවැනි විවෘත ආකල්පයක් නැත. එයින් පෙන්වන්නේ සංහිදියා රාජ්‍යෝපාය නොවේ. ප්‍රතික්ෂේප කිරීමේ රාජ්‍යෝපායකි.

මෙරට වත්මන් මානව හිමිකම් කොමිසම වධහිංසා යනාදිය දැනුම්දීම පිණිස හදිසි දුරකථන අංකයක් හදුන්වා දී තිබෙන බවද එම වාර්තාව කියයි. 1996 නම් එම අංකය මෙරට දන්නේ කීයෙන් කී දෙනෙක්ද? එය මානව හිමිකම් කොමිසන් සභා වෙබ් අඩවියේද ඇත්තේ පුංචියටය. එක වරම කැපි පෙනෙන ලෙස නොවේ.

අඩුම වශයෙන් මෙම අංකය සහිත වධහිංසා පැමිණවීමට විරුද්ධ පොස්ටරයක් සෑම පොලිස් ස්ථානයකම කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශණය කිරීමට පියවර ගෙන ඇත්ද?

වධහිංසා පැමිණවීම මිනිස්කමට එරෙහි අපරාධයකි. එය රාජ්‍ය තරම්ම එහි මූලික අවස්ථාවන්හි සිටම පැවැත එන බලහත්කාරයකි.ලෝක මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස පෙනී සිටින ඇමෙරිකාවේ පවා නිල වශයෙන්ම වධහිංසා පැමිණවීම මෑතක්වන තුරුම අනුමත වී තිබුණි.

රාජ්‍ය විසින් සිය සතුරන් යැයි කල්පනා කරන පුද්ගලයින්ට එරෙහිව වධහිංසා පැමිනවීම සහමුලින්ම තුරන් කිරීම දුෂ්කර විය හැකි නමුත් සමාජයක් වශයෙන් අප ඒ අරමුනින් කටයුතු කිරීම වැදගත් වන්නේ මානව හිමිකම් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ඉදිරියට යෑමට එය අත්‍යවශ්‍ය නිසාය.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින මේ ආණ්ඩුවෙන්ද අප අපේක්ෂා කරන්නේ එයයි.

  සුනන්ද දේශප්‍රිය


-  මෙලනි 





2016-07-08
Advertisement

Find us on Facebook