English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලනය ලබා ගැනීම යනු ක‍්‍රියාවලියකි

2014 නොවැම්බර් මාසයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වීමට තීරණය කිරීමේ පටන්, ලංකාවේ දේශපාලනය තුළ වඩාත් පාවිච්චියට ගැනුණු වචනය වන්නේ ‘යහපාලනය’ යන්නයි. ඒ මනෝ භාවයේ හේතු කාරණා අවබෝධ කර ගැනීම ශ‍්‍රී ලාංකිකයන්ට දුෂ්කර කාර්යයක් නොවේ. ලූහුඩින් කිවහොත් එදා රටේ ජනතාව පත්ව සිටි තත්වය තුළ, ශ‍්‍රී ලාංකිකයන් වන අප බොහොමයක් දෙනා ‘යහපාලනය’ ස්ථාපිත කිරීම යන්නෙන් අදහස් කෙළේ, අපේ සකල රෝග නිවාරණය කරන ක‍්‍රමයක් වශයෙනි.

2015 ජනවාරි 10 වැනි දා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති තනතුරේ දිව්රුම් දුන්නේය. එදා පැවති පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබුණත්, කලින් ඉදිරිපත් කොට තිබූ මැතිවරණ ප‍්‍රකාශනය සහ ජනවාරි 8 ලැබූ ජන වරම අනුව, රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරට පත් කරන ලදි. කෙසේ වෙතත්, එම ආණ්ඩුව දින 100 ක කාලයක් සඳහා සීමා වී තිබුණි. දින 100 වැඩ පිළිවෙල තුළ ප‍්‍රතිඥා දී තිබූ කාරණා සාර්ථකව අවසන් කිරීමෙන් පසු අලූත් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යාමට නියමිත විය. මේ කාලය තුළ, හදිසි අයවැයක් සම්මත කර ගැනීමටත්, ජනාධිපති බලතල කප්පාදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීමටත් අවශ්‍ය සහාය එදා පැවති පාර්ලිමේන්තුවෙන් ලබා ගැනිම සඳහා එක්සත්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයාටත්. අගමැතිවරයාටත් සිදු විය.

කෙසේ වෙතත්, විවිධ හේතු නිසා දින සියයේ කාලය පැන්නේය. එහෙත් එම ආණ්ඩුවටත් සුජාත භාවය තිබුණි. කෙසේ වෙතත්, එම වසරේ අගෝස්තු මාසයේ අපි අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගතිමු. එම මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 225 න් ආසන 106 දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි මෛත‍්‍රිපාල සිරිසේනගේ කණ්ඩායම එක්ව, රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ අලූත් ආණ්ඩුවක් පිහිටුවා ගැනුණි. අද එම ආණ්ඩුවට තුනෙන් දෙකකට වැඩි බහුතරයක් තිබේ.

ඒ වනාහී, 2015 ජනවාරි මාසයේ ආරම්භ කෙරුණු යහපාලන චාරිකාව එක්තරා ආකාරයකින් යළි සනාථ කිරීමකි. වචනයෙන්ම කියැවෙන පරිදි, යහපාලනය යනු ඉතා ඉහළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතු පිළිවෙතකි. එහෙත් ජනාධිපති සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති වශයෙන් සිය බලය පාවිච්චි කොට, එම මැතිවරණයේදී පරාජයට පත් අපේක්ෂකයන් හත් දෙනෙකු පමණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කෙළේය. එවැනි ක‍්‍රියාවක් කෙසේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නද? මගේ මතයේ හැටියට, මෛත‍්‍රිපාල සිරිසේන යහපාලනයේ පුරෝගාමියා වුවද ඔහුගේ මේ ක‍්‍රියාව මුළුමණින් ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ක‍්‍රියාවක් විය. එම තීරණයට හේතු වූ කාරණා පැහැදිළි ය. ඔහුට අවශ්‍ය කෙළේ රාජපක්ෂව මට්ටු කිරීමටයි.

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ එක්ව විශාල කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේය. ඊට, එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්ම සන්ධානයෙන්ද සාමාජිකයන් ඇතුළත් කර ගැනුණි. එය, න්‍යායාත්මකව, එක්සත් ආණඩුවක් විය. මේ ඇමති තනතුරු පිරිනැමීම සිදුවුණේ ඒ ඒ අයවළුන් සතුටු කිරීමට බව අපි කවුරුත් දනිමු. එය එක්තරා ආකාරයක, නිල ‘අල්ලසක්’ වශයෙන්ද හැඳින්විය හැකිය. අද වන විට මෙවැනි තනතුරු ලාභීන් කී දෙනෙකු ඇත්තෙනම සිටිත්දැයි දන්නා කෙනෙක් වෙත්ද? විටින් විට ඇමති පදවි පිරිනැමූ ආකාරය අනුව, ඒ ගැන ගණන්හිලව් තබා ගැනීමත් කළ නොහැක්කකි. කෙසේ වෙතත්, අනාගතයේදී ගෙන ඒමට නියමිත ඇතැම් ව්‍යවස්ථා සම්මත කර ගැනීම සඳහා, මන්ත‍්‍රිවරුන් 150 කගේ සහයෝගය අවශ්‍ය කෙරේ. රුපියල් මිලියන 30 කට අධික සුඛෝපභෝගී යානවාහන ඇමතිවරුන්ට සපයා දීමටත්, වාහන තීරුබදු සහන බලපත‍්‍ර මන්ත‍්‍රීවරුන්ට සපයා දීමටත්, සිදුවන්නේ එම තත්වය යටතේ ය.

ඊළඟට, මහ බැංකු අධිපති පිළිබඳ අපකීර්තිමත් නාඩගම අප ඉදිරියේ දිගහැරේ. එය වසරකට වැඩි කාලයක් තිස්සේ එක දිගට ඇදෙමින් තිබුණි. ඒ සම්බන්ධයෙන් ඇතැමුන්ගේ ඇඟිල්ල දිගු වුණේ අගමැතිවරයා දෙසටයි. රාජ්‍ය පද්ධතියේ සෑම ප‍්‍රජාතන්ත‍්‍රීය කුළුණක් මතම යහපාලනය පෙනෙන්ට තිබිය යුතුය. විධායකය සහ පාර්ලිමේන්තුව ගැන අපි දැනට සළකා බැලූවෙමු. තුන්වැනි අංශය වන්නේ, අධිකරණයයි.

මීට දින කිහිපයකට පෙර ‘ඬේලි මිරර්’ වෙබ් අඩවියේ මෙවැනි දෙයක් කියැවීමට ලැබුණි:

‘‘මහජන දේපළ පනත සහ සත්ව සහ වෘක්ෂලතා පනත යටතේ වරදක් වශයෙන් ගැනෙන නීති විරෝධී අලියෙකු ළඟ තබාගෙන සිටීම ගැන චෝදනා ලැබ සිටි මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ සම්බන්ධයෙන් වන නඩුවේදී කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක, විශේෂ කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ මහේස්ත‍්‍රාත්වරයාව ඇප මත නිදහස් කර හැරියේය. විශේෂ කරුණු වන්නේ අදාළ චූදිතයා මහේස්ත‍්‍රාත්වරයෙකු වීමත්, සිද්ධියට අදාළ පරීක්ෂණවලදී චූදිතයා රහස් පොලිස් පරීක්ෂණවලට සපයන ලද දායකත්වය සහ දෙන ලද සහායත් ය.’’

මගේ මතයට අනුව, මෙය නම් යහපාලනය නොවේ. අධිකරණ නිලධාරීන් කෙරෙහි බලපවත්වන වෙනම නීතියක් රටේ නැත. අධිකරණ නිලධාරියෙකු ‘දායකත්වයක්’ සපයන ලදැයි කිව හැක්කේ කෙසේද? සාධාරණ අන්දමින් නඩු ඇසීමට සහ නිවැරදි නීති ඔස්සේ කටයුතු කිරීමට ඔවුන් රාජකාරිමය වශයෙන් බැඳී සිටී. එසේ කිරීම ‘දායකත්වය’ සැපයීමක් නොවේ. මෙහිදී අපට දැකිය හැකි වන්නේ, එක් විනිසුරුවරයෙකු තවත් විනිසුරුවරයෙකු වෙනුවෙන් පක්ෂග‍්‍රාහී වීමකි. අධිකරණය යනු තවමත් විශේෂිත කුලකයක් ද? එම මාසයේම, මේ සිද්ධිය සම්බන්ධයෙන්ම, තවත් මහේස්ත‍්‍රාත්වරයෙකු වන කණිෂ්ක විජේරත්න මොහුගේ ඇප අයදුම්පතට අවසර දීමත් අපි දුටුවෙමු. මේවා අපේ පහළ අධිකරණයෙන් පසුගිය කාලයේ දැක ගැනීමට හැකි වු සිදුවීම් සමහරකි. කෙසේ වෙතත්, සුදුසුකම් මතම පත් කරන ලද අග‍්‍රවිනිශ්චරයකාරවරයාගේ සුපිළිපන් භාවය පිළිබඳ ප‍්‍රශ්නයක් මෙතෙක් පැන නැගී නැත. ඔහු මේ සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරිද්දෙන් සොයා බලනු ඇතැයි අපි විශ්වාස කරමු.

ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඇතැම් මතභේද තිබුණත්, ආණ්ඩුව යම් තාක් ශක්තිමත් භාවයකින් කටයුතු කරන බවක් පෙනේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, රට වෙනුවෙන් සැකසෙන ඒකායන දැක්මක පාර්ශ්වකරුවන් වන තාක් කල් මේ විවාහය සාර්ථක විය හැකිය. මෑතකදී මුදල් ඇමතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය ඉදිරියේ ආණ්ඩුව සිය ශක්තිය ප‍්‍රදර්ශනය කෙළේය. සෘජු විදේශ ආයෝජන සහ සංවර්ධන කටයුතු සඳහා යහපත් පරිසරයක් ගොඩනැගෙමින් ඇති බවක් මේ අතර පෙනෙන්ට තිබේ.

අප කැමති වුවත් නැතත්, යහපාලන ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට නම්, අන්තර්කාලීන කාර්යයන් නොන්ඩි ගසමින් හෝ කරගෙන යා යුතුව තිබේ. මගේ අදහසේ හැටියට, යහපාලනය යනු ස්වකීය ඉදිරි ගමන තුළ අදියර ගණනක් පසු කළ යුතුව ඇති ක‍්‍රියාවලියකි. රාජපක්ෂ පාලනය පෙරලා දැමීම එහි ආරම්භයක් පමණි. එහිදී කණ්ඩායම වෙනස් කෙරුණි. එහෙත් බලයට පත් පිරිසට, ස්වාධීනව සුදුස්සන් පත්කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. එම පත්කිරීම්වලදී, එදා පැවති තත්වය තුළ වඩාත් සැළකිල්ලට ගැනීමට බල කෙරුණේ ඒ ඒ අය දැක්වූ පක්ෂපාතීත්වයයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනා අතරේ දැනුම් තේරුම් ඇති, අවංක සහ දක්ෂ අයවළුන් සිටී. එහෙත් බහුතරය ගැන සළකා බලද්දී, මෙය අලූත් බෝතලයක දැමූ පරණ වයින් වගේ ය. එය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ අපේ ක‍්‍රමයේ පවතින අඩුවකි. ජීවිතයේ වෙනත් දේවල්වලදී මෙන් මෙහිදීද, පැකේජය සමස්තයක් වශයෙන් බාර ගත යුතුව තිබේ. ඒ පැකේජය තුළ හොඳ සේම නරකද තිබේ.

සමාජ ආර්ථික සංවර්ධනයට අමතරව, යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමත්, මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම සහ රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ශක්තිමත් කර ගැනීමත් ප‍්‍රධාන කර්තව්‍යයන් වශයෙන් පවතී. එම වෙනස්කම් තුළින් අපේ නෛසර්ගික ගැටළුවලට යම් තිරසාර විසඳුමක් සපයා ගත හැකි වෙතැයි විශ්වාස කළ හැකිය. මේ ඉදිරිගාමී වෙනස්කම් තුළ, රටේ අනාගතය මෙහෙයැවීමට නිවැරදි දැක්මක් ඇති දක්ෂ තරුණයන් දේශපාලනයට සහ වැදගත් තනතුරුවලට කැඳවාගෙන ආ යුතුව තිබේ.

යහපාලනයට රටක් මුළුමණින් පිරිසුදු කළ නොහේ. රටක් කිසි විටෙක පරිපූර්ණ වන්නේ නැත. පරිපූර්ණත්වය යනු මිථ්‍යාවකි. ජනතාව විසින් ජනතාව පාලනය කර ගන්නා, සාධාරණ ආණ්ඩුකරණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නිවැරදි පරිසරයත්, ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන සහ වෙනත් ව්‍යුහයනුත් යහපාලනයට අවශ්‍ය කෙරේ. කෙසේ වෙතත්, යහපාලනය යනු දුර්ග ගමනකි. ඒ අභ්‍යාසයේ සාර්ථකත්වය කිව හැකි වෙනු ඇත්තේ අනාගතයටයි.

රවීන්ද්‍ර ගල්හේන

(2016 ජුනි 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Getting “Yahapalanaya” is a Process? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි 



2016-07-07
Advertisement

Find us on Facebook