English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසිය "වෙනස් වී" ඇතැයි අපි කවදා දකිමු ද ?
ශ‍්‍රි ලංකා පොලිස් පද්ධතියම වෙනස් විය යුතු බවක් මෙන්ම පොලිස් නිළධාරින් ද මහජනතාවට අවැසි ආකාරයට වෙනස් විය යුතු බවක් පසුගියදා නව පොලිස්පති ප‍්‍රකාශ කළා. වර්තමාන පොලීසියේ ව්‍යුහය වෙනස්විය යුතු යැයි පොලිසියේ ම ප‍්‍රධාන නිළධාරියා එසේ ප‍්‍රකාශකරන අතර, ස්වාධින පොලිස් කොමිසම විසින් ද සැපයු දත්තවලට අනුව 2015 ඔක්තෝබර් මාසයේ සිට 2016 මැයි මාසය තෙක් පොලීසියට එරෙහි පැමිණිළි 1000 ක් පමණ ලැබී ඇති බව ප‍්‍රකාශකර ඇත. එමෙන්ම, 2015 වසරේදි වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් පැමිණිළි 413 ක් ලැබුණු බවත් ඉන් අති බහුතරය පොලිස් දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින පුද්ගලයින් විසින් එවන ලද පැමිණිළි බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය පසුගිය දා ප‍්‍රකාශ කළාය. රටේ සාමය නීතිය මානව හිමිකම්  රැකීම සම්බන්ධයෙන් වගකීම් දරණ ප‍්‍රධාන පුද්ගලයින් දෙදෙනෙකු හා ආයතනයක් විසින් ම මෙසේ ප‍්‍රකාශ කිරීම තුළ, ශ‍්‍රි ලංකාවේ ජනතාවට කවදා සාමකාමී නීතිගරුක මිත‍්‍රශීලි පොලිස් සේවාවක සත්කාරය ලබාගන්නට හැකිවේද යන්න සිහිනයකි.    



ශ‍්‍රි ලංකා පොලිසියේ, මහජනයා හට සේවය කරන ඇතැම් ඉහළ පහළ සහ ඉහළම නිළධාරීන් සම්බන්ධයෙන් කථාකිරිම පවා ඇතැම්විට නිශ්පල උත්සාහයක් වී ඇත. මන්ද ඔවුන් මහජනතාවට සේවය ලබා දෙනවා වෙනුවට සහ ජනතාව නිවරැදි මග ගෙනයනවා වෙනුවට , ජනතාව බිය වැද්දවීම් තර්ජනය කිරීම් හා ජනතාවගෙන් අල්ලස් ලබාගැනීම හා ඝාතන කිරිම් හා ඊට අනුබල දීමත් උදව් කිරීමත් මෙන්ම අණ කිරීමත් දක්වා සාහසික , දුෂිත සහ නීතියට පටහැනි ක‍්‍රියාවන් හි නිරත වෙති. එවැනි දැ සිදුකරමින් නීිතියේ රැුහැනට හසුවී දැනට බන්ධනාගාර ගතවී සිටින සහ අධිකරණ ක‍්‍රියාවලීන් හා බැදුණු පොලිසියේ ඉහළ සිට පහළට නිළධාරින්් වෙති.

"ශ‍්‍රි ලංකාවේ පොලීසියේ ව්‍යුහය වෙනස් වෙන්න  ඕනෙ. නිළධාරීන් හැදෙන්න  ඕනෙ. වෙනස් වෙන්න  ඕනෙ. පොලිස් පද්ධතියම වෙනස් වෙන්න  ඕනෙ මහජනතාවගේ අවශ්‍යතාවයට අනුව." මෙසේ කියනු ලැබුවේ වර්ථමාන පොලිස්පති පූජිත ජයසුන්දර විසිනි. ඒ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරු වෙත උසස් කිරීමේ පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම තවදුරටත් පොලිස්පති කියා සිටියේ මහජන මිත‍්‍රශීලි , ගෞරවනිය හා වෘත්තීය මට්ටමේ පොලීසියක් ලෙස ශ‍්‍රි ලංකා පොලීසිය ඉදිරියට ගෙනයා යුතු බවත් ඒ සඳහා දැන් අවකාශ ලැබී ඇති බවත්ය. ලැබී ඇති මේ අවස්ථාව මග හැරුන හොත් ඉදිරියේදි මෙවන් අවස්ථාවක් ලැබේවි යැයි යන්න සැක සහිත බව ද පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේය. 



තවද පොලීසියේ දුර්වලතා හා අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බවත් පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේය.

මෙවැනි අතීශය නිවරැදි වුත් ,අවංක වුත් වදන් බොහෝ කාලයක සිටම ශ‍්‍රි ලාංකීකයින් අසමින් සිටින්නෙමුු. එහෙත් ඒවා නිවරැදිවන වේලාවක් , නීතිගරුක වන වේලාවක් ,තවමත් පැමිණ නැත. පොලීසිය විසින් අතී ශ්‍රේෂ්ට ක‍්‍රියාවන්,  මානුෂීය ක‍්‍රියාවන් ,නීතිය අකුරටම ඉටුකරන ක‍්‍රියාවන් ,  පොලිසියේ ගෞරවය රකින ක‍්‍රියාවන් නොකරනවා යැයි නොකියමු. එහෙත් බහුතරයක් මහජනතාව කිපෙන, නොමනා ලෙසට පහර දෙන, වාග් ප‍්‍රහාර එල්ල කරන සහ නොමඟ යවන අවස්ථා ඇත. විශේෂයෙන්ම සැකකරුවකු එනම් පදවි තාන්තර රහිත, බලයක් රහිත සාමාන්‍ය පුරවැසියෙකු අත්අඩංගුවට ගත්විට සළකන ආකාරය නින්දා සහගතය. ඒවාට  ඕනෑතරම් සජීවී සාක්‍ෂි පෙන්වා දිය හැක.      

මේ වසරේ මැයි මාසයේ 16 වෙනිදා බීබීසී සංදේශයේ පළවු පුවතකට අනුව ශ‍්‍රි ලංකා පොලීසියට එරෙහිව ඒ වන විට පැමිණිළි දහසක් (1000)  ලැබී ඇතැයි පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ බීබීසියට ප‍්‍රකාශකර ඇත.


එම පැමිණිළි පොලිස් කොමිසම වෙත ලැබෙන්නට පටන් ගෙන ඇත්තේ 2015 වසරේ ඔක්තෝබර් මාසයේ සිට දී වන අතර 2016 මැයි මාසය වන විටදී විභාගකොට අවසන් කිරීමට හැකිවී ඇත්තේ ඉන් පැමිණිළි 200ක් පමණි.

එම පැමිණිළි ත‍්‍රිවිධාකාර බව ඔහු ප‍්‍රකාශකර ඇත. එනම්, යම්කිසි සිදුවීමකදී පොලිසීය ක‍්‍රියා නොකිරීම, පොලීසියේ බලය අභිබවා කි‍්‍රයාකිරීම සහ පක්‍ෂපාතිව ක‍්‍රියාකිරීම යනාදි වශයෙන් පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිළි වර්ග කර ඇත.

මේ ආකාරයට, ශ‍්‍රි ලංකාවේ පොලීසිය මගින් විශ්වාසනීය මිත‍්‍රශීලි හා නීතිගරුක සේවාවක් මහජනතාවට බලාපොරොත්තු වීමට තවත් බොහෝ කාලයක් බලාසිටීමට සිදුවනු ඇති බව පැහැදිළිය.

පිංතූර - බීබීසී සංදේශය
-    මෙලනි



2016-07-06
Advertisement

Find us on Facebook