English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය සේවකයන්ව පාලනය කිරීම ...
ඇතැම් කාරණාවලදී පමණ ඉක්මවා කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයන් හපනුන් ය. ඒ සඳහා වන ආසන්නතම උදාහරණය සැපයෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙනි. මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ශිෂ්‍යයන් දහ දෙනෙකු ඇතුළත් කර නොගැනීම ගැන විරෝධය දක්වමින් එම පාසලේම කාර්යාල කාමරයක වහලේ විදුලි පංකාවක එල්ලී සියදිවි නසා ගැනීමට ඔහු තැත් කළ බව වාර්තා වේ.

මෙසේ ඔහු සියදිවි නසා ගැනීමට තැත් කෙළේ, පසුගිය සඳුදා සිට එම විද්‍යාලය ඉදිරිපිට ඔහු උපවාසයක් දියත් කිරීමෙන් අනතුරුවයි. නියෝජ්‍ය ඇමතිවරයාගේ මේ හැසිරීම කරුණු ගණනාවක් නිසා අයෝග්‍ය වන්නේය. මහජන සේවකයෙකුට නොහොබිනා ඔහුගේ ක‍්‍රියාකලාපය විසින් ශිෂ්‍යයන් ඉදිරියේ තබන ලද ආදර්ශය ඉතා නින්දනීයයි. මේ පිළිබඳව දැක්වෙන මහජන අදහස් උදහස්, මෙවැනි දේශපාලඥයන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගත යුතු බවට කෙරෙන යෝජනාවන්ගේ සිට, තෙවරප්පෙරුමගේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්නයට අදාළ ඡායාරූප මාධ්‍ය තුළ පළ කිරීමට විරෝධය පෑම දක්වා විහිදෙයි. තවත් අය, නියෝජ්‍ය ඇමතිවරයාගේ මානසික තත්වය අවබෝධ කර ගැනීමට යම් උත්සාහයක් ගෙන ඇති අතර තවත් අය මෙවැනි සිද්ධියක ඡායාරූප පළ කිරීම නොහොබිනා බවත් කියා සිටිති.


මේ සිද්ධිය තවත් ආකාරයකින් ශ‍්‍රී ලංකාවට වඩාත් සංවේදී වන්නේය. අපේ සියදිවි නසා ගැනීමේ අනුපාතිකය ඉතා ඉහළ අගයක් ගනී. ඊට පිළියම් යෙදීමට අපි තවමත් අපොහොසත්ව සිටිමු. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන වාර්ෂික වාර්තාවන්ට අනුව, ලෝකයේ රටවල් 172 ක් අතුරින් වැඩිම සියදිවි නසා ගැනීමේ අනුපාතිකයන් සහිත රටවල් 5 අතරට ශ‍්‍රී ලංකාවත් ගැනේ. එය දැන් වසර ගණනාවක් තිස්සේ එක දිගට ඇදී එන්නකි. මෙය ඉතා සංකීර්ණ ප‍්‍රශ්නයක් බව කිව යුතුය.

2014 දී ශ‍්‍රී ලංකාවේ රටවැසියන් 100,000 ක් අතරින් 28.8 ක් සියදිවි නසාගත්හ. ලෝකයේ වැඩිම සියදිවි නසා ගැනීමේ අනුපාතිකයක් සහිත රටවල් වන්නේ, ගුයානාව, උතුරු කොරියාව සහ දකුණු කොරියාවයි. ගුයානාවේ එය 100,000 කට 44.2 ක්ද, උතුරු කොරියාවේ 38.5 ක්ද, දකුණු කොරියාවේ 28.9 ක්ද වන්නේය. එහිදී ශ‍්‍රී ලංකාව තුන්වැනි ස්ථානයට පත් නොවී බේරී ඇත්තේ අනුනවයෙන් බව ඒ අනුව අපට පෙනේ. මේ මහා සමාජ ව්‍යසනය සමාජ කතිකාව තුළට වහා ගෙන ආ යුතු බව එයින් පෙන්නුම් කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි, ලෝකයේ යම් තැනක සෑම තත්පර 40 කට වරක් කෙනෙක් සියදිවි නසා ගනිති. මෙය වළක්වා ගත හැකි ව්‍යවසනයකි. එහෙත් එය එසේ වළක්වා නොගැනෙන්නේ, පවතින සමාජ අපවාද හේතුවෙන් ඒවා ගැන නිසි සැළකිල්ල යොමු නොවන බැවිනි. ශ‍්‍රී ලංකාවේ තත්වයත් එයමයි. සියදිවි නසා ගැනීම සහ ඊට තුඩුදෙන මානසික විෂාදිය සහ දරිද්‍රතාව වැනි කරුණු ගැන නිසි අවධානය සමාජ කතිකාවන් තුළ විමර්ශනයට ලක් කෙරෙන්නේ නැත. මේවා සම්බන්ධයෙන් සැලසිය යුතු සාධනීය ප‍්‍රසිද්ධිය, දැක්විය යුතු සහනුකම්පනය සහ දීර්ඝ කාලීන ආධාර වැඩපිළිවෙල් නොමැති කම ආදිය මේ තත්වය තවත් උග‍්‍ර කිරීමට බලපාන්නේය.

ලෝකය කලාප වශයෙන් වෙන් වෙන්ව ගත් විට, සියදිවි නසා ගැනීම වැඩියෙන්ම සිදුවන්නේ අග්නිදිග ආසියා කලාපයේය. එහිදී වැඩියෙන්ම සියදිවි නසා ගැනීමට පෙළඹෙන වයස් කාණ්ඩ අතරට ගැනෙන්නේ තරුණ සහ වැඩිහිටි පිරිසයි. අග්නිදිග ආසියා කලාපයේ අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී රටවල සියදිවි නසා ගැනීමේ ප‍්‍රතිශතය, සමස්ත ලෝක සියදිවි නසා ගැනීම්වලින් සියයට 39 කි. 2012 වසරේදී, සංඛ්‍යාත්මකව ගත් විට වැඩිම සියදිවි නසා ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ලෝකය පුරා මෙවැනි සියදිවි නසා ගැනීම් සඳහා වැඩියත්ම භාවිත වන ක‍්‍රමය වන්නේ කෘමිනාශක පානය කිරීමයි. එහිදී අග්නිදිග ආසියාතික කලාපයේ කෘෂි කර්මාන්තය බහුලව සිදු වන ප‍්‍රදේශ විශේෂිත වෙයි.

වරක් සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයන්ගේ ගෙවල්වලට ගොස් හෝ දුරකථන සන්නිවේදන හරහා හෝ සෞඛ්‍ය සේවකයන් විසින් යම් නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීම මේ තත්වය පාලනය කිරීම සඳහා වැදගත් වෙයි. එසේම, ප‍්‍රජා ආධාර වැඩපිළිවෙල් දියත් කිරීමත් අත්‍යාවශ්‍ය වන්නේය. මන්ද යත්, වරක් සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙක් නැවතත් ඊට යොමු වීමට විශාල ඉඩකඩක් ඇති බැවිනි. ඒ තත්වය තුළ, අපවාද පිළිබඳ හැඟීම් අවම කිරීම සහ එවැනි පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන පරිසරයක් ගොඩනගා දීම වැදගත් වන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව 2020 වන විට සියදිවි නසා ගැනීමේ අනුපාතිකය සියයට 10 කින් අඩු කර ගැනීමේ ලෝක ඉලක්කයට ළඟා විය යුතුව තිබේ. එවැනි බරපතල ප‍්‍රශ්නයක් රාජ්‍ය සේවකයෙකු විසින් තමන්ගේ චර්යාවක් හරහා කෝලමට ලක්කිරීම සමාව දිය යුතු කාරණයක් නොවේ. ඔහු එය කරන ලද්දේ සද්භාවයෙන්ම නම්, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය ප‍්‍රතිකාර ඔහුට ලබා දිය යුතුව තිබේ. එහෙත් අවාසනාවකට, සියදිවි නසාගන්නා පිරිස් කෙරෙහි තිබිය යුතු සහානුකම්පාව සහ අවබෝධය අප අතර ඇති බවක් පෙනෙන්ට නැත. ඔවුන්ගේ දුක සහ වේදනාව, ලාභ ප‍්‍රසිද්ධිය සඳහා කිසිවෙකු පාවිච්චි කළ යුතු නැත.

(2016 ජුලි 2 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ අදහස් දැක්වීමේ තීරුවේ පළවූ “Governing Public Officials” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’.)

-  මෙලනි 



2016-07-04
Advertisement

Find us on Facebook